රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප්, යළිත් වරක් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් විය. එය සැබැවින්ම සුවිශේෂී ජයග්‍රහණයකි. ඇමෙරිකන් ජනාධිපතිවරයකුට ධුර කාල දෙකකි. ට්‍රම්ප් පළමු වරට ජනාධිපති ධුරය හෙබවූයේ 2016 සිට 2020 දක්වා කාලයේය. 2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප්, ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ජෝ බයිඩන්ට පරාජය විය. ට්‍රම්ප් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ එක් ධුර කාලයක් ඉතිරි වී තිබුණු බැවිනි.
1800 දශකයෙන් පසු, එක් ධුර කාලයක් අවසානයේ පරාජය වී, යළි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී දෙවැනි ධුර කාලය සම්පූර්ණ කරන පළමු ජනාධිපති වන්නේ 78 හැවිරිදි ට්‍රම්ප්ය. අපරාධ චෝදනාවලට ලක් වී, අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවුණු, ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වුණු පළමු තැනැත්තා වන්නේ ද ට්‍රම්ප්ය. ජනාධිපතිවරණයට පෙර, ඝාතන තැතකින් දිවි බේරා ගත් පළමු තැනැත්තා ද ට්‍රම්ප්ය. ඇමෙරිකන් ජනාධිපති ආරක්ෂක අංශය හෙවත් සීක්‍රට් සර්විස් අනුව, ට්‍රම්ප් ඝාතනයට සැලසුම් තුනක් ක්‍රියාත්මක වූ නමුත්, ඒ සියල්ල අසාර්ථක විය. ඇමෙරිකන් ආරක්ෂක අංශවලට අනුව, ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ ෂියා මුස්ලිම් ඉරානයටය.
ට්‍රම්ප් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයේ මහ මොළකරු ලෙස ඇමෙරිකන් ආරක්ෂක අංශ හඳුනාගෙන ඇත්තේ 51 හැවිරිදි ෆර්හාද් ශකේරි ය. ඇෆ්ගනිස්තානයේ උපත ලබා ඇමෙරිකාවේ පදිංචියට ගිය මුස්ලිම් ජාතිකයෙකි. ශකේරි නැමැත්තා ඉරානයේ විප්ලවීය හමුදාව වෙනුවෙන්, ට්‍රම්ප් ගැන ඔත්තු බලමින් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගෙන ඇත. ඊට අමතරව, ශකේරි, ඉරාන විප්ලවීය හමුදාව වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ, වෙසෙන ඊශ්‍රායල ජාතිකයන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට ද සැලැසුම් සකස් කර ඇත. ඒ, ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන්ට එරෙහිව කරන අපරාධ සම්බන්ධයෙන් ඊට එරෙහි වීමක් වශයෙනි. ඇමෙරිකන් බුද්ධි අංශ උපදෙස් මත, ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ රැඳී සිටි ඊශ්‍රායල යුදෙව්වන් වෙනුවෙන් අනතුරු ඇඟවීම් කළේ ඒ අනුවය.
ඉරාන විප්ලවීය හමුදාව, ෆර්හාද් ශකේරිගෙන් ඉල්ලා ඇත්තේ, ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයන් වෙඩි තබා සමූහ වශයෙන් ඝාතනය කිරීමේ සැලැස්මට සහාය දක්වන ලෙසය. ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වූ බැවින්, එම සැලැස්ම අසාර්ථක විය. ශකේරි අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ සමත් වී නැති අතර, ඔහු මේ වනවිට ඉරානයට ගොස් ඇතැයි සැක කෙරේ. ෆර්හාද් ශකේරි සම්බන්ධයෙන් කරුණු කාරණා මෙසේ අනාවරණය වී ඇත්තේ, ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුම් සම්බන්ධයෙන් ඇමෙරිකානුවන් දෙදෙනකු වන 49 හැවිරිදි කාලයිල් රිවේරා සහ 36 හැවිරිදි ජෝනතන් ලෝඞ් හෝල්ඩර් ඇමෙරිකන් ආරක්ෂක අංශ අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. කාලයිල් රිවේරා නිව්ෙයා්ක් බෲක්ලින් ප්‍රදේශයේදීත්, ජෝනතන් ලෝඞ් හෝල්ඩර් නිව්ෙයා්ක් ජනපදය අයත් ස්ටැටන් දූපතේදීත් ආරක්ෂක අංශ ග්‍රහණයට හසු විය. ට්‍රම්ප් ඝාතනයට පමණක් නොව, නිව්ෙයා්ක් නුවර යුදෙව්වන් ඝාතනයට ද ලක්ෂ ගණනින් මුදල් ගෙවීමට ශකේරි, කාලයිල් රිවේරා සහ ජෝනතන් ලෝඩ් හෝල්ඩර් සමඟ සාකච්ඡා කර ඇත. අත්අඩංගුවට ගත් රිවේරා සහ හෝල්ඩර් සම්බන්ධයෙන් අපරාධ චෝදනා ගොනු කිරීම පසුගිය 9 වැනිදා සිදුවිය.
කුඩා කාලයේ ඇමෙරිකාවට පැමිණ හැදී වැඩුණු ෆර්හාද් ශකේරි, 2008 දී ඇමෙරිකාවෙන් පිටුවහල් කෙරුණු බව පැවැසෙයි. ඒ, සොරකමක් සම්බන්ධයෙන් වසර 14 ක් සිරදඬුවම් ලැබීමෙන් ද පසුවය. එසේ සිරගතවී සිටිද්දී, ඔහු අපරාධ ජාල සමඟ හිතවත්කම් ඇතිකරගෙන තිබේ. ඇමෙරිකන් නීති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව උපුටා දක්වමින්, ඉන්දියාවේ එන්.ඩී.ටීවී. පුවත් නාළිකාව වාර්තා කර ඇත්තේ ශකේරි 2019 දී හෙරොයින් තොගයක් ද සමඟ ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට පත්වුණු බවත් පසුව ඔහු නිදහස ලැබූ බවත්ය. ඉරාන විප්ලවීය හමුදාව වෙනුවෙන් අපරාධ සිදු කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නියැලීම යන චෝදනා ශකේරිට එල්ල වී ඇත. එසේ වුවත්, ට්‍රම්ප් ඝාතනයට කිරීමට සැලැසුම් සකස් කරනවා යැයි එල්ල වන චෝදනා ඉරාන රජය සහ ඉරාන විප්ලවීය හමුදාව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
ඉරානයත් ඇමෙරිකාවත් අතරේ අර්බුදයක් පවතින්නේ 1978-79 ඉරාන විප්ලවයත් සමඟය. එසේ වුවත්, වර්තමානයේ ඉරානයත් ඇමෙරිකාවත් අතර අර්බුදවලට ප්‍රධාන හේතුව ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනය. ඉරානය පවසන ආකාරයට ඔවුන් ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ, රටේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමටය. කෙසේ නමුත් ඊශ්‍රායලයේ උසි ගැන්වීම් මැද ඇමෙරිකාව ඉරානයට විරුද්ධව යයි. ඇමෙරිකාව එසේ කරන්නේ ඇමෙරිකාවේ යුදෙව් ඡන්ද නිසාය. ඇමෙරිකන් ඡන්දයකදී ඇමෙරිකාවේ වෙසෙන යුදෙව්වන්ගේ ඡන්ද ඉතා වැදගත් සාධකයකි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට විරුද්ධව ඇමෙරිකාව සහ සෙසු බටහිර රටවල් සම්බාධක පැනැවූයේ ඒ අනුවය. ට්‍රම්ප්ට පෙර, ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමාය. ඔබාමා සිය අවසන් ධුර කාලයේ ඊශ්‍රායලයට ගැති නොවී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ලෝකයේ බලවත් රටවල් සහ ඉරානය සමඟ සාකච්ඡා පවත්වා පනවා තිබූ සම්බාධක ලිහිල් කළේය. මෙය ඊශ්‍රායලයේ විරෝධයට හේතුවක් වූ අතර, ඊශ්‍රායලයට අනුව, මැදපෙරදිග කලාපයේ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නේත්, අනුග්‍රහය දක්වන්නේත් ඉරානයයි. එය සාධාරණය. අද ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සංවිධානය සමගත්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සමගත් ගැටෙයි. ඔබාමාගෙන් පසු 2016 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ට්‍රම්ප් ජනාධිපති වූ විට, ඔබාමා පරිපාලනය විසින් ලිහිල් කරනු ලැබූ එම සම්බාධක යළි දැඩි කළේය. ඊට අමතරව, නව සම්බාධක පවා ඉරානයට පැනැවීය. ඉරානය සහ ට්‍රම්ප් අතර විරසකය ආරම්භ වූයේ එලෙසිනි.
ට්‍රම්ප් ජනාධිපති ධුරයේ සිටිද්දී 2020 ජනවාරි 3 වැනිදා, ඇමෙරිකාව ඉරානයට රිද්දුවේය. ඒ, ඉරාන ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට අණ දීමය. සුලෙයිමානී යනු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනීට පසු එරට ජනතාවගේ ගෞරවයටත් ආදරයටත් පාත්‍ර වූ හමුදා නිලධාරියෙකි. ඉරාක විප්ලවීය හමුදාවේ අතිරේක බලඇණියක් ලෙස සැලකෙන කුඞ්ස් බලඇණියට නායකත්වය දුන්නේ සුලෙයිමානීය. ඉරාන විප්ලවීය හමුදාව සහ ඊට සම්බන්ධ අතිරේක හමුදා බලඇණි ත්‍රස්ත සංවිධාන ලෙස ඇමෙරිකාව සලකයි. ට්‍රම්ප්ගේ අණ පරිදි ඇමෙරිකන් බුද්ධි අංශ සහ හමුදා එක් වී, සුලෙයිමානී ඝාතනය කළේ, සුලෙයිමානී ඉරාකයට පැමිණි අවස්ථාවේදීය. සුලෙයිමානී ඝාතනය කෙරුණේ ඩ්‍රෝන ප්‍රහාරයකිනි. එම ප්‍රහාරයෙන් ඉරාකයේ ඉරාන හිතවාදී කුර්දි සටන්කාමී නායකයා ද මියගියේය. ඇමෙරිකා ආරක්ෂක අංශ සුලෙයිමානී ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ ඊශ්‍රායල මොසාඞ් බුද්ධි අංශයේ ද සහාය ඇතිවය. ඇමෙරිකාවෙන් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් පළිගන්නා බවට ඉරානය එම අවස්ථාවේදී ප්‍රතිඥා දුන්නේය.
(***)
ලුසිත ජයමාන්න
ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි