විලුඹතෙක් වැටී තිබූ නීල වරලස ඇයගේ රුව තවත් හැඩ කළාය. කොහේ හෝ ගමනක් බිමනක් යනවිට වරක් දෙවරක් නොව කීපවරක්ම තරුණයන් පමණක් නොව තරුණියන් හා කාන්තාවන් පවා නෙතුඅයා තම වරලස දෙස බලා සිටින බව ඇය නොදැන සිටියා නොවේ.
දිගු වරලස නිසා තරමක ආඩම්බරයක් ඇය සතුව ඇතත් ඇය සැබැවින්ම නිහතමානී තරුණියක වූවාය.
විසිතුන් හැවිරිදි වියේ පමණ පසුවන ඇය කොණ්ඩය වවන්ට පටන්ගෙන ඇත්තේ පුංචි සන්දියේ සිටමය. ඇය තමන්ගේ පණටත්, ඇස් දෙකටත් වඩා වරලසට ආදරය කළාය. එපමණක් නොව වරලස රැක ගැනීමට නිරන්තරයෙන් වග බලාගත්තාය.
ඇයගේ රූපශ්‍රීය ප්‍රභාමත්වූයේ දිගු වරලස නිසායැයි කීවාට එහි කිසිම වරදක් ද නොමැත. කැම්පස් කෙල්ලක වූ ඇය ගම්පහ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
උපාධිය හදාරන්නේ දකුණු පළාතේ තියෙන කැම්පස් එකකය. කැම්පස් එකේ කවුරුත් ඇය හඳුන්වා ඇතැයි කියන්නේ කොණ්ඩ කිරිල්ලී යැයි කියා බව කියති. මේ වගේ දිගු ලස්සන අයස්කාන්ත වරලසක් ඒ කැම්පස් එකේ කෙල්ලන් කිසිවකුටත් නොවූ නිසා ඇය ගැන නොදන්නා කෙනෙක් ද නැත.
කොණ්ඩය දිග මේ ලස්සන කැම්පස් කෙල්ල සෑම සති අන්තයකම වගේ ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවස බලා පැමිණීමට පුරුදුව සිටියාය.
ඇය බොහෝ සති අන්තවල ගෙදර එන්නේ මාතර - කඩවත අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථයක ගොඩවෙලාය.
පසුගිය සති අන්තයේ ද ඇය බස් රථයකට ගොඩවී ඇත්තේ වෙනදා මෙන් ගෙදර බලා ඒමටය.
ඇය එදා පැමිණි බස් එකේ කියන්නට තරම් මගීන්ද සිටියේ නැත.
සුවපහසු අසුනක ඇය හරිබර ගැසී වාඩිවූයේ අධිවේගී මාර්ගයේ වුවත් මාතර සිට කඩවතට ඒමට සෑහෙන වේලාවක් ගතවෙන නිසාය.
දිගු නීලවරලස මුදාහැර වටපිට සිරිනරඹමින් ඇය පැමිණියාය.
ඒ නිසාම කඩවත ආසන්නයට පැමිණෙන තෙක්ම ඇයට වේලාව ගතවූවා දැනුනේවත් නැත.
බස් එකෙන් බහින්න ළංවී තිබූ නිසා ඇය මෙතෙක් වේලා නිදහසේ මුදාහැර තිබූ දිගු වරලස සියුමැලි අතැඟිලි යැව්වේ සකස්කර ගැනීමටය.
ඇයට දෙලෝ රත්වූයේ ඒ අවස්ථාවේය.
වසර ගණනාවක් තිස්සේ ආදරයෙන් රැකබලාගත් කොයිකාගෙත් නෙත් සිත් පැහැරගත් දිගු නීලවරලස නොමැති බව දැක ඇයට අයියෝ යැයි කියවී ඇත්තේ නිරායාසයෙනි.
කිසිවක් තේරුම් බේරුම් කර ගැනීමට නොහැකිව ඇය තුෂ්නිම්භූත වූවාය.
ඇයගේ සිවුමැලි දෙකොපුල් අතරින් උණුකඳුළු රූට රූටා හැළෙන්නට පටන්ගෙන ඇත්තේ ඇයටත් හොරාය. කොණ්ඩය හරි මැදින්ම වාගේ කපා දමා තිබිණි. උහුලා සිටීමට නොහැකි තරම් වේදනාවකින් ඇයගේ හිත රිදුම් දෙන්නට පටන් ගත්තාය.
මුළු ගතම පිළිස්සී යන්නාසේ ඇයට දැනී ගොස් ඇත.
වෙන කරන්න කිසිම දෙයක් ඉතිරිව නොතිබූ නිසාමදෝ ඇය ඉකි ගසා හඬන්නට පටන්ගත්තාය. බස් එකේ ඒ වෙලාවේ සිටි මගීන් විස්තර විමසූ අවස්ථාවේ ඇය සිද්ධ වී ඇති දේ කිව්වේ බොහොම අමාරුවෙන් වචන ගළපමිනි.
බස් එකේ පිටුපස සීට් එකේ වාඩිවෙලා හිටිය කවුරුහරි කෙනෙක් මගේ කොණ්ඩය කපාගෙන ගිහින් යැයි ඇය අමාරුවෙන් වචන ගලපා කියද්දී ඒ කතාව ඇසූ අය විශ්මයට පත්ව ඇත්තේ වෙන කිසිම දෙයක් නිසා නොව මෙය එක්වරම විශ්වාස කිරීමට තරම් අපහසු කතාවක් වූ නිසා විය හැකිය.
එහෙත් ඒ වන විටත් බසයේ ඇය වාඩිවී සිටි අසුන පිටුපස අසුනේ කිසිවකු සිටියේ නැත.
අපිත් දැක්කා මේ නංගිගේ ලස්සන කොණ්ඩය කියා බස් එකේ සිටි තරුණ ගැටව් කීහිප දෙනෙක් කියද්දී ඔව් ඔව් අපිත් බස් එකට නගිද්දිම මේ දුවගේ දිග කොණ්ඩය දැක්කා යනුවෙන් පවසා ඇත්තේ වැඩිහිටි කාන්තාවන් හා පිරිමින් කිහිප දෙනෙකි.
කොහොම වුණත් මෙතුවක් කාලයක් පණමෙන් රැකගත් කොණ්ඩය ඇයට අහිමිවී තිබුණාය.
කිසිමදාක ඇයත් මේ විදිහට විලුඹ දක්වා කොණ්ඩය වවාගත නොහැකි බව දැණුන මොහොතක් පාසා ඇයගේ පපුව හිරවීයන්නා සේ දැනී ඇත.
අනේ මගේ හුස්ම යන්න එනවා වගේ දැනෙනවා යැයි ඇයට කියවී ඇතැයි කියන්නෙ ඉබේටම වාගේය.
බස් එකේ හිටිය අයට අනුකම්පා කරනවා හැරෙන්නට ඇය වෙනුවෙන් කරන්නට වෙන දෙයක් ඉතිරිව තිබුණේ නැත. බස්වල වෙනදා හිටියේ පික් පොකට්කාරයෝ, එහෙමත් නැතිනම් පික්පොකට්කාරියෝ විතරයි. දැන් බලාගෙන ගියාම කෙල්ලන්ගේ කොණ්ඩය කපාගෙන යන එවුනුත් ඉන්නවානේ.
මෙහෙම කියා ඇත්තේ බස් එකේ හිටිය අය මිස වෙන කවුරුත් නොවේ. හැඬූ කඳුළින් යුතුව ඇය බස් එකෙන් බැස යන අයුරු සෙසු මගීන් බලා සිටියේ අනුකම්පාසහගත බැල්මෙනි.
අනේ කාලේ වනේ වාසේ යැයි කියා කරුණු කාරණා දන්නා වැඩි හිටියෝ පවසා ඇතැයි කියති.
අධිවේගී මාර්ගය ඔස්සේ මාතර සිට කඩවත දක්වා පැමිණි බස් එකෙන් බැස ගණේමුල්ලට යාමට පාගමනින් එද්දී ඇය දන්නා හඳුනන පොලිස් නිලධාරියෙක් හමුවී ඇත්තේ අහම්බෙනි.
ඇය සිද්ධ වෙච්චදේ නොවලහා ඒ පොලිස් නිලධාරියා සමග පවසා ඇත.
“මම බස් එකේ සීට් එකක වාඩිවෙලා හිටිය. පිටුපස සීට් එකේ ඒ වෙලාවේ කිසිම කෙනෙක් වාඩිවෙලා හිටියේ නැති බව මට හොඳට මතකයි. ඒ හින්ද මගේ දිග කොණ්ඩය මගේ පැත්තට දාලා තියාගන්න උත්සාහ ගත්තේ නැහැ. බස් එකෙන් බහින්න කිට්ටු වෙලා බලද්දී තමා කවුරුහරි බස් එකේ ආපු එකෙක් මගේ කොණ්ඩය කපාගෙන ගිහින් තියෙන්නේ. මගේ කොණ්ඩය කපන වගක් මට තේරුම් ගියේම නැහැ. මම වට පිට බල බලා ඒ ගැන අවධානයෙන් ඉන්නකොට මම නොදැනුවත්වම බස් එකේ පිටුපස සීට් එකේ වාඩිවුණ කෙනෙක් මට නොදැනෙන්න විතරක් නොවේ අනෙක් අයටත් නොපෙනන විදිහට කොණ්ඩය කපාගෙන අතරමගදි බස්එකෙන් බැහැල ගිහින් තියෙනව. මට හරිම පුදුමේ කියන්නේ මට මේ වගක් නොතේරුණ එක ගැනයි.
ඇය පොලිස් නිලධාරියා සමග කියා ඇත්තේ හැඬුම් බරවය.
එහෙම නම් ඔයාට නින්ද යන්න ඇති. ඒ වෙලාවේ කොණ්ඩය කපාගෙන බෑග් එකක දමාගෙන අතරමග පිවිසුම් මාර්ගයකින් බැහැලා යන්න ඇති. නීතියේ හැටියට මේක බරපතළ වරදක්. ඔයා එන්න මාත් එක්ක පොලිසියට යන්න. පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න. අපි මේ ගැන හොයලා බලමු යැයි කියා මෙම පොලිස් නිලධාරියා යෝජනාකර ඇත.
අනේ වැඩක් නැහැ. කොහේ කියලා මගේ කොණ්ඩය කපාගෙන ගිය එකා හොයා ගන්නද? මම ඒ මිනිහාගේ හැඩරුව ගැන කියන්නවත් දන්නේ නැහැනේ. මොකද මගේ කොණ්ඩය කපාගත් එකාව දැක්කේ නැහැනේ. විලුඹ තෙක් වැටී තිබූ දිගු වරලස අහිමි වී තිබුණු තරුණිය ඇය දන්නා හඳුනන පොලිස් නිලධාරියා සමග පවසා තිබේ.
දිගු වරලස මෙසේ කපාගෙන ගියේ ඇයිද කියා මේ කතාව ඇසූ පොලිස් නිලධාරියාට ද ලොකු ප්‍රශ්නයක් වී ඇත්තේ ඇයට නොදැනෙන්න කපා තිබීම නිසාය.
කොතරම් ඇවිටිලි කළත් පොලිසියට කැඳවාගෙන ගොස් පැමිණිල්ල කිරීමට ඇය කැමතිකරවා ගැනීමට පොලිස් නිලධාරියාට නොහැකි විය.
ඒ ඇයගේ කැමැත්තය. ඇයගේ කැමැත්තට ඉඩදෙනවා හැරෙන්නට පොලිස් නිලධාරියාට වෙන කරන්න දෙයක් තිබුණේ නැත.
කිසියම් මානසික විකෘතිතාවයකින් පෙලුන අයෙක් මේ වගේ දෙයක් කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි. මේ අරුම පුදුම සිද්ධිය ගැන මා සමග උසස් පොලිස් නිලධාරියෙක් කීවේ බස්වල සී.සී.ටී.වී. කැමරා සවිකළ යුතු කාලය දැන් පැමිණ තිබෙනවා යැයි කියාය.
උසස් පොලිස් නිලධාරියා කී කතාව නම් ඇත්තය. එහෙම වුණානම් තරුණියගේ කොණ්ඩය කපාගෙන ගිය එකාව හඳුනා ගැනීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබිණි. කෙසේ වෙතත් අවසානයට ඉතිරිව ඇත්තේ ඇයි මෙහෙම කොණ්ඩය කපාගෙන ගියේ කියන ප්‍රශ්නය පමණය.
බස්වල ගමනක් බිමනක් යනවිට තරුණියනි ඔබේ පොකට් එක, රන් භාණ්ඩ විතරක් නොව වරලස ගැනද අවධානය යොමුකළ යුතු කාලය එළඹ තිබෙන බව විතරක් පැවසිය යුතුව ඇත.