ඩොලරයෙන් වෙනස්වන ආර්ථිකය


රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම කැපී පෙනෙන අයුරින් පහළ වැටෙන ආකාරය මේ දිනවල දැක ගන්නට ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දිනපතා ප්‍රකාශයට පත් කරනු ලබන නිරූපිත (Indicative) විනිමය අනුපාතයට අනුව මේ වසරේ සැප්තැම්බර් මස 24 වැනිදා ඩොලරයක වටිනාකම පැවතියේ රුපියල් 304.88 ක් ලෙසය. එය ඔක්තෝම්බර් මාසයේ 01 වැනි දින වනවිට රුපියල් 297.19 දක්වා පහත වැටුණි.

එය පෙරේදා (7) වනවිට රුපියල් 293.78 දක්වා පහළ වැටුණේය. ඩොලරයේ අගය ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව පහළ වැටීම හෙවත් ඩොලරයේ අගය අඩුවීම සහ රුපියලේ අගය වැඩිවීම ආර්ථිකය සහ ජනජීවිතය කෙරෙහි විවිධාකාරයෙන් බලපෑම් ඇතිකළ හැකි බව ඒ පිළිබඳව කරුණු විමර්ශනය කරන විට පැහැදිලි වේ.

1977 සිට ශ්‍රී ලංකාව අර්ධ වශයෙන් පාවෙන විනිමය අනුපාත ක්‍රමයක් හඳුන්වාදෙනු ලැබීය. එහි අදහස වුයේ ඒ දක්වා සැලකිය යුතු කාලපරිච්ඡේදයක් තුළ මහ බැංකුව විසින් නියම කරනු ලැබූ ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය එම වසරේ සිට වෙනස් කිරීමයි. නව ක්‍රමය යටතේ මුල් අවස්ථාවේදී ඩොලරයට පවතින ඉල්ලු‍ම සහ සැපයුම ද සැලකිල්ලට ගනිමින් විනිමය අනුපාතය තීරණය වන තත්වයක් නිර්මාණය කරන ලදී. පසු කාලයේදී එම ක්‍රමය තවදුරටත් වෙනස් කරමින් වැඩි වශයෙන්ම වෙළෙඳපොළ මතම විනිමය අනුපාතය තීරණය වන තත්වයක් ඇතිකර ගන්නා ලද නමුදු පසු කාලයේදී වෙනස්කම් ඇතිවිය. ඩොලරයේ අගය අඩු වැඩි වනවිට මහ බැංකුව මැදිහත් වී ඩොලර් මිලදී ගැනීමෙන් හෝ විකිණීමෙන් ඩොලරයේ අගය තීරණය වීමට ඉඩ හරින තත්වයක් නිර්මාණය විය.

කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගන්නා ලද ගිවිසුමේ එකඟතාව අනුව ඒ ආකාරයට විදේශ විනිමය වෙළෙඳපොළ කෙරෙහි බලපෑම් කිරීමට මහ බැංකුවට තිබූ හැකියාව අඩුවී තිබේ. මහ බැංකුව විසින් බොහෝවිට අනුගමනය කරන ලද්දේ රුපියලේ අගය අඩුවීම වළක්වා ගැනීම සඳහා වෙළෙඳපොළට තමන් සතු ඩොලර් ඉදිරිපත් කරන පිළිවෙතකි. එමගින් ඩොලර් සැපයීම වැඩිවී රුපියලේ අගය පහළ වැටීම වැළැක්වේ. ඩොලරයේ අගය පහළ වැටෙන විට ඩොලරයේ අගය ආරක්ෂා කිරීම සඳහා මහ බැංකුව ඩොලර් මිලදී ගත් අවස්ථාද තිබුණි. එමගින් ඩොලරය සඳහා පවතින ඉල්ලු‍ම වැඩිකර ඩොලරයේ අගය පහළ වැටීම වළක්වා ගන්නා ලදී.

මේ දිනවල ඩොලරයේ අගය පහළ වැටී රුපියල ශක්තිමත්වීම කෙරෙහි බොහෝදුරට විදේශ විනිමය වෙළෙඳපොළේ ඩොලරයට පවත්නා ඉල්ලු‍ම සහ ඩොලර් සැපයුමේ තත්වය හේතු වී ඇතැයි සිතිය හැක. එහි සරළ අදහස වන්නේ මේ දිනවල ඩොලර් සැපයුම වැඩිවී ඩොලරයට පවත්නා ඉල්ලු‍ම වැඩිවී නැති බවය. එසේත් නැත්නම් ඩොලරය සඳහා පවතින ඉල්ලු‍ම අඩු වී ඇති බවය. ඇතැම් මාධ්‍ය තොරතුරුවලින් ප්‍රකාශ වී තිබුණේ ඩොලරයේ අගය පහළ වැටීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බංකුව විනිමය වෙළෙඳපොළට මැදිහත් වී ඇති බවය. මහ බැංකුව විසින් මෙම තොරතුරු තවමත් සනාථ කර නැත. එසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය අත්සන් කර ඇති ගිවිසුම අනුව ශ්‍රී ලංකාව රැස්කර ගත යුතු විදේශ සංචිත පිළිබඳ ඉලක්ක සහ කාල නියමයන් තීන්දු කර තිබේ.

මේ දක්වාම එම එකඟතාවලට අනුකූල වන අයුරින් නිල සංචිත ගොඩනැගීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ. 2024 අ‌ගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5954 ක් විය. එය ඊට පෙර මාසය හා සසඳන විට ඩොලර් මිලියන 148.5 ක වැඩිවීමකි. එම මාසයේදී ඒ ආකාරයට එම ප්‍රමාණයෙන් ඩොලර් සංචිත වැඩිවීමට හේතු වූයේ මහ බැංකුව වෙළෙඳ පොළෙන් ඩොලර් මිලදී ගැනීමයි. එම මාසයේ සංචිත වැඩි වූ මුළු ප්‍රමාණය වන ඩොලර් මිලියන 148.5 ම ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ පොළෙන් මිලදී ගෙන තිබුණි. ඒ ආකාරයටම අද වෙළෙඳපොළේ ඩොලරයේ අගය අඩුවීම හේතුකොට ගෙන සංචිත සඳහා ඩොලර් රැස් කිරීමට මහ බැංකුවට අවස්ථාව සැලසී තිබේ. ඒ අතරම ඩොලරය ඉතා වේගයෙන් පහත වැටීම හේතුවෙන් ඇතිවීමට ඉඩ තිබෙන පීඩනය වළක්වා ගැනීමට ද අවස්ථාව සැලසී තිබේ.

ඩොලරයේ අගය පහළ වැටීම වැඩි වශයෙන්ම බලපෑමක් ඇති කරනු ලබන්නේ රටේ ආනයන සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාව විසින් විදේශවලින් ආනයනය කරන භාණ්ඩ පරිභෝජන භාණ්ඩ, අතරමැදි භාණ්ඩ සහ ප්‍රාග්ධන භාණ්ඩ ලෙස වර්ග කෙරේ. මේ සියලුම භාණ්ඩවල මිල මට්ටම් පහළ යෑමක් ඩොලරයේ අගය අඩුවීම නිසා සිදුවේ. උදාහරණයක් ලෙස ඩොලරයක් වටිනා භාණ්ඩයක් ආනයනය කිරීම සඳහා 2024 සැප්තැම්බර් මස 24 වැනි දින රුපියල් 304.88 ක් ගෙවීමට සිදුවිය. එහෙත් පෙරේදා ඩොලර් අනුපාතය අනුව එම භාණ්ඩය ගෙන්වීමට වැය වන්නේ රුපියල් 293.78 කි. ඉන් පෙනී යන්නේ මෙම දින කීපය තුළ සිදුව ඇති වෙනස්කම් හේතුවෙන් ආනයන කරන භාණ්ඩවල මිල අඩු වී ඒවා වෙනුවෙන් ගෙවීමට සිදුවන රුපියල් ප්‍රමාණය අඩු වී ඇති බවයි.

ඒ ආකාරයට මිල අඩුවීම හේතුවෙන් අතරමැදි සහ ප්‍රාග්ධන භාණ්ඩවල මිල පහළ වැටීම රටේ නිෂ්පාදන පිරිවැය අඩුවී නිෂ්පාදනය ඉහළ යාම සඳහා හේතුවේ. ආනයනය කරනු ලබන පාරිභෝගික භාණ්ඩවල මිල පහළ යෑම නිසා මහජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව වැඩිවනු ඇත. ඒ නිසා ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ යනු ඇත. රටේ උද්ධමනය පහළ යනු ඇත. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ පසුගිය කාලපරිච්ඡේදය තුළ ඩොලරයේ අගය සම්බන්ධයෙන් සිදුව ඇති වෙනස්කම්වල ප්‍රතිලාභ මහජනතාවට හිමිවී ඇත්තේ ඉතා අඩු මට්ටමකින් බව පෙනේ. ඩොලරයේ අගය එක්තරා අවස්ථාවකදී රුපියල් 370 දක්වා ඉහළ ගියේය. එහෙත් දැන් එය රුපියල් 293 මට්ටමට අඩු වී තිබේ.

පසුගිය කාලයේ ඩොලරයේ අගය අඩු විය. ආනයනය කරන භාණ්ඩ සඳහා ගෙවීමට සිදුවු මිල ඒ හේතුවෙන් විශාල ලෙස අඩු වුවද එහි ප්‍රතිලාභ රටට හෝ මහජනතාවට ලැබී ඇත්තේ ඉතා අඩු මට්ටමකින් බව පෙනී යයි. ආර්ථික අර්බුදය හමුවේ මහජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ වන කිරිපිටි, සහල්, ඖෂධ වර්ග ආදියේ ද, සිමෙන්ති, යකඩ, තීන්ත වැනි ද්‍රව්‍යවලද, යන්ත්‍ර සූත්‍රවලද මිල විශාල ලෙස ඉහළ ගිය නමුත් ඒවායේ මිල ගණන් තවමත් සැලකිය යුතු මට්ටමකින් අඩු වී නැත. ඩොලරයේ අගය පහළ යෑමේ ප්‍රතිලාභය සම්පූර්ණයෙන්ම මහජනතාවට හිමිව නැති බව ඒ අනුව පැහැදිලි වේ.

ආනයන මිල සම්බන්ධයෙන් සළකා බැලීමේදී ඩොලරයේ අගය පහළ වැටීම රටට සහ මහජනතාවට වාසිදායක වුවද අපනයන සම්බන්ධයෙන් එහි බලපෑම සෑම විටම හිතකර ලෙස සැලකිය නොහැකි බව පෙනේ. අපනයනය කර ලබාගන්නා ඩොලර් ආදායම ශ්‍රී ලංකාවට ගෙනැවිත් රුපියල් බවට පරිවර්තනය කිරීමේදී අපනයනකරුවන්ට අවාසි සහගත තත්වයක් උද්ගතවෙයි. ඩොලරයක් වටිනා භාණ්ඩයක් අපනයන කර එම ඩොලරය ශ්‍රී ලංකාවට ගෙනැවිත් රුපියල් බවට පරිවර්තනය කිරීමේදී 2024 සැප්තැම්බර් 24 වැනි දින රුපියල් 304.88 ක් ලැබුණි. එහෙත් පෙරේදා ඒ සඳහා ලැබුණේ රුපියල් 293.78 කි. එම තත්වය තුළ අපනයනකරුවන්ගේ රුපියල් ආදායම අඩුවීම නිසා වැටුප් ගෙවීම සහ වෙනත් සේවා ලබාගැනීමේ දී දුෂ්කරතාවලට මුහුණදෙන අතර ලාභය ද අඩුවනු ඇත. වැවිලි කර්මාන්තයේ රුපියල් ආදායම අඩුවීම කුඩා ‌තේවතු හිමියන්ගේ සහ සුළු අපනයන භෝග නිෂ්පාදකයන්ගේ ආදායම අඩුවීම වැනි ගැටලුවලට මුහුණදීමට සිදුවනු ඇත.

එසේ වුවද නිෂ්පාදනය සඳහා විදේශ යෙදවුම් යොදා ගන්නා අපනයනකරුවන්ට සමහර අංශවලදී ගැටලු ඇති වන නමුදු තවත් අංශ සම්බන්ධයෙන් වාසි සහගත තත්වයක් උදාවෙයි. උදාහරණයක් ලෙස ඇඟලුම් කර්මාන්තය සඳහා සියයට 80 කට වැඩි ප්‍රමාණයක් ආනයනය කරන ලද යෙදවුම් යොදා ගන්නා බැවින් එම අංශ සම්බන්ධයෙන් වාසි සහගත තත්වයක් නිර්මාණයවීමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාවට විදේශ මුදල් ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයක් වන්නේ විදේශ සේවා නියුක්තිකයන්ය. එසේ වුවද ඔවුන් විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවට එවනු ලබන ඩොලර්වලට ලැබෙන මුදල් ප්‍රමාණය ඩොලරයේ අගය අඩුවීම නිසා සැලකිය යුතු මට්ටමකින් අඩුවේ. සංචාරක ව්‍යාපාරය සඳහා ද සමහර අංශවලදී මෙම තත්වය අහිතකර අන්දමින් බලපෑමට ඉඩ තිබේ. සංචාරකයන් රට තුළ දී භාණ්ඩ මිලදී ගැනීමට හෝ සේවා ලබාගැනීමට මීට පෙර වැය කළ ඩොලර් ප්‍රමාණයට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් දැන් වැය කිරීමට සිදුවේ.

ආර්ථිකයේ සංඛ්‍යා දත්ත පිළිබඳව ගැළපීම් කිරීමේදී ද යම් යම් ගැටලු ඇතිවේ. උදාහරණයක් ලෙස රටේ දේශීය ණය ප්‍රමාණය ඩොලර්වලින් ගණනය කිරීමේදී දේශීය ණය ප්‍රමාණය ඉහළ යනු ඇත. මෙවැනි තත්වයක් තුළ රුපියලේ අගය ඉහළ යෑම රටේ ආර්ථිකය කෙරෙහි සුබදායක ප්‍රතිඵල ලැබෙන තත්වයකට පත්කර ගැනීමට නම් එහි ප්‍රතිලාභ රටටත්, මහජනතාවටත් ලැබෙන අයුරින් සාර්ව ආර්ථික කළමණාකරණයේ වෙනස්කම් ඇති කිරීම අවශ්‍ය වනු ඇත.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර