ඍජු නායකත්වය, ඍජු තීරණ රටකට අතිශය වැදගත්ය. දේශපාලනික වේවා, වෙනයම් ආයතනයක හෝ වේවා එකී ආයතනවල සාර්ථකත්වය රඳා පවතින්නේ නායකත්වය මතය. එනිසා නායකත්වය අතිශය වැදගත්ය. දේශපාලනික නායකත්වයක් වූවත් ආයතනික මට්ටමේ නායකත්වයක් වූවත් එහි වැදගත්කම රඳා පවතින්නේ ඍජු තීරණ ගැනීම මතය. ඍජු තීරණ ගැනීමට අවශ්‍ය දැනුමද මේ නායකත්වය ලබාගෙන තිබිය යුතුය.
එම දැනුම සාකච්ඡා ආදියෙන් ලබන්නට පුළුවන. එසේ ඍජු තීරණයකට එළැඹි පසු එය ක්‍රියාවට නැංවීමද එක සේ වැදගත්ය. ගෙන ඇත්තේ වැනෙන සුළු තීරණයක් නොවන බවත් අදාළ නායකත්වය දිගටම එම තීරණය ඉදිරියට ගෙනයන බවත් එකී තීරණය ක්‍රියාත්මක කරන අයටද අවබෝධ විය යුතුය.
නායකයා ගත් තීරණය රට වෙනුවෙන් සුබවාදී එකක් බව අන් අයට ඒත්තු ගැන්වීමට නායකත්වයට හැකි විය යුතුය. එසේ වටහා දීමෙන් පසුව රටට හිතැති තීරණය ක්‍රියාත්මක කිරීමේ හැකියාව අදාළ නිලධාරී පැළැන්තියට තිබීමද අවශ්‍යය. ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වී එය පහළම ස්ථරය දක්වා ගමන් කරන්නේ එම හැකියාව තිබුණහොත් පමණි.
මේ සමඟ බැඳී ඇති අනෙක් වැදගත් සාධකය වන්නේ කැපවීමය. කැපවීම ඇතිවන්නේ තමන්ගේ ආකල්ප අනුවය. එනිසා හරි ආකල්පයක් ඇතිව ක්‍රියාත්මක වීම රටක් ඉදිරියට යාමේ මූලික පදනම වශයෙන් හඳුනාගන්නට පුළුවන. හරි ආකල්ප ඇති කිරීම කැපවීමක් ඇති කිරීම, කාර්යක්‍ෂමතාව යනාදී සියල්ල රඳා පවතින්නේ නායකත්වය මතය.
කෙනෙක් යමක් කියූ පමණින් එය ක්‍රියාත්මක වීමක් වන්නේ නැත. තමන් හරි ආකල්ප මත පිහිටා කැපවීමෙන් රට වෙනුවෙන් කටයුතු කරන බව නායකත්වය ප්‍රායෝගිකව පෙන්නුම් කළ යුතුය. එසේ නොවන තැනක ඉදිරිගාමීත්වයක් අපේක්‍ෂා කළ නොහැක.
රටක් හැටියට ඉදිරියට යන්නේ කෙසේ දැයි හරි අවබෝධයක් ලබා තිබීමද වැදගත් කරුණකි. කරන්නන් වාලේ යම් යම් දේ සිදුවීම බොහෝ විට දක්නට ලැබෙන ලක්‍ෂණයකි. ඒ සම්බන්ධයෙන් උදාහරණ ඕනෑතරම්ය. යුද්ධය ඉන් එකකි. විවිධ අය නොයෙක් කාලවකවානුවල යුද්ධය කළ බව සැබෑය. තීරණ ගැනීමේ වෙනස මේ උදාහරණයෙන් වටහා ගන්නට පුළුවන. හමුදාමය තීරණයක් ගන්නවාද නැතිනම් සාකච්ඡාමය විසඳුමකට යනවාද කියන කරුණ සම්බන්ධව නායකත්වය දෙගිඩියාවෙන් සිටින විට එය පහළම මට්ටමටද ගලායාම වැළැක්විය නොහැක.
හමුදාමය තීරණ බොහෝ නායකයන් ගත් බව අපි දනිමු. එහෙත් එම තීරණය නිසිලෙස පහළම ස්ථරයට ගමන් කළාද යන ප්‍රශ්නය තිබුණි. ගන්නා තීරණය නිවැරැදිව පහළට ගමන් නොකර දෙගිඩියාවක් ඇති වූවොත් අපේක්‍ෂිත අරමුණට ළඟාවීමට හැකිවන්නේ නැත. විශේෂයෙන්ම මෙහිදී නායකත්වය ආදර්ශය දිය යුතුය.
ඍජු තීරණයක් ගෙන තිබේ නම් ඒ අනුව කටයුතු කරනවා විනා දෙපැත්තකට ගමන් කළ නොහැක. එකම අරමුණක් කරා සියලු දෙනා පෙළ ගැසිය යුතුය. ඒ අනුව බලන විට ඍජු තීරණ නොගැනීම කළ බලපෑම අපේ ඉතිහාසයෙන්ම පැහැදිලිය. ඍජු තීරණ, විශ්වාසවන්තව, කැපවීමෙන්, ධෛර්යවන්තව කටයුතු කරන සහ කරවන ආකාරය යුද්ධයෙන් සමාජයට ගත හැකි ආදර්ශයයි.
ධෛර්ය සම්පන්නව, විශ්වාසවන්තව කටයුතු කිරීම කුමන අංශයකදී වුවද වැදගත්ය. විශේෂයෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට මේ කාරණා ගළපා ගැනීම ඉදිරි ගමනට ශක්තිමත් පදනමකි. යම් කරුණකට හමුදාව පැත්තෙන් උදාහරණයක් ගන්නා විට විවිධ විවේචන තිබේ. හමුදාකරණය යනාදී චෝදනා නැගෙනු ඇත. එහෙත් වැදගත් වන්නේ ඒවා නොවේ. ගත යුතු පාඩම්ය.
ලබත හැකි අත්දැකීම්ය. කුමන සැලසුම් හැදුවත් කවරාකාර සිහින මැව්වත් ඒවා ප්‍රතිඵල වශයෙන් භූමියේ ඇති නොවන්නේ නම් එම සැලසුම් හෝ සිහිනවලින් ඵලක් නැත. එනිසා හොඳ සැලසුම් තිබිය යුතුය. සිහිනත් මැවිය යුතුය. ඍජු තීරණත් අවශ්‍යය. මේ සියල්ලටම වඩා ඒවා ක්‍රියාත්මක වීම වුවමනාය. යමක් කරනවිට එය ප්‍රායෝගිකව ජනයාට දැනෙන්නේ නැති නම් එයින් ඇති ප්‍රයෝජනයක් නැත. වැදගත්ම කොටස වන්නේ එයයි.
ක්‍රියාත්මක කිරීමේ කොටස නිසිලෙස සකසා ගන්නේ කෙසේදැයි බැලිය යුත්තේ මේ නිසාය. අවශ්‍ය දැනුම, පුහුණුව ලබාදීම ආදිය කෙරෙහිද මෙහිදී අවධානය යොමු කළ යුතුය. සංවර්ධනය නිතර කතාකරන මාතෘකාවකි. ආයෝජන එහි උප මාතෘකාවකි. ආයෝජන ගෙනැවිත් රැකියා උත්පාදනය බොහෝ දෙනාගේ අරමුණකි. එහෙත් ආයෝජන ගෙනැවිත් රැකියා බිහිකළ පසු ආයෝජකයාට අවශ්‍ය, සුදුසු පුද්ගලයන් නැති නම් සිදුවන්නේ කුමක්ද? අවශ්‍ය වෘත්තීමය හැකියාව නැති නම් සිදුවන්නේ කුමක්ද? මේවා අවධානයට ගත යුතු කාරණාය.
සියල්ලේ අවසාන ඉලක්කය ජන ජීවිතය ඉහළ මට්ටමකට ගෙන ඒමය. ඉහළ මට්ටමක වේතනයක් ලබන්න නම් ඒ තැනට යාහැකි වෘත්තීය මට්ටම දියුණු කර තිබිය යුතුය. යමක් ක්‍රියාත්මක කිරීමේදී වැදගත් වන්නේ මේ කරුණුය. සැලසුම් සකස් කිරීමේදී මේ සෑම සාධකයක් දෙසම බැලීම අවශ්‍යය. ආයෝජකයන් ගෙනෙන බව, රැකියා බිහිකරන බව කියන්නට පුළුවන. අවශ්‍ය වන්නේ වචන නොවේ. ප්‍රායෝගිකත්වයයි. දැනටමත් මේ ප්‍රශ්නය මතුව තිබේ.
මෙය සෑම අංශයකටම පොදු සාධකයක් ලෙස වර්ධනය වෙමින් තිබේ. එයට හේතුව ඍජු තීරණ ගෙන ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමය. මෙකී දුර්වලතාව මඟහරවා නොගෙන රටක් වශයෙන් ඉදිරියට යන්නේ කෙසේද යන ප්‍රශ්නය සමාජය හමුවේ ඇති බව අමතක නොකළ යුතු කරුණකි.
සටහන - චමින්ද මුණසිංහ |