සරසවි ප්‍රේමය පිළිබදව නිර්මාණ රචනයේ යෙදෙන බොහෝ නිර්මාණකරුවන්ට නිතරම මතක්වන්නේ පේරාදෙණියයි. එහි පවත්නා පාරිසරික සෞන්දර්යය ඊට ප්‍රමුඛ හේතුවක් වෙයි. පේරාදෙණි පරිසරය පසුබිම් කොටගෙන ප්‍රවීණ ගීත පද රචක ධම්මික බණ්ඩාරයන් මෑත කාලයේ ලියූ හන්තානට පායන සද ගීතය කොයි කා අතරත් වඩාත් ජනප්‍රිය ගීතයක් ලෙස ඇගැයුමට ලක් වුණි.
ඒ අතරතුර සරසවි ප්‍රේමය පදනම් ව තවත් අපූරු ගීතයක් බිහි විය. එහි අපූර්වත්වය නිසාම කෙටි කලකින්ම රසික ප්‍රසාදයට මේ ගීය ලක් විය. එහෙත් මේ ගීතයට පසුබිම් වූයේ පේරාදෙණිය සරසවි බිම හෝ හන්තාන හෝ මහවැලි නදිය හෝ නොවේ. කොළඹ සරසවිය කේන්ද්‍ර කොටගත් මේ ගීතයේ එන පෙම් කතාවේ ප්‍රේමය උපදින්නේ තුම්මුල්ල හන්දියේය. පිටකොටුවේ බෝධිය ළගය. රීඩ් මාවතේය. කොම්පන්න වීදියේය. බේරේ වැව අසලය. නිදහස් චතුරඝ්‍රයේය. බම්බලපිටියේ දුම්රියපොළ ළඟය. මේ ගීතයේ අපූර්වත්වය උපදින්නේද එතැනිනි.
හන්තාන පමණමද පෙම් සුව වින්දෙ ජීවිතේ
එක පෙම් මලක් පිපී නැතිවද ඊඩ් මාවතේ
පේරාදෙණියේ මල්වතුවල සරණ වංගියේ
තහනම් ද පෙම් කරන්නට තුම්මුල්ල හන්දියේ
ග්‍රහලෝකාගාරය තිබුණත් පේනමානයේ
හන්තානට පායන සඳ නෑ අපට පෑයුවේ
දළදා වදින්න ආසයි බෝ දුරයි ප්‍රේමියේ
අපි පඬුරු ගැටගසා එමු පිටකොටුවෙ බෝධියේ
ළා රෝස පාට මල්ලියකම් ගෙතුව ප්‍රේමයේ
රොබරෝසිය නෑ නංගියෙ කොම්පඤ්ඤ වීදියේ
මහවැලිය පිස හමන නල මුදු සුවද නෑ රැයේ
මේ බේරෙ වැවේ සුවඳට හුරු වෙයං ප්‍රේමියේ
නිදහස් චතුරඝ්‍රය මදිනම් දෙන්න ආදරේ
බම්බලපිටියේ දුම්රිය පොළ ළඟයි සාගරේ
මිය ඇදුණෝතින් මහවැලියට නොදා ආදරේ
තැන්පත් කර යමු ජාතික කෞතුකාගාරයේ
මෙහි පද රචකයා රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි මහතායි. ඉන්දික ලියන්ගේ ගායනා කරන මේ ගීතය ට සංගීතය නිර්මාණය කළේ මහින්ද බණ්ඩාරය. මේ ගීතය ලියන්නට පසුබිම් වූ අත්දැකීම කෙබඳුදැයි අපි නන්දසිරි මහතාගෙන් විමසා සිටි විට ඊට ඔහුගේ පිළිතුර වූයේ මෙවැන්නකි.
‘‘මෙම ගීතය තමයි මගේ නිර්මාණ ජීවිතේ අඩුම කාලයක් ඇතුළත ලියැවුණු ගීතය. ඇත්තටම මේ ගීතය මම ලිව්වෙ විනාඩි විස්සක් වගේ කෙටි කාලයකදී. මේ ගීතය ලියද්දි මට අරමුණු කීපයක් තිබ්බා. එකක් තමයි සරසවි ප්‍රේමය ගැන කියද්දි බොහෝ නිර්මාණකරුවන් පේරාදෙණියම පමණක් යොදාගැනීම. ඇයි කොළඹ, කැලණිය, රුහුණ වගේ තැනක එහෙම පෙම් කතා ගොඩනැගෙන්න බැරිද?. ප්‍රේමය කියන එක කොම්පඤ්ඤ වීදියේ පකිස් පෙට්ටියක් උඩ උපදින්න බැරිද?. ඒ කාරණය මතු කරන්න මට අවශ්‍යතාවක් තිබුණා. බොහෝ අය කල්පනා කරනවා ගීත කවි ලියන්න ඕනැ වුණාම සුගම්‍ය සුඛනම්‍ය මටසිලුටු වචන මාලාවක් ඕනෑ කියලා.
කවියක් කියලා කියන්නෙ හොඳම වචන හොඳම පිළිවෙළට යෙදීම නම් අපේ අත්දැකීම් පරිසරය ඇතුළෙ කඨෝර වචනවලට පවා ඉඩක් තියෙන්න ඕනෑ. මේ ගීතයේ එන කොම්පන්න වීදිය, කෞතුකාගාරය, තුම්මුල්ල හන්දිය, රීඩ් මාවත, බම්බලපිටියේ දුම්පියපොළ වගේ වචන ගීතවලට ගන්න බෑ කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා. ඒත් මට මේ වෙනස පෙන්වන්න අවශ්‍ය වුණා.
අනිත් කාරණේ තමයි අපි නැති දේවල් ගැන දුක් වෙනවාට වඩා ලද දෙයින් සතුටු වෙන්න පුරුදුවීම කියන කාරණේ. මහවැලිය පිස හමන නළමුදු සුවඳ විඳගන්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. ඒත් අපට පුළුවන් වේන ඕනැ බේරෙ වැවේ පරිසරයත් සුවදක් කරගන්න. ඒ වගේම මට ඕනැකමක් තිබුණා විශ්වවිද්‍යාල ළමයි එකතුවුණ වෙලාවට මහා සංගීත භාණ්ඩ නැතුව ඩෙස් එකකට පුටුවකට බෝතලේකට හැන්දකින් තට්ටුවක් දාලා කියන්න පුළුවන් විදියේ සින්දුවක් නිර්මාණය කරන්න. හුඟ දෙනෙක් අහනවා මම පේරාදෙණියෙ ශිෂ්‍යයෙක් වෙලා ඇයි කොළඹ ගැන ලියන්නෙ කියලා. ඒත් මම ආචාර්ය උපාධිය ගත්තෙ කොළඹ විශ්වවිද්‍යාලයෙන්.”
නන්දසිරි කීඹියහෙට්ටි කවියාගේ මේ ගීතයේ සමහර යෙදුම් නිසා අපට ධම්මික බණ්ඩාර ගේ හන්තානට පායන සද ගීතයත් නිතැතින්ම මතකයට එයි. මේ ගීතය හන්තානට පායන සද වෙනුවෙන් ලියූ පිළිතුරු ගීත්‍යක්දැයි අප විමසා සිටියේ ඒ නිසාය.
‘‘ඔව්. කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. ධම්මික බණ්ඩාරයන් හන්තාන ගීතයේදි කිව්වෙ” මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න’ කියලා. ඒත් මට හිතුණා ප්‍රේමයේ මතකය විසිකරල දාන්නේ නැතුව කොහේ හරි තැන්පත් කරන එක හොඳයි කියලා. බොහොම වටිනා කියන දේවල් තැන්පත් කරන පරම්පරා ගණනාවකට ඒ මතකය රැක දෙන කෞතුකාගාරයේ ප්‍රේමය තැන්පත් කර යන්නට යෝජනා කරන්නෙ ඒ නිසයි.’’
කිසියම් නිර්මාණයක අපූර්වත්වය තීරණය වන්නේ ඒ ඒ නිර්මාණකරුවා ගොඩනගන නිර්මාණාත්මක පරිකල්පනය මතය. ප්‍රතිභා ශක්තිය මතය. කීඹියහෙට්ටි කවියා අතින් හන්තාන පමණමද ගීතය විනාඩි විස්සකින් පමණ ලියැවුණත් ඔහු ඇතැම් නිර්මාණ සඳහා බොහෝ කාලයක් යෙදවූ බව පෙනේ. නිර්මාණ රචකයකුට මේ නිර්මාණාවේෂය පැමිණෙන්නේ කෙසේද? නන්දසිරි කීඹියහෙට්ටි කවියා ඒ සම්බන්ධයෙන් දරන්නේ මෙවන් අදහසකි.
‘‘නිර්මාණයක් බිහිවෙන කාලයක් නිශ්චිතව කියන්න බෑ. කවියා කියන්නෙ හදවතේ උල ඇණුනු ඇත්තෙකැයි කතාවක් තියනවා. ඔහු ඒ උල දරාගෙන පැසව පැසව වේදනා විඳිමින් කාලයක් ගත කරන්න පුළුවන්. හර්ශන දිසානායක ට මම ලියූ ‘‘හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී’’ කියන ගීතය ලියන්න මට මට අවුරුදු 16කටත් වැඩි කාලයක් ගත වුණා. මේ ගීතයේ මුල් පද මට එන්නෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් විදියට ඉන්න 1994-1998 කාලෙ. ඒත් මේක ගීතයක් වෙන්නෙ 2016 දි. ගීතය නිර්මාණය වන, කාලය වෙනවිට සමහර පද වෙනස්වෙලා.
මේ ගීතයේ එක තැනක තියනවා
වාවගන්න බැරි තනිකම හිරකරගෙන ළයේ
ජීවිතයම හොරු අරගෙන කොහෙදෝ නුඹ ගියේ
කියලා. ඒ පද මට එන්නෙ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්න කාලෙ මගේ පෙම්වතිය පළමු වරට ඇගේ ගෙදරින් බැහැරට එක්ක යන්න මවුපියන්ගෙ අවසරය ලැබුණු දවසෙ. මම ඇයව එක්ක ගියේ දළදා මාලිගාවට. අපි එදා දළදා පෙරහැර බැලුවා. අවසානයේ ඇය දුම්රියට නංවා මම පේරාදෙණියෙ නතර වුණා. දුම්රිය ඈතට නොපෙනී නොපෙනී පුංචි තිතක් වෙනකල් බලාන ඉද්දි මට දැණුනු හැගීම තමයි මේ පද පේළිවල තියෙන්නෙ.’’
විශාරද එඩ්වඩ් ජයකොඩී ගායනා කරන නන්දසිරි කීඹියහෙට්ටි රචනා කළ ‘‘අහසට අකුණු මිස වැහි නැති ලකුණු පෙනී’’ ගීතය අපූර්ව අනුභූතුයක් වඩාත් කලාත්මකව පද පෙළකට නැගුණු අවස්ථාවකි. ගීතයේ වස්තු විසයට පදනම් වන්නේ විශ්වවිද්‍යාල ගුරුවරයකු හා සිසුවියක අතර ඇතිවන අප්‍රකාශිත ප්‍රේමයකි.
අහසට අකුණු මිස වැහි නැති ලකුණු පෙනී
පවසට දිය පොදක් සෙව් වැහි ලිහිණියනි
අකලට පැමිණි නුඹ ළඟ ජීවිතය දැනී
ලොවකට මග කියූ ඇස්දෙක නතර වුණී
මේ ගීතය මගේ අත්දැකීමක් එක පැත්තකින්. මම හිතන්නෙ ඕනෑම පිරිමි ගුරුවරයෙක් මේ අත්දැකීම රහසින් විඳල තියෙන්න පුළුවන්. ප්‍රේමයක් විදියට ප්‍රකාශ නොවුණට සිසුවියක් කෙරෙහි ආකර්ෂණය නොවීම කියන එක ඉතාම කලාතුරකින් සිදුවන්නක්. මේ ගීතය ලිව්වට පස්සෙත් ගුරුවරුන් විශාල සංඛ්‍යාවක් තම තමන්ගේ අත්දැකීම් ගැන කියන්න පටන් ගත්තා.
මේ ගීතයට පදනම් වන අත්දැකීම මට ලැබෙන්නෙ මම උගන්වපු පන්තියක එක් ශිෂ්‍යාවක් හිටියා ඇය හැමදාම ඉතාම ප්‍රීති ප්‍රමෝදයෙන් තමයි දේශන ශාලාවෙ ඉන්නෙ. ඒත් උගන්වන කාරණයක් සම්බන්ධයෙන් ඇගෙන් ප්‍රශ්නයක් ඇහුවම ඇයට හරියට උත්තර දීගන්න බෑ. මට හිතුණා ඇගේ සටහන් පොත බලන්න. එතකොට මට පෙනුණෙ ඇය සටහන් ලියලා නෑ මම උගන්වන හැටි ඒ දර්ශනය තමයි හැම පිටුවකම ඇය චිත්‍රයට නගල තියෙන්නෙ. මට ඒ අත්දැකීම පන්තිකාමරයෙන් අමතක කරලා යන්න බැරි වෙනවා. ගෙදර ගියාමත් ඒ ගැන කල්පනා වෙනවා. එහෙම අවස්ථාවක ප්‍රකාශ නොවුණට ඒ සිද්ධියත් එක්ක අප්‍රකාශිත ප්‍රේමයක් එක්ක කෙනෙක් ජීවත්වෙන්න පුළුවන්.
මේ ගීතයේදී ඇය සිසුවියක්. කතකයා ගුරුවරයෙක්. එතන ප්‍රේමයක් හටගන්න ඉඩක් නෑ. ඒ නිසයි ගීතයේ අවසාන පදයෙදි
වැහිළිහිණියේ මුළු අහසම නුඹට තමයි
කූඩුව සදන තැන නාසන් සිතට දුකයි
කියලා කියන්නෙ.”
ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි ප්‍රතිභා සම්පන්න කවියෙකි. ගජමුතු සහ කදුළු වැනි ඔහුගේ කාව්‍ය සංග්‍රහ විචාරකයන්ගේ අවධනයට ලක්වූ බවද පෙනේ. ඔහු තම බොහෝ කවිවල අපූර්වත්වය මතු කරන්නේ අප සාම්ප්‍රදායිකව සිතන අයුරින් නොවේ. උදාහරණයකට ‘‘උකුස්සාගේ පාපොච්චාරණය’’ නමින් ඔහු ලියන කව කියවමු.
තනේ මවු කිරි ශිරා වියැළී
කිරිපිටිත් මිල වැඩි නිසා
මං හිතුවෙ ලොකු පුතා දියඹට
විසිකළේ නුඹමය කියා
කමා කළ මැන පටාචාරා
දෙස් දෙවොල් මට නොපවරා
දෙවැනි දරුවා බේරගන්නයි
නුඹෙන් ඩැහැගත්තේ වහා
පටාචාරාට දරුවා අහිමිවීමේ ඛේදවාචකයේ දී උකුස්සා ප්‍රධාන චෝදනා ලබන්නෙකි. එහෙත් කීඹියහෙට්ටි කවියා උකුස්සාගේ පාපොච්චාරණයට ඉඩක් ලබා දෙයි.ඒ පාපොච්චාරණය තුළින් කවියා පුළුල් නූතන සමාජ දේශපාලන හරස්කඩක් නිර්මාණාත්මකව මතු කොට පෙන්වයි.
කීඹියහෙට්ටි කවියාගේ බොහෝ කවිවල මතුවන ප්‍රබල දේශපාලනයක්ද කවියේ යටිපෙළින් අපට හමුවෙයි. පොදු මහජනයා මැද සිටින සැබෑ කලාකරුවකුගේ කලාවේ දේශපාලනය කුමක්දැයි නූතන පරපුරට තේරුම් ගන්නට ඉඩ හරින්නට මේ කවි මනා අවස්ථාවකි.
නන්දසිරි කීඹියහෙට්ටි මහතා ආර්ථික විද්‍යාව සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකි. එහෙත් ඔහු කවිය ගීතය ඇතුළු කලාවේ හපන්කම් ප්‍රතිභාසම්පන්නතා පෙන්වන්නෙකි. ආර්ථික විද්‍යා ආචාර්යවරයකු කවියකු සාහිත්‍යකරුවකු වූයේ කෙසේද? අපගේ පැනය එයයි.
‘‘මං හිතන්නෙ මේ ප්‍රශ්නෙ අහන්න ඕනෙ අනිත් පැත්තට. ආර්ථික විද්‍යාව කියන විෂයයට මම එන්නෙ උසස්පෙළ පන්තියෙ ඉදලා. ඒත් මම කවි ලියන්න පටන් ගන්නෙ තුනේ පන්තියේ ඉදලා. ඒ නිසා ආර්ථික විද්‍යාඥයෙක් කවි ලිව්වා නෙවෙයි. කවි ලියන කෙනා ආර්ථික විද්‍යාව ඉගනගත්තා කියලයි මම හිතන්නෙ.
මිනිසෙක් තුළ සහකම්පනයක් ඇතිවෙන්න නම් ඔහු තුළ සාහිත්‍ය කලා රසවින්දනයක් තියෙන්න ඕනෑ. ජයලත් මනෝරත්නගේ ගුරු තරුව නාට්‍යයේ මෙහෙම කියනවා.
‘‘මැටි වැඩ ඉගනගත්තොත් මුට්ටියක්වත් හදාගන්න පුළුවන්. ශාරීරික අභ්‍යාස කළොත් කොන්දවත් කෙළින් තියාගන්න පුළුවන්. ඒත් සාහිත්‍යයෙන්.’’
‘‘සාහිත්‍යයෙන්ද. සාහිත්‍යයෙන් කරන්නෙ කෙළින් කරපු කොන්ද උඩ තියන මුට්ටියට රත්තරන් පුරවගන්නවද අසූචි පුරවගන්නවද කියල තීරණය කරන එක’’
එයින් පැහැදිලි වෙනවා සාහිත්‍යයේ සමාජ භාවිතාවේ අවශ්‍යතාව කෙබඳුද කියන එක.
කවියා කලාකරුවා නිරන්තරයෙන් සමාජය පිළිබද නිරීක්ෂණයෙන් පසුවන්නෙක්. සාධාරණ සමාජයක් අපේක්ෂා කරන්නෙක්. පසුගිය කාලය පුරා සාහිත්‍යකරුවන් කලාකරුවන් තම නිර්මාණවලින් අපේක්ෂා කළ සංස්කෘතික සමාජය සහ සංස්කෘතික මිනිසා නිර්මාණය වී තිබේද ? එසේ නැතිනම් ඒ කාගේ වරදින්ද?
නන්දසිරි කීඹියහෙට්ටි මහතා ඒ සම්බන්ධයෙන් දක්වන නිරීක්ෂණය මෙබදුය.
සංස්කෘතික මිනිසා ගොඩනැගීමට සුදුසු පරිසරයක් ගොඩනැගුණෙ නැත්තෙ ඊට ලොකුම හානිය කළේ මේ රටේ අධ්‍යාපන ක්‍රමය. කැමති උණත් අකැමැති උණත් අපි ඒක පිළිගන්න වෙනවා. මේ තරගකාරී අධ්‍යාපනය ක්‍රමය ඇතුළෙ දරුවට සොබාදහමත් එක්ක ජීවත් වෙන්න කොහෙත්ම වෙලාවක් නෑ. කලාව සෞන්දර්ය රසවිදින්න වෙලාවක් නෑ. හද්දින්නත්තරු ගැන පොතේ රචනාව ලිව්වට තරු බැබලෙන රාතියක ඒ දිහා බලා ඉදින්න වෙලාවක් නෑ. අනෙක් පැත්තෙන් අපේ ආකල්පමය වෙනසක් සිද්ධ වෙන්න ඕනෑ. එහෙම නොවුණොත් මිනිස්සු සංවර්ධනය කියලා දකින්නෙ කොන්ක්‍රීට් වනාන්තරයක් විතරයි. කලාවේ උසස් නිර්මාණ රසවින්දනය කෙරෙහි සමාජය යොමු කරවීම ඉතාම අවශ්‍යයි. ඒත් අද ගීත හැටියට ඇහෙන්නෙ විලාප විතරයි. එයින් පෙනෙන්නේ නූතන කලාවේ පරිහානියයි. එයින් වෙන්නේ අප ප්‍රාර්ථනා කරන සංස්කෘතික මිනිසා පිළිබද අපේක්ෂාව තවත් ඈතට යාමයි.
(*** ගාමිණී කන්දේපොළ)