ඩෙංගු යළි හිස ඔසවයි: සැවොම පරෙස්සම් වෙමු


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමත වීමත් සමග රටේ සියලු රෝග නිවාරණය වී ඇතැයි යන්න බොහෝ දෙනකුගේ මතය වී තිබේ. අපේ සමාජය හිතන ආකාරය එපරිදිය. වැසි සමයට පෙර ආහාර ඒකරාශි කරගනිමින් අනතුරට කල් ඇතිව සුදානම් වීමේ ආදර්ශය කුහුඹුවන් ගෙනි. එහෙත් කුහුඹුවන්ගෙන් ඉගෙන ගැනීමට පාඩමක් ඇතැයි බොහෝ දෙනෙක් නොසිතති. එය ‘මාරාන්තික’ වරදක් බව වටහා ගැනීමට හැකි  බොහෝ සිදුවීම් අත්වින්දද ඒවා නොසලකා හැරීම ජාතික සිරිතක්ව  වරනගන්නකි.

පෙරවදන අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක් සම්බන්ධයෙනි.

අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ ‘‘ඩෙංගු ආසාදිතව දරුවන් 33 ක් කොළඹ ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවය. මේ වූ කලී අවදානම අමතක කර ‘‘සියල්ල යහපත් යැයි’’ සිතාගෙන කටයුතු කිරීමේ ප්‍රතිඵලය විනා අන් යමක් නොවේ.

අප ප්‍රවෘත්තියෙන් කියැවුණේ ඩෙංගු ආසාදිත දරුවන් 33 දෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළ  බවය. ඩෙංගු රක්තපාතය හේතුවෙන් ඉන් දරුවන් සිවු දෙනකුගේ තත්ත්වය බරපතළ බව ද ප්‍රකාශ කර ඇති විශේෂඥ වෛද්‍යවරයා වර්ෂාව ආරම්භ වීමත් සමග ඩෙංගු  පැතිරයාම ඉහළ යාමේ ප්‍රවණතාවක් මතුව ඇති බවද ප්‍රකාශ කර තිබිණි.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අප පුවත්පතට වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණේ ඉන්ෆ්ලුවන්සා රෝගය පැතිරීමද  ඉහළ යමින් පවතින බව සහ ඉන්ෆ්ලුවන්සා රෝගයට ගොදුරු වූ දරුවන් තිදෙනකු කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවය.

මී උණ රෝගය දකුණු ලක ගිල ගනිමින් තිබෙන බව සෞඛ්‍ය  අංශ ප්‍රකාශ කර සිටියේ ද ඉතා මෑතකදීය. ගොවියන්ට පමණක් නොව පෙදරේරුවන්, වඩුවන් ආදි පිරිස්වලට ද එම  අනතුර තිබෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබුණි.

වසර 14කට පසුව මැලේරියා රෝගී මරණයක් වාර්තා වූයේ ද මෙයට දෙතුන් සතියකට ඉහතදීය. රටට කවර ශාපයක් එල්ල වී ඇද්ද? යන්න සිතිය යුතු තරමට රෝග වසංගත සම්බන්ධ බිය ගංවතුරක් මෙන් ගලා යයි.

 කොවිඩ් මාරාන්තික වසංගතයෙන් අප රටත් ජනතාවත් කොතරම් බැට කෑවේ ද යන්න අද වනවිට බොහෝ දෙනකුට අමතකය. කොවිඩ් මාරාන්තික වසංගතය නිසා මුළු ලෝකයම හුදෙකලා කිරීමට සිදුවිය. අප රටට ද එම ඉරණම අත්විය. රට දූපතක් වුව ද එම මාරාන්තික වයිරසයේ සැහැසි  ග්‍රහණයෙන් අප රටට මිදීමක් නොවීය.

 කොවිඩ් වසංගත දළ රළ පෙළ බැස යාමත් සමග කොවිඩ් පිළිබඳ මතකය ද සමාජයෙන් ගිලිහි ගොස් තිබේ. අද දවස වනවිට මුඛ ආවරණ පළදින්නේ කියෙන් කි දෙනකු ද යන්න වටහා ගැනීම අසීරු නැත. කොවිඩ් මරාන්තික වසංගතයේ බලපෑම අවසන් බවට  ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබීම තුළ මහජනයාගෙන්  සැහැල්ලු හැසිරීමක් අපේක්ෂා කළ හැකි උවද යථාර්ථය ඉතා නපුරු බව අප පුවත්පත වාර්තා කළ  එක් ප්‍රවෘත්තියකින් පැහැදිලි වේ.

 අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියවුණේ කොරෝනා වයිරසය නැවතත් හිස ඔසොවමින් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවන බවය. ඉකුත් 30 වැනිදා වනවිට කොරෝනා රෝගීන් 7 දෙනකු පිළිබඳව අලුතෙන් වාර්තා වී ඇති බවත් ඊට පෙර දින දෙකක් තුළ කොරෝනා ආසාදිතයන් 11 දෙනකු වාර්තා වී ඇති බවත් අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය. මෙම ප්‍රවෘත්තිය පළ වූයේ කොරෝනා මරණ දෙකක් වාර්තා වී ඇති පසුබිමක බව දැඩිව අවධාරණය විය යුතුය.

රට තුළ  තිබෙන්නේ මුළුමනින්ම නිරුප්‍රද්‍රිත පරිසරයක් නොවේ. එක් අතකින් ඩෙංගුය. තවත් අතකින් මී උණය. කොරෝනා වයිරසය ද දැන් විළිස්සමින් සිටී. මේ සියල්ලටම මිනිසුන්ගේ ක්‍රියාකාරකම් බලපා තිබේ. නොසලකා හැරීම මාරාන්තික වරදක් බව දැන් ඉතා පැහැදිලිය. වැස්සත් සමග පැතිරෙන වසංගත රෝග මුළු රටම නරකාදියක් වෙත රැගෙන යනු ඇත.

රෝග පාලනය සෞඛ්‍ය අංශ සතු රාජකාරියක් පමණක් නොවේ. එය ජනතාව සතු වගකීමක් ද වේ. ජනතාව රෝග පාලනය සඳහා සක්‍රීය ලෙස මැදිහත් නොවන්නේ නම් සෞඛ්‍ය අංශ ගන්නා උත්සාහය ගඟට කැපූ ඉණි බවට පත්වනු නියතය. සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් දේශන පැවැත්වීම වෙනුවට ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම වඩාත් යහපත්ය.

(***)