තම රැකවරණය තමන්මය


ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්සේ නිරන්තරවම තම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ආරක්ෂාව උභය ලෝකාර්ථ සංසිද්ධියට අදාළව දේශනා කොට ඇති ආකාරය දැකිය හැකිය. ආරක්ෂාව පිළිබඳ සෙවීමේදී ආරක්ෂාව කුමක්දැයි සහ ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ ඇයි දැයි විමසා බැලිය යුතුය.

ආරක්ෂාව පිළිබඳ විවිධ මාන ඔස්සේ විමසා බැලිය හැකිය. එය ආධ්‍යාත්මික හා බාහිර වශයෙන් දෙවැදෑරුම්ය. මානව ඉතිහාසයෙහි ආරම්භක යුගයේ සියල්ලන්ගේම සම්මතයෙන් පාලකයකු පත් කර ගනු ලබනුයේ සියල්ලන්ගේ සම්මතයෙන් පත් කරගත් හෙතෙම මහාසම්මත නම් වූ බව සඳහන් කෙරේ. ඔහුගෙන් බලාපොරොත්තු වූයේ භූමියේ ආරක්ෂාව, ජීවිතයේ ආරක්ෂාව සලසා ගැනීමයි. ඉන් අදහස් කරනුයේ රටක ආරක්ෂාව හා ඊට ආවේණික භාෂා, සංස්කෘතික හා ජනතා විශ්වාසයන්ගේ සුරක්ෂිතතාවය. භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පූර්වයෙහි මතු නොව සංසාරයෙහි ද ලබා ඇති අත්දැකීම් පාදක කොට ගෙන ධාර්මික රාජ්‍ය පාලකයකුගේ භූමිකාව දසරාජ ධර්මාදියෙන් පෙන්නුම් කොට ඇත. බුදුරජාණන් වහන්සේ විවිධ රාජ්‍ය පාලකයන් සමග සමීපව ක්‍රියා කරමින් එම පාලකයන්ට ලබාදෙන ලද උසස් උපදේශ පිළිබඳ ධර්ම සාහිත්‍යයෙන් අනාවරණය වේ. බුද්ධ කාලයෙහි වුව ද දැහැමි හා අදහැමි පාලකයන් මතු නොව වගකීම් පැහැර හරිමින් දේශද්‍රෝහීව හා ජාතිද්‍රෝහීව ක්‍රියා කළ පාලකයන්ව සිටි බව ද අනාවරණය වේ.

භාග්‍යවතුන් වහන්සේ වඩාත් විශේෂිතව අවධානය යොමු කොට ඇත්තේ ආධ්‍යාත්මික ආරක්ෂාවේ ඇති වැදගත්කම පිළිබඳවය. එහෙත් සියල්ලන්ගේම ආකල්පය වන්නේ තමා පිළිබඳ වූ බාහිර ආරක්ෂාව පිළිබඳ පෙනී යයි. එසේ වීමට හේතු වන්නේ තමා පිළිබඳ විශේෂයෙන් බලපවත්වන මමායනය හෙවත් තමා පිළිබඳ දැඩි ඇල්ම බව නොරහසකි. වෙනත් ආකාරයකින් සඳහන් කළහොත් තමාට ඇති අසීමිත ආදරය නිසා බව සඳහන් කළ යුතුය. ඒ සඳහා පස්කම් සැප අසීමිතව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඕනෑම අපරාධයක් කිරීමට පසුබට වන්නේ නැත. පස් කම් සැප ළඟා කර ගන්නේ තමා පිනවීම සඳහා දරන උත්සාහයන්හිදී තම අපේක්ෂා ඉටු කර ගත නොහැකි සියලු අවස්ථාවලදී පුද්ගල මනස තුළ ක්‍රෝධය, වෛරය, පළිගැනීම ආදී විවිධ ලාමක ධර්මතාවෙන් මනස දූෂණය වේ. එසේ දූෂිත මනස විවිධ කායික හා මානසික රෝග පීඩාවන් සඳහා ද හේතුකාරක වන්නේ නිරායාසයෙනි. එපමණක් නොව සමාජය තුළින් නැගෙනා අප්‍රසාදය මෙන්ම සමාජ විරෝධී ක්‍රියා සඳහා සම්මත නීති රීති මගින් ලබා දෙන විසඳුම් ලැබීමෙන් පසුතැවීමට සිදුවීම තමාට ඇති ඇල්ම නිසා තමා විසින් තමාටම සිදු කර ගන්නා අනාදර සිදුවීම් බව ඉතා පැහැදිලිය. මෙබඳු සිදුවීම් හා බැඳුණු පුද්ගලයන් පිළිබඳව සර්වඥතා ඤාණයෙන් දුටු තථාගතයන් වහන්සේ සැබෑ වශයෙන්ම තමාට තමා ඇලුම් කරන්නේ නම් ක්‍රියා කළ යුතු ආකාරය ඉතා මැනවින් දේශනා කළ යුතු ආකාරය ත්‍රිපිටක ධර්මයෙන් දැක ගත හැකිය.

ධම්මපදපාලියෙහි 157 වැනි ධර්මයෙන් උන්වහන්සේ විසින් මෙසේ පෙන්නුම් කොට වදාළහ.

අත්තානං චෙ පියං ජඤ්ඤා
රක්බෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණං අඤ්ඤතරං යාමං
පටිජග්ගෙය්‍ය පණ්ඩිතො

මින් පැහැදිලි කොට ඇත්තේ තමන්ට තමන් කැමති නම් තුන් වයසේදීම කළ නොහැකි වන්නේ නම් ඉන් එක් භවයකදී මෙන් තමා සුරක්ෂිත කොට ගත යුතු බවයි. මෙහිදී තුන් කල් වශයෙන් දක්වා ඇත්තේ තුරුණු විය, මැදි විය හා මහලු වියයි. භාග්‍යවතුන් වහන්සේ මෙම උතුම් ධර්ම දේශනය පැවැත්වීමට හේතු වූයේ සර්වකාලීනව පුද්ගලයන්ට මුහුණ දීමට ඇති සිදුවීමක් පාදක කොට ගැනීමෙනි. එනම් එදත්, අදත්, හෙටත් ලෝකයෙහි බොහෝ අඹු සැමියන් මුහුණ දෙන දරු සම්පත් ලබාගැනීමේ නොහැකියාව පිළිබඳ ගැටලුව ප්‍රකට සමාජ සංසිද්ධියකි. වර්තමානයේදී ද ඉසුරුමත්බවින් අනූන වූයේ නමුදු දරුවෙකු ලැබී මවක් පියෙක් වීමේ අපේක්ෂාව සපුරා ගත නොහැකිව මානසිකව වේදනා විඳින දෙමහල්ලන් පිළිබඳ අසන්නට දකින්නට ලැබේ. ඒ පිළිබඳ නව විද්‍යාත්මක ක්‍රමෝපාය අයත් නළ දරු උපතක් හෝ සිදු කර දරුවකු ලබාගත නොහැකි වූ ස්වාමි භාර්යාවන් ද බහුලව දැකිය හැකිය.

ඉහත දේශනාව තථාගතයන් වහන්සේ බෝධිරාජ නම් වූ ඉසුරුමත් කුමරකුගේ අතිශය රමණීයව සකසන ලද කොකනද නම් මාලිගයට ගෙවදීමේ පුණ්‍යෝත්සවයේ දී දේශනා කරන ලද්දකි. අසමාන වූ මාලිගය බුදුරදුන් ප්‍රමුඛ බුදුරදුන් ප්‍රමුඛ සඟ රුවන විෂයෙහි දන් පිළිගන්වා සම්බුදු සිරිපා පහසින් පාරිසුද්ධත්වයට පත් කර ගැනීමේ අදහස බෝධිරාජ කුමරුට බලවත්ව තිබුණු අතර ආරාධනා කොට වඩමවා මාලිගය තුළට වැඩමවන විට තමාට දරු සම්පත් ලැබේ නම් බුදුරජාණන් වහන්සේ පාවඩය මතින් වඩිත්වයි ප්‍රාර්ථනා කරන ලදි. එහෙත් උන්වහන්සේ පාවඩය මතින් නොවැඩියා මතු නොව කුමරු අපේක්ෂා භංගත්වයට පත්ව දානය වැළඳීමෙන් පසු එය මතින් නොවැඩීමට හේතු විමසීය. ඔබගේ ප්‍රාර්ථනය නොවන නිසා තමන්වහන්සේ පාවඩය මතින් නොවැඩි බව ප්‍රකාශ කළ භාග්‍යවතුන් වහන්සේ කුමරුගේ විමසීම මත ඊට හේතු වූ අතීත කර්ම විපාකය ගෙන හැර පියා ධර්මය දේශනා කළහ.

අතීත ආත්ම භවයකදී කුරුල්ලන් මරමින් කුරුලු බිත්තර පරිභෝජනයට ගැනීමේ ප්‍රාණඝාත අකුසලය නිසා සංසාරගතව දරු සම්පත් ලබා ගැනීමට නොහැකි බව දක්වමින් තමාට තමා ආදරය කරන්නේ නම් මෙබඳු පවිටු ක්‍රියාවන් නොකරමින් ජීවිතයේ තුන් යමෙහි අඩු තරමින් එක් යාමයකදී හෝ කුසලධර්මයන්ගෙන් ජීවිතය පෝෂණය කර ගත යුතු බව පෙන්නුම් කරමින් දේශිත මෙම ධර්ම දේශනයට සවන් දුන් බෝධිරාජ කුමරු සෝවාන් ඵලයෙහි පිහිටි ආකාරය පිළිබඳ තොරතුරු අන්තර්ගත වේ.

අදට යෙදී ඇති බක් පුර පොහෝ දිනය ශාසන ඉතිහාසයෙහි වැදගත් සංසිද්ධීන් අනුස්මරණය කරන දිනයකි. තථාගතයන් වහන්සේගේ දෙවන ලංකාගමනය බක් මස අව පොහෝ දිනයක සිදු වී ඇති අතර එම උතුම් සිදුවීම අනුස්මරණය කරනු ලබන්නේ බක් පුර පොහෝ දිනයේය. චූලෝදර මහෝදර නම් නා රජවරුන් දෙදෙනා අතර මිණි පළඟකට ඇති වීමට ගිය අරගලය සංසිඳුවීමට බුදුරජාණන් වහන්සේ ලක්දිව නාගදීපයට වැඩම කළ සේක.

කැලණියට වැඩමවීම පිණිස මණිඅක්ඛික නා රජුන් ආරාධනා කරන ලද්දේ මෙම ගමනේ දී ය. අස්වනු නෙළා අටු කොටු පුරවා භාග්‍යවත් වූ යන අදහස ඇති බක් මාසයේ උතුම් පුර පසළොස්වක පොහෝ දින ආත්මීය දමනයෙන් ඇති කර ගන්නා ආරක්ෂාව තුළින් සසර දුකින් මිදීම සඳහා උත්සුක විය යුතුව ඇත.

(ඡායාරූපය අන්තර්ජාලය ඇසුරිනි)