ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය සපයා ගැනීම සඳහා වන විස්තීරණ ණය වැඩසටහනට එකතු වීමත් සමඟ ලැබෙන අත්දැකීම් වේදනාත්මක වන බව මහ බැංකු අධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය. ඇතැම්විට මෙම වේදනාව බරපතළ සමාජ අරගලයක් කරා තල්ලු විය හැකි බවට ද ඔහු අනතුරු අඟවා තිබුණි. මහ බැංකු අධිපතිවරයාගේ මෙම ප්‍රකාශනයත් යථාර්ථයක් වන ලකුණු දැන් දැන් පහළ වෙමින් තිබේ. පරිහාණියට පත් ආර්ථිකයක් සමඟ ගනුදෙනු කරන සමාජය මත අසීමිත බදු බර පැටවීමත් සමඟ ජනතාව වේදනාවට සහ කෝපයට පත්ව සිටී.
ලෝක බැංකුව වේවා, මුල්‍ය අරමුදල වේවා, පිරිහුණු ආර්ථිකය ගොඩනංවන්නට කිසියම් මුල්‍ය ආධාරයක් පිරිනමන්නේ බරපතළ කොන්දේසි සහිත බෙහෙත් වට්ටෝරුවක් ද සමඟය. මෙම ආයතන ශ්‍රී ලංකාව වැනි රටවල්වලට ලබා දෙන ප්‍රධානම නිර්දේශ ගණනාවකි. රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමට අලුතෙන් බදු පැනවිය යුතුය යන්න පළමු නිර්දේශයයි. දෙවැන්න දැනට රජය මගින් නඩත්තු කරන පාඩු ලබන ව්‍යවසාය පෞද්ගලිකකරණයකොට පාඩුව පියවා ගන්නා අතර රජයේ ගිණුමට ආදායමක් උපයාගත යුතුය යන්නයි. අනෙක් සියලු නිර්දේශ මෙම නිර්දේශ දෙකට යටත්ව පවතී.
රජය දැන් පිටපොට ගසන්නේ මෙම නිර්දේශ ක්‍රියාත්මක කොට ජාත්‍යන්තර මුල්‍ය ආයතනවල ප්‍රසාදය දිනා ගැනීමටය. ඒ සඳහා පාඩු ලබන ව්‍යවසාය පෞද්ගලිකකරණය කළ යුතුය යන්න ගැන දැන් දැඩි සමාජ විරෝධයක් නැතිවා පමණක් නොව සමාජයේ ආශිර්වාදයද ලැබෙමින් පවතී. එහෙත් දරාගත නොහැකි ලෙස බදු බර පටවන විට සමාජය කැළඹෙයි. ඔක්තෝබර් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන සමාජ ආරක්ෂණ බද්ද තවත් බදු ගණනාවක් සමඟ පූට්ටු වී ද්විත්ව බදුකරණයට යටත්ව සමාජයට විශාල ජීවන බරක් පටවයි. තමන්ගේ ආදායම එක තැනම පල්වෙමින් තිබියදී අතේ තිබෙන සොච්චමටත් තට්ටු කරන අධික බදු බර විසින් සමාජ අසහනය දැඩි ලෙස තීව්‍ර කරමින් තිබේ.
ඒ අතර පේරාදෙණිය සරසවිය කළ පර් යේෂණයකින් තහවුරු වී ඇත්තේ මෙරට සාමාන්‍ය පවුලක බදු බර පසුගිය කාලයේ සියයට 42 කින් ඉහළ ගිය බවයි. එසේම සිව්දෙනකුගෙන් යුතු පවුලක් මසකට රුපියල් 28,000ක වක්‍ර බද්දක් රජයට ගෙවන බවද සඳහන්ය. රාජ්‍ය හා පෞද්ගලික ඇතැම් අංශවල සුළු සේවකයන්ගේ මාසික වැටුප රුපියල් 20,000ත් 30,000ත් අතර පවතිද්දී රු. 28,000 ක් බදු ලෙස ගෙවන විට හටගන්නා සන්තෑසිය වචනයෙන් විස්තර කළ නොහැක.
පාසල් දරුවන් උදේ ආහාරය නැතුව ක්ලාන්ත වී ඇද වැටෙන්නේත් ඇතැම් දරුවන් පොල් මද ආහාර ලෙස භාවිත කරන්නේත් මෙම පීඩාවේ ප්‍රතිඵල ලෙස නොවේ යැයි කාට නම් කිව හැකිද? මෙම යථාර්ථයට එරෙහිව දේශපාලනඥයන් කොතරම් සුන්දර පිළිතුරු සමාජගත කරන්නට තැත් කළ ද යථාර්ථය අත්විඳින ජනතාව ඒවා කෝපයෙන් හා පිළිකුලෙන් යුතුව බැහැර කරන බව ප්‍රකට කරුණකි.
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඒකපුද්ගල ආදායම අතින් දෙවැනි තැන පසුවුවද ඉතා දිළිඳු සමෘද්ධි ආධාර ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 කි. දරිද්‍රතාව ඉහළ යාම නිසා මේ වසරේ තවත් පවුල් 7,26,000 ක් සමෘද්ධි ආධාර පොරොත්තු ලේඛනයට ඇතුළත්ව සිටිති. මෙය සැබැවින්ම බරපතළ තත්ත්වයකි. මාසික සමෘද්ධි ආධාරය ලෙස ලැබෙන්නේ රු. 7500ක මුදලකි. එවන් පවුලකට ද වක්‍ර බදු ලෙස මසකට රු. 28,000 ක් කැප කරන්නට නියම කළ විට ඔවුන් කරන්නේ කුමක්ද? සමාජයේ සොරකම්, මංකොල්ලකෑම් ඇතුළු නොයෙක් අනීතික ක්‍රියා විශාල ලෙස වර්ධනය වන්නේ බඩගින්නෙන් හා බදු බරෙන් පෙළෙන සමාජය තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලෙස ඒවාට යොමුවීම නිසාද යන්න ගැන විශේෂ පර් යේෂණයක් කළ යුතුය.
බදු අය කිරීම යනු මල් නොතලා රොන් ගන්නා ක්‍රමයක් විය යුතු යැයි අතීතයේ ආර්ථික අංශයේ විද්වතුන්ගේ මතයක් විය. එහෙත් දැන් සිදුවන්නේ මල් නොතලා රොන් ගැනීම වෙනුවට සහමුලින්ම මල නෙළා ගැනීමය. ඒ නිසා ආර්ථික අර්බුදය හා දරිද්‍රතාව විසින් පීඩාවට පත්කර ඇති සමාජය වෙත තවදුරටත් බදු පටවන්නට ගියහොත් එය අන්තවාදී දේශපාලනයට අවිආයුධ සැපයීමක් වන්නට පිළිවන.
දැන් බිත්තියටම හේත්තු වී සිටින සමාජය ආපසු හැරුණහොත් රටටම සිදුවන්නේ අනර්ථයකි. ලබන නොවැම්බරයේ ගෙන එන 2023 අයවැයෙන් ජනතාව තවදුරටත් බදු බරෙන් පීඩාවට පත් නොකොට සමාජයට කිසියම් සහනයක් හා අස්වැසිල්ලක් ලබාදිය හැකි නම් එය ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයට වඩාත් ගුණදායක බව සඳහන් කරමු.
(***)