දඩයම් රාළහාමිට කළකම් පළදුන් හැටි


01_SLTK_P13_Back

 

ජීවිතය නිවැරදි මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.


ඇල්පිටිය එන්. සී. කාරියවසම් මහතා ලියා එවූ කතාවක් මෙසේය.

6

මෙය දකුණු පළාතට නුදුරු ගමක සිදුවූ සත්‍ය සිදුවීමක්. හෙතෙම ග්‍රාම නිලධාරි වරයෙකි. අල්ලසට පගාවට හුරුවූ ඔහු නපුරු ගතිගුණ ඇති පුද්ගලයෙකි. ඔහු සතුව බලපත්‍ර තුවක්කුවක් මෙන්ම කොටන තුවක්කුවක්ද විය. බලපත්‍ර තුවක්කුව 88/89 භීෂණ සමයේ රජයෙන් ඔහුට ලැබුණු තුවක්කුවකි. දඩයමට දැඩිලෙස ලොල් වී සිටි මෙම ග්‍රාම නිලධාරියා තමන් සතු තුවක්කු දෙකෙන් ඌරන්, ඉත්තෑවුන් වැනි සතුන් මරයි. ඇතැම් දිනවල ඌරුමස් විකුණයි. ඔහු විසින් බඳින තුවක්කුවලට හසුවී ඌරන්, ඉත්තෑවුන් පමණක් නොව ඇතැම් විට බල්ලන්, බළලුන් වැනි සතුන්ද මියයති. මේ නිසා ඔහුට “දඩයම් රාළහාමි” යන නම පට බැඳුණි.


දිනක් මේ දඩයම් රාළහාමි ඌරකු දඩයම් කර බිරිය ලවා එය ලිපතබා නිවස පිටුපස තිබූ මුරුංගා ගසේ එතී තිබූ වැටකොලු වැලෙන් වැටකොලු කැඩීමට මුරුංගා ගසට නැංගේය. මුරුංගා ගසේ උඩටම ගිය දඩයම් රාළහාමි එක්වරම මුරුංගා අත්ත කඩා වැටී බිමට පතිතවිය. බිමට වැටෙන අවස්ථාවේ ඒ අසල තිබූ වැසිකිළියේ කොන්ක්‍රීට් වහලය මත ඔහුගේ හිස වැරෙන් පතිත විය. ඒ සමගම බිම තිබූ කළුගලක් මත යළි හිස පතිත විය. ඔහුගේ හිස දෙපළුවී ලේ ගංගාවක් ගලන්නට විය. රෝහල් ගතකරන අතර වාරයේදී ඔහු මිය ගියේය. දඩයම් රාළහාමිට සතුන් මැරූ විපාකය මේ ආත්මයේදීම පළදුන්නේ ඒ අයුරිනි.

 


ඇල්පිටිය, ධනංජන් ජයසේන ලියා එවූ කතාවක් මෙසේය.


සේතන් කළ පව් ඔහුටම පෙරළා විපාක දුන් අයුරු.

 

මෙම සිදුවීම මීට වසර කිහිපයකට පෙර සිදුවූවකි.5


දකුණේ නගරයකට නුදුරු ග්‍රාමයක “අබරන්” නමින් හැඳින්වෙන පුද්ගලයකු පදිංචිව සිටියේය. සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකුගෙන් යුක්ත පවුලක සාමාජිකයෙකු වූ ඔහු විවාහකයකු වූවද බිරිඳ මිය යාම නිසා තනිකඩව කාලය ගත කළේය. ඔහුගේ සහෝදරයන් කිහිපදෙනා විවාහවී වෙනම පදිංචිව සිටි අතර එක් සහෝදරියක් ඇයගේ සැමියා වූ සේතන් සමග මහගෙදර පදිංචි වූවාය. අබරන් ද ඔවුන් දෙදෙනා සමග එක වහලක් යට ජීවත්වූවත් අබරන් තමන් සමග එකට ජීවත්වනවාට ඔහුගේ සොහොයුරිය හෝ සේතන් වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. කල්යත්ම නොහොඳ නෝක්කාඩු හිත් අමනාපකම් බවට පෙරළුනු එම අකමැත්ත ටික දිනක් යනවිට අබරන්ගේ සොහොයුරිය හා ඇගේ සැමියා වූ සේතන් එක්ව අබරන්ට පහර දෙන තත්ත්වය දක්වා උග්‍ර විය. 


වරෙක සේතන්ගෙන් ගුටි කෑ අබරන්ගේ කන් අඩි පුපුරා යාම නිසා කන්දෙකම නොඇසෙන තත්ත්වයට පත්වූ අතර ඔලුව පැලී බෙහෙත් දැමූ වාර අනන්තය. ඉතාමත් පාපකාරියෙකු වූ සේතන් අබරන්ගේ ඔලුවේ තුවාලවලට බෙහෙත් දමා තිබිය දී වුව ඔහුගේ ඔලුවට යළි යළිත් පහර දුන්නේය. මේ අයුරින් අබරන්ගේ හිසට කෲර ලෙස පහර එල්ලවීම නිසා ඔහු මානසික රෝගියෙකු බවට පත් වූවද ඒ මානසික රෝගියාගේ හිසටත් පහරදීමට තරම් අබරන්ගේ සොයුරියගේ සැමියා වූ සේතන් අකාරුණික වූයේය. 


මෙසේ අධික ලෙස හිසට පහර එල්ලවීම හේතුවෙන් අබරන් දුක් විඳ මිය ගිය අතර ඔහුගේ නැගණිය හා සේතන් මළ සිරුරට කිසිදු ගෞරවයක් නොදක්වා බල්ලෙකු බළලෙකු මෙන් අබරන්ගේ භූමාදන කටයුතු සිදු කළහ.


දශක කිහිපයක් ගතවුණි. අබරන්ගේ සොහොයුරියට දරුවන් ලැබීමට හෝ වාසනාවක් නොවූ අතර සේතන්ද රා බොමින්, මාළු අල්ලාගෙන කමින් පාපකාරී ජීවිතයක් ගත කළේය. ඒ අතරේ කාලයේ වැලිතලාවෙන් වැසී ගිය ඔවුන් කළ පාපකර්මය ඔවුනට පෙරළා විපාකදීම ආරම්භ කළේය. සේතන් අමතර ආදායමක් ලැබීමේ අටියෙන් හරක් කිහිපදෙනෙක් ඇති කළ අතර ගවයන් අහළ පහළ උදවියගේ වතුපිටිවලට වැදී වගා පාළු කිරීම නිසාවෙන් ගමේ කිහිප දෙනෙක්ම පසු වූයේ සේතන් සමග ඇතිකරගත් වෛරයකිනි. එක් දිනක් කට ගොන්නක් බී නිවසට පැමිණෙමින් සිටි සේතන්ට අතර මගදී හරකුන් වගා පාළු කිරීම සම්බන්ධයෙන් තමා සමග නිතර පැටලෙන අයෙකු මූණටම මුලිච්චි වූයෙන් ඔහුගේ කෝපය ඇවිස්සුණේය. දෙදෙනා මහ මගම බහින් බස් වූ අතර බැණ අඬ ගැසීම දුරදිග යාම හේතුවෙන් සේතන් සමග වාදයට පැටලුණු අනෙක් තැනැත්තා වහා අසල වැටකට හිටවූ ඉන්නක් ගලවාගෙන දිගට හරහට සේතන්ගේ හිසට පහර පිට පහර එල්ල කළේය. 


හිසට එල්ලවන පොලු පහර වැළැක්වීමට සේතන් කෙතරම් යත්න දැරුවද ඒ සියල්ල ව්‍යර්ථ කරමින් ඔහුගේ හිස කිහිප අතකට පැලී ගියේය. සේතන්ගේ බිරියගේ විලාපය හමුවේ ගම්මුන් එකතුව ඔහුව රෝහල වෙත රැගෙන ගියද මහ මගදීම අවසන් හුස්ම හෙළීමට තරම් සේතන් අවාසනාවන්ත වූයේ මීට දශක කිහිපයකට පෙර අබරන්ගේ හිසට පහරදී මරණයට පත් කිරීමේ පාපයට මෙලොව වශයෙන්ම විපාක දෙමිනි.

 


ගොඩගම දේශාන් තරුෂික ගමගේ ලියා එවූ කතාවක් මෙසේය.


පරිපාලන නිලධාරියාගේ ඉරණම


රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ එක්තරා නිලධාරියෙකු සිටියේය. සිය දක්ෂතා නිසාම රජයේ ඉහළ තනතුරකට ගියද ඔහු ලත් වැටුපට සරිලන සේවයක් රජයට ලබා නොදුණි. තනතුරට අයත් පහසුකම් තම පුද්ගලික දේපළ ලෙස සිතීය. යම් යම් ව්‍යාපෘති සඳහා යැයි කියා නීත්‍යානුකූලව මුදල් වෙන්කර එම මුදල් තම පුද්ගලික පරිහරණය සඳහා භාවිත කළේය. රාජ්‍ය වාහන නිවසේ පරිහරණය සඳහා යොදා ගනු ලැබීය. 


අහිංසක මිනිසුන්ට කළ අසාධාරණකම්, කියූ වචන මැවි මැවී මද කලකින් ඔහුට පෙනෙන්නට, ඇසෙන්නට විය. යකුන්, භූතයන් අවි ආයුධ දරාගෙන තමා හාත්පස සිටින බව පවසයි. ඇඳෙන් නැගිට දුවන්නට යයි. එහෙත් අත් පා පණ නැතිව බිම වැටී වේදනා විඳී.


දරුවන්ද පියාගෙන් ඈත් වූ අතර නිවසේ මෙහෙකරුද නිවසින් ගියේය. මහ රෑ කෑමොර දුන්නද අසලට පැමිණෙන්ට අයෙකු නොවීය. අවසානයේ බොහො දුක් විඳි හෙතෙම මරණයට ලක්වූයේ කළකම් මෙලොවදීම විපාක දෙමිනි.

   
මෙබදු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

m