තරුණ පරපුරේ අපේක්ෂා භංගත්වය


“බොහෝ විට දකින්න ලැබෙන දේශපාලන ක්ෂේත්‍රයේ කතාව එකක්. ක්‍රියාත්මක කිරීම තව එකක්. ආරම්භය සුබවාදී වගේම, ක්‍රියාත්මක කිරීමේදී මෙම වැඩසටහන ප්‍රබුද්ධව, කාර්යක්ෂමව ක්‍රියාත්මක වුණොත් අපේ රටේ හැරවුම් ලක්ෂ්‍යයකට අද දිනය පත් වෙයි කියා මම විශ්වාස කරනවා.

විපක්ෂය විදිහට මේ ක්‍රියාදාමය අප දකින්නේ ඉතා සුබවාදීවයි. විපක්ෂයක් ලෙස රාජ්‍ය පාර්ශ්වයේ අඩුපාඩුකම් පෙන්වා දුන්නත් ප්‍රබුද්ධ දේශපාලන ක්‍රමයක් තුළ නිවැරදිව, සුබවාදී, හරවත්, ධනාත්මක දෙයක් වෙන විට ඒ දිහා ප්‍රශංසා නොකර අහක බලන් සිටිය නොහැකියි. හොඳ දේ හොඳ යැයි අගය කිරීමට කශේරුකාවක් තිබිය යුතුයි. ”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ප්‍රකාශය කළේ මෙම මස 15 වැනි දින බත්තරමුල්ල Waters Edge හිදී පැවති පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජිතයන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි. සජිත් ප්‍රේමදාස මහතා මේ ආණ්ඩුව කළ හොඳ වැඩක් ගැන මීට පෙර ප්‍රසිද්ධියේ ප්‍රශංසා කළ අවස්ථාවක් පිළිබඳව මතකයට නොනැගෙන තරම්ය. කවර හොඳ වැඩකදී වුණත් විපක්ෂ වීමේ මෑත කාලීන විපක්ෂ නායක පිළිවෙත සජිත් ප්‍රේමදාස මහතා ද විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසු එකහෙලා ක්‍රියාත්මක කළ බැවිනි. එහෙත් 15 වැනිදා පැවැති මෙම උත්සවයේ දී විරුද්ධවීමේ එම පිළිවෙත අනුගමනය කිරීම වෙනුවට රජයේ පිළිවෙත හෘදයාංගමව ඇගයීමේ දුර්ලභ ක්‍රියාමාර්ගයකට ඔහු එළඹ ඇති බව පෙනී ගියේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ ආකාරයට මුළු හදවතින්ම ඇගයීමටත් සහාය දීමටත් ඉදිරිපත් වූයේ රජය විසින් පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සඳහා තරුණ නියෝජිතයන් පත් කිරීමේ ක්‍රියාවලියයි.

2022 වසරේ ජූනි මස 11 වැනි දින වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් පසු ඒ වන විට විවිධ පාර්ශ්ව විසින් ප්‍රචණ්ඩත්වයට පත් කරනු ලැබ තිබූ අරගලය මුළුමනින්ම මර්දනය කිරීමට කටයුතු කළේය. එසේ වුවද අරගලය මුලින්ම ආරම්භ කළ, සැබෑ ලෙසම රටේ ව්‍යුහාත්මක වෙනසක් ප්‍රාර්ථනා කළ පිරිසේ බලාපොරොත්තු, අවශ්‍යතා සහ අරමුණු පිළිබඳව සංවාදයකට එළඹීමට ඔහු සූදානම් විය. පාර්ලිමේන්තුව විසින් ජනාධිපති ධුරයට තෝරාගැනීමෙන් පසු ඔහු විසින් පත් කරගන්නා ලද කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු පිරිසක් අරගලය නියෝජනය කළ අයගෙන් තෝරාගෙන තිබුණි.

එම ක්‍රියාමාර්ගයෙන් පැහැදිලි වූයේ රනිල් වික්‍රමසිංහ මහතා තරුණ පරම්පරාවේ අදහස් හා සිතුම්පැතුම් තේරුම් ගැනීමටත්, ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළියම් යෙදීමටත් සූදානම්ව සිටින බවයි. කෙසේ වුවද රටේ ව්‍යවස්ථාදායක සහ විධායක කටයුතුවලට ඔවුන්ගේ සහභාගීත්වය ලබාගත හැක්කේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මිස ඉන්  බැහැරව නොවේ. ඒ සඳහා සුදුසු ක්‍රියා පිළිවෙතක් යෝජනා කිරීම සඳහා  මුලපිරීමකට ඔහු සූදානම් විය. එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කරනු ලැබීය. ආංශික කාරක සභා සඳහා පාර්ලිමේන්තුවෙන් පිට තරුණ පිරිස්වල දායකත්වය ලබා ගැනීම පිළිබඳ සංකල්පය වර්ධනය වූයේ මේ ආකාරයට පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි.

ගෝල්ෆේස් අරගලය එම කාලපරිච්ඡේදය තුළ රටේ පැවැති දරුණු ආර්ථික අර්බුදය නියෝජනය කරන්නක් වූ අතර අනෙක් අතින් ශ්‍රී ලංකාව තුළ නිදහසින් පසු වසර 75ක කාලයක් ක්‍රියාත්මක වූ ඒකාකාරී දේශපාලන, ආර්ථික හා සමාජ ක්‍රමයට ප්‍රතිවිරෝධතා දැක්වීමක් ද විය. ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කරන ලද තෙල්, ගෑස්, කිරිපිටි පෝලිම් මෙන්ම විනිමය හිඟය ද මහජනතාව දැඩි පීඩනයකට ලක් කළේය. රටේ අධ්‍යාපන, ආර්ථික සහ සමාජීය තත්ත්වය මෙන්ම විවිධ අංශවල අසංවිධිත බව සහ පසුගාමීත්වය තරුණ පරපුර තුළ අසහනයක් වර්ධනය කිරීම සඳහා හේතුවී තිබුණි. දූෂණ, වංචා සහ අක්‍රමිකතාත්, දේශපාලනයේ පවුල්වාදය ආදිය මෙන්ම පාරදෘශ්‍යභාවය, වගවීම සහ යහපාලනය ආදිය නොසලකා හැර තිබීමත් ඔවුන්ගේ විරෝධතාවට ලක්විය. එනිසා එම සමාජ ක්‍රමයේ වෙනසක්, ඔවුන් බොහෝ දුරට භාවිතා කළ වචනවලින් ප්‍රකාශ කරන්නේ නම් ‘සිස්ටම් චේන්ජ්’ එකක් අවශ්‍ය කර තිබුණි. පසුව සමහර දේශපාලන බලවේග විසින් අරගලය ‘හයිජැක් කිරීම’ නිසා ද එම බලවේග විසින්ම අරගලය ප්‍රචණ්ඩත්වයට හැරවීම නිසා ද අරගලය අරගලයෙන්ම විනාශයට පත් විය. එසේ වුවද අරගලය තුළ ප්‍රබල පණිවිඩයක් ගැබ් වී තිබුණි.  එනම් සෑමදෙනාටම පිළිගත හැකි ආකාරයෙන් සමාජ ක්‍රමය තුළ ප්‍රබල වෙනසක් ‘සිස්ටම් චේන්ජ්’ එකක් ඇතිවිය යුතු බවයි. රනිල් වික්‍රමසිංහ මහතා මෙය හොඳින් අවබෝධ කරගෙන සිටීම නිසා මේ වන විට සමාජ ක්‍රමයේ වෙනසක් ඇති කිරීම සඳහා අවශ්‍ය වන පියවර ගනිමින් සිටින බව පැහැදිලි වේ.

පාර්ලිමේන්තු මැතිවරණයක් වහාම පැවැත්වෙන්නේ නම් තරුණ පරපුරට එයට ඉදිරිපත් වී ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සහභාගී වීමට අවස්ථාවක් සැලසේ. එසේ වුවද  තවත් වසර කිහිපයක් යන තුරු පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවස්ථාව නොලැබෙන අතර අවස්ථාව ලැබුණ ද ඒ තුළින් තරුණ අරගලකරුවන්ට ඉඩක් ලැබීම පිළිබඳ සහතික වීමක් නොමැත. එබැවින් ව්‍යවස්ථාදායක කටයුතුවලට සහභාගී වීමට තරුණ පරපුරට අවස්ථාවක් දීම සඳහා නව ක්‍රමයක් හඳුන්වා දිය යුතුව තිබුණි.

එවැනි මැතිවරණයක් පවත්වන තුරු හඳුන්වාදෙන ලද විකල්පය වන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන යෝජනා විෂයන් 17කට බෙදා ඒ  පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවීමය. මෙම කාරක සභාවල සාමාජිකයන් ලෙස මන්ත්‍රීවරුන් නොවන තරුණයන් පත් කිරීමට ද පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණි. ඒ අනුව ඒ සඳහා තරුණයන් තෝරා ගැනීමට පුවත්පත් මඟින් දැන්වීම් පළ කර ඒ සඳහා අයදුම් කළ තරුණයන් අතරින් 530 දෙනෙක් තෝරාගනු ලැබූහ. ඉහතින් කී රැස්වීම පැවැත්වූයේ එම තරුණයන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාව සඳහාය. 1971 අප්‍රේල් කැරැල්ලෙන් පසුව ද 1987-89 කැරැල්ලෙන් පසුව ද ඒවාට හේතු වූ කරුණු පිළිබඳව අධ්‍යයනය කර රට සහ තරුණ පරපුර අරමුණු කරගෙන විවිධ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට එවක පැවැති ආණ්ඩු කටයුතු කළේය. 1971 කැරැල්ලෙන් පසු ඉඩම් ප්‍රතිසංස්කරණ හඳුන්වා දී විදේශිකයන් සතුව තිබූ වැවිලි කර්මාන්තය ජනසතු කිරීමටත් 1987-89 කැරැල්ලෙන් පසු රජයේ රැකියා සුදුසුකම් මත පමණක් ලබා දීම සඳහා වූ චක්‍රලේඛ නිකුත් කිරීමටත් කටයුතු කරන ලද්දේ තරුණ පිරිස් අතර ඇති වූ විරෝධතාකල්පවලට ප්‍රතිචාර දැක්වීම සඳහාය. 

මුල් කැරලි දෙකම සමාජ අසමානතාව, විරැකියාව, සාම්ප්‍රදායික දේශපාලන  පක්ෂවල අධිපතිවාදය, පවුල්වාදය සහ කුල භේදය වැනි අසාධාරණකම්වලට එරෙහි වූ අරගලයක් විය. එසේ වුවද ගෝල්ෆේස් අරගලය එම දෙකටම වඩා වෙනස් එකකි. කේන්ද්‍රීය නායකත්වයක් නොතිබීම, අසංවිධිත සංවිධාන ක්‍රමය, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් පදනම් කරගෙන බිහිවූ සහ ව්‍යාප්ත වූ ක්‍රියාකාරීත්වය, මධ්‍යම පාන්තික කොටස්වල අපේක්ෂාවන් නියෝජනය කිරීම, අවි ආයුධ වලින් බැහැර වීම ආදිය ගෝල්ෆේස් අරගලයේ මූලික ලක්ෂණ වූයේ යැයි ප්‍රකාශ කළ හැකිය. මුල් කැරලි දෙක නිර්මාණය වීමට බලපෑ හේතු සමාජ පරිණාමයත් සමග වෙනස් වී ගිය අතර ගෝල්ෆේස් අරගලය විසින් නියෝජනය කළේ සමාජ මාධ්‍යවල සැරිසරන තරුණ පරපුරේ සිතුම් පැතුම්, අපේක්ෂාවන් සහ මධ්‍යම පාන්තික ජනතාවගේ බලාපොරොත්තුය.

සෑම රටකම පාහේ පාර්ලිමේන්තුව හෝ ව්‍යවස්ථාදායකය හෝ තුළ විවිධාකාරයේ කමිටු පිහිටුවා ඇති නමුත් ඒවා ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් වන මන්ත්‍රීවරුන්ට පමණක් සීමා වී තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පාර්ලිමේන්තු කමිටුවලට සහභාගී වීම සඳහා තරුණ පිරිස්වලට අවස්ථාව සැලසී තිබේ. “ඔබ සියලු‍ දෙනා තෝරාගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට සහභාගීවීමට, නිරීක්ෂකයන් ලෙස නොවෙයි, පාර්ලිමේන්තු කමිටුවල සිටින තරුණ නියෝජිතයන් ලෙසයි. ඔබගේ ඒ සහභාගීත්වය සිදු වන්නේ”. ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා එදින උත්සවයේ දී මෙම වෙනස පැහැදිලි කළේ ඒ ආකාරයෙනි.

මේ ආකාරයට රටේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට තරුණ පිරිස සහභාගී කරවා ගැනීම සඳහා හඳුන්වාදීමට බලාපොරොත්තු වන ප්‍රතිසංස්කරණ ආංශික කාරක සභා කටයුතුවලට පමණක් සීමා නොවන බව ප්‍රකාශයට පත්වී තිබේ. රට පුරා සෑම ගමකම ජනසභා ඇති කර තරුණ පිරිස්වල සහභාගීත්වය ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. යොවුන් පාර්ලිමේන්තුව පිළිබඳ වෙනස්කම් ඇති කිරීම තුළ තරුණ සහභාගීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කර තිබේ.

පවතින සමාජ ක්‍රමය කෙරෙහි ඇතැම් තරුණ කොටස්වල පවත්නා අප්‍රසාදයත්, අපේක්ෂා භංගත්වයත් ගෝල්ෆේස් අරගලයේ මුල් අවස්ථාවෙන් පැහැදිලි විය. එහෙත් ඇතැම් දේශපාලන පක්ෂවල මැදිහත්වීම හේතුවෙන් බලාපොරොත්තු නොවූ ආකාරයේ ප්‍රතිඵල ඇති කරමින් අරගලය අවසන් විය. පවතින සමාජ ක්‍රමය පිළිබඳ අරගල කළ පිරිස්වල අපේක්ෂා භංගත්වයට සමාන අපේක්ෂා භංගත්වයක් අරගලයේ ප්‍රතිඵල තුළින් ද අත්විඳීමට තරුණ පරපුරට සිදු විය. එම තත්ත්වය තුළ නිර්මාණය වූ ශුන්‍යතාව වෙනුවට තරුණ පරපුර වෙනුවෙන් අපේක්ෂා සහගත ලෝකයක් නිර්මාණය කිරීම සැමගේ වගකීමයි.

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර