ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේ ඔක්තෝබර් මාසයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසමට හැකියාවක් නැති වුවද ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික ජන බලවේගය දැනටත් තම ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කොට ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම ජාතික ජන බලවේගයේ ද නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පසුගිය සඳුදා රූපවාහිනී දේශපාලන වැඩසටහනක දී තම පක්ෂයේ (ජ.ජ.බ) ජනාධිපති ධුර අපේක්ෂකයා තමන් බව පැවසීය. තමාගේ නම මේ සඳහා යෝජනා කොට පක්ෂයේ විධායක සභාවට ඉදිරිපත් කෙරුණු බවත් විධායක සභාව එය අනුමත කළ බවත් ඒ මහතා එහි දී ප්‍රකාශ කළේය.
නීතිය අනුව ජනාධිපතිවරණයට තවත් මාස 12ක් පමණ තිබිය දී ජාතික ජන බලවේගය පමණක් තම අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම තරමක් කුතුහලය දනවන්නකි. ජාතික ජනබලවේගයේ මෙම තීරණයට හේතු දෙකක් අනුමාන කළ හැකිය. පළමුවැන්න තම නිල කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරණයක් පවත්වන්නට හැකි වන අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරන බවට පැතිර යන ආරංචිය මින් එකක් විය යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි සංශෝධනය අනුව ප්‍රථම වතාවට පත්වූ ජනාධිපතිවරයකුට තම නිල කාලයෙන් වසර හතරක් ඉක්ම ගිය පසු අවශ්‍ය නම් තවත් ධුර කාලයක් සඳහා ජනවරමක් ඉල්ලීමට එනම් ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකියාව තිබේ. එහෙත් ජනාධිපතිවරයකුගේ මරණය නිසා හෝ ඉල්ලා අස්වීම නිසා හෝ පාර්ලිමේන්තුව විසින් පත් කෙරෙන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට මියගිය හෝ ඉල්ලා අස්වූ ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන තෙක් බලයේ සිටිය හැකි මුත් එම නිල කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට නීතියෙන් අනුමැතියක් නැත.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාලයෙන් ඉතිරි වී ඇති කාලය සඳහා එනම් ලබන වසරේ ඔක්තෝබර් තෙක් පත් කෙරුණු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම ඉතිරි කාලය තුළ ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට ලබන වසරේ මුල හෝ මැද දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට වික්‍රමසිංහ මහතා සැලසුම් කරන බවට රාවයක් පැතිර ගොස් ඇත්තේ මේ පසුබිම තුළය. ඒ අනුව තම මැතිවරණ කටයුතු කල් තබා සැලසුම් කිරීම සඳහා ජාතික ජන බලවේගය දැන්ම තම අපේක්ෂකයා තීරණය කොට ප්‍රකාශයට පත් කළා විය හැකිය.
අනුමාන කළ හැකි දෙවැනි කාරණය නම් මැතිවරණ කල් දමමින් හා විරුද්ධ මත බලයෙන් මර්දනය කරමින් ආණ්ඩුව කටයුතු කරන තත්ත්වය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා සියලු විරුද්ධ පක්ෂ එක්ව කටයුතු කළ යුතු යැයි ඇතැම් විරුද්ධ පක්ෂ විසින් කරනු ලබන යෝජනාව හමුවේ මැතිවරණයක දී තමන්ගේ දේශපාලන ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ජාතික ජන බලවේගය තම අපේක්ෂකයා දැන්ම ප්‍රකාශයට පත් කළේය යන්නයි.
2018 න් පසු මේ රටේ පළාත් පාලන මැතිවරණ පැවැත්වී නැත. 2014න් පසු පළාත් සභා මැතිවරණ පැවැත්වී නැත. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණ මේ වසරේ මාර්තු 19 වැනිදා දක්වා කල් දැමිණි. ඉන්පසු මැතිවරණ කොමිෂන් සභාව එම මැතිවරණ මේ වසරේ මාර්තු 9 වැනිදාට යොදා ගත්තේය. එහෙත් මුදල් අමාත්‍යාංශය මැතිවරණ සඳහා මුදල් නිකුත් නොකිරීම නිසා එම මැතිවරණ දින නියමයක් නැතිව කල් දමන්නට සිදුවිය.
2017 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පළාත් සභා මැතිවරණ පනතට ගෙන එන ලද සංශෝධනයක් හේතුවෙන් 2017, 2018 හා 2019 යන වසරවලදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා මැතිවරණ අද දක්වාම පැවැත්වීමට නොහැකිවී තිබේ. ඉමහත් ආන්දෝලනයට තුඩුදී ඇති 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමේ යෝජනාව පිළිබඳ ගැටලුව නිරාකරණය වීමෙන් පසු එම මැතිවරණ පැවැත්වෙනු ඇතැයි දැන් ජනාධිපතිවරයා පවසයි. ඒ අනුව එම මතිවරණයට කවදා පැවැත්වේදැයි කිව නොහැකි තත්ත්වයට පත්ව තිබේ.
පළාත් පාලන මැතිවරණවලට අයවැයෙන් වෙන් කරන ලද මුදල් රඳවා තබා නොගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මාර්තු මාසයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේය. ලේකම්වරයා එම නියෝගය මුදල් මුදල් ඇමැතිවරයා වූ ජනාධිපතිවරයා වෙත යොමු කළේය. එහෙත් එම මුදල් නිකුත් නොකෙරිණි. එහෙත් ඒ වෙනුවට එම නියෝගය කළ විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කාරක සභාව හමුවට කැඳවීමේ අදහසක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කළේය.
අනෙක් අතට පසුගිය වසරේ පැවැති ජන අරගය හමුදාව යොදා මර්දනය කිරීමෙන් පසු ආණ්ඩුව කිසිදු විරෝධතාවකට ඉඩ නොදීමේ ස්ථාවරයක සිටින බව පෙනේ. වෙනෙකක් තබා තනි පුද්ගලයන් සටන් පුවරු රැගෙන මහා මාර්ගයේ ගමන් ගත් අවස්ථාවලදී ද පොලිස් නිලධාරීන් විශාල පිරිසක් වටවී එම පුද්ගලයන්ගේ විරෝධතා නවත්වනු ලැබීය.
අනෙක් අතට සෞඛ්‍ය සේවාවේ මහා කඩා වැටීමක් දක්නට ඇත. මතභේදකාරී ඖෂධ හා එන්නත් නිසා රෝගීන් මිය යන බවට බොහෝ වාර්තා පළවේ. ඖෂධ හිඟය හා දිනෙන් දින උග්‍රවන වෛද්‍යවරුන්ගේ හිඟය නිසා රෝගී ජීවිත පිළිබඳ බියක් ද පැතිර යමින් තිබේ. මේ අතර රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) රැස්වීම්වල දී හෙළිවන්නේ සියලුම රාජ්‍ය ආයතනවල මහජන මුදල් කොල්ලකෑම ඉතා දරුණු ලෙස සිදුවන බවය. එහෙත් ඒවා පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගයක් ද නැති තරම්ය. ඒවාට එරෙහි වීමට ද නොහැකිව තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සාමූහික ක්‍රියා මාර්ග අවශ්‍ය බවට හඬ නැඟෙන්නේ ඒ පසුබිම තුළය.
එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා යැයි විරුද්ධ පක්ෂ ගන්නට අදහස් කරන ඒකාබද්ධ ක්‍රියාමාර්ග ද මැතිවරණ හවුල් ලෙස බොහෝ දෙනා සලකති. ඇත්ත වශයෙන්ම ඇතැම් දේශපාලන කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට දමාගෙන කරන්නට යන්නේද මැතිවරණ හවුල් සඳහා සගයන් සෙවීමයි. අනෙක් අතට මැතිවරණ හවුල් පිළිබඳ අදහසක් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම හා ආර්ථික පීඩනයට විරුද්ධවීම සඳහා ඇතිවන ගොනු වීම් ද මැතිවරණ හවුල් බවට පත්විය යුතු යැයි පසුව එසේ ගොනු වන්නන් තුළින්ම අදහස් මතුවිය හැකිය. ජනතාව තුළින් ද එවැනි බලපෑමක් ඇතිවිය හැකිය.
එවැනි බලපෑමක් ඇති වුවහොත් බොහෝ විට වෙනත් පක්ෂයක නායකයකු පොදු අපේක්ෂකයා විය හැකිය. ජවිපෙ හා ජා.ජ.බ පෙරට වඩා බොහෝ සෙයින් ජනප්‍රියව සිටින බව පෙනෙන තත්ත්වය යටතේ මෙය ඔවුනට ආවාසි සහගත විය හැකිය.
දැනටත් ආණ්ඩු විරෝධි ඒකාබද්ධ අරගලවලට ජවිපෙ හවුල් නොවන බවට ඇතැම් පාර්ශ්වලින් විවේචන එල්ලවී තිබේ. තමන් පිළිබඳ අධි තක්සේරුවක ජවිපෙ සිටින බවට ද එම විවේචකයෝ පවසති. එහෙත් ඒ අතරම එවැනි ඒකාබද්ධ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජවිපෙ යම් යම් පිරිස් සමඟ සාකච්ඡා කරන විට ඔවුන් දූෂිතයන් හා ගනුදෙනු කරන බවට ද චෝදනා කෙරේ. මෙය ජවිපෙට තරමක් දුෂ්කර තත්ත්වයක් ගෙන දෙන්නකි.
උදාහරණයක් වශයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ප්‍රබලයකු වන ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ඔහු නායකත්වය දරන නිදහස් ජනතා සභාවේ පිරිසක් පසුගිය සතියේ බත්තරමුල්ලේ පැලවත්තේ පිහිටි ජවිපෙ මූලස්ථානයට ගොස් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡා කොට තිබිණි. දූෂිත පාලනයක හවුල්කරුවන්ව සිටි පිරිසක් සමඟ සාකච්ඡා කළ බවට එවිට සමාජ මාධ්‍යවල ඇතැමුන් අදහස් දක්වා තිබිණි.
ජවිපෙ හා ජා.ජ.බ. තුළ අලුතින් ගොඩනැඟී ඇති මැතිවරණ අපේක්ෂාවලට අමතරව අතීත මැතිවරණ හවුල්වල දී ලැබූ අහිමිරි අත්දැකීම් ද තනිව කටයුතු කරන්නට ජවිපෙට බල කොට ඇති බව පෙනේ.
වෙනම රාජ්‍යයකට සමාන පුළුල් බලතල සහිත කොටි සංවිධානයේ අන්තර් කාල ස්වයං පාලන අධිකාරිය (ISGA) පිළිබඳව එම සංවිධානය සමඟ සාකච්ඡා කරන්නට 2003 දී එජාප ආණ්ඩුව එකඟ වූ විට එය වැළැක්වීම සඳහා ජවිපෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත වී එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩ නගා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ලවා එජාප ආණ්ඩුව විසුරුවා හරින්නට කටයුතු කළේය.
එහෙත් ඔවුන් ද ආණ්ඩුවේ සිටිය දී 2005 දී කුමාරතුංග මහත්මිය ආණ්ඩුවේ පාලනය යටතේ තිබූ ප්‍රදේශ ද තමන්ගේ පාලනයට ගන්නා අයුරින් කොටි සංවිධානය ඉදිරිපත් කළ පශ්චාත් සුනාමි සහන මණ්ඩලය සඳහා වූ ගිවිසුමට අත්සන් කිරීමට ඉදිරිපත් වූ විට ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත් විය. එසේ වුව ද සටන් විරාම ගිවිසුම තවදුරටත් වලංගුව පැවැති තත්ත්වය යටතේ රනිල් වික්‍රමසිංහ මහතා යළිත් බලයට පත් වීම වැළැක්වීම සඳහා ජවිපෙ 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන්නේය.
රටේ දූෂණය ඉහවහාගිය තත්ත්වය යටතේ 2010 ජනාධිපතිවරණයේ දී ජ.වි.පෙ. මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීම සඳහා සරත් ෆොන්සේකා මහතාට සහාය දුන්නේය. එම අරමුණෙන්ම 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතාට වක්‍ර සහයෝගයක් දුන්නේය. ඒ එම කටයුත්ත ඔවුනට තනිව කළ නොහැකි නිසාය.
ජවිපෙ මෙසේ විටින් විට විවිධ පක්ෂවලට හා පුද්ගලයන්ට සහාය දුන්නේ තම ප්‍රධාන දේශපාලන අරමුණ ඉටුකර ගැනීමට නොව ක්ෂණික අවශ්‍යතාව අනුවය. එහෙත් දැන් ඔවුනට ඒවාට වග උත්තර බැඳීමට සිදුව තිබේ. දූෂිත රාජපක්ෂ පාලනය බලයට ගෙන එන්නට ජවිපෙ උපකාර කළ බව සමඟි ජන බලවේගය මෑතක දී පවසා තිබිණි. මේ අනුවද තනිව ගමනක යෙදෙන්නට ජවිපෙට තත්ත්වයන් විසින් බල කරනු ලැබ ඇති බව පෙනේ.
(*** එම්.එස්.එම්. අයුබ්)