බදු පැනවීම් සම්බන්ධ කතා බහ සමාජය තුළ නැවත සාකච්ජාවට ලක්වෙමින් තිබෙන බව පෙනේ. මේ සම්බන්ධ මූලික සාකච්ජාවකට පෙර බදු ප්‍රතිපත්තිවල ආර්ථිකමය හා දේශපාලනමය පසුබිම සොයා බැලීම අවශ්‍ය වේ. බදු සම්බන්ධයෙන් අද බොහෝ විට අවධානය යොමුවන්නේ එය ආර්ථික සංකල්පයක් වශයෙන් පමණි. එහෙත් එහි දේශපාලන පැතිකඩක් ද ඇති බව අපි අමතක නොකළ යුත්තෙමු.
දේශපාලන ආර්ථික සංකල්පය තුළ අප කතා කරන ප්‍රධාන කාරණය නම් ආර්ථික ක්‍රියාවලියෙහි රාජ්‍ය මැදිහත්වීමයි. එබැවින් ආර්ථිකය කිසි විටෙක දේශපාලනයෙන් වියුක්ත කොට තැබිය නොහැකිය. රජය ප්‍රධාන වශයෙන් ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වන්නේ බදු අය කිරීම එනම් රාජ්‍ය ආදායම් සහ රාජ්‍ය වියදම් යන අංශ වලිනි. මේ රාජ්‍ය මැදිහත්වීම දේශපාලන ක්‍රියාවලියකි.
විවිධ දාර්ශනිකයන් බදු සම්බන්ධව දේශපාලනික හා ආර්ථික වශයෙන් ඉදිරිපත් කළ මතවාද අතර කැපී පෙනෙන එකක් වන්නේ ලිබරල්වාදයයි. අද වන විට එහි විකාශනයක් දැකිය හැකිය. එහි කොටස් තුනක් ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිය. පළමුවැන්න නම් සම්භාව්‍ය ලිබරල්වාදයයි. ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇඩම් ස්මිත් ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයෝ මෙම සංකල්පයෙහි පුරෝගාමී වූහ. එය ධනවාදය මත පදනම් වූ ක්‍රියාවලියකි. සම්භාව්‍ය ලිබරල්වාදීන්ගේ අදහස වූයේ රාජ්‍ය මැදිහත්වීම ඉතාම අවම කිරීමයි. සියලු ආර්ථික කටයුතුවලින් රජය ඉවත් විය යුතුය යන මතය ඔවුහු දැරූහ.
ඒ වෙනුවට ඔවුන් පෙන්වා දුන්නේ නිදහස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වයේ වැදගත්කමය. ලිබරල්වාදයේ දෙවැනි අවස්ථාව නූතන ලිබරල්වාදයයි. මෙහිදී යම් ප්‍රමාණයකට රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යතාවක් ලෙස සැලකේ. සම්භාව්‍ය ලිබරල්වාදී ක්‍රියාවලිය තුළ දරිද්‍රතාව සහ ආදායම් පරතරය වැඩිවීම, සුබසාධනමය හා සමාජමය වශයෙන් ඇති වූ බලපෑම්, ලාභය මත සියල්ල පදනම් වීම ආදී කාරණා මීට බලපෑ බව පෙනේ. නූතන ලිබරල්වාදයේ දී රජයේ මැදිහත්වීම විශේෂයෙන් අවශ්‍ය වූයේ සුබසාධනමය කටයුතු වෙනුවෙනි. අද අප කතාකරන සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය තුළ ක්‍රියාත්මක වන්නේ මේ කියන නූතන ලිබරල්වාදී ක්‍රියාවලියයි. එහිදී සිදුවන්නේ සුබසාධනමය කාර්යභාරය රජයට පැවරෙන අතරේ සාමාන්‍ය වෙළෙඳපොළ ක්‍රමය යටතේ ක්‍රියාත්මක වීමය. මෙහිදී ඇතිවූ ගැටලුව නම් රජයේ සුබසාධනය එනම් රාජ්‍ය වියදම් සැලසුම් කරන්නේ කෙසේද යන්නයි. සුබසාධන ක්‍රියාව නැංවීම නිසා සිදු වූයේ රාජ්‍ය මූල්‍ය එනම් අය වැය හිඟ ඇතිවීමය.
ලිබරල්වාදයේ තුන් වැනි විකාශන අවස්ථාව ලෙස සැලකිය හැක්කේ නව ලිබරල්වාදයයි. එය ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේ 1980 න් පසු කාලයේය. නව ලිබරල්වාදී ප්‍රතිපත්තිය සඳහා මූලික වූ ප්‍රධාන රටවල් දෙකක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පෙන්වා දිය හැකිය. නව ලිබර්ල්වාදී ආර්ථික ප්‍රතිපත්තියක් ඇමෙරිකාවට හඳුන්වා දුන්නේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් මහතාය. එතැන් සිට එය හැඳින්වූයේ ‘රේගන් ආර්ථික’ විද්‍යාව නමිනි. එක්සත් රාජධානියේ එවකට සිටි අගමැතිවරිය වන මාග්‍රට් තැචර් මහත්මිය රේගන්ට සමගාමීව එක්සත් රාජධානියේ නව ලිබරල්වාදී ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවූවාය. එය හැඳින්වූයේ ‘තැචර් වාදය’ නමිනි. මේ කියන නව ලිබරල්වාදයෙන් සිදු වූයේ රටක ඉහළ ආදායම් ලබන පාර්ශ්ව වඩ වඩාත් ශක්තිමත් කිරීමෙන් ආර්ථික වර්ධනය ඇති කිරීමය. එසේ ඉහළ ආදායම් හා ලාබ ලබන ව්‍යාපාරවලට බදු සහන ලබා දීමට ඔවුහු උනන්දු වූහ. ඔවුන්ට ලබා දෙන බදු සහන නැවත ආයෝජනය කොට නිෂ්පාදනය වැඩි කර රැකියා උත්පාදනය කොට එම අවස්ථා සමාජයේ පහළ පන්තියට ගලා යාමට සැලැස්වීම මෙහි අරමුණ විය.
එහෙත් ගැටලුව වූයේ එම අවස්ථා කොතෙක් දුරට පහළ සමාජය වෙත ගලා ගියේ ද යන්නයි. මෙයින් සිදු වූයේ එක් පැත්තකින් රජය බදු අඩු කිරීම නිසා රාජ්‍ය ආදායම අඩු වීමය. අනෙක් පැත්තෙන් රජය අපේක්ෂා කළ ප්‍රතිලාභ පහළ සමාජයට නොගොස් ඉහළ පන්තිය තුළම රැදීම නිසා පහළ පන්තිය වෙනුවෙන් සුබසාධන අවස්ථා සඳහා නැවත වියදම් දරන්නට සිදු වීමය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ රාජ්‍ය මූල්‍ය හිඟ ඇතිවීමය. නව ලිබරල්වාදී ප්‍රතිපත්තියෙන් පෙන්වා දෙන ආර්ථික සැලසුම සාර්ථක වුවත් එය නිසියාකාරව ක්‍රියාත්මක නොවුණොත් වඩාත් අයහපත් ප්‍රතිඵල ලැබෙන බව මෙයින් පැහැදිලිය. බදු යන්න හුදු ආර්ථිකමය විචල්‍යයක් නොව දේශපාලන ආර්ථික විචල්‍යයක් බව තේරුම් ගැනීම මෙහි දී වඩාත් වැදගත්ය. මෙයින් යම් කෙනෙක් හා ආර්ථිකයක් ශක්තිමත් කිරීම මෙන්ම දුර්වල කිරීම ද කළ හැකිය. එබැවින් බදු යනු එක්තරා විදියක දේශපාලන ආයුධයක් ලෙස ද සැලකිය හැකිය.
අද අප සිටින්නේ පරිභෝජනවාදී සමාජයක් තුළය. මෙවැනි ක්‍රමයක් තුළ ඉහළ ආදායම් ලබන්නන්ගේ වියදම කියන කාරණය වැදගත් එකකි. රාජ්‍ය වියදම් හා සුබ සාධන සඳහා බදු අය කර ගැනීමට ආණ්ඩුවකට අනිවාර්යයෙන් සිදු වේ. අනෙක් පැත්තෙන් අප පරෙස්සම් විය යුතු කරුණ නම් එම බදු අය කරන විට නිෂ්පාදනයට හා පරිභෝජනයට ඇති කෙරෙන බලපෑමය. අද වන විට ප්‍රධාන වශයෙන් පරිභෝජනවාදී ආර්ථිකයක් තුළ බදු මගින් සිදුවන්නේ වැය කළ හැකි ආදායම අඩු වීමය. එයින් වියදම් කිරීම අඩු වේ. වියදම යනු පරිභෝජනවාදය තුළ ඉතාම වැදගත් සාධකයක් සේ සැලකෙන්නකි. හැකි තරම් වියදම් කිරීමට අවස්ථාව ලබාදීම නිෂ්පාදනයට ධනාත්මකව බලපාන්නකි. රජයක් මේ සම්බන්ධයෙන් පරෙස්සම් විය යුත්තේ මේ නිසාය. නවලිබරල්වාදය තුළ ඉහළ ආදායම් ලබන්නන්ගේ බදු අඩු කිරීමට හේතුව මෙයයි.
ශ්‍රී ලංකාවේ දැනට බදු සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්වය දැන් සැලකිල්ලට ගනිමු. බදු අය කර ගැනීම ක්‍රම දෙකක් ඔස්සේ සිදුවේ. එනම් ඍජු බදු හා වක්‍ර බදු වශයෙනි. ලංකාව ණය සම්බන්ධයෙන් මුහුණ දෙන ගැටලුවේදි ණය ස්ථායිකරණ ක්‍රියාවලියේ දී බලපාන කාරණයක් නම් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයි. එයින් අදහස්වන්නේ රජය තම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් හිඟය අවම කිරීමේ ක්‍රියාවලියක් වෙත ගමන් කිරීමය. මේ සඳහා යා හැකි ක්‍රම දෙකක් වේ. රාජ්‍ය ආදායම පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ඉන් එකකි. බදු ආදායම වැඩි කිරීමෙන් හිඟ අය කර ගැනීම එයින් සිදුවේ. දෙවැන්න රාජ්‍ය වියදම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයි. එයින් සිදුවන්නේ වියදම් කපා හැරීම තුළින් හිඟ අඩු කිරීමයි.
ලංකාව පැත්තෙන් ගත්තොත් ශ්‍රී ලංකා රජය ප්‍රමුඛස්ථානය ලබා දී ඇත්තේ ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවක් වෙතය. පසුගිය කාලය තුළ ඍජු බදු හා වක්‍ර බදුවල ඇති කළ වෙනස්කම් අනුව ඒ බව පැහැදිලිය. ඉදිරියේදී ද දේපල මත පදනම් වු බදු සම්බන්ධ යෝජනා ආදිය ඉදිරිපත්ව තිබේ. සංවර්ධනය වෙමින් පවත්නා රටකට රාජ්‍ය වියදම ඉතාම වැදගත් වේ. අප වැනි රටක බොහෝ සුබසාධන අවශ්‍යතා කපා හැරිය නොහැකිය. ආදායම් මත බදු අය කරගැනීමේ ක්‍රමවේදයකට යොමුවන්නේ මේ නිසාය.
අනුගමනය කරන්නේ මේ පිළිවෙත නම් වැඩි කළ යුත්තේ කුමන බදු ද යන්න ඊළඟ වැදගත් ප්‍රශ්නයයි. එනම් ඍජු බදුද? වක්‍ර බදුද? යන්නයි. අප වැනි රටක වක්‍ර බදු අය කර ගැනීම යම් තරමකට ඍණාත්මක විය හැකිය. වැඩි වශයෙන් අඩු ආදායම් ලාභීන් සිටීම ඊට හේතුවයි. ඍජු බදු අය කර ගැනීම ද කළ යුත්තේ පරෙස්සමිනි. හේතුව ඉහළ ආදායම් ලබන පුද්ගලයන් මත බදු අය කිරීම පරිභෝජනවාදී ආර්ථිකයක් තුළ බොහෝ විට විනාශකාරී වන්නට ද හැකි වීමය. මෙබදු ආර්ථිකයක දී පාරිභෝගිකයා සහ ආයතන සමග කෙරෙන වියදම ඉතාම වැදගත් වේ. ඍජු බදු හේතුවෙන් වියදමට යම් බලපෑමක් සිදුවිය හැකිය. ආර්ථිකයේ නිෂ්පාදනය පවත්වාගෙන යන්නේ මේ කියන වියදම මතය.
ආර්ථිකය යනු කළමනාකරණය කළ යුතු දෙයකි. එය පරෙස්සමින් කළ යුත්තකි. එහෙත් ලංකාවේ තත්වය සලකා බැලුවොත් පවත්නා ආර්ථික අර්බුදය සහ ණය ගැතිභාවය සමග ආවේගශීලී බදු ක්‍රමයකට ගමන් කරමින් සිටින බව පෙනේ. මෙබදු තත්වයකට පත්වීමට හේතු වී ඇත්තේ පසුගිය කාලය පුරා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රමානුකූලව කළමනාකරණය නොකිරීමය. එක් පැත්තකින් එම ආවේගශීලී බදු ක්‍රමය රටේ පරිභෝජන හා නිෂ්පාදන ක්‍රියාවලියට බලපාන්නට පුළුවන. අනෙක් පැත්තෙන් පහළ ආදායම් ලබන අයටද එහි බලපෑම ඇතිවිය හැකිය.
සාර්ව ආර්ථිකයක ප්‍රධාන අරමුණු දෙකක් දැකිය හැකිය. එකක් නම් ස්ථායිකරණ අරමුණුය. අනෙක වර්ධන අරමුණුය. රෝගයක් ශරීරගතවී කෙනෙකුගේ ශරීර උෂ්ණත්වය ඉහළ යාම රෝග ලක්ෂණයකි. අපේ රටේ ආර්ථිකයට සිදු වී ඇත්තේත් එවැන්නකි. රටේ උද්ධමනය වැඩිවනවිට විදේශ විනිමය අනුපාතය පහළ යන විට ඒවා ආර්ථිකයේ රෝග ලක්ෂණ වේ. ශරීර උෂ්ණත්වය ඉහළ යන විට අප පුරුදු වී සිටින්නේ පැරසිටමෝල් පෙති දෙකක් ගෙන තාවකාලික සහනයක් ලබා ගැනීමටය. දිගින් දිගටම පැරසිටමෝල් ගැනීමෙන් අප කරන්නේ එම රෝග ලක්ෂණය පාලනය කරගැනීමය. ආර්ථික ස්ථායිකරණය තුළද අප කරන්නේ ආර්ථික රෝගයට පිළියම් නොකොට තාවකාලික ප්‍රතිකාර ගැනීමය. ඒ යටපත් කිරීම තුළ පෙර පැවැති රෝගයටත් වඩා දරුණු රෝගයක් ඇති විය හැකිය.
පැරසිටමෝල් ගන්නා වැනි කෙටිකාලීන ආර්ථික ප්‍රතිපත්තිය නම් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියයි. ආර්ථික අර්බුදය වැඩිවන විට බදු හා රාජ්‍ය වියදම් අඩු වැඩි කොට ස්ථායිකරණය කිරීමය. දෙවැන්න එම තාවකාලික ස්ථායිකරණයට අමතරව දීර්ඝකාලීන වර්ධනය පිළිබඳ අවධානය යොමු කිරීමය. මේ අනුව බදු වැඩි කිරීම සහ වියදම් අවම කිරීම පමණක් දීර්ඝ කාලීනව විසඳුම් ලබා දෙන්නක් නොවේ. ආර්ථිකයේ රෝගය හඳුනා නොගෙන දිගටම පැරසිටමෝල්ම දෙමින් සිටියොත් අනාගතයේ කුමනාකාරයේ රෝගාබාධයක් ආර්ථිකයට වැළැදේදැයි කිව නොහැකිය. වර්ධන අරමුණු සඳහා වන ප්‍රතිපත්ති ඛාණ්ඩය වෙත අප අවධානය යොමු කළ යුත්තේ ඒනිසාය. උදාහරණ ලෙස ආයෝජන ප්‍රතිපත්ති, තාක්ෂණික කාරණා ආදිය දැක්විය හැකිය. මෙයින් අරමුණු වන්නේ නිෂ්පාදනය වර්ධනය කිරීමය. එය දිගු කාලීන සැලසුමක් අනුව ක්‍රියාත්මක විය යුතුය. ආර්ථිකයේ ප්‍රධාන රෝගය හඳුනාගෙන නිශ්චිත ප්‍රතිකාරය ලබාගත හැක්කේ එයිනි.
අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ අවධානය අනුව 2025 වන විට ලංකාවේ රාජ්‍ය ආදායම දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක මට්ටමට ගෙන ආ යුතු බව පැහැදිලිය. දැනට ඇති දත්ත අනුව 2024 අවසානය වනවිට 13.5 ක මට්ටමකට රාජ්‍ය ආදායමේ වර්ධනයක් දැකිය හැකිය. සියයට 1.5 ක් වැනි හිඟයක් තවමත් පවතින බව මේ අනුව පෙනේ. නව බදු හඳුන්වා දීමට යන්නේ මේ හිඟය පියවා ගැනීමට බවද පෙනෙන්නට තිබේ. දේපළ මත අය කෙරෙන බද්ද පිළිබඳ නව යෝජනාව ද මින් එකකි. එහෙත් මේ තාවකාලික ආවේගශීලී බදු ක්‍රම මත පමණක් දිගු කාලීන සාර්ථක පිළියම් සෙවීමට යාම මොන තරම් ප්‍රායෝගික ද යන්න විමසා බැලිය යුත්තකි.
(*** සටහන – ගාමිණී කන්දේපොළ)