අවදානමට වඩා සූදානම වැදගත් යැයි පැවසුව ද අප රට යනු අනතුර පහව ගිය සැණින් අනතුරේ පලවිපාක ඉතා ඉක්මනින්ම අමතක කර දමන රටකි. එමෙන්ම සංරක්ෂණය සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලබන්නේ ද සංහාරයෙන් පසුව ය. එහි ආදීනව පිළිබඳ කොතෙක් පාඩම් තිබුණ ද විනාශය තමා කරා පැමිණෙනතුරු එම පාඩම් ගැඹුරින් ග්‍රහණය කර ගැනීමට අසමත්වීම ද සුලභ අත්දැකීමකි.
පෙරවදන ඩෙංගු සම්බන්ධයෙනි. කොවිඩ් මාරාන්තික වයිරසය අප රට ආක්‍රමණය කරන තුරු රටේ ප්‍රධාන ව්‍යවසනය ලෙස හඳුනාගෙන තිබුණේ ඩෙංගු මාරයා ය. එහෙත් කොවිඩ් පැමිණීමත් සමග ඩෙංගු සම්බන්ධ අවධානය ද බිය ද පහව ගියේය. කොවිඩ් ව්‍යවසනය හමුවේ රට අගුලු ලෑ නිසා ජනතාවට නිවෙස්වල රැඳී සිටීමට සිදුවිය.
එහෙයින් ම වත්ත පිටිය ශුද්ධ පවිත්‍ර කිරීමට ඕනෑතරම් කාලය ඉතිරි විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඩෙංගු මදුරුවා පසුබා ගියේ ය. කොවිඩ් මාරාන්තික වයිරසයේ බලපෑම අවමවීමත් සමඟ ජනතාව යළිත් පරණ පුරුදු ජීවිතයටම යොමු වූහ. වත්ත පිටිය, හාත්පස පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීම අමතකව ගියේ ය. නොඑසේනම් එය අත්හැර දැමූහ. එහි ප්‍රතිඵල ලැබෙමින් තිබෙන්නේ දැන් ය.
‘ඩෙංගු බිය සියයට 14 කින් වැඩිවෙලා’ මේ ඉකුත්දා අප පුවත්පත මුල් පිටුවේම වාර්තා කළ ප්‍රවෘත්තියක සිරස්තලය වේ. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ රට පුරා ඩෙංගු උණ රෝගය තදින් පැතිර යමින් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන බව ය.
අප ප්‍රවෘත්තියට අනුව ඉකුත් සතියේ රට පුරා විවිධ ප්‍රදේශවලින් ඩෙංගු උණ රෝගින් 2730 දෙනකු හමුවී ඇති බවත් එය ඊට පෙර සතියට සාපේක්ෂව සියයට 14 ක පමණ වැඩිවීමක් බවත් ය. එමෙන් ම රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 67 ක් අඩංගු ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම්කර තිබෙන බව ය. එසේ හඳුනාගත් ඩෙංගු අධිඅවදානම් කලාප 67 න් 35 ක් ම පවතින්නේ බස්නාහිර පළාතේ බව ද අප පුවත්පත වාර්තා කළේ ය.
දෙමාපියන්ගේ සිත් තිගැස්සවීමට සමත් තවත් ප්‍රවෘත්තියක් අප පුවත්පත වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ ඩෙංගු උණ රෝගය වැළඳුණු දරුවන් 35 දෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා …රෝහලේ සිටින බව ය.
සියලු වාර්තාවලින් පැවසෙන්නේ නිර්මාණය වෙමින් පවතින තත්ත්වය අතිභයංකාර බව ය. මරණ බියෙන් සලිතව දවස් ගෙවා දැමීමට ජනතාවට සිදුව ඇති බව ය. සැබැවින්ම එසේ මරණ බියෙන් සලිතව සාංකාවෙන් ජීවත්වීමට සිදුව තිබේනම් එසේ ජීවත්වී ප්‍රයෝජනයක් ද නැත.
මෙහිදී විශේෂ අවධානය යොමු කළ යුතු කාරණාවක් ද තිබේ. එනම් ඩෙංගු මාරයා කොතෙක් බලසම්පන්න වුවද භයානක වුවද එම ඩෙංගු මාරයා පරාජය කිරීමේ අසමසම හැකියාවක් ජනතාවට තිබෙන බවය. එසේ ඩෙංගු මාරයා පරාජය කිරීම සඳහා කළ යුත්තේ තම නිවෙස, ගෙවත්ත ඉතා හොඳින් ශුද්ධ පවිත්‍ර කිරීම ය. එසේ සෑම අයකුම ක්‍රියාත්මක වන්නේ නම් මුළු රට ම ශුද්ධභාවයට නිරායාසයෙන්ම පත් වේ.
ඇතැම් ගෙවතු මෙන්ම වතුපිටි ද මදුරු තවාන් බවට පත්ව තිබේ. සමහරු ඉතා නොසැලකිලිමත් ලෙස ද කටයුතු කරති. ඇතැම් වතුපිටි පාළුවට හැර ඒවා ඩෙංගු මදුරු තවාන් බවට පත්වීමට ඉඩ හැර ඇත. එබන්දන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු ය.
ජාතික ව්‍යවසනයක් හමුවේ වගකීම් විරහිතව කටයුතු කිරීමට කිසිවකුට අයිතියක් නැත. මුළු රටම කනත්තක් බවට පත්වීමට ඉඩ හැර නොසැලකිල්ලෙන් කටයුතු කිරීමට ද කිසිවකුට අයිතියක් නැත. රට නිරෝගී සම්පන්නව තබා ගැනීමට දායකවීම සියල්ලන්ගේම වගකීම හා යුතුකම වේ.
ගෙදරදොර, වත්ත පිටිය ශුද්ධ පවිත්‍ර කළ යුත්තේ මහජන පරීක්ෂකවරුන් පැමිණ සොයාබලා අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි යන බියට නොව සියලු දෙනාගේම ජීවත්වීමේ අයිතිය වෙනුවෙනි. ඒ වෙනුවෙන් වෙහෙස නොබලා කටයුතු කළ යුතු තීරණාත්මක මොහොතකට රට පත්ව ඇති බව අවධාරණය විය යුතු ය.
(***)