තරගයේ වීරයා කවුද?


“දේශපාලනය යනු, දේශපාලකයන්ට භාර දිය යුතු නැති බරපතළ කාරණයකි” (චාර්ල්ස් ඩිගෝල්)

“යාම්තමින්ම පාලනය කරන ආණ්ඩුව හොඳම ආණ්ඩුවයි”

“තමන්ට කරගැනීමට නොහැකි ඕනෑම කාර්යයක් කිරීම සඳහා ආණ්ඩුව බලය පැවැරීම ජනතාවට කළ නොහැක්කකි.”

“බලය මුළුමනින්ම දූෂණයට නැඹුරු වන අතර, පූර්ණ බලතල ඔස්සේ මුළුමනින්ම දූෂණය වේ.”

“ප්‍රචණ්ඩතාව යනු අදක්ෂයාගේ අවසාන නවාතැනයි.”

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව, 2024 වසරේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. අවුරුදු පහක ධුර කාලයට ඡන්දදායකයා විසින් ජනාධිපතිවරයකු පත් කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ මැතිවරණ

1981 අංක 15 දරන ජනාධිපති පනත අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පත් කරනු ලබන්නේ සීමිත ශ්‍රේණිගත කිරීමේ ඡන්ද ප්‍රකාශ කිරීමකිනි. ජනාධිපතිවරයකු සඳහා ඡන්දදායකයන්ට මනාප තුනක් ප්‍රකාශ කළ හැකිය. පළමු ගණන් කිරීමේදී වලංගු ඡන්දවලින් සියයට 50ක් කිසිම අපේක්ෂකයකු ලබාගෙන නොමැති විට, වැඩිම ඡන්ද ලබා ගන්නා පළමු අපේක්ෂකයන් දෙදෙනා හැර අනෙකුත් අපේක්ෂකයන් ඉවත් කරනු ලබයි. ඉවත් කරනු ලැබූ අපේක්ෂකයන්ගේ දෙවැනි සහ තුන්වැනි මනාප එකී පළමු දෙදෙනාට කිනම් සංඛ්‍යාවක් ලැබී තිබේ ද යන්න ගණන් කොට, බහුතර මනාප සංඛ්‍යාවක් ලැබූ අපේක්ෂකයා එයින් තෝරා ගැනේ.

2019 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේ ජනාධිපතිවරණ නිරීක්ෂණ වාර්තාව අනුව, ප්‍රායෝගික වශයෙන් මෙම ක්‍රමය ප්‍රයෝජනවත් වී තිබෙන්නේ අල්ප වශයෙනි. ඊට හේතුව, 1982 සිට මේ දක්වා පැවැත්වූ ජනාධිපතිවරණවලදී ප්‍රධාන පක්ෂ දෙකේ හෝ සන්ධාන දෙකේ අපේක්ෂකයකු පළමු ගණන් කිරීමේදීම ජයග්‍රහණය කිරීමයි. ඒ හේතුව නිසා බොහෝ රටවැසියෝ එක් අපේක්ෂකයකුට පමණක් ඡන්දය ලකුණු කිරීම කළහ. විවිධ අපේක්ෂකයන්ට ශ්‍රේණිගත කළ හැකි බව පවා බොහෝ අය නොදත්තෝය.

පසුබිම

අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ 2019 පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස පරාජය කළේය. ඉන් අනතුරුව 2022 පැවැති විරෝධතා මධ්‍යයේ ජුලි 14 වැනිදා රාජපක්ෂ එම තනතුරෙන් ඉල්ලා අස්වූයේය. ඊට සතියකට පසු ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියට අනුව ඊළඟ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හරහා පත් කිරීමට මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යෙදිණි. ඊට මාස දෙකකට පමණ පෙර රාජපක්ෂ විසින් අගමැති ධුරයට පත් කරනු ලැබූ එවකට සිටි අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා 2022 ජුලි 21 වැනිදා ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියේ මෙසේ සඳහන් වේ. “ඉන් පසු ජනාධිපති පදවියට පත්වන ඕනෑම තැනැත්තකු තනතුර හැර ගිය ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉක්මවා නොයන කාල පරිච්ඡේදයකට පමණක් තනතුර දැරිය යුතු වේ.” ඒ අනුව ඊළඟ ජනාධිපතිවරණය 2024 නොවැම්බර් මාසය ඉක්ම යාමට පෙර පැවැත්විය යුතු වේ.

ජනාධිපතිවරයා

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා මෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ප්‍රධානියා ද වෙයි. ජනාධිපතිවරයා සමස්ත ආණ්ඩුවේ ප්‍රධාන විධායකයා සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල ප්‍රධාන අණ දෙන නිලධාරියා ද වෙයි.

ඉතිහාසය

1947 (සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ට්ස් ඇක්ට්) ලංකා නිදහස් පනතේ අඩංගු සෝල්බරි ව්‍යවස්ථාව යටතේ සහ (The Ceylon Constitution and Independence) ලංකා ව්‍යවස්ථාමය නිදහස පිළිබඳ 1947 එවකට (කවුන්සලයේ) රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ආඥා පනත්වලින් ලංකාව පාර්ලිමේන්තු ක්‍රමයේ ආණ්ඩුවකින් සමන්විත ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් බවට පත්විය. ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස සැලකූ රජු නියෝජනය කරනු ලැබුවේ අග්‍රාණ්ඩුකාරවරයා විසිනි. ආණ්ඩුවේ ප්‍රධානියා හැටියට සලකනු ලැබුවේ අගමැතිවරයාය. ලංකාවේ ආණ්ඩුකාරවරයාගේ තැනට අග්‍රාණ්ඩුකාරවරයා පත් වූයේය. 1815 පටන් ඉන් පෙර මුළු දිවයිනේම විධායක පාලනය ක්‍රියාවේ යොදනු ලැබුවේ ආණ්ඩුකාරවරයා විසිනි.

1972 දී ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කොට, ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කළ පසු ශ්‍රී ලංකාව තවදුරටත් ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් නොවූයේය. නිල වශයෙන් අග්‍රාණ්ඩුකාරවරයාගේ තැනට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පත් වූයේය. ජනාධිපතිවරයා බොහෝ සෙයින් රජයේ නාමික ප්‍රධානියා වූ අතර, සැබෑ බලතල පැවැරී තිබුණේ අගමැතිවරයාටය.

1978 ව්‍යවස්ථාවෙන් වෙස්මිනිස්ටර් පාලන ක්‍රමයෙන් වඩාත් අර්ධ ජනාධිපති ක්‍රමයකට මාරු වූයේය. ජනාධිපති පදවිය, ප්‍රංශ ජනාධිපති පදවියට සමාන මාදිලියකට සමීප විය. ඒ වන විට ජනාධිපතිවරයා රාජ්‍යයේත්, ආණ්ඩුවේත් යන දෙකේම ප්‍රධානියා බවට පාර්ලිමේන්තුවෙන් ස්වාධීනව දීර්ඝ කාලයකට පත් වූයේය. සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන අණ දෙන්නා බවට පත්වූයේ ජනාධිපතිවරයාය. එසේම, කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රධානියා වූ ජනාධිපතිවරයාට (පාර්ලිමේන්තු මැතිවරණයකින් අනතුරුව පාර්ලිමේන්තුව කැඳවා වසරක් ඉක්ම යාමෙන් පසු) පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි වූයේය. අගමැතිවරයාට ජනාධිපතිවරයාගේ සහායකයකු ලෙස සහ ජනාධිපතිවරයාගේ දෙවැනියා ලෙසත්, ජනාධිපතිවරයාගෙන් අනතුරුව එතැනට පත්වෙන්නා ලෙසත් කටයුතු කළ හැකි වූයේය.

2001 දී හඳුන්වා දුන් 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ ඇතැම් බලතල අඩු කෙරිණි. විශේෂයෙන් අධිකරණයේ ඉහළ තනතුරුවලට හා මැතිවරණ කොමිසම හෝ අල්ලස් හා දූෂණ කොමිසම වැනි කොමිෂන්වලට කරන පත් කිරීම් ඊට අයත් විය.

2010 දී ඉහළින්ම මතභේදයට ලක්වුණු 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට තිබූ පත්වීම් වාර දෙකේ සීමා ඉවත් කිරීම හඳුන්වා දෙනු ලැබිණි. 18 වැනි සංශෝධනයෙන් එවකට බලයේ සිටි ජනාධිපතිවරයාට වැඩි වාර ගණනක් ජනාධිපති පදවියට පත් වීමට අවසර දෙනු ලැබූ අතර, ඔහුගේ බලතල වැඩි කරනු ලැබූයේ පුළුල් ව්‍යවස්ථාපිත මණ්ඩලය වෙනුවට සීමිත පාර්ලිමේන්තු සභාව එක් කරමිනි. මෙම සංශෝධනය ජනාධිපති මහින්ද රාජපක්ෂ හඳුන්වා දුන් අතර, 2015 දී තුන් වැනි වරට ජනාධිපතිවරයා වීමට උත්සාහ කරන ලදුව මෛත්‍රීපාල සිරිසේන වෙතින් පරාජයට පත්වූයේය.

18 වැනි සංශෝධනයෙන් සිදු කරනු ලැබූ බොහෝ වෙනස් කිරීම් 19 වැනි සංශෝධනයෙන් නැවත සංශෝධනය කෙරිණි. මෛත්‍රීපාල සිරිසේන විසින් වාර දෙකේ සීමාව නැවත ස්ථාපිත කරනු ලැබීය. මෙම සංශෝධනය අනුව ඇමැතිවරුන් පත් කිරීමේදී ජනාධිපතිවරයා අගමැතිවරයාගේ අදහස් විමසා බැලිය යුතු විය. ඕනෑම නිල කාර්යයකට අදාළව මූලික අයිතීන් සම්බන්ධයෙන් නඩු මගට බැසීමට අවකාශ සලසමින් හා එහිදී වගකීමට යටත් කෙරෙමින් ජනාධිපතිවරයාගේ මුක්තිය එයින් අවසන් කෙරිණි.

2022 දී රට දරුණු ආර්ථික අර්බුදයකට ඇද වැටුණු අතර, එහි ප්‍රතිඵලය වූයේ, ශ්‍රී ලංකාව පුරා ආණ්ඩු විරෝධී මහජන උද්ඝෝෂණ පැන නැගීමයි. එවකට බලයේ සිටි ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට විරෝධතාකරුවෝ බල කළහ. එසේම, ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවැරී ඇති බලතල අඩු කරමින් ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස ද විරෝධතාකරුවෝ හඬ නැගූහ. භෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු ඡන්දයෙන් පත් කෙරිණි.

2022 ඔක්තෝබර් මාසයේ සිදු කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපති බලතලවලට ඉහළින් පාර්ලිමේන්තුව බලගැන්වීමත්, ජනාධිපතිවරයාගේ ඇතැම් බලතල සීමා කිරීමත් හඳුන්වා දෙනු ලැබීය. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ජනාධිපතිවරයාගේ කැබිනට් අමාත්‍යවරුනුත්, ජාතික සභාවත් පාර්ලිමේන්තුවට වගකීම දැරිය යුතු වේ. කමිටු පහළොවක් ද අධීක්ෂණ කමිටු ද පාර්ලිමේන්තුවට වගකිව යුතු වූයේය. 21 වැනි සංශෝධනයෙන් ගෙන ආ එක් ප්‍රධාන සංශෝධනයකි, ශ්‍රී ලංකාවේ මැතිවරණ සඳහා ද්විත්ව පුරවැසිභාවය හිමි අය ඊට තරග කිරීමට සුදුසුකම් නැති අය ලෙස සැලකීම.

තෝරා ගැනීමේ ක්‍රියාදාමය – යෝග්‍යතාව

ව්‍යවස්ථාවේ 31 වගන්තියේ ජනාධිපති ධුරය දැරීමට පහත සඳහන් සුදුසුකම් තිබිය යුතු බව සඳහන් වේ. “එවැනි තනතුරක් දැරීමට පිළිගත් දේශපාලන පක්ෂයකින් හෝ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයකු විසින් නම් කරනු ලබන පුරවැසියකු වූ පුද්ගලයකු”

“ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් පත් කරනු ලැබූ කිසිම පුද්ගලයකු ඉන් අනතුරුව එම තනතුරට ජනතාව විසින් පත් කරනු ලැබීමට නුසුදුසු වන්නේය. එම පුද්ගලයා ශ්‍රී ලංකාවේ පමණක් පුරවැසිකම දැරිය යුතුය.”

මැතිවරණය

දිවයින පුරා පවත්වනු ලබන ජනාධිපතිවරණයකින් ජනාධිපතිවරයා වසර පහක කාල පරිච්ඡේදයක් සඳහා පත් කරනු ලැබේ. පත් කරනු ලැබූ ජනාධිපතිවරයකුට උපරිම වාර දෙකක් එම පදවියේ කටයුතු කළ හැකි වන අතර, ඒ සෑම පත්වීමේ වාරයක්ම ප්‍රසිද්ධියේ දිවුරුම් දෙනු ලබන දිනයේ පටන් එම පත් කිරීමේ වාරය උදෙසා ගණන් ගනු ලැබේ. ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 31 (3A) (a) වගන්තියේ මෙසේ දැක්වේ.

“ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් (දෙවැනි ධුර කාලයක් සඳහා) තමා තෝරා පත් කරගැනීමෙන් ධුරය දැරීම පිණිස වරමක් ලබා ගැනීම සඳහා ජනතාව වෙත ආයාචනය කිරීමේ (තම අභිලාෂය තම ප්‍රථම ධුර කාලය ආරම්භ වී අවුරුදු හතරක් ඉකුත් වීමෙන් පසු යම් අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබිය හැක්කේය.)

එහෙත් ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියේ ප්‍රතිපාදන අනුව ජනාධිපති ධුරයට පත්වන අයකුට ඉහත කී අයිතිය ක්‍රියාවේ යෙදවීමට අයිතිය හිමි විය යුතු නොවේ.

අනුප්‍රාප්තිය හෝ ධුරය හිස් වීම

අනුප්‍රාපත්තිය හෝ ජනාධිපති පදවිය පුරප්පාඩු වීම විය හැකි අවස්ථා කිහිපයක් පැන නැගේ. එනම්, මරණය, අකර්මණ්‍යතාව, ඉල්ලා අස් වීම හෝ පදවියෙන් ඉවත් කිරීමයි. ජනාධිපතිවරයාට සිය රාජකාරි ඉටු කිරීමට නොහැකි වූ අවස්ථාවක ඔහුගේ බලය පාර්ලිමේන්තුවෙන් තහවුරු කරනතුරු තාවකාලිකව අගමැතිවරයා වෙත මාරු වේ.

ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියට අනුව,

“ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර ජනාධිපති ධුරය හිස් වුවහොත් පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයන් අතුරෙන් ජනාධිපති ධුරයට තෝරා පත් කරගනු ලැබීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගනු ලැබිය යුත්තේය. ජනාධිපති ධුරයට එසේ අනුප්‍රාප්ත වන යම් තැනැත්තකු ධුරය හිස් කරන ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් ඉතිරි කාලය පමණක් ධුරය දැරිය යුත්තේය.”

“ධුරය එසේ හිස් වීමත්, නව ජනාධිපතිවරයා ධුරයේ කාර්ය භාර ගැනීමත් අතර කාලය තුළ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයේ වැඩ බැලිය යුත්තේය.”

බලතල සහ රාජකාරි

ජනාධිපති ධුරයේ කාර්යයන් ව්‍යවස්ථාවේ විස්තර කොට ඇත්තේ,

ව්‍යවස්ථාව ගරු කටයුතු අයුරින් තහවුරු කොට ක්‍රියාත්මක කිරීම

ජාතික සංහිඳියාව සහ ඒකීය බව ප්‍රවර්ධනය

ව්‍යවස්ථාදායක සභාව සහ අනෙකුත් ආයතනවලට පහසුකම් සපයමින් ඒවායේ ක්‍රියාකාරීත්වය තහවුරු කොට පවත්වාගෙන යාම

මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් පරිදි නිදහස් හා සාධාරණ මැතිවරණ සහ ජනමත විචාරණවලට අවශ්‍ය නිසි තත්ව නිර්මාණය කිරීම හා එම තත්ව තහවුරු කොට පවත්වාගැනීම.

ව්‍යවස්ථාමය බලතල

ජනාධිපතිවරුනට ඔවුන්ගේ බලතල සම්බන්ධයෙන් පවතින්නේ මැද සීමා කිරීම්ය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වන අතර, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයකින් දෝෂාභියෝගයට ලක් කොට ඉවත් කළ හැකිය. ජනාධිපතිවරයාට යුද්ධය සහ සාමය ප්‍රකාශයට පත්කළ හැකිය. ජනාධිපතිවරුන්ට රටම හෝ එහි ඕනෑම කොටසක් හදිසි නීතියට යටත් කළ හැකිය. ඒ යටතේ ඔවුන්ට ඕනෑම නීතියක් අභිබවා යා හැකි අතර, ඔවුන්ට නියාමනයකින් තොරව හා ව්‍යවස්ථාදායකයේ අනුමැතියෙන් තොරව ඕනෑම නීතියක් සම්මත කොට ප්‍රකාශයට පත් කළ හැකිය. කෙසේ වුව ද, හදිසි තත්වය මාස 6කට වඩා පවත්වාගෙන යාමට ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය වේ. බාහිර ආක්‍රමණයක් සිදුවන අවස්ථාවක ජාතික ආරක්ෂණ අවස්ථාව ප්‍රකාශයට පත්කළ හැකි වේ. ඒ සඳහා රජයට අති විශේෂ බලතල හිමිය. අති විශේෂ තත්ව යටතේ පවතින පළාත්වල යුද නීතිය ප්‍රකාශයට පත්කළ හැකි වේ. තවදුරටත් ජාතික හා ප්‍රාන්ත ආණ්ඩු අවස්ථා තුනක් යටතේ විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකි වේ. එම අවස්ථා නම්, දූෂණ, ද්‍රෝහී බව සහ ආණ්ඩු කිරීමේ නොහැකියාවයි.

පාර්ලිමේන්තුමය බලතල

මාස තුනකට වරක් පාර්ලිමේන්තුවට සහභාගි වීමේ අයිතිය ජනාධිපතිවරයාට ඇතිමුත්, ඔහුට එහිදී ඡන්දය දීමේ අයිතිය නැත. පාර්ලිමේන්තුවට පණිවිඩ යැවීමේ අයිතියත්, පාර්ලිමේන්තුව කැඳවීමේ, කල් තැබීමේ හා විසුරුවා හැරීමේ බලයත් ඇත.

පරිපාලන බලතල

ජනාධිපතිවරයාට අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් සහ මහාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේ සහ ඉවත් කිරීමේ බලය ඇත. ජනාධිපතිවරයාට සමාව දීමේ හැකියාව ද ඇත. සිවිල් හා අපරාධ නඩුවලින් දණ්ඩ විමුක්තිය ද ජනාධිපතිවරයාට තිබේ. ඕනෑම කාරණයක් විමර්ශනය කිරීම උදෙසා ජනාධිපති කොමිසමක් පත් කරමින් මහජන විමර්ශන කොමිෂන් සභා පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිය.

රාජ්‍යතාන්ත්‍රික බලය

රටේ ප්‍රධානතම රාජ්‍යතාන්ත්‍රිකයා ජනාධිපතිවරයාය. මෙම කාර්යභාරය ඉටු කරමින් විදේශ නායකයන් හා ඔවුන්ගේ ආණ්ඩු සමග සාකච්ඡා පැවැත්වීමේ වගකීම ජනාධිපතිවරයාට පැවැරෙන අතර, රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් පත් කිරීමේ වගකීම ද ජනාධිපතිවරයාට පැවැරේ.

පත් කිරීම්

පළාත් සභාවල ප්‍රධානත්වය දැරීමටත්, පළාතේ ඔහුගේ නියෝජිතයන් ලෙසත්, ජනාධිපතිවරයාට පළාත් ආණ්ඩුකාරවරුන් පත්කළ හැකිය. ජනාධිපතිවරයාට ජනාධිපති උපදේශකයන් ලෙස ජනාධිපති උපදේශකවරුන් ඕනෑම සංඛ්‍යාවක් පත්කළ හැකි වන අතර, ඔවුන්ට සහාය වීමට සම්බන්ධිකරණ ලේකම්වරුන් පත් කිරීම ද කළ හැකි වේ.

ශ්‍රී ලංකාව මුහුණපාන ගැටලුව කුමක් ද?

2019 වසරෙන් පටන්ගෙන 2022 වසරේදී අතිශය දරුණු අතට හැරුණු සමාජ ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ මානුෂීය අවශ්‍යතාව මතු කළ ප්‍රධාන සාධකය වූ අතර, මිලියන හතක ඇස්තමේන්තුගත ජනකායකට මානුෂීය ආධාර අවශ්‍ය වූයේය. නිරන්තරයෙන්ම පැවැති මූල්‍ය හා ජංගම ගිණුම් හිඟයත්, ණය කන්දරාව වැඩි වීම සහ දුර්වල පාලනය මෙම අර්බුදයට ප්‍රධාන වශයෙන් හේතු විය. ආර්ථික අසීරුතාව නිසා වර්තාගත ශ්‍රී ලංකේය විරෝධතාකරුවෝ සංඛ්‍යාවක් වීදියට බටහ. දරුණු ආර්ථික අසීරුතා අභිමුවේ බලශක්ති හා විදුලි බල කප්පාදුව, ඉන්ධන හිඟය, ගෑස් හා ආහාර හිඟය නිසා විරෝධතාකරුවෝ 2022 මාර්තුවේ පටන් රාජපක්ෂගේ රජයට ඉල්ලා අස් වන ලෙස බල කළෝය.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය 2019 වසරේ ආරම්භ වූවකි. එය 1948 නිදහස ලැබූ දා පටන් රටේ සිදු වූ දරුණුතම ආර්ථික අර්බුදයයි. ඒ හේතු කොටගෙන පෙර නොවූ විරූ මට්ටමට උද්ධමනය පත්විය. විදේශ විනිමය සංචිත හිඳෙන තත්වයට පත්විය. වෛද්‍ය සැපැයුම් හිඟව ගොස් මූලික පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ ගියේය. එම අර්බුදය බදු කපා හැරීම, මුදල් අච්චු ගැසීම, මුළු රට කාබනික ගොවිතැනට යොමු වීම, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සහ ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතය ආදි විවිධ සාධක සම්මිශ්‍ර වීම නිසා හටගත් බව පැවැසේ.

ඉන්දීය රේඛීය ණය බිලියන 4 දක්වා වැඩි වෙද්දී ශ්‍රී ලංකාව අසීරුවෙන් දිවි බේරා ගත්තේය. මෙම සැලකිය යුතු මුදල් සම්භාරයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඉන්ධන ආනයනය සඳහා යන වියදම් පිරිමසාගත හැකි විය. එහි ප්‍රතිඵලය ලෙස, ණය භරිත ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 2.69 දක්වා යමින් සැලකිය යුතු වර්ධනයක් අත්කර ගැනිණි. බලයට පැමිණෙන ජනාධිපතිවරයා රටවැසියන් මුහුණපාන සමාජ ආර්ථික ගැටලු ගැඹුරින් අවබෝධ කරගත යුතු වූ අතර, එය අයහපත් තත්වයෙන් වඩාත් නරක තත්වයට හැරෙන්නට නොදී පාලනය කරගැනීමේ හැකියාව ඔහුට තිබිය යුතු විය. බලයට එන ජනාධිපතිවරයා අභිමුවේ පැවැති විශාලතම අභියෝගය එය විය.

ජනාධිපති අපේක්ෂකයන් ඉටුකළ යුතු මූලික කාරණා 13ක්

පහත සඳහන් මූලික කාරණා 13 ඉටු කිරීමට පොරොන්දු වන කවුරු හෝ එය ක්‍රියාවෙන් සනාථ කිරීමට සමත් වේ නම්, ළඟ එන මැතිවරණයේදී බහුතරයකගේ විශ්වාසය දිනා ගැනීමට හෙතෙම සමත් වනු ඇත.

1. දූෂණය වළක්වා එය මුළුමනින්ම දුරු කොට රාජ්‍ය නිලධාරීන් ඇතුළු දූෂිත දේශපාලකයන් හෙළිදරව් කිරීම

2. අධිකරණයට, පොලිසියට, මැතිවරණ කොමිසමට හා අනෙකුත් කොමිෂන් සභාවලට නිදහසේ ක්‍රියා කිරීමේ බලය පවරා, දේශපාලන මැදිහත් වීම්වලින් වැළකී සිටීම

3. රජයේ නාස්තිකාර ක්‍රියා වැළැක්වීමට පියවර ගෙන, ඒවා නැවත නැවත සිදු වීම වළකාලීම.

ජනාධිපතිවරණ අපේක්ෂකයා චීනයේ මාඕ සේතුං සහ පර්මනියේ ඇන්ජෙලා මර්කෙල් අනුව යමින් මීට අදාළව ක්‍රියා කිරීමට පොරොන්දු වීමේ හැකියාවෙන් යුක්ත විය යුතුය. මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා දුම්රියෙන් ගමන් යන අතර, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතිශය සුඛෝපභෝගී V8, බෙන්ස් හා BMW වැනි වාහන බදු ගෙවන්නන්ගේ වියදමින් භාවිත කරති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මිලෙන් අධික නොවූ ඉන්දියානු, මැලේසියානු සහ ජපන් වාහන භාවිත කළ හැකිය. ඔවුන්ට සුඛෝපභෝගී වාහන භාවිත කිරීමට අවශ්‍ය නම්, එය ඔවුන්ගේ මුදල් වියදම් කොට කළ හැකි වේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තිස්තුන් වතාවක් ඔහුගේ ඥාති මිත්‍රාදීන් හා හෙන්චයියන් කැටුව සිය ධුර කාලයේදී බදු ගෙවන්නන්ගේ වියදමෙන් විදේශගත වූයේය. ඔහුගෙන් සත තිස් තුනකවත් රටට වැඩක් වී දැයි රචකයා තුළ බැරෑරුම් සැකයක් පවතී.

රජයේ නාස්තිය වළක්වාලීමට පූර්ව පියවර ගනු ලබන්නේ කුමන අපේක්ෂකයා ද?

4. ඥාති මිත්‍රාදීන් හා දේශපාලන හෙන්චයියන් රජයේ ඉහළ තනතුරුවලට පත් කරනු වෙනුවට අතීත වාර්තාවලින් සිය කෙරුවාව සනාථ කළ අදාළ විෂයය පිළිබඳව විශේෂඥයන් එම තනතුරුවලට පත්කිරීම.

5. දූෂණ චෝදනා, මිනී මැරුම් චෝදනාවලට, අල්ලස්, ස්ත්‍රී දූෂණ, නාස්තිකාර ක්‍රියා හා වෙනත් අපරාධවලට වරදකරුවන් වූ අයට නාම යෝජනා ලබා දීමෙන් වැළකීම. පක්ෂයේ නාම යෝජනා උපාධි/ ඩිප්ලෝමා/ ජාතික මට්ටමේ ජයග්‍රහණ හෝ අවම වශයෙන් සදාචාරාත්මක දිවි පෙවෙතක් සහිතවූවන්ට පිරිනැමීම.

6. ටෙන්ඩර තෝරා පිරිනැමීමේදී ඇමැතිවරුන්ට, නියෝජ්‍ය ඇමැතිවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඇති බලතල අහෝසි කිරීම. ටෙන්ඩර පරිපාටිය සම්පූර්ණ කිරීමට සහ මෙහෙය වීමට අමාත්‍යාංශවලට පිටත, විෂයය පිළිබඳ විශේෂඥ දැනුම ඇති ගරු කටයුතු පුද්ගලයන් පත් කිරීම නිර්දේශ කිරීම. ප්‍රමාදයකින් තොරව පුරවැසියන්ට තොරතුරු දැනගැනීමේ අයිතියත්, විනිවිද පෙනෙන සුළු බවත් තහවුරු කිරීම.

7. ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියට ජාතික ආර්ථිකය, ජාතික සංස්කෘතිය, ජාතික රාජ්‍යත්‍රාන්ත්‍රික බව, රටේ විද්‍යා හා තාක්ෂණය, ජාතික බුද්ධි සේවා සහ නවීකරණයන් ද අවසන් වශයෙන් ජාතික දේශපාලන ශක්‍යතාව ද ඇතුළත් කිරීම.

8. දේශපාලන වාසි ලබා ගැනීම උදෙසා රටවැසියන්, ජන වර්ගය, භාෂාව හා ආගම අනුව බෙදාලීම නීතියෙන් වළකාලීම.

9. ඍජු විදේශ ආයෝජන ගෙන එන්නට සහ දේශීය ආයෝජකයන්ට අල්ලසෙන් තොර පරිසරයක් නිර්මාණය කොට විනිවිද පෙනෙන සුළුභාවය ඇති කිරීම. ඔවුන්ගේ මත ලෝකයට පළ කිරීමට ඉඩ සැලසීම.

10. දේශපාලකයන් අනිවාර්යයෙන්ම විශ්‍රාම ගත යුතු වයස අවුරුදු 75 බවට පත් කිරීම. ඔවුන්ගේ කාර්යදර්ශනයට වයස බලපෑ හැකිය. වයස්ගත වීමට අදාළව කාර්ය හැකියාව පහත වැටෙන බව වයස්ගත වූ සේවකයන්ගේ හැකියාවෙන් සනාථ වේ. පාර්ලිමේන්තු කාලය තුළ මුළුමනින් නින්දට වැටෙන නිමල් සිරිපාල ද සිල්වා මීට සජීවී උදාහරණයකි.

11. රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ උදවිය විවිධාකාරයෙන් රාජ්‍ය සම්පත් අවභාවිතයට පෙළැඹී ඇති බව සංවිධානවලින් සහ මැතිවරණ නිරීක්ෂකයන් වෙතින් පැමිණිලි ඉදිරිපත් වී තිබේ. වංචා, බලය අනිසි ලෙස භාවිත කිරීම, මිනීමැරුම් හා ඩොලර් බිලියන ගණනින් මුදල් විශුද්ධිකරණ ක්‍රියාවන්ට හවුල් වූ බවට පැමිණිලි ඒ අතර වේ. 2015 මැයි 7 වැනිදා විදේශ රටවල් 4ක් වෙතින් රාජපක්ෂ පවුලට විදේශ රටවල ඩොලර් බිලියන 18ක වටිනාකමින් යුතු දේපළ හිමි බවට බුද්ධි වාර්තා එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීරට ලැබී තිබේ. සොරකම් කරනු ලැබූ මුදල් ඥාතීත්වය නොසලකා, දේශපාලන සම්බන්ධතා, තනතුරු හෝ ඕනෑම දේශපාලකයකු හෝ රාජ්‍ය නිලධාරියකු වෙතින් නැවත එම මුදල් අත්පත් කරගන්නා බවටත් අවංකව සහතික විය හැක්කේ කුමන අපේක්ෂකයාට ද?

12. රෝහල් ප්‍රතිපත්ති ඔස්සේ ආරක්ෂාව, ඉඩ පහසුකම් හා රෝග පාලනය සැලකිල්ලට ගෙන රෝහල්වල ඇඳන් බෙදා ගැනීම තහනම් කිරීම.

13. පාස්කු ඉරිදා මිනිස් සංහාරයට චෝදනා ලැබූවන්ට දඬුවම් කොට, ඊට ගොදුරු වූ අයට සහනය ලබා දෙන බවට සත්‍ය ලෙසම සහතික කළ හැක්කේ කුමන තරගකරුවාට ද?

කඩවූ පොරොන්දු සහ මහජන විශ්වාසය කඩ කිරීම දෘෂ්‍යමාන වීම

හඳෙන් හෝ හාල් ගෙනත් දීම මෙරට බලාපොරොත්තු සුන් කළ මැතිවරණ පොරොන්දුවකි. 1970දී ඡන්දදායකයන් ඇද බැඳ ගැනීමට ඉහළින්ම කළ එම මැතිවරණ පොරොන්දුවට සමාන වූවක් අදටත් පෙනෙන්නට නැත. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන ද කඩ වුණු පොරොන්දු දුන්නේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රටේ සිටි සියලුම නායකයන් දුන් කඩ වුණු පොරොන්දුවකි. මෑතකදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිදු කළ සමීක්ෂණයකින් පාර්ලිමේන්තුවටත් දේශපාලන පක්ෂ කෙරෙහි පවතින මහජන විශ්වාසය ඉතා අඩු මට්ටමක පවතින බව අනාවරණය වූයේය. ඒ අනුව පාර්ලිමේන්තුව කෙරෙහි පවතින්නේ සියයට 22ක මහජන විශ්වාසයකි. දේශපාලන පක්ෂ කෙරෙහි ඇත්තේ සියයට 19ක මහජන විශ්වාසයකි. ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි තැබූ විශ්වාසය සහ ජනාධිපතිවරුන් කෙරෙහි තැබූ විශ්වාසය ඊට වෙනස් නොවන අතර, ඒවා හොඳ උදාහරණ වේ.

මහජන විශ්වාසය දිනාගත හැක්කේ කාට ද?

ඉහත සඳහන් මූලික කාරණා 13 ක්‍රියාත්මක කිරීමට අවංකව පොරොන්දු වන කවුරු වුව මහජන විශ්වාසය දිනා ශූරයකු බවට පත්වේ. ඉහත සඳහන් මූලික කාරණා 13 රට වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට ධෛර්යයත්, එඩිතර බවත්, අවංක බවත්, කිසිම අපේක්ෂකයකුට නොමැති බව රචකයාගේ විශ්වාසයයි.

අවසාන වශයෙන් කිව යුත්තේ, තර්කයෙන් නොව කාර්ය නිපුණත්වය ප්‍රදර්ශනය කරමින් නිර්ව්‍යාජ ලෙස ක්‍රියාවෙන් කාර්යය ඉටු කරන අපේක්ෂකයා ජාතියේ ගෞරවයට පාත්‍ර වන බවයි.

“අහරේ රස ගෑරුප්පුව කිසි විට නොවිඳින්නා සේ, විද්වතුන් ඇසුරු කරන නූගතා ද කිසි විට සත්‍ය කරුණු අවබෝධ කර නොගන්නේය.”

(***)
2024 ජුනි 26 Daily Mirror පුවත්පතේ පළ වූ
Who will Champion the race?
නම් ලිපියේ - පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ