කාලයක් ‘මැදපෙරදිග ස්විට්සර්ලන්තය’ යන විරුදාවලියෙන් හැඳින්වූ ලෙබනනය අවසානයේ, කවුරුන් හෝ මුදල් යොදවා බේරාගත යුතු තත්ත්වයට පත්වූයේය. විදේශ විනිමය අර්බුදයත්, රට තුළ සැපයුම් හිඟවීමත් සහ අධි උද්ධමනයත් සමග කල්පිරෙන්නට ගත් විදේශ ණය බැඳුම්කර ගෙවා ගන්නට රට අසමත් විය. 2020 පටන් කල්පිරෙන්නට ගත් විදේශ ණය ආපසු ගෙවා ගැනීමට නොහැකියාව නිවේදනය කරන්නට එරට රජයට සිදු වූයේය.
මුදල් යොදවා සහනයක් සලසාගත හැකි අනෙක් සෑම විධියක්ම උත්සාහ කර බැලීමෙන් පසු කඩාවැටෙන ලෙබනන් ආර්ථිකය මුදා ගන්නට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑම විනා වෙන අන් මගක් නොවීය. පසුගිය සතියේ රොයිටර් පළ කළ වාර්තාවකින් අනාවරණය වූයේ මුදල් යොදවා මුදා ගැනීමේ පැකේජය ගැන සාකච්ඡා කරන්නට පෙර දැඩි පෙර කොන්දේසිවලට එළඹෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලේඛනයට පැවසූ බවයි. ලෙබනන ආණ්ඩුව කාලයක් තිස්සේ ඉටු කිරීමට අසමත් වූ කාර්ය පියවරද එකී කොන්දේසිවලට ඇතුළත්ය. එම නිසා ලෙබනනයේ බලයේ සිටිනා දේශපාලකයන් එකී මුදා ගැනීමේ සැලැස්ම පිළිගනීවිද යන්න පිළිබඳව ද සැකයක් පැන නගී.
අර්බුදය ගැඹුරුවෙත්ම ගොඩ ඒමේ මං තවත් අසීරුවන අතර පැනවෙන කොන්දේසි ද තව තවත් දැඩි වේ. ලෙබනනයේ සිදුව ඇත්තේ කුමක්ද යන්නත් ඔවුන්ට එකී අසීරුතාවලින් ගොඩ ඒම කෙතරම් බැරෑරුම් කාර්යයක්ද යන්නත් අපි මඳක් විමසා බලමු.
විදෙස් බැඳුම්කර කල්පිරීම
ලේබනනය යනු ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 10,000කට මඳක් වැඩි, මිලියන හතකට ආසන්න ජනගහනයක් ඇති බටහිර ආසියාවේ පිහිටි කුඩා රටකි. එම රට උතුරෙන් සහ නැගෙනහිරෙන් සිරියාවෙන් ද දකුණින් ඊශ්‍රායලයෙන් ද බටහිරින් මධ්‍යධරණී මුහුදෙන් ද වට වී තිබේ. යුද්ධයෙන් පසු ගෙවුණු පළමු පස් වසර තුළ (2006-2010) ලෙබනන් ආර්ථිකයේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ දැවැන්ත වැඩිවීමක් සිදුවූ බව වාර්තා වූයේය. ඇ.ඩො. 7000 ට අඩු නොවූ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො 9000 ද ඉක්මවා යමින් රට, ඉහළ ආදායම් ලබන රටක් හා සමීප මට්ටමට පැමිණියේය.
කෙසේ වුවද ඊට හාත්පසින් වෙනස්ව යමින් ලෙබනනයේ ආනයන, අපනයන මෙන් හතර පස් ගුණයකින් වැඩිවී තිබුණි. එහි ප්‍රතිඵලය වූයේ දැවැන්ත වෙළෙඳ හිඟයකට මුහුණ දෙන්නට සිදුවීමයි. රටේ අයවැය හිඟයද දිගින් දිගටම, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක හෝ 8ක මට්ටමේ පැවතිණ. ලෙබනනයෙන් ඉවත සංක්‍රමණය වූ ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ මුදල, එරටේ අපනයන ආදායම මෙන් දෙගුණයකට වඩා විශාල වීමද පුදුමාකාර තත්ත්වයකි. කොවිඩ් වසංගතයට පෙර අවුරුද්දට සංචාරකයෝ මිලියන භාගයක් පමණ ලෙබනනය වෙත පැමිණියෝය. රට තුළට ඇදුණු ඍජු විදේශ ආයෝජන අල්ප වුවද රටේ විදේශ ණය ගැනුම් නම් දැවැන්ත මට්ටමෙන් සිදුවිය.
ණය පිට ණය ගත් ලෙබනනය, ණය කන්දරාව දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 150 ක් වන තුරු ණය ගෙන යටිතල පහසුකම් ඉදි කළේය. කෙසේ වුවද රටකට වැදගත් වන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ගත් ණය කෙතරම් විශාල අනුපාතයක්ද (ප්‍රතිශතයක්ද) යන්න නොව, රට තුළට ගලා එන ප්‍රමාණවත් මුදල් ප්‍රවාහයන්ගෙන් කල්පිරෙන ණය ප්‍රමාණය ගෙවා ගැනීමට හැකි වේද යන්නයි.
ප්‍රමාණවත් ලෙස අපනයන වර්ධනය සිදුනොවන කල ලෙබනනයේ විදේශ විනිමය ඉපැයුම් වඩාත්ම රැඳී පැවතුණේ, සංචාරක කර්මාන්තය හා විදෙස්ගත ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ මුදල් මතයි. විශාල වෙළඳ හිඟය පියවා ගන්නට ඒවායින් යම්තමින් සහනයක් ලැබුණේය. බොහෝ මිනිසුන් මවුබිම හැරදමා රැකියා සොයා විදෙස් රටවලට යෑම ලෙබනනය වැනි කුඩා රටකට උසුලාගත නොහැකි තරම් අවාසනාවන්ත තත්ත්වයකි. ඉන් පෙනී යන්නේ එම රටේ ශ්‍රම බලකායේ ශ්‍රමය ඵලදායී ලෙස ආර්ථිකය වෙත උරා ගැනීමට හැකි ධාරිතාවක් එකී ආර්ථිකයේ නොමැති බවයි. එක් අතකින් එම තත්ත්වය ඇති වනවිට අනෙක් අතට ඔවුන්ට ප්‍රමාණවත් ප්‍රතිලාභ පිරිනමන්නටද එම ආර්ථිකයට නොහැකි වෙයි. ඛේදාන්තයක හරස් කැපුමක් වැනි පින්තූරයක් ලෙබනනයෙන් දිස්වූයේය.
විදෙස් ණය නොගෙවා පැහැර හැරීම
ආණ්ඩුවේ අයවැය මුළුමනින් අවුල්ව යද්දී, මැතිවරණය ඉලක්ක කරගෙන දේශපාලකයෝ 2018 දී රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමක් හඳුන්වා දුන්හ. එහෙත් අපනයන ආදායම් උත්පාදනය කිරීමේ කිසිදු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් හෝ ඵලදායී ලෙස ආයෝජන වැඩි කිරීමක් සිදු වුණේ නැත. විදේශ විනිමය අර්බුදය හේතු කොට ගෙන සැපයුම්වල මහා හිඟයක් දේශීය වෙළෙඳ පොළේ ඇතිවිය. ඒ අතර විදුලි සැපයුමද අඩාල වූයේය. වසංගතය පැතිර යාමත් සමග උද්ධමනය සියයට සියයකින් අහස උසට නැංගේය.
මේ සියලු ආර්ථික හා මූල්‍ය ව්‍යසනවලට ඉහළින් ඉහළ මට්ටමේ දූෂණය ගජ රාමෙට සිදු වූයේය. 2020 අගෝස්තු මාසයේදී, 250 දෙනකුට මරු කැඳවමින් හා දහස් ගණනකට තුවාල සිදු කරමින් බීරුට් වරායේ දැවැන්ත පිපිරීමක් සිදු වූයේය. එම පුපුරා යාම නිසා බීරුට් නුවර දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්ද පැන නැගුණේ එය වැළැක්විය නොහැකි වන තරමේ හදිසි අනතුරක් හෝ දරුණු නොසැලකිල්ලේ ප්‍රතිඵලයකට වඩා දෙයකැයි හඬ නගමිනි.
2020 මාර්තු 7 වැනිදා, කල්පිරෙන විදේශ ණය ගෙවා ගත හැකි තත්ත්වයක් නොමැති බව ලෙබනන ආණ්ඩුව නිවේදනය කළේය. පළමු ණය වූ ඇ.ඩො. බිලියන 1.2 ක් නොගෙවා හැරීම එළඹි සඳුදා දිනයේ සිදුවිය. ණය පැහැර හරින බවට කළ නිවේදනය අර්බුදය තව තවත් දරුණු අතට හැරවූයේය. විදේශ විනිමය හුවමාරු අනුපාතිකය කඩා වැටිණි. උද්ධමනය ඉහළ ගියේය. ඒ.ටී.එම්. යන්ත්‍රවලින් මුදල් නිකුත් නොකෙරිණි. තැන්පතුකරුවන් වෙත මුදල් ගෙවාගන්නට බැංකුවලට නොහැකි විය. ආර්ථිකය හැකිලීමේ ප්‍රතිඵලයක් ලෙස, රජයේ ණය, 2021 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 500 සමීපයට පැමිණියේය.
මැද පෙරදිග ස්විට්සර්ලන්තය
1970 ගණන්වලට පෙර ලෙබනනය හැඳින්වූයේ මැද පෙරදිග ස්විට්සර්ලන්තය යනුවෙනි. හිමෙන් වැසුණු සුන්දර කඳු මුදුන් හා ඒවායින් පහළට රූරා යමින් හිම ක්‍රීඩා කරන බෑවුම්, විශාල රන් සංචිත තොග, බටහිර ආසියාවේ හොඳම බැංකු ක්‍රම, දිව පිනවන චොකලට් අලෙවි කරන සාප්පු, මිදි වතු හා වයින් ද ලෙබනනයේ බහුලව තිබිණි. ලෙබනන් සමාජය, ඊට දුන් සුරතල් නාමය සාධාරණීකරණය කරන්නා වූ භද්‍ර ඝටයක් හා සමාන වූයේය. 2009 දී නියෝර්ක් ටයිම්ස් පුවත්පත ලෙබනනයේ අගනගරය වූ බීරුට් නුවර ලොව අංක එකේ සංචාරක පරාදීසය බවට නම් කළේය. ලොව කිසි තැනකට නොපරදින ලෙස පිරිනමන ආගන්තුක සත්කාරය නිසාත්, සිත් සනහාලන නිශා ජීවිතයත් හේතු කොට ගෙන බීරුට් නුවරට ඒ තැන ලැබුණේය.
ස්විට්සර්ලන්තයේ තීරණ ගැනීම සිදුවන්නේ රටේ විවිධ මට්ටමේ හැමදෙනා එකතු වී සිදුකරන ක්‍රියාවලියක් ලෙසයි. මෙම ස්කැන්ඩිනේවියානු රටේ දේශපාලනය තුළ පාලක පක්ෂ හා විරුද්ධ පක්ෂය අතර බෙදීයාමක් නොමැත. එහි ප්‍රතිඵලයක් ලෙස සාමය හා සමෘද්ධිය උදාවී තිබේ. බටහිර ආසියානු රටක් වූ ලෙබනනයද විවිධ වර්ගයේ ජනයා අතර, එකමුතුව පවත්වා ගත් නමුත් 1970 ගණන්වල මුල් භාගයෙන් අනතුරුව ඒ සියල්ල වෙනස්වී ගියේය.
ලෙබනනයේ විවිධ ප්‍රජාව අතර බෙදා පාලනය හටගත් පසු ගැටුම් කරණ කොට ගෙන රාජ්‍ය ව්‍යුහය ක්‍රමයෙන් දුර්වල වන්නට පටන් ගත්තේය. වසර 30 ක් තුළ රටේ දේශපාලන අසහනය හටගත් අවධි දෙකක් තිබිණි. රටේ අවුරුදු 15 ක් තිස්සේ පැවැති සිවිල් යුද්ධය 1990 දී අවසන් විය. එහෙත් 2005 සිරියානු හමුදා බළකා පැමිණෙන තුරු රටම ගැටුම්වලට භාජන වී තිබිණි.
සාමකාමී පශ්චාත් යුද අවධියේ ලෙබනනය ලෝකයේ සංචාරකයන් ඇදගන්නා රටක් බවට පත්වුවද එම සංචාරක පරාදීසය මූලික වශයෙන් වෙනස් වූයේ දේශපාලනය නිසාය.
පශ්චාත් යුද අවධියේ ආර්ථිකය
තිස් අවුරුදු යුද්ධයෙන් සහ කලබලකාරී වාතාවරණයෙන් පසු පශ්චාත් යුද අවධියේදී ලෙබනනයේ පැවැති ස්විට්සර්ලන්තය හා සමාන පෙනුම වියැකී ගියේය. පශ්චාත් යුද අවධියේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවට සිදු වූයේ අද පවතින අර්බුදය හට ගැනෙන තත්ත්වයට පත්වෙන පරිදි රට ආපස්සට යාමයි. අර්බුදය හෙමිහිට ක්‍රමයෙන් ගොඩ නැගුණ අතර බිඳවැටීම හිටි හැටියේම සිදු වූයේය.
ලෙබනන ආර්ථිකයට වසංගතයෙන් පහර වදින විට බිඳ වැටීමට අවශ්‍ය පූර්ව කොන්දේසි ඒ තුළ පූර්ණත්වයට පත්විය. වසංගතයෙන් සිදුවූයේ කඩා වැටීම ඇරඹීම පමණකි. අද දින වනවිට අර්බුදයෙන් පීඩා විඳින්නේ රට පාලනය කරනු ලබන ප්‍රභූවරුන් නොව සාමාන්‍ය ලෙබනන් ජනතාවයි. අර්බුද තත්ත්වය තුළ ගැටලුවලින් බේරී සිටින්නේ කෙසේද යන්න දේශපාලකයෝ දනිති. අර්බුදයෙන් වාසි ලබන ආකාරයද ඇතැම් විට ඔවුහු දනිති.
2021 බිඳ වැටීමේදී ලෝක බැංකුව, ලෙබනන් ඉකොනොමික් මොනිටර් (LEM) සඟරාව නිකුත් කළ කලාපයේ සිරස්තලය වූයේ ‘හිතාමතා හදාගත් අවපීඩනය’ (The Deliberate Depression) යන්නයි. පෙර නොවූ විරූ අර්බුදයක් කරා සාමාන්‍ය ජනතාව තල්ලුකර දැමීම ගැන එයින් දෝෂාරෝපණ එල්ල කරන ලද්දේ පශ්චාත් යුද අවධියේදී දීර්ඝ කාලයක් පුරා රට පාලනය කළ ඉහළ පෙළේ ප්‍රභූ දේශපාලකයන්ටයි. එයින් අදහස් වන්නේ ලෙබනනය තුළ ඇති කළ අවපීඩනය රටේ පාලක දේශපාලනඥයන් හිතාමතාම ඒ කරා මෙහෙයවූවක් බවයි.
උමගේ කෙළවර
ලෙබනන ආර්ථිකය අර්බුදයෙන් ගොඩ ගන්නට අවසානයේ පිහිටට සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණි. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා යථා තත්ත්වයට පත්වීම සඳහා ඉදිරිපත්ව ඇති පූර්ව කොන්දේසි ඉතාමත් දැඩි ඒවාය. රාජ්‍ය බදු ආදායම් ප්‍රතිසංස්කරණ සඳහා සැලසුම් රටාවක් සකස් කිරීම, ණය ගෙවාගත නොහැකිව බංකොලොත් භාවයට පත්ව ඇති බැංකු අංශය ප්‍රතිසංස්කරණය, මහ බැංකු විගණන, රජයට අයත් පාඩු ලබන බලශක්ති බලාගාර කොම්පැනි ප්‍රතිව්‍යුහගතකරණය එම පූර්ව කොන්දේසිවලට අයත් වේ.
සැබැවින්ම කොන්දේසි පනවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ක්‍රියාකාරී සැලැස්මක් ඇතිව ලෙබනනයේ ආණ්ඩුව සාකච්ඡා මේසයට පැමිණීමයි. ඉන් අදහස් වන්නේ ලෙබනන් ආණ්ඩුවට හිස් අතින්, මුදා ගැනීමේ පැකේජයක් ගැන සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා නොහැකි බවය.
රොයිටර් වාර්තාව පවසන පරිදි, ලෙබනන් ආර්ථිකය යළි යථා තත්ත්වයට ගෙනඒමේ වැඩපිළිවෙළට, විධිමත් ලෙස ණය ගෙවීමේ හැකියාව තහවුරු කර ගැනීමට අවශ්‍ය රාජ්‍ය බදු ආදායම් ප්‍රතිසංස්කරණය, මූල්‍ය අංශය ප්‍රතිසංස්කරණය, විදුලි අංශයේ ප්‍රතිසංස්කරණය, දූෂණ විරෝධී වැඩසටහන්, විශ්වාසදායී මූල්‍ය හා විනිමය හුවමාරු ක්‍රමයක් අනිවාර්යයෙන්ම ඇතුළත් කොට තිබිය යුතුය.
මූල්‍ය අංශය ප්‍රතිසංස්කරණය කිරීමේදී ප්‍රාග්ධන පාලනයක් පැනවීම අවශ්‍ය වේ. ඒ සමගම බැංකුකරණයේ රහස්‍යභාවය ද සංශෝධනය කළ යුතු වේ.
මෙම තත්ත්වය විෂ්ලේෂණයට ලක් කරන අය කියා සිටින පරිදි මෙහිදී ගැටලුව වන්නේ තමන්ට වාසි සහගත තත්ත්වයන්ට තර්ජනයක් ඇතිවන ප්‍රතිසංස්කරණ කිරීමට දේශපාලනඥයන් කැමැති කරවා ගන්නේ කෙසේද යන්නයි. ඔවුන්ගේ දේශපාලන දෘෂ්ටියෙන් බැලූවිට අර්බුදයේ පැවැත්ම තෝරා ගැනීම එය විසඳන්නට ගොස් පහර කනවාට වඩා හොඳය.
(***)
2022/3/6 Sunday Times
පත්‍රයේ පළමු Rule of the Game of Debt ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ