ඔයා දිහයි බලන් හිටියේ
ඇස්පිය නොහෙළා මෙතෙක් වෙලා
ළඟින් හිටියේ නැති ටික කාලෙට
ඔයා හුඟක් වෙනස්වෙලා..
අපේ හීනවලින් ඔයා
ගියා කියා ඉවත්වෙලා
සුසුම් හොරෙන් ළඟින් තියාගෙන
සිටියේ මන් තිගැස්සිලා
ඔයත් ටිකක් වෙනස්වෙලා....
ගායනය - දයාසිරි ජයසේකර/ගයානී මධූෂා
කෝඩුකාර ආදරයක ආදරණීය පදවැල් ගලාගියේ ඔහුගේ සුමධුර ස්වරයෙනි. සැබැවින්ම ඔහු අපූරු පුද්ගලයෙකි. එනම් විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ඔහු නීතිඥවරයකු විය. ඊට පසු ඔහුගේ ජීවිතය තවත් ඉසව්වකට පියමන් කළේය. එනම් දේශපාලන කරළියට පැමිණි ඔහු ප‍්‍රාදේශීය සභාවෙන් පළාත් සභාවටත්, පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවටත් ඉන්පසු වයඹ පළාතේ මහා ඇමති ලෙසත් ජීවිතය සරිකළේය. නීතියත්, දේශපාලනයත් අතරට ඔහුගේ සුමධුර හඬද එක්විය. එනම් ඔහු ගායකයෙකුද විය.
අද ඔහු සැමියෙකු, පියෙකු ලෙසද වගකීම් දරන්නේය. සැබැවින්ම ඒ වයඹ පළාත් සභා මහ ඇමති දයාසිරි ජයසේකරය. ඔහු ”ආදරයේ මුල්පොත” සැරසූයේ මේ ආකාරයෙනි.
ඔබේ පාසල් කාලය හා ප‍්‍රථම ආදරය පිළිබඳ කතා කළොත්
”ඇත්තටම පාසල් ආදරය කියන්නේ හැඟීම් සහිත තත්ත්වයක්. ජීවිතයේ පළවැනි වතාවට මවගෙන් ආදරය ලබපු පුතෙක් වෙනත් කාන්තාවකගේ රූපයක් ළඟ නතරවෙලා විවිධ චිත‍්‍රපටිවලින් හෝ විවිධ මාධ්‍යවලින් දකින අන්තර් චරිත හිතේ තියාගෙන අලූත් අත්දැකීමක් ගැන හිතනවා.
මගේ පාසල් ජීවිතයෙත් ඒ වගේ අත්දැකීම් තිබුණා. පාසලේ හයේ හතේ පන්තිවලට යද්දි විවිධ ගැහැණු ළමයින්ව මුණගැහිලා තියෙනවා. සමහර අවස්ථාවල ආදරය ඇතිවෙලත් තියෙනවා. මම කැමති වුණාට ඒ අය මට අකමැතිවූ අවස්ථාත් තිබුණා. ඒ අය මට අකමැති වුණා කියලා ඒ වෙනුවෙන් අඬ අඬා මගේ අධ්‍යාපනය කඩාකප්පල් කරගන්න තරම් මම බොළඳවුණේ නැහැ. ජීවිතේ නොලැබෙන මිරිඟුවක් පස්සේ යන්න ඕනැ නැහැ. මට මගේ මනස පාලනය කරගැනීමේ හැකියාව තිබුණා.
ඒ වගේම තවත් කාලයකදී ආදරය කළ අවස්ථා තිබුණා. ඒත් බාහිර ගැටලූ නිසා ඒ ආදරය නතරවූ හා නැවැත්තූ අවස්ථා තිබුණා.
ඒ වෙලාවල දුක, වේදනාව, කඳුළ හොඳටම දැනිලා තියෙනවා. සමහර අවස්ථාවල ජීවිතේ කවදාවත් මේ වගේ කෙනෙක් ලැබෙන එකක් නෑ කියලා හිතිලා තිබුණා. ඒ ගැන හිත හිතා මානසිකව විඳවලා තියෙනවා. ඒත් ඒ දේවල් කාලයත් එක්ක අමතකවෙලා ගියා. ඒ නිසා අපි තරුණයන් විදිහට කල්පනා කළයුතු වෙන්නේ මේ ජීවිතේ කෙටිකාලයකදී මෙවැනි දේ සිදුවිය හැකියි. ඒ කියන්නේ පාසල් කාලයේ ඇතිවන හැඟීම්, ආදර බැඳීම් බොහෝ ඒවා දිගටම ගෙනියන්න බැහැ. කලාතුරකින් කෙනෙක් තමයි පාසලෙන් පසුවත් ආදරය කරලා විවාහය දක්වා දුරදිග ගෙනියන්නේ. ඒ නිසා පාසල් කාලයේ ඇතිවන ආදර බැඳීම් නිසා දුක, වේදනාව, කළකිරීම ඇතිවුවත්, එය ජීවිතයට අලූත් අත්දැකීමක් කරගත යුතුයි. හේතුව මේ දේවල් තමන්ගේ මුළු ජීවිතයම නෙවෙයි. ඊට වැඩිය බුද්ධිමත්ව තීන්දු තීරණ ගත යුතුයි. හේතුව ඉගෙන ගන්න කාලේ හැමදේටම වැඩිය වටින්නේ අධ්‍යාපනය වීම. මම එදා හිතුවේ මට කුමන දේ නැතිවුවත් හොඳින් ඉගෙනගන්නවා. ඉගෙනගෙන ජීවිතයේ ඉදිරිය ගැන කල්පනා කරනවා කියන එක.
මගේ පවුල හත්දෙනෙක් හිටපු පවුලක්. අපි අමාරුවෙන් ගොඩනැගිච්ච පවුලක්. ඒ පවුල තුළ ආදරය වගේ දෙයක් නිසා අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තොත් මගේ අනාගතයට මොකද වෙන්නේ කියලා මම එදා හිතුවා. ඒ නිසාම මට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වුණා. විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරට යනකම්ම මගේ කිසිම ආදර සම්බන්ධතාවයක් තිබුණේ නෑ. මම අදත් කල්පනා කරන්නේ එය මගේ ජීවිතයට යහපතක් කලා කියලයි. එදා ඒ පාසල් ආදරය මතම යැපුනානම් පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න තිබුණා. ඒ නිසා මම යන ගමන් මාර්ගය මම සොයාගත්තා. ඒ ගමන් මාර්ගයේ යද්දි හොඳ කෙනෙක් ලැබෙයි කියලා මම විශ්වාස කළා.
ඒ නිසා මම හිතනවා පාසල් ආදරය ජීවිතය ආශිර්වාදයක් වීමත් අයහපතක් සිදුකිරීමත් පිළිබඳ අවිනිශ්චිතතාවය තිබියදී හොඳින් ඉගෙනගෙන තමන් යන නිවැරදි ගමන් මාර්ගය හඳුනාගැනීම සුදුසු බව.
ආදරය අතීතයත් වර්තමානයත් අතර ඔබ හඳුනාගත්තේ කොහොමද?
එදා සමාජය එතරම් සංකීර්ණ නැහැ. අද සමාජය ගොඩක් වෙනස්වෙලා. සමහර දරුවෝ නයිට් පාර්ටිස්වලට යනවා. වෙනත් බාහිර වින්දනයන්ට යොමුවෙලා තියෙනවා. හේතුව අද දරුවන්ට අසීමිත නිදහසක් තියෙනවා. ඒ නිසා අද ඇතැම් අවස්ථාවල ආදර සම්බන්ධතාවල අවසානය සිදුවෙන්නේ වහබීලා කනේරු ඇටකාලා, නැත්නම් බෙල්ලේ වැලදාගෙන, වගේ සිදුවීම්වලින්. ඔවුන්ට හැඟීම් පාලනය කරගත නොහැකි හා දරාගත නොහැකි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා දරුවන් ජීවිතය තේරුම් ගතයුතුයි. පාසල් කාලය තුළදී ජීවිතය අස්ථාවරයි. ආදරය කරලා ජීවිතයේ කිසිදු පදනමකින් තොරව විවාහවෙලා ඉක්මණින්ම පවුල් ප‍්‍රශ්න ඇතිකරගෙන දික්කසාදයට යනවට වඩා යන ගමන්මාර්ගය පැහැදිලිව අවබෝධ කරගෙන ජීවිතය ප්ලෑන් කළ යුතුයි.
සමහර අවස්ථාවල ජීවිතයේ මධ්‍යයේදී විවාහවෙනවා. සමහර අවස්ථාවල විවාහවුණත් ආදරය නැහැ. එවැනි තැන්වල ගැටලූ දරුවන්ටත් බලපානවා. ඒ නිසා අපේ හිත ශක්තිමත් විය යුතුයි. එතකොට ඕනෑම අභියෝගයකට මූණ දෙන්න පුළුවන්.
ඒ නිසා ආදරය, ජීවිත විනාශයට හේතුවක් කරගන් නැතිව බලාපොරොත්තුවන ඉලක්කවලට යන්න බුද්ධිමත්ව කටයුතු කළයුතුයි කියා මම විශ්වාස කරනවා.
විවාහය හා ආදරය පිළිබඳ කතා කළොත්
මම බලාපොරොත්තු වන ප‍්‍රධාන දෙය තමයි ඇය ඇයගේ අනන්‍යතාවය ගොඩනගාගත යුතුයි. යැපෙන්නෝ නොවිය යුතුයි. බිරිඳ හෝ සැමියා කියන දෙන්නා තව කෙනෙක්ගෙන් යැපෙන්නන් බවට පත්වුණාම විවිධ අර්බුධ ප‍්‍රශ්නවලට ගැටගැහෙන හේතුවක් බවට පත්වෙනවා.
එංගලන්තයේ ජීවත්වෙන සමහර කාන්තාවෝ විවාහ ජීවිතය ගතකරනවා. ඒත් ඇය හෝ ඔහු දෙන්නම තමන්ගේ දරුපවුල බලාගන්නවා. එක් පැත්තකින් පාසල් කටයුතු, ඒවගේම විවිධ වැඩ රාජකාරි සියල්ලම කරන අම්මලා ඕනෑ තරම් ඉන්නවා. වාහනේ ගිහින් දරුවව පාසලට දාලා රැ කියාවක් කරලා නිවසේ රාජකාරිත් බලන අම්මලා ලෝකේ ඉන්නවා. ඒ නිසා බිරිඳ සැමියා මත යැපීම හෝ සැමියා බිරිඳ මත යැපීම නොකළ යුතුයි කියලයි මම හිතන්නේ.
ඒ නිසා අනාගත සමාජය ගැන හිතමින් විවාහය පිළිබඳ තීරණ ගැනීම වැදගත් කියලා මම හිතනවා.
තාත්තා කෙනෙක් විදිහට දරුවන්ගේ යෞවන ආදරය පිළිබඳව කියන්න තියෙන්නේ මොනවාද
අපේ කාලයේ ආදරය කළේ ලියුම්වලින්. මම ළඟ තවමත් තියෙනවා ඒ ආදර හසුන්. ඒවා සුන්දර සහ අහිංසක ප‍්‍රාර්ථනාවන්. ඒත් අද ඒ ආදරය වෙනස්වෙලා. අද කෙටි පණිවිඩ (SMS) ආදරය දකින්න ලැබෙන්නේ. ෆේස්බුක්, ස්කයිප්වලින් ඔවුන් කතා කරන්නේ. ඒවායින් ඔවුන් විවිධ අත්දැකීම් ගන්නවා. ඇතැම් අවස්ථාවල ඒ අත්දැකීම් නිසා තරුණ ජීවිත අකාලයේ විනාශවෙලා යනවා. එය ආදරයටත් එහාගිය තමන්ගේ ආශාවන් සංතර්පණය කරගැනීම සඳහා වූ වැඩපිළිවෙලක් බවට පත්වෙලා.
බොහෝ විට තරුණ පිරිමි දරුවෝ කාන්තාවන්ව දකින්නේ තමන්ගේ අවශ්‍යතා පිරිමසාගන්න ඉන්න කොටසක් විදිහට. කාන්තාවනුත් ඒ පිළිබඳ දිගට දුරට කල්පනා කරන්නේ නෑ. තමන්ගේ ජීවිතයම ආදරය කරන තරුණයාට පුදන, ඔහු නිසා තමන්ගේ ජීවිතය අනාතවුණා කියලා නොහිතන තැනකට පත්වෙලා තියෙනවා. එය සමාජ ඛේදවාචකයක් වෙලා.
අද කන්‍යාභාවය කියන දෙය සිතුවිල්ලක් විතරයි. ඒ පිළිබඳ අපේ ඉතිහාසයේ තිබුණ විශ්වාසයේ හා මත ඉවත්වෙලා තිබෙනවා. ඒ නිසා අපි දරුවන්ට ජීවිතයේ ඇති වටිනාකම් පිළිබඳව කියාදිය යුතුයි.
පාසල් ආදරය, යොවුන් ආදරය, පීතෘ ආදරය ඔබ හඳුන්වන්නේ කොහොමද?
අද මම දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. මගේ පුතා ටිකක් ලොකුයි. මම එයා කාමරේට වෙලා මොකද කරන්නේ, ෆෝන් එකෙන් මොකද කරන්නේ කියලා හොයන්න යන්නේ නැහැ. ඒත් ඔහු එක්ක කතාකරන අවස්ථාවල මේ ආකාරයට ඉදිරි ජීවිතය සකස්විය යුතුයි, ඔයා මේ වගේ ගමනක් යන්න ඕනෑ කියලා කියලා දෙනවා. ඒ වගේම ජීවිතයට එන්න පුළුවන් අභියෝග සහ ඒවාට මුහුණදෙන ආකාරය පිළිබඳ කියලා දෙනවා.
මම ඔහුට උපදෙස් දෙන්නේ තාත්තා කෙනෙක් විදිහට නෙමෙයි. සහෝදරයෙක්, යාළුවෙක් විදියට ඔහුට තේරුම්ගත හැකි ආකාරයෙනුයි මම ජීවිතය කියලා දෙන්නේ.
ඔහු මම තාත්තා කියලා හිතලා ඔහුගේ ගැටලූ නොකියා ඈත් වුණොත් අනික් අයයි ඒ ගැටලූවලට පිළිතුරු සොයන්නේ. ඒත් අපි ඒ දේවල් කතාකරන්න පුළුවන් පරිසරයක් සකස්කර ගන්නවා නම්, තාත්තා පුතාගේ හොඳම යාළුවා වෙනවා නම් ඔවුන්ගේ ජීවිතයට එන විශාල ගැටලූ ගණනාවක් විසඳාගන්න පුළුවන්.
ඒ නිසා අම්මා සහ තාත්තා පුතාටත් දුවටත් හොඳම යහළුවා යෙහෙළිය වෙනවා නම් ප‍්‍රශ්න විසඳාගන්න පුළුවන්. එය නැති එකයි අද ගැටලූවක් වෙලා තියෙන්නේ.