තුන්කල් දුටු නායකයා


ඩී.එස්. සේනානායක මහතා නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස නුතන ශ්‍රී ලංකාවට පදනම සකසන්නට පුරෝගාමී මෙහෙවරක නිරත වූයේ තුන්කල් දක්නා වූ දැක්මකින් යුතුවය. එතුමාගෙන් එකී අභිප්‍රාය මැනවින් සටහන් කරන ලද්දේ 1947 වසරේදීය. ඒ ජාතියට නිදහස ලබාදෙන්නට සූදානමින් සිටි අභිනව පක්ෂයේ සමාරම්භක නායකයා ලෙස පැවැත්වූ මංගල දේශනයේ දීය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඇතුළු මේ රටේ ජීවත්වෙන සියලුම ජනතාවගේ අනන්‍යතාවන්ට ඉහළින්ම ගරු කරමින් ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම තමන්ගේ එකම අභිප්‍රාය වන බව එතුමා එහිදී ශපථ කළේය.

එකී අපේක්ෂාව යථාවක් බවට පත් කරගැනීමට නම් ස්වයංපෝෂිත ජාතියක් ලෙස තහවුරුවීමේ ඇති අවශ්‍යතාවද එතුමා බොහෝ දෙනකුට කලින් වටහාගෙන තිබුණි. මින්නේරිය පරාක්‍රම සමුද්‍රය ආදී පැරණි වාරි කර්මාන්ත නටබුන්ව, වනගතව පැවැති ඒ යුගයේදී එතුමාණන් මහා කැලෑ පීරමින් ඒවා කරාගොස් ප්‍රතිසංස්කරණ කරවමින් කටයුතු කළේ මේ රට බත බුලතින් සරු කිරීමට නම් පැරණි රජරට, ඌව වෙල්ලස්ස හා රුහුණේද ගොවිබිම් නැවතත් මතුකරගත යුතුව ඇතැයි යන තිර අදිටනිණි.

ඩී.එස්. සේනානායක මහතා මින්නේරිය ගොවිජනපදයට මුල පුරා ඇත්තේ 1934 වසරේදීය. එයින් පසු කන්තලේ වැව, ගිරිතලේ වැව, ඇල්ලවැව, පදවිය වැව, කාගම, කටිනාව, මිනිපේ, හිඟුරක්ගොඩ, ඇලහැර වැනි අතිදැවැන්ත ගොවිජනපද නිර්මාණය විය.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයක් රටතුළ තිරසාර ලෙස ප්‍රතිස්ඨාපනය කරනු උදෙසා එතුමන්ගේ දැවැන්ත කැපකිරීමද එහිදී සුවිශේෂී විය. බ්‍රිතාන්‍ය පාලන සමයේදී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ දිනාගැනීම උදෙසා ලංකා ජාතික සංගමය මගින් සිදුකළ පුරෝගාමී මඟපෙන්වීමට එතුමා විසින් ලබාදී ඇති නායකත්වයද ඒ ඔස්සේ 1947 වසරේදී එක්සත් ජාතික පක්ෂය බිහිකිරීමට නායකත්වය ලබාදීමද නූතන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් ලෙස මුල්බැස ගැනීමට සුවිශේෂී ආකාරයකට හේතු සාධක සපයා තිබේ.

එහි සුවිශිෂ්ට ප්‍රතිඵලය සනිටුහන් වූයේ 1947 ජූනි මස 03 වැනිදා එංගලන්තයේ යටත් විජිත කාර්යංශය ශ්‍රී ලංකාවට ස්වාධීන පාලනයක් පිරිනමන බවට නිවේදනය කිරීමත් සමගය. එම වසරේදීම නොවැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා ස්වාධීනතා පනත ඒකච්ඡන්දයෙන් සම්මත කිරීම මගින්ද අනතුරුව දෙසැම්බර් මස 10 වැනිදින බ්‍රිතාන්‍ය මහ රජුන් විසින් එකී පනතට සිය මුද්‍රාව තබා අනුමත කිරීමෙන්ද එකී පෙරහැර ඉදිරියටම අදෙන්නට විය. 1948 පෙබරවාරි මස 04 වැනිදින ශ්‍රී ලංකා ධරණී තලය මත සිංහ ධජය නිදහසේ ලෙළ දෙන්නට අවස්ථාව උදාකරගත්තේ ඒ අනුවය. එහිදී බ්‍රිතාන්‍යයේ කතිර ධජය පහතට හෙලද්දී අප මාතෘ භූමියේ ධජය ප්‍රතාපවත් ලෙස ඉහළට නංවන ලද්දේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා විසිනි.

එතුමා සැමවිටම පොදු ජන මණ්‍ඩලයේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටියේය. එමෙන්ම බ්‍රිතාන්‍ය සමඟ ආරක්ෂක ගිවිසුමක් ඇතිකරගැනීම මගින් කලාපීය වශයෙන් ශ්‍රී ලංකාවේ සුරක්ෂිතභාවය උදෙසා ගැඹුරු පණිවිඩයක් ලෝකය හමුවේ තබාලීය. ඒ අතර ලන්ඩන් නගරයේදී පැවැති පොදු රාජ්‍ය මණ්‍ඩලයේ මුදල් අමාත්‍ය සමුළුවේදී ඇතිකරගත් යෝජනාවක් අනුව 1951 වසරේදී කොළඹ ක්‍රමය බිහිකරලීම මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය උදෙසා වන පදනමක් නිර්මාණය කරලීය. කොළඹ ක්‍රමය ආරම්භ වී මුල් වසර 06 තුළ ලංකාවේ සංවර්ධන වෙනුවෙන් රන් පවුම් මිලියන 102 මුදලක් ප්‍රදානයක් ලෙස ලැබීමම ඒ සඳහා වන හොඳම උදාහරණයකි.

ඒ මගින් ශ්‍රී ලංකාවේ කෘෂි ආභිජනන මධ්‍යස්ථාන ගණනාවක් ද, හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව වැනි කර්මාන්ත ජනපද ද ලක්ෂපාන ජල විදුලි යෝජනා ක්‍රම වැනි දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම ද බිහිකරලීමට අවශ්‍ය පසුතලය සකසා ගත්හ. එමෙන්ම කැනඩා රජය මගින් ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට නොමසුරු ලෙස ආධාර කිරීමට ඉදිපත්වීම මගින් මේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයෙහිද නව ඉදිරි පියවරක් සනිටුහන් කරලීය.

1951 වසරේදී සැන්ප්‍රැන්සිස්කෝ නගරයේදී පැවැති ජාත්‍යන්තර සමුළුවේදී ජපානයේ ගරුත්වය වෙනුවෙන් පෙනී සිටීමටද එයින් වසරකට පසු බටහිර බලවතුන් මවිත කරවමින් නව චීනය පිළිගත් දකුණු ආසියාවේ එකම රට බවට පත්වෙමින් චීන-ලංකා රබර් සහල් ගිවිසුම ඇතිකරගැනීමට පසුබිම නිර්මාණය කරන්නේද ඒ බව මැනවින් ප්‍රදර්ශනය කරමිනි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙසද නූතන ප්‍රජාතන්ත්‍රවාදී හරයන් හී ජීවගුණය පෝෂණය කරමින් එක්සත් ජාතික පක්ෂය වැනි දැවැන්ත වූ දේශපාලන බලවේගයක නිර්මාතෘවරයා ලෙසද ඩී.එස්. සේනානායක මහතා දේශපාලන ප්‍රවාහයට එක්වන්නේ 1924 වසරේදීය.

එෆ්.ආර්. සේනානායක ශ්‍රීමතාණන් වූ එතුමාගේ සොහොයුරා එයින් වසරකට පසු අභාවප්‍රාප්ත වීමත් සමගම එතුමාට ජාතික නායකත්ව භූමිකාවකට ප්‍රවේශවීම සඳහා දෛවය විසින් මංපෙත විවර කරලීය.

මහාචාර්ය කේ.එම්. ද සිල්වා මහතා පෙන්වා දෙන ආකාරයට එතුමා එකී ජාතික නායකත්ව භූමිකාව භාරගෙන ඇත්තේ එතුමන්ගේම වූ කොන්දේසි මාලාවකට එකඟ වෙමිනි. ජාතියට නිවැරදි නායකත්වයක් ලබාදීමට නම් මහජනතාවගේ කොන්දේසි මාලාවකට එකඟ වෙමිනි. ජාතියට නිවැරදි නායකත්වයක් ලබාදීමට නම් මහජනතාවගේ එකඟත්වය ලැබෙන දේශපාලන බලය අතිශයින්ම වැදගත් වන්නා සේම එසේ ලබාගන්නා බලය එක පරපුරක සුඛ විහරණය සඳහා නොව ජාතියේ මතු පරපුර වෙනුවෙන් කැපකළ යුතුව ඇතැයි යන්න එහිදී එතුමාගේ දර්ශනය විය.

එතුමාගේ දේශපාලන ජීවිතයේදී ප්‍රකට කරන ලද අනෙක් වැදගත්ම ලක්ෂණය වූයේ බලය පවත්වාගෙන යාම හෝ රැකගැනීමට බැහැරින් එන ඕනෑම කොන්දේසියකට යටත් නොවීමට එතුමා තුළ වූ අධිශ්ඨානශිලී ශක්තියයි.

ඒ අනුව මේ රටට අද පමණක් නොව අනාගතයේදී ද අවශ්‍ය වනු ඇත්තේ ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන් තුළ විද්‍යාමාන වූ ඉහළ පුරුෂර්ථයන්ගෙන් සමන්විත වූ නායකයන්ය. එවැනි නායකයන් ඕනෑම රටකට, ඕනෑම ජාතියකට මහාර්ඝ සම්පතක්මය.

 

(***)
ඩී.එස්. සේනානායක අනුස්මරණ
පදනමේ සභාපති දේශබන්ධු
කරු ජයසූරිය