දකුණු ආසියාවේ විශාලම ලොන්ඩරිය


බන්ධනාගාරයක් තුළ සුපිරි තත්ත්වයක් ගැන සඳහන් වන විටම කෙනකුට එක් වරම සිහිගැන්වෙනුයේ යම්කිසි අසාධාරණ අවනීතිමය පැවැත්මක් පිළිබඳව ය. එහෙත් අප මේ සඳහන් කරන්නේ සැබෑවටම, ඉතාම සුන්දර පරිසරයක යහපත් ඇවතුම් පැවතුම් ඇතිව සිටින පිරිසකගේ ශ‍්‍රමය නිසි ලෙස ක‍්‍රියාත්මක වන ස්ථානයක් ගැන ය. මෙහි විශේෂත්වය නම් එය මෙරට විශාලම බන්ධනාගාරය වන වැලිකඩ බන්ධනාගාර පරිශ‍්‍රය තුළ තිබීමය. වෙනත් ලෙසකින් කියතොත්

රජක අංශය භාර  ඕවර්සියර්
එච්.එම්.ඞී. සෙනරත් බණ්ඩාර

එය වැලිකඩ හිරගෙදර රජක අංශය හෙවත් ලොන්ඩරියයි. ඇත්තටම එය වැලිකඩ බන්ධනාගාරය තුළ සුරලොවක් ලෙසය අපට පෙනුනේ. නුවරඑළියේ සුපිරි මල් උයනක ස්වභාවයකිනි මෙහි පරිසරය බැලූ බැල්මට පෙනුනේ. අක්කර භාගයක් පමණ වන භූමි ප‍්‍රදේශයේ පිහිටි පැරණි සහ නවීන ගොඩනැගිලි වටා විධිමත්ව කර ඇති ගෙවතු අලංකාරය සිහිගන්වනුයේ තරු පහේ හෝටලයකි. මුළු භූමිභාගය පුරාම ඇති උඳුපියලි වගා කළ බිම ඇස ගැටෙත්ම අපූරු මානසික සුවයක් දැනේ.

මෙහි වඩාත් විශේෂත්වය වන්නේ ඒ සියල්ල සියුම් ලෙස නිමවා ඇත්තේ වැරදිකරුවන් ලෙස සමාජයෙන් කොන්කරන ලද හිරකරුවන් වීමයි. ඔවුන් ඒ ක‍්‍රියාදාමයට මෙහෙයවා ඇත්තේ මෙම අංශය භාර  ඕවර්සියර් එච්.එම්.ඞී. සෙනරත් බණ්ඩාර මහතා ය. ඔහු යටතේ සිරකරුවන් සිය දෙනකු පමණ දිවා කාලයේ මෙහි සේවයෙහි යොදවා ඇත. වැලිකඩ බන්ධනාගාරයේ කර්මාන්ත අංශ 13ක් පමණ ඇති අතර ඒ ඒ අංශවලට රැඳවියන් යොමු කරනුයේ විධිමත් පරීක්ෂණයකින් යුතුවය. ඒ ඒ අංශවලට සුදුසු හා නුසුදුසුකම් සහ හැකියා අනුව තෝරාගනු ලැබේ. එහෙත් රජක අංශයට යොමු වන්නේ එසේ ඒ ඒ අංශවලට නොපිළිගෙන මගහැරුණු අයයි. නැතහොත් එපා වූ අයය. එසේ වුවද අප දුටු අය නම් ඉතා සතුටින් විධිමත්ව ක‍්‍රියාත්මක වෙමින් නිසි පුනරුත්ථාපනයක් ලැබීමට පින්කර ඇත.

බන්ධනාගාරගත අයකු හමුව ‘‘කොහොමද හොඳින් ඉන්නවාද?’’ අප අසන විටම ඔහු දෙන පිළිතුර වන්නේ, ‘‘අනේ මොන හොඳක්ද මීට වඩා හොඳයි මැරෙනවා නම් යන්නයි’’ සිරගතවන සෑම අයකුම මනස බිඳවැටීම ස්වභාවිකය. එහෙත් රජක අංශයෙන් කියවෙන්නේ වෙන දෙයකි’’

‘‘මේක හිරගෙදරක් කියලා හිතන්නත් බෑ, ගෙදර වගේම තමයි, අපි සතුටින් ඉන්නවා, දවල් කාලේ මෙහේ වැඩ කරන කොට ගෙදරට වඩා කිසිම වෙනසක් නෑ. රෑට වාට්ටුවල ගතකරන කාලේ තමයි හිරේ කියල දැනෙන්නේ’’

ඒ ඔවුන් දෙන පිළිතුරයි. සාමාන්‍යයෙන් බන්ධනාගාරයක් තුළට ගිය විට සිරකරුවන්ගේ මුහුණුවල දකින්නට ලැබෙන දුක්මුසු බවක් මොවුන්ගේ මුහුණුවල නැත. එයට තවත් හේතු පදනම්වී ඇත්තේ වසර ගණනාවක් මේ අංශයේම සේවය කරන නිලධාරියාගේ ආකල්ප නිසා ද විය යුතුය. ඔහු සිරකරුවන් සමග මිතුරකුව පියකුව සහ අවශ්‍ය විට නිලධාරියෙකු ලෙස සියලූම කටයුතු ඉටු කරනුයේ මෙම රජක අංශය තමාගේ නිවස ලෙස සලකමිනි.

අපට සිතෙනුයේ සිරකරුවන් පමණක් නොව එහි ඇති යන්ත‍්‍ර සූත‍්‍ර සහ ඒ පරිසරය ද තමාගේ දෑස මෙනි ඔහු දකින්නේ. එබැවින් බන්ධනාගාර පරිසරයක මෙවන් අලංකාර තත්ත්වයක් දක්නට ලැබෙනුයේ පරිසර සුන්දරත්වය එසේ වන්නාසේම මේ ස්ථානයේ කෞතුක අගය එමෙන් දස දහස් ගුණයකි. දකුණු ආසියාකරයේ ඇති විශාලම ලොන්ඩරිය මෙයයි. එමෙන්ම මෙහි ඉතිහාසය ද හැදෑරිය යුතුමය. අද අදුරේ ආරක්ෂිතව ඇත ද මෙම යන්ත‍්‍ර සූත‍්‍ර ගැන මහජනතාව දත යුතුය. මේවා දෑසින් දැකිය යුතු අගනා වස්තූන්ය.

 

තම කාර්ය භාරය ඉටුකරන සේවකයෝ
තෝමස් බ්‍රෙඞ්ෆෝඞ් යන්ත‍්‍රයක්

 

බි‍්‍රතාන්‍යයන් විසින් 1840 වැලිකඩ බන්ධනාගාරය ස්ථාපිත කොට වසර 60කට පමණ පසු හෙවත් 1920 දී මෙරටට ගෙනවිත් සවිකර ඇති යන්ත‍්‍ර සූත‍්‍ර අදත් මෙහි දැකිය හැක. ඉන් එකක් වූ රස්ටන් එන්ජින් යන්ත‍්‍රය පෞරාණික අතින් ඉතා වැදගත්ය. එදා දැවිතෙල්වලින් ක‍්‍රියාත්මක වූ මෙම එන්ජිම වෙතින් එම ශාලාවෙහි තිබුණ සියලූම යන්ත‍්‍ර කි‍්‍රයාත්මක විය. රෙදි සේදීම, ජීවාණුහරණය, රෙදි මිරිකීම, වියළීම වැනි සියලූ කාර්යයන් එදා සිදුව ඇත්තේ මෙම රස්ටන් යන්ත‍්‍රයේ බලයෙනි. අද මෙම එන්ජින් යන්ත‍්‍රය ක‍්‍රියාවිරහිතව ඇති අතර එසේ ක‍්‍රියාත්මක නොවන තවත් යන්ත‍්‍ර 12ක් පමණ මෙම ස්ථානයෙහි දන්නට ඇත. ඒ ඉතා අගනා කෞතුක භාණ්ඩයන්ය.

මේ අතර 1934 දී බි‍්‍රතාන්‍යයන් ගෙන්වන ලද රෙදි සෝදන යන්ත‍්‍රය අද ද හොඳින් ක‍්‍රියාත්මක වන අතර තවත් රෙදි සෝදන සහ රෙදි මිරිකන යන්ත‍්‍ර 08ක් හොඳින් ක‍්‍රියාත්මක වේ. විනාඩි පහක පමණ කාලයක් තුළ විශාල ඇඳ ඇතිරිලි 100ක් පමණ සෝදා මිරිකීමට මෙම යන්ත‍්‍රවලට හැක. එපමණක් නොව මේ වන විට විවිධ රාජ්‍ය උත්සව සඳහා පරිහරණය කරන දිග පළල දැවැන්ත රෙදි ද මෙහි සෝදනු ඇත. කළාල බුමුතුරුණු මෙන්ම අඩි 90-18 ප‍්‍රමාණයේ විශාල රෙදි සේදීම මෙන්ම වියළීම ද මෙහි කරනුයේ කිසිදු හානිදායක තත්ත්වයකින් තොරවය. එසේ වුවද රෙදි වේළීමේදී අඩි 90ක් දිග වැලක් බැඳීම ගැටලූ වූ අවස්ථා ද වේ. සමහර විට එවන් අවස්ථාවල එම රෙදි වේලෙන තුරු අල්ලාගෙන බලා සිටීමට සිරකරුවන්ට සිදුවේ. මුල් අවධියේ මෙම ලොන්ඩරියේ කොළඹ මහ රෝහලේ රෙදි සේදීම නිසා විෂබීජ ප‍්‍රශ්නය නිසාවෙන් දැනට එය නතර වී ඇති අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ගුරු අභ්‍යාස විද්‍යාලවල සහ රජයේ වෙනත් ආයතනවල රෙදි පිරිසිදු කිරීම මෙහි කෙරේ. ඒ මගින් සෑහෙන ආදායමක් ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබේ.

මෙම සුපිරි උයනේ මහා ගිනිදැල් ඇවිලීමක් ද අපූරු දසුනක් ලෙස සැලකිය හැකිය. එය පොල්කටු අඟුරු සකස් කිරීමයි. බන්ධනාගාරවල පරිභෝජනයට ගන්නා පොල්වල කටු මේ සඳහා යොදා ගැනේ. විශාල පොහොර බෑග් 90ක් පමණ පොල්කටු දිනකට මෙහිදී අඟුරු බවට පත්වේ. විශේෂයෙන් සකස් කරන ලද වළවල්වලට රැස්කරන පොල්කටු උදේ සිට සවස 03 දක්වා ගින්නෙන් පිළිස්සීමට සලස්වයි. ඉන්පසු එම වළවල් ටකරන්වලින් වසා පස් දමයි. යළි එම වළවල් විවෘතකොට අඟුරු එළියට ගනුයේ දින 10කට පසුවය. විකිරණ ශීලිත්වය ඇති මෙම පොල්කටු අඟුරු මෙම අංශයේම රෙදි මැදීමට පමණක් නොව ආදායම් ලැබීමට ද මාර්ගයකි. මෙරට විවිධ කම්හල්වලටත් සමහරවිට විදේශවලටත් මෙම අඟුරු විකුණනු ලැබේ. එය හොඳ ආදායමකි.

 

පැරැණි රස්ටන් යන්ත‍්‍රයක්

 

මේ සියල්ලටම වඩා මෙම සේවයේ නිරත වන සිරකරුවන් ගැන විශේෂත්වයක් තිබීම ඉතා වැදගත්ය. බන්ධනාගාර තුළ නිසි පුනරුත්ථාපනයක් සිදුවීම එතරම් විශ්වාස නැතත් මෙම ස්ථානය වෙතින් නම් 90%ක්ම එය ස්ථාපිතය. සෙසු සිරකරුවන් සමග සසඳන විට මොවුන් තුළ පුදුමාකාර හික්මීමක් විනයගරුත්වයක් දැකිය හැකිය. පාරම්පරිකව සම්ප‍්‍රදායානුකූලව රෙදිසේදීම පහත් කාර්යයක් මෙන්ම කුල හීනතාවක් පිළිබඳව සංකල්පයක් ද ඇති බැවින් වඩා ඉහළ දක්ෂතා ඇති සිරකරුවන් මෙහි නොසිටතැයි කියා වෙනත් පැත්තකට මේ ස්ථානයෙන් පිටව යන්නේ සමාජයට හිතකර යහපත් පුරවැසියන් බව නම් අපට පැහැදිලිය. ඒ තත්ත්වය පවත්වාගෙන යාමේ පුණ්‍යකර්මයේ පුහුණුකරු  ඕවර්සියර් සෙනරත් බණ්ඩාර මහතාය. ඒ අතර වර්තමාන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම, වැලිකඩ බන්ධනාගාර අධිකාරි ගාමිණී ජයසිංහ මහතා ද මේ ස්ථානය පිළිබඳව දක්වන සැලකිල්ල සහ අවධානය ඉතා වැදගත්ය.

 

 

ජේ. ශීලා වික‍්‍රමරත්න