මෙවර කිවිදා දැක්ම ලියන්නට සිදුවී තිබෙන්නේ රටේ ප්‍රශ්න ගණනාවක්ම නරක අතට වර්ධනය වී ඇති තත්ත්වයකය. මීට පෙර සතිවලටත් වඩා ආර්ථිකයේ ගැටලුකාරිත්වය වර්ධනය වී ඇති බව ඉතාමත් පැහැදිලිය. ආර්ථිකය සම්බන්ධ ගැටලුවේම දිගුවක් ලෙසින් මතුවෙමින් තිබෙන අනෙක් ගැටලුව වන්නේ දේශපාලනයේ වර්ධනය වෙමින් තිබෙන සංකීර්ණ තත්ත්වයයි. ඒ නිසාම මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ ආර්ථිකයේ සහ දේශපාලනයේ මතු වෙමින් තිබෙන ගැටලුකාරිත්වය පිළිබඳවය. එයට අමතරව මේ තත්ත්වය හමුවේ කළ යුත්තේ කුමක්ද (what is to be done) යන ප්‍රශ්නයට යම් ආකාරයක පිළිතුරක් දීමය.
පුපුරා යන ආර්ථික පීඩනය
රටේ විදේශ මුදල් හිඟවීම හේතුවෙන් මතුවී ඇති ගැටලුකාරිත්වය මේ වනවිටත් තිබෙන්නේ ඉතාමත් බරපතළ තැනකය. ඩොලර් හිඟවීම නිසා ඩොලර් ගෙවා ලබාගන්නා භාණ්ඩ සහ සේවා හිඟවීම පටන් ගත්තේ මීට සති කීපයකට පෙරය. මේ තත්ත්වය හමුවේ මුලින්ම අර්බුදයට ගියේ ඉන්ධන සංචිතයය. මුලදී රටේ ඉන්ධන ගබඩා තුළ දින 21කට අවශ්‍ය ඉන්ධන තබා ගැනීමට හැකිවී තිබුණි. එය දින 07 ඉන්ධන අවශ්‍යතාව දක්වා පහළ වැටුණේ මීට මාසයකට කලින්ය. දැන් එය තිබෙන්නේ දින 03ක් හෝ 04 වැනි ඉන්ධන අවශ්‍යතාව ලබාදිය හැකි මට්ටමකය. ඊළඟ නැව එනතුරු තිබෙන ඉන්ධන ටික අල්ලාගෙන සිටිය යුතු තත්ත්වයකට මේ රටේ ඉන්ධන සංචිත වැටුණේ මේ ඩොලර් ඌනතාව නිසාය. ඉන්ධන හිඟවීම හේතුවෙන් විදුලි බලය කපන්නට සිදු වුණේ මේ අතරමය. ගෑස් හිඟවීමත් මේ ඩොලර් හිඟවීමේ ගැටලුවේ අනෙක් බරපතළ කාරණයයි. ඉන්ධන, විදුලිය සහ ගෑස් යන අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා හිඟවීම මගින් රට තුළ ඇතිකර තිබෙන පීඩනය ඉතාමත් විශාලය.
මේ ආර්ථික ගැටලුව හේතුවෙන් පීඩාවට පත්වී ඇති ජනතාව එකිනෙකා අතර හිංසාකාරීව හැසිරෙන කනගාටුදායක ප්‍රවෘත්ති හැමදාම සවසට රූපවාහිනි නාලිකා තුළින් පෙන්වන්නේ මේ අර්බුදයේ ඇති වේදනාබර පැත්ත තීව්‍ර කරමින්ය. ගෑස් පෝලිමක සිටින මධ්‍යම පාන්තිකයෙක් මෑතකදී රූපවාහිනී වාර්තාකරුවකුට කියනු ඇසුණේ ‘අපි මේ දුක විඳින්නේ අපි කරපු වැරැද්දකට නොවෙයි’ කියාය. මේ ප්‍රකාශය බරපතළය. ඒ පුරවැසියාගේ ප්‍රකාශයෙන් මතු කරන කාරණය වන්නේ ආර්ථික ක්ෂේත්‍රයේ මේ රටේ ජනතාව විඳිමින් සිටින මේ වේදනාබර අත්දැකීමේ වැරැදිකරුවා මේ රටේ දේශපාලනය බවය.
ප්‍රශ්නය ඔඩු දිව්වාම උත්තර සෙවීම
අපේ රටේ ආර්ථිකය සම්බන්ධව සමහර තීරණ ගැනෙන්නේ ගැටලු උත්සන්න වී සිදුවිය හැකි හානියක් සිදු වූවාට පසුව බව සමහරුන්ගේ මතයයි. අපි ආර්ථික මොඩලයක් ලෙසින් විවෘත වෙළෙඳපොළ ක්‍රමයට ගමන් කළේ 1977 තරම් ඈත කාලයේය. ඉන්දියාව විවෘත වෙළඳපොළ ක්‍රමය පිළිගන්නේ 1989 වර්ෂයේය. එහෙත් අපේ රටේ ආර්ථිකය සම්බන්ධ අද සිටින තත්ත්වයට සාපේක්ෂව බලන විට ඉන්දියාව සිටින්නේ ඉතාමත් හොඳ තැනකය. එසේ හොඳ තැනක ඉන්දියාවේ ආර්ථිකය තිබෙන්නේ ඒ රට විශාල රටක් වීම නිසා පමණක් නොවේ. ඉන්දියාවේ ආර්ථිකය සම්බන්ධ තීරණ ගැනෙන්නේ ක්ෂණික (Ad.hock) ආකාරයෙන් නොවේ. විශේෂයෙන්ම ආර්ථිකයේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති (Macro Economic Policies) පිළිබඳව බරපතළ අධ්‍යයනයක් හා පසු විපරමක් ඉන්දියාවේ ආර්ථික කටයුතු කවුන්සිලය සිදුකරන බව ඉතාමත් ප්‍රසිද්ධ කාරණයක්ය. රටේ පාලනය කරන දේශපාලන පක්ෂය කුමක් වුවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධව සිදුකරන ප්‍රතිපත්ති මැදිහත්වීම් (Policey Interventions) කරන්නේ බරපතළ ආකාරයෙන් නිසා ඉන්දියාවේ ආර්ථිකයේ අපේ මෙන් හදිසි කඩාවැටීම් සිදුවන්නේ නැත.
රටක් වශයෙන් අප ගනු ලබන සමහර තීරණ නිවැරදි නොවන බව 1948 පසු නිදහස් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයේ පෙනෙන බරපතළ කාරණයක්ය. ආර්ථික ක්ෂේත්‍රයේ මෙන්ම ව්‍යවස්ථා සම්පාදන ක්ෂේත්‍රයේද මේ තත්ත්වය සමානය. අප සමහර තීරණ ගන්නේ දේශපාලනමය උත්තේජනය නිසා වැරදියටය. වැරැදියට ගත් තීරණ නිවැරැදි කරන්නේ ඒ වැරැද්දෙන් සිදුවිය හැකි බරපතළම හානිය සිදුවූ පසුවය.
මෙය ගමේ භාෂාවෙන් කියනවා නම් අප කරමින් සිටින්නේ මේ වගේ වැඩක්ය. අහස කළුකර වහින්නට එන බව පෙනි පෙනී වැස්සට මුහුණ දීමට කිසිදු සූදානමක් නොමැතිව අපි මහ මගට බසින්නෙමු. ‘වැස්සට හොඳටම තෙමුණාට පසු කුඩයක් සොයන්නෙමු’ 1948 සිටම ව්‍යවස්ථා කටයුතු ක්ෂේත්‍රයේ අපේ රටේ තත්ත්වය මේකය. 1989 න් පසු ආර්ථිකයේ තත්ත්වයත් මේකමය. අද තිබෙන ආර්ථික අර්බුදයේ තත්ත්වය වග විභාග කළහොත් අප මුහුණ දෙමින් සිටි ආර්ථික ගැටලුවේ ස්වභාවය පහදා දුන් විශේෂඥ මත හැම ආණ්ඩු කාලයකම තිබූ බව ඉතාමත් පැහැදිලිය. වහින්නට එන බව කියූ තැන් කියූ අය හැමවිටම සිටියෝය. එහෙත් අප රටක් ලෙසින් කරන්නේ ඒ ඒ කාලවලට අයත් දේශපාලන ආකෘතියේ සිතමින් කිසිදු සූදානමකින් තොරව වැස්සට ගමන් කිරීමය. වැස්සේ ගමන් කිරීමය. තෙමුණාට පසු කුඩයක් සෙවීමය.
ගෑස් පෝලිමේ සිටි පුරවැසියා මාධ්‍යයට කියූ ප්‍රකාශයේ ඒ කියන්නේ ‘මම මේ දුක් විඳින්නේ මා කළ වැරැද්දකට නොවේ’ යන ප්‍රකාශයේ තියෙන්නේ මම ඉහතින් සඳහන් කළ දේශපාලනයේ වැරැද්ද මිස වෙනකක් නොවේ.
ඒ නිසා මෙවරත් අප මුහුණදෙමින් සිටින ආර්ථික ගැටලුවට පිළිතුර තිබෙන්නේ ගැටලුව වග විභාග කරගෙන විශේෂඥ පිළිතුරක් ගෙන ඒම තුළය. ජනාධිපතිතුමාගේ ජාතිය ඇමතීමේ කථාවේ කියූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේ තීරණය ඉතාමත් හොඳ තීරණයක් වන්නේ ඒ අර්ථයෙන්ය.
දේශපාලන අර්බුදයේ තත්ත්වය
ආර්ථිකයේ මේ සිදුවන අර්බුදජනක සිදුවීම්වල තවත් එක් දිගුවක් වන්නේ එම අර්බුදය හේතුවෙන් මතුවෙන දේශපාලන අස්ථාවරත්වයයි. මේ වනවිට රට තුළ බරපතළ දේශපාලන අවුලක් ද ගොඩනැගෙමින් තිබෙන බව ඉතාමත් පැහැදිලිය. විමල් සහ උදය කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමත් සමග ආණ්ඩුව තුළත් යම් ආකාරයක ආතතියක් ගොඩනැගී ඇති බව පැහැදිලිය. එසේම පසුගිය මාර්තු 15 වැනි දින සජබය විසින් සිදු කළ විරෝධතාව රට තුළ යම් ආකාරයක මෙතෙක් මතු නොවූ තත්ත්වයක්ද මතු කළ බව මගේ නිරීක්ෂණයයි. දේශපාලන අවකාශයේ තවත් බොහෝ කරුණු පෙනී යන නමුත් මා ඉහතින් සඳහන් කළ සිදුවීම් දෙක ඒ සියල්ල අතරින් ප්‍රමුඛ අවධානයක් ලබා ඇති නිසා ඒ ගැන සඳහනක් කිරීම සුදුසුය.
විමල්ලාගේ එළියට යාම 2015 සිට ගොඩනැගුණු අපේ කඳවුරේ සිදුවූ බරපතළම සිදුවීමක් බව පැහැදිලිය. 2015 දක්වා බලයේ සිටි මහින්ද රාජපක්ෂ රජයේ ඉහළම නිලධාරියකු ලෙසත් 2015 පසු විපක්ෂයේ දේශපාලනයේ මතවාදී තලයේ සිට සියලු තලයන්හි ක්‍රියාරිකයකු ලෙසත් මා සිතන්නේ අභ්‍යන්තරයේ තිබූ මේ විරසකය මේ මොහොතේ පුපුරා යාම සමහන් කරගන්නේ කෙසේද යන කාරණය අප ඉදිරියේ ඇති බරපතළම අභියෝගයක් බවයි.
මගේ තේරුම් ගැනීමට අනුව 2019 අපේ කඳවුරේ අති විශාල ජයග්‍රහණවලට (ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය) හේතු වූ ප්‍රධාන කරුණු 04 තිබේ.
එහි පළමුවැන්න වන්නේ යහපාලන ආණ්ඩුවේ තිබූ දෙමුහුන් පාලනයේ බරපතළ විසංවාදයයි. ආණ්ඩුව තමන්ගේ පක්ෂ දෙක අතර ඇති කරගත් අවුල් සහගත තත්ත්වය මහ බැංකු සිද්ධිය, ශ්‍රීලනිප+එජාප නොවිසඳෙන අවුල පාස්කු ඉරිදා ප්‍රහාරය ආදිය ඒ විසංවාදයයි.
අපේ ජයග්‍රහණයට හේතුවූ දෙවන සාධකය වන්නේ මහින්ද රාජපක්ෂ සන්නාමය සමගින් 2015 පසු මතුවූ නව දේශපාලන ප්‍රවනතාවයි.
(පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා සමග සිටගත් ජනතාව, මහින්ද සුළඟ වැනි බලවේග හරහා විමල්, උදය, වාසු වැනි විපක්ෂ දේශපාලන කණ්ඩායම සහ 2015 පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඒකාබද්ධ විපක්ෂය හරහා මේ ප්‍රවණතාව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සමග මතුවිය.)
තුන්වැනි සාධකය වන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නිර්මාණය වූ පොදුජන පෙරමුණු පක්ෂ යාන්ත්‍රණය එජාපයටත්, ශ්‍රීලනිපයටත් එරෙහිව සංවිධානගත දේශපාලන ක්‍රියාදාමයක් ගොඩනැගීමය. එම පක්ෂ යාන්ත්‍රණය මගින් ප්‍රධාන දේශපාලන පක්ෂ අතර අපේ බලවේගය නව දේශපාලන ව්‍යාපෘතියක් බවට ඉතාමත් විශිෂ්ට ලෙසින් නිර්මාණය විය.
හතර වෙනුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමගින් සමාජයේ සම්මත දේශපාලන පක්ෂ තුළට ඇතුළත් නොවූ බුද්ධිමය හා වෘත්තීය කණ්ඩායම් එකතුවීමෙන් එතෙක් ප්‍රධාන ධාරාවේ අපේ දේශපාලනයට එක් නොවූ ඡන්දදායක ප්‍රවණතාවක් (මිලයන 02 පමණ) එක්විය.
මේ සාධක 04 එකක් පසු එකක් ලෙසින් නොව එ්කාබද්ධව 2015-19 කාර්තුව පුරා නැගී සිටි අතර වත්මන් ආණ්ඩුව නියෝජනය කරන්නේ එම පළල් ජනතා බලවේගයයි. එහි එකිනෙකට සම්බන්ධ සාධක එකට තබා ගැනීමේ අභියෝගය ජයගත යුතු යැයි මහින්ද රාජපක්ෂ මහතා විසින් පොදුජන පෙරමුණේ වාර්ෂික සම්මේලනයේදී කියා සිටියේ එහි ඇති වැදගත්කම හේතුවෙන් බව ඉතාමත් පැහැදිලිය.
මේ දේශපාලන ගැටලුකාරිත්වයට අමතරව විපක්ෂයේ පසුගිය මාර්තු 15 වැනි දින පැවති විරෝධතාවෙන් පෙන්නුම් කරන්නේ රට තුළ යම් ආකාරයක අරාජිකකත්වයක් නිර්මාණය වෙමින් පවතින බවය. මේ තත්ත්වය පිළිබඳව වග විභාග කරගැනීම ඉතාමත් අවශ්‍යය. ඉතාමත් සුදුසුය. දේශපාලනය ගමන් කරන්නේ නායකයන් සමග ගැටගැසුණු දේශපාලන කථාවක් (Political Narrative) සමගය. දේශපාලනයේදී කථාව අහිමි වූ විට සිදුවන්නේ රට තුළ අරාජිකත්වයක් ගොඩනැගීමය. මේ වනවිට පෙනී යන කාරණයක් වන්නේ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් ‘කථාව’ හෙවත් දේශපාලන නැරටිව් එක ජනතාව නොපිළිගන්නා තත්ත්වයකට පත්වීමය.
තමන්ගේ පාක්ෂිකයන් ටිකක් කොළඹ ගෙන්නා ගෙන යම් ආකාරයක සන්දර්ශනයක් සිදුකිරීමට ප්‍රධාන පක්ෂ දෙකටම හැකියාවක් ඇත. එහෙත් එවැනි සන්දර්ශන මගින් ස්වකීය පාක්ෂිකයන් සතුටු කිරීම මිස ප්‍රධාන පක්ෂවලට අයත් නොවූ මිලියන 08 වන ඡන්ද දායක ප්‍රවණතාවට අදහසක් ගෙන යන්නේ නැති බව මගේ තේරුම් ගැනීමයි. පසුගිය දිනක විපක්ෂය සිදුකළ ආකාරයේ ප්‍රතිරංගනයක් ආණ්ඩු පක්ෂයටත් ඕනෑම අවස්ථාවක සිදු කළ හැකි බව මගේ අදහසයි.
කළ යුත්තේ කුමක්ද?
මේ තත්ත්වය හමුවේ කළ යුත්තේ කුමක්ද යන කාරණය මේ දිනවල දේශපාලනයේ ඇසෙන ප්‍රධානතම ප්‍රශ්නය වී ඇත. What is to be done යනු ලෙනින් පසුගිය සියවසේ රුසියාවේ විප්ලවයට පෙර ඇසූ ප්‍රශ්නය විය.
ඔහු ඒ සඳහා කෘතියක්ද සම්පාදනය කළේය. අපි රටක් ලෙසින් කළ යුත්තේ කුමක්ද යන කාරණය මේ මොහොතේ මතු කළ යුතු ප්‍රධාන ප්‍රශ්නයයි. මගේ පිළිතුර වන්නේ අපේ ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රධාන ධාරා 02ක් හරහා සිදු කළ යුතු බවයි. එයින් පළමු ක්‍රියාමාර්ගය විය යුත්තේ රට මේ මොහොතේ මුහුණ දෙන ආර්ථික අර්බුදය විසඳීමට කෙටිකාලීන ක්‍රියාමාර්ග වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ණයකරුවන් සමග ඇතිකර ගන්නා එකඟතා සඳහා යොමුවීමත් ආර්ථිකයේ සාර්ව ක්‍රියාමාර්ග (Macro Economic) මත පදනම් වූ අනාගත ආකෘතිපත්‍රයක් ගොඩනැගිය යුතු වීමත්ය. එයින් දෙවැනි කාරණය වන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව නව කතිකාවක් හරහා ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා පළල් කිරීම වැනි පශ්චාත් කොවිඩ් තත්ත්වයට ගැළපෙන ප්‍රතිසංස්කරණ මාලාවක් ගොඩනැගීමය.
ආර්ථික හා දේශපාලන තලයන් හි මෙවැනි මැදිහත්වීමක් සඳහා පාර්ලිමේන්තුව සමූහ වශයෙන් ද ආණ්ඩුව විශේෂ වශයෙන්ද ගමන් කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය දෙයක් බව මගේ යෝජනාවය.
(***)
මහාචාර්ය
චරිත හේරත්