තහංචි අහෝසියේ යටි අරමුණු


රජය පසුගිය අගෝස්තු 1 වැනිදා තහනම් කරනු ලැබ තිබූ විදෙස් ගත ශ්‍රී ලාංකික දෙමළ සංවිධාන හා පුද්ගලයන් අතරින් සංවිධාන 6ක හා පුද්ගලයන් 316 දෙනකුගේ තහනම ඉවත් කළ ද එයට ආණ්ඩු පක්ෂයේ වැඩි දෙනකුගේ එකඟතාව පළ වීද යන්න සැක සහිතය. ඒ එම සංවිධාන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙතෙක් පැවැති ස්ථාවරය රටම දන්නා හෙයිනි.

මෙය බොහෝ දුරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තීරණයක් විය යුතුය. ඒ මහතා අගමැතිව සිටි  2015 දීද මේ ආකාරයටම තහනම් කරනු ලැබ තිබූ දෙමළ ඩයස්පෝරා සංවිධාන අටක හා විදෙස් ගත දෙමළ පුද්ගලයන් 269 දෙනකුගේ එම තහනම ඉවත් කරනු ලැබීය.

මෙසේ දෙමළ ඩයස්පෝරාවේ සංවිධානවල හා පුද්ගලයන්ගේ තහනම ඉවත් කිරීම රටට ප්‍රයෝජනවත් ද? නැත්නම් හානිකර ද? යන්න  කෙසේ වෙතත් ඒවා කෙරෙන ආකාරය ගැටලු සහගතය. ප්‍රධාන වශයෙන්ම එසේ පෙනෙන්නේ ඇතැම් සංවිධානවල තහනම කිහිප වරක්ම පනවනු ලැබ කිහිප වරක් ඉවත් කරනු ලැබ තිබෙන හෙයිනි.

උදාහරණයක් වශයෙන් ගතහොත් ගෝලීය දෙමළ සංසදය නම් සංවිධානය 2014 මාර්තු මාසයේ දී තහනම් කරනු ලැබ 2015 නොවැම්බර් මාසයේ දී එම තහනම ඉවත් කරනු ලැබීය. ඉන්පසු පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී එම සංවිධානය යළි තහනම් කරනු ලැබූ අතර දැන් පසුගිය 1 වැනිදා එම තහනම ඉවත් කරනු ලැබ තිබේ.

මෙසේ රජය විදෙස්ගත දෙමළ සංවිධාන හා පුද්ගලයන් තහනම් සංවිධාන  හා පුද්ගලයන් ලෙස ප්‍රකාශයට පත් කරන්නේ ඔවුන් ත්‍රස්තවාදයට මූල්‍යමය ආධාර සපයන්නන් ලෙස හඳුන්වමිනි. එසේ නම් මෙම ගෝලීය දෙමළ සංසදය වැනි සංවිධාන සම්බන්ධයෙන් මෙසේ විටින් විට පරස්පර විරෝධී තීරණ ගන්නේ කෙසේද යන්න පැහැදිලි නැත.

මෙවර රජයේ තීරණය පිළිබඳව පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පසුගිය 17 වැනිදා නිවේදනයක් නිකුත් කොට තිබිණි. විදේශ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි අංශ, නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය යන ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පසුගිය වසර කිහිපය තුළ සංවිධාන හා පුද්ගලයන් ත්‍රස්තවාදයට මූල්‍යමය ආධාර දීම සම්බන්ධයෙන් සමීක්ෂණයක් කර තහනම් කරන හෝ තහනම ඉවත් කරන සංවිධාන හා පුද්ගලයන් පිළිබඳව තීරණය කරන බව එහි දැක්වේ.

ඒ අනුව 2014 සිට විටින් විට එම තහනම ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ විස්තරයක් එහි ඇතුළත් වේ. 2014 මාර්තු 21 වැනිදා සංවිධාන 16ක් හා පුද්ගල්යන් 424 දෙනකු තහනමට ලක්ව තිබේ. ඉන් සංවිධාන 8ක් හා පුද්ගලයන් 269 දෙනකුගේ තහනම යහපාලන ආණ්ඩුව පැවැති සමයේ 2015 නොවැම්බර් 20 වැනිදා ඉවත් කෙරිණි.  2016 නොවැම්බර් 9 වැනිදා එම ආණ්ඩුව තවත් පුද්ගලයන් 69කගේ තහනම ඉවත් කොට ඇත.

2017 වසරේදී මෙම සංවිධාන හා පුද්ගලයන් සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැත. යහපාලන ආණ්ඩුව පැවැති කාලයේම 2018 ජුනි 20, 2019 මැයි 23 හා 2019 සැප්තැම්බර් 9 යන දිනවල දී තහනම් පුද්ගලයන් සංඛ්‍යාව 86 සිට පිළිවෙළින් 100, 125 හා 188ක් වශයෙන් වැඩි වූ අතර තහනම් සංවිධානවල සංඛ්‍යාව 8 සිට 8, 11, 11වශයෙන් වෙනස් විය.

විශාලම සංවිධාන සංඛ්‍යාවක් හා පුද්ගලයන් සංඛ්‍යාවක්  තහනම් ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබුවේ පසුගිය වසරේය. එම පුද්ගලයන් සංඛ්‍යාව 577කි. සංවිධාන  සංඛ්‍යාව 18කි. දැන් තහනම් සංවිධාන සංඛ්‍යාව 15කි. පුද්ගලයන් සංඛ්‍යාව 316කි. ඒ පුද්ගලයන් 316 දෙනකුගේ හා සංවිධාන 6ක තහනම ඉවත් කිරීමෙන් පසුවය.

මෙම විස්තරයෙන් පසුව වුව ද ඇතැම් සංවිධාන හා පුද්ගලයන් විටෙක තහනමට ලක් කොට, පසුව එම තහනම ඉවත් කොට යළිත් එම තහනම පනවා යළිත් එම තහනම ඉවත් කිරීම තේරුම් ගත නොහැකිය. කෙනකු පොදුවේ මෙම සංවිධාන තහනම් කිරීම හෝ නොකිරීම පිළිබඳව  කුමන මතයක් දැරුව ද මෙම කරුණ පැහැදිලි නැත.

පසුගිය වතාවේ ගෝලීය දෙමළ සංදය වැනි සංවිධාන කිහිපයකට පනවනු ලැබූ තහනම ඉවත් කෙරුණේ මාස 18 කිනි. මෙවර එය ඉවත් කෙරුණේ මාස 17කිනි. දෙවතාවේදීම තහනම ඉවත් කෙරුණේ එකම දේශපාලන වටපිටාවක් තුළය. පසුගිය වතාවේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියදීය. මේ වතාවේ ඒ මහතා ජනාධිපතිව සිටියදීය.

සංහිඳියාව, දෙමළ ඩයස්පෝරාව හා රාජ්‍ය නොවන සංවිධාන ආදිය දෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් කවදත් බැලුවේ සැකයෙනි. බොහෝ විට ඔවුනට මෙම වචන පවා වහකඳුරු මෙනි. විදේශගත දෙමළ පුද්ගලයන් හා සංවිධාන ඔවුන් දකින්නේ කොටි සංවිධානයේ ආධාරකරුවන් හා ශාඛා මෙනි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දක්වා ජනාධිපති ධුරයේ සිටියේ නම් ආණ්ඩුව ඉකුත් 1  වැනිදා මෙම තහනම ඉවත් කිරීමේ තීරණය නොගන්නට ඉඩ තිබිණි.

වාර්තාවන අන්දමට සියලු දෙමළ ඩයස්පෝරා සංවිධාන හා පුද්ගලයන් ශ්‍රී ලංකාව තුළ වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටුවිය යුතුය, යන මතය දරන්නේ නැත.  ඔවුන්ගෙන් පිරිසක් දෙමළ ජාතික සන්ධානය වැනි දේශපාලන පක්ෂවල මතය දරන අතර තවත් පිරිසක් වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා පෙනී සිටිති.  පසුගිය වසරේ නොවැම්බර් 20 වැනිදා කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ දී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන් හා ශානක්කියන් රාසමානික්කම් යන දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට කඩා පැන එම රැස්වීම කඩා කප්පල් කළේ එසේ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් හඬ නඟන, කොටි සංවිධානයට හිතවත් පිරිසකි.‘‘දේශපාලන විසඳුමක් එපා, වෙනම රාජ්‍යයක් ඕනෑ’’ යැයි ඔවුන්  හඬ නඟා තිබිණි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය මෙම කණ්ඩායම් දෙක තෝරා බේරාගෙන කටයුතු කරන්නට  උත්සාහ කරන බවක් පෙනේ. පසුගිය යහපාලන ආණ්ඩුව පැවති කාලයේදීද 2015දී ඇතැම් කණ්ඩායම්වල තහනම ඉවත් කිරීමට අමතරව එම වසර අවසානයේ දී ඩයස්පෝරා උත්සවයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ද එවකට විදේශ ඇමැතිව සිටි මංගල සමරවීර මහතා  සැලසුම් කළේය. එහෙත් ආණ්ඩුව තුළින්ම මතුව ආ විරෝධතා නිසා ඔහු පසුව එම අදහස අත්හැර දැමුවේය.

මෙවර ආණ්ඩුව සංවිධාන හයක හා පුද්ගලයන් 316 දෙනකුගේ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන්  පොදුජන පෙරමුණ වෙතින් විරෝධයක් මතු වූයේ නැත. ආණ්ඩුවේ තීරණය ප්‍රශ්න කළ එකම දේශපාලන පක්ෂය විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ පමණි. ඊට අමතරව ජාතික සංවිධාන එකමුතුවේ ගුණදාස අමරසේකර මහතා මෙම තීරණයට විරෝධය පා තිබිණි.

2015 දී මෙම සංවිධානවල තහනම ඉවත් කරනු ලැබූ විට දෙමළ දේශපාලන පක්ෂ එය අගය කළා විනා එම තීරණය පිටුපස වෙනත් යටි අරමුණු ඇති බවක් දුටුවේ නැත. එහෙත්  මේ වතාවේ ඔවුහු එවැනි යටි අරමුණු අතැයි සිතන බව පෙනේ.

මෙවර සංවිධානවල තහනම ඉවත් කිරීම  පිටුපස හේතු දෙකක් දකිති. එකක් නම් ලබන මාසයේ ජිනීවා නුවර දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය ආරම්භ වීමට නියමිතව තිබීමයි. තමන් මානව හිමිකම් ආරක්ෂා කරන්නට කටයුතු  කරන බව කවුන්සිලයට පෙන්වීමට ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇතැයි ඔවුහු කියති. විශේෂයෙන්ම ජූලි 22 වැනිදා ගාලුමුවදොර සාමකාමී අරගලකරුවන්ට හමුදාව ලවා පහර දීම මානව හිමිකම් කවුන්සිලය හෙළා දැක්මට ලක්ව ඇති තත්ත්වය  යටතේ මෙම තීරණය ගනු ලැබ ඇත.

දෙවැනි කාරණය වශයෙන් ඔවුන් දක්වන්නේ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ විශාල විදේශ විනිමය ගැටලුවකට මුහුණ දී සිටින ආණ්ඩුවට දෙමළ ඩයස් පෝරා සංවිධාන  හා පුද්ගලයන් මෙරට තුළ විවිධ ආයෝජන සඳහා පොළඹවා ගැනීමට අවශ්‍ය වී ඇති බවයි. මෙම දෙවැනි කාරණය බොහෝ දුරට පිළිගත හැකිය.

පසුගිය 10 වැනිදා දෙමළ ජනතා ජාතික  සන්ධානයේ නායක, උතුරු පළාතේ හිටපු ප්‍රධාන ඇමැති සි.වී. විග්නේෂ්වරන් මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාවකදීද දෙමළ ඩයස්පෝරාව මෙරට තුළ ආයෝජනය කිරීමට කැඳවා ගැනීම මාතෘකාවක් වී තිබිණි. එසේ විදෙස්ගත දෙමළ පුද්ගලයන් හා සංවිධාන වෙතින් මුදල් රට තුළට ගෙන්වා ගැනීම පිළිබඳ යෝජනා ඇතුළත් ලියවිල්ලක් ජනාධිපතිවරයා තමාට එහිදී දුන් බව විග්නේෂ්වරන් මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබිණි.

මෙම ආයෝජන ප්‍රශ්නය ද පසුගියදා විදෙස්ගත දෙමළ සංවිධානවලට පනවනු ලැබ තිබූ තහනම ඉවත් කිරීමට යම් තරමකට හෝ බලපාන්නට ඇතැයි ජනාධිපතිවරයාම කළ ප්‍රකාශයකින් ද පෙනේ.

පසුගිය 16 වැනිදා කොළඹදී පැවැති විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ  වාර්ෂික රැස්වීම අමතා කළ කතාව අවසානයේ දී වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.‘‘2009 දී යුද්ධය අවසාන වූ නිසාත් යළිත් සටන් කිරිමේ අවශ්‍යතාවක් නැති  නිසාත්, ජනවාර්ගික ප්‍රශ්නය දීර්ඝ කාලයක් ඇදි ඇදී  ගොස් ඇති  තත්ත්වය  යටතේ අප ජනවාර්ගික කණ්ඩායම් අතර ප්‍රශ්න විසඳා ගත යුතුයි.  අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඩයස්පෝරාව දෙස බලමු. ඔවුන් ශක්තියක් මෙන්ම ආයෝජන මාර්ගයක්ද වෙනවා. එනිසා මම ඩයස්පෝරා කාර්යාලයක් ස්ථාපිත කරන්නට තීරණය කොට තිබෙනවා. එම කාර්යාලය ඩයස්පෝරාව හා එතුළ ඇති කණ්ඩායම් සම්බන්ධයෙන් වෙනම කටයුතු කරනු ඇති.’’

දෙමළ නායකයන්ගේ දේශපාලන ඉල්ලීම් ඉටු නොකොට දෙමළ ඩයස්පෝරාවෙන් ප්‍රයෝජන ගන්නට ආණ්ඩුව කපටි ලෙස උත්සාහ කරන බවක් පෙන්වන්නට දෙමළ  නායකයන් උත්සාහ කළ ද ආණ්ඩුවේ උත්සාහය නරක දෙයක් නොවේ. විදෙස් ගත ශ්‍රී ලාංකික දෙමළ ධනවතුන්  විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත්වල ආයෝජනයන්හි නිරත වන්නේ නම් ඉන් වැඩිම ප්‍රයෝජනයක් ලැබෙනු ඇත්තේ දෙමළ ජනතාවටය.

දෙමළ ඩයස්පෝරාව පිළිබඳ පොදුජන පෙරමුණේ ස්ථාවරය කුමක් වුවද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පසුගිය වසරේ ටික කාලයකට හෝ දෙමළ ඩයස්පෝරාව සම්බන්ධයෙන් සුබවාදී ආකල්පයක් පෙන්වීය. පසුගිය වසරේ සැප්තැම්බර්  මාසයේ නිව් යෝර්ක් නුවර පැවැති එ.ජා. මහා මණ්ඩලයේ 76 වැනි සමුළුවට සහභාගිවූ රාජපක්ෂ මහතා එම සමුළුවේ දී පැවැත්වූ කතාවේදීද ඊට තෙදිනකට පෙර එ.ජා. මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් හමු වූ අවස්ථාවේදීද ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන් දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කරන්නට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

එහෙත් මසකට පමණ පසු එවකට සිටි විදේශ ඇමැති මහාචාර්ය ජී.ජීල්. පීරිස්, ඩේලි මිරර් පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක ප්‍රකාශ කළේ තහනම් සංවිධාන සමඟ සාකච්ඡා කිරීමේ අදහසක් ආණ්ඩුවට නැති බවය. මෙය  ඔහුගේ පෞද්ගලික  මතය විය නොහැකිය. එය ජනාධිපතිවරයා නිව් යෝර්ක් නුවර දී පළ කළ මතය වෙනස් කරගෙන ඇති බව පෙන්වන්නකි.

පසුගිය මාර්තු  23 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා  සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීය. එහිදී කතා කළ සුමන්දිරන් මහතා ආණ්ඩුව බලය බෙදීමේ වැඩ පිළිවෙළ ශක්තිමත්  කරන්නේ නම් දෙමළ ඩයස්පෝරාව මෙරට තුළ අයෝජනය  කරන්නට සුදානම් යැයි පවසා තිබිණි. මෙයද එක්තරා ආකාරයක දේශපාලන කේවල් කිරීමකි. ආයෝජනයෙන් ප්‍රයෝජනයක් වන්නේ නම් ආණ්ඩුවට පමණක් නොව ජනතාවට ද එම ප්‍රයෝජනය ලැබේ.

 ඩයස්පෝරාව ශක්තියක් මෙන්ම ආයෝජන මාර්ගයකැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්වන අදහස සත්‍ය වුවද ඩයස්පෝරාවද  දැඩි ලෙස දේශපාලනිකරණය වී ඇති තත්ත්වය යටතේ ඔවුනට තම ආයෝජනවල ආරක්ෂාව පිළිබඳ සහතිකයක් දීම දුෂ්කරය. ආණ්ඩුවට ජනවාර්ගික ප්‍රශ්නය හා ඩයස්පෝරාව සම්බන්ධයෙන් ස්ථාවර ප්‍රතිපත්තියක් තිබිය යුතුය. රට මුහුණ  පා ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ විදේශ විනිමය හදිසි අවශ්‍යතාවක් වන හෙයින් එතරම් ඉක්මනින් ආණ්ඩුවට එම සහතිකය දිය හැකි වේද යන්න සැක සහිතය.

(*** එම්.එස්.එම්.අයුබ්)