(විනීතා එම් ගමගේ)
ඔහු වේලාසනම නික්ම ගියේය. කරන්නට තවත් බොහෝදේ තිබුණත්, ඉන්නට කල් ඔහුට තිබුණත් මාරාන්තික පිළිකා රෝගයක් ඔහු ගොදුරු කර ගත්තේය. තම පවුල පමණක් නොව රට දැය සමය වෙනුවෙන්ද කළ හැකි, කළ යුතු යුතුකම් සියල්ල ඔහු වහ වහා ඉටු කළේ කලින්ම නික්ම යන්නට සිදුවෙතැයි දන්නා අයෙකු පරිදිය.
”ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” පිරුළ ඔහු හා සසදද්දි බොරුවෙයි.
ප‍්‍රජා විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ නම් වූ ඔහු වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකි. එහෙත් නිර්මාණකරුවෙක්, ලේඛකයෙක්, චිත‍්‍ර ශිල්පියෙක් මෙන්ම නිදහස් මතධාරියෙක්ද ඔහු තුළ සිටියේය.
මාපලගම යනු ගාල්ල ගඟබඩ පත්තුවේ, ගිං ගඟ නිම්නයේ පිහිටි ගමකි. ඒ ආරියසේන යූ ගමගේ මහතා උපන් ගමයි. ගම් සභාපතිවරයෙකු වූ පියා මව සමග වැඩිමහල් සොහොයුරෙකු ඔහුගේ පවුලේ සාමාජිකයෝ වූහ.
මලාමුරේ කණිෂ්ඨ විද්‍යාලයෙන් තුන්වන පන්තිය තෙක් උගත් ආරියසේන, අනතුරුව බද්දේගම ක‍්‍රිස්තුදේව විද්‍යාලයටත් එතැනින් රිච්මන්ඞ් විද්‍යාලයටත් ඇතුළු විය. එහිදී උසස් පෙළට පෙනී සිටි ඔහු කොළඹ වෛද්‍ය පීඨයට ඇතුල් විය.
වෛද්‍ය ආරියසේන පසු කළෙක පැවසූ පරිදි ඔහුට වෛද්‍ය අධ්‍යාපනය ලැබුණේ රටට ගැලපෙන වෛද්‍යවරුන් තැනීමේ උවමනාව තිබු වෛද්‍ය පිරිසක් අතිනි. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කොල්වින් ගුණරත්න සහ මහාචාර්ය කාලෝ ෆොනසේකා වැනි බහුශ‍්‍රතයෝ වෛද්‍ය ආරියසේනගේ ආචාර්යවරු වූහ.
හෙතෙම ප‍්‍රජා වෛද්‍ය විද්‍යාව තෝරා ගත්තේය. එය පශ්චාත් උපාධියට හැදෑරූ ඔහුගේ පළමු පත්වීම කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ලැබිණ. ඒ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරයෙකු ලෙසද සේවය කලේය. ඔහුගේ ප‍්‍රජා සෞඛ්‍ය සේවාවේ ඇති ජනතා හිතකාමි බව හා සේවා ප‍්‍රදේශයන්හි ඇති වූ සෞඛ්‍ය සේවාවේ දියුණුව කැපී පෙනෙන සුළු විය. පසුකලෙක දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙස උසස් වීම් ලැබුවත් වෛද්‍ය ආරියසේන රජයේ රැකියාවේ තව දුරටත් සිටියේ නැත.
ඔහු රජයේ සේවය අතහැරියේය. මාවනැල්ල ගමගේ ආරෝග්‍ය ශාලාව ආරම්භ කරමින් ඔහු ඊට කැපවුණේය. එහෙත් තම අසීමිත කැමැත්ත වූ සංචාරයත් ලිවීමත් අතහැරියේද නැත.
වෛද්‍ය විද්‍යාලයේ දී දැන හ`දුනාගත් මානෙල් දිසානායක ඔහුගේ ආදරණීය බිරිඳ විය. ඔවුන්ට දියණියෝ දෙදෙනෙකි. ඔව්හුද වෛද්‍යවරියෝය. වෛද්‍ය දියණියන් දෙදෙනාගේ ස්වාමිපුරුෂයෝ ද වෛද්‍යවරුම වෙති.
ආරියසේන යූ. ගමගේ වෛද්‍යතුමන්ට සුවිසල් දේශපාලන පසුබිමක් තිබිණි. ඒ තම බිරිඳ මානෙල් දේශපාලන පවුලකින් පැවැත එන බැවිනි.
ඇයගේ වැඩිමහල් සොහොයුරා ඇමති එස් බී ය. තවත් සොහොයුරෙක් මධ්‍යම පලාත් සභාවේ මන්ත‍්‍රී වරයකු වන ජයලත් දිසානායකයි. එතරම් දේශපාලන සබඳතා තිබුණත් කිසිදු තැනක ඔහු ඒ ගැන කතා නොකළේය. ඒ සබඳතා ශක්තියක් කරගෙන කටයුතු නොකළේය.
රාජ්‍ය සේවයේ සිටියදී ම පුවත්පත් ලිපි ලියමින් ජනතාව දැනුවත් කළ ඔහු ඒ ලිපි තවත් විටෙක පොත් බවට පරිවර්තනය කළේය. රජෙක් වුණත් ලෙඩෙක් වුනොත්, දියවැඩියාව දැන් සුවයි, ඇදුම දැන් සුවයි, පුද්ගලිකයි රහසිගතයි වැනි ලිපි සමාජයේ බොහෝ සාකච්ඡාවට බඳුන් වූ ඒවා විය.
”ඔහු දේශීය වෛද්‍ය ක‍්‍රම ප‍්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය සඳහා යොදගන්නේ කෙසේදැයි පර්යේෂණයක යෙදුණේ පශ්චාත් උපාධිය සඳහාය. ඒ වෙනුවෙන් ඉන්දියාව නේපාලය, බුරුමය, තායිලන්තය, ඉන්දුනීසියාව සහ චීනය වැනි රටවලත් ලංකාවේත් දේශීය වෛද්‍යක‍්‍රම පිළිබඳව පර්යේෂණ කළේය. ඒ පර්යේෂණවල ප‍්‍රථිපල ජනතාව අතරට ගෙනයාම ඔහුට සතුට ගෙන දෙන කටයුත්තකි.
සූර සරදියෙල් ගේ විජිතය වූ උතුවන්කන්දේ සරදියෙල් ගම්මානය ඉදිකිරීම ඔහුගේ එක් සිහිනයක් වූයේය. ඒ සිහිනය ඔහු ඉටු කරගත්තේය. අද උතුවන්කන්දට ගොස් නිදහසේ දවස ගෙවන්නට ඕනැම කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ ඔහුට පින්සිදුවන්නටය.
මුහුණු පොත ඔහු ප‍්‍රිය කළ තැනකි. නිරන්තර ඔහු එහි සටහන් තැබුවේය. ඒවා ජනතා හිතවාදී සටහන්ය. නිරන්තර දැනුවත් කිරීම් එහි විය. දකුණු අතේ කිහිල්ල පෙදෙසෙහි මතුවූ පිළිකාව ලියුෆෝමා නම් එකක් බවත් එය වැළඳුණු විට සිදුකරන ප‍්‍රතිකාර මොනවා ද යන්නත් වෛද්‍ය ගමගේ නිරන්තර මුහුණු පොතට ලිව්වේ ඔහුට ප‍්‍රතිකාර කරද්දී ගත් ඡායාරූප සමගිනි.
අවසන් කාලයේ පවා ඔහු තම සටන අතහැරියේ නැත. පිළිකාව සමඟ සටන් කරමින් ඒ පිළිබ`ද ජනතාව දැනුම්වත් කරන්නට කටයුතු කළේය. පිළිකාවක් වැළඳුණු අයෙක් විකිරණ ප‍්‍රතිකාර වලදී හිසකෙස් යාම ගැන බොහෝ බිය වෙයි. වෛද්‍ය ගමගේ තමන්ගේ හිස කෙස් යද්දී ඒ ඡායාරූප යොදාගනිමින් මුහුණු පොතේ සටහන් තබා තිබුණේ විකිරණ ප‍්‍රතිකාර නිසිපරිදි සිරුර තුළ කි‍්‍රයාත්මක වේනම් හිස කෙස් යන බවත් එය බිය විය යුතුකරුණක් නොව සතුටු විය යුතු කරුණක් බවත් පෙන්වා දෙමිනි.
මේ වෛද්‍යවරයා ජනතාව හඳුනන්නේ විශේෂඥ චෛද්‍යවරයෙකු නිසාම නොවේ. ඔහු ජාතික ව්‍යසනයක් වූ හැම තැනම සිටියේය. අරණායක නාය යෑම සිදුවන විට ඔහු රෝගී වි සිටියත් ඔහු එහි ගියේ අසනීප අමතක කරමිනි.
”අපි වෛද්‍යවරු. අපි ජනතාවට ආදර්ශයක් ගේන්න ඕන. ඒ නිසයි මම උසට ගැලපෙන බර වගේ දේවල් ගැන උනන්දු” ඔහු පැවැසුවේය.
තම මවට ඉතා ආදරය කළ ඔහු වරක් මුහුණු පොතේ සටහනක් තැබුවේ තම පිළිකා රෝගය පිළිබඳ අවධානය යොමු කළ අම්මා තමන්ට පිණි බාන්නට හොඳ නැතැයි කී බවකි.
”මම වෛද්‍යවරයෙක් කියලා අම්මට අමතක වෙලා. කමක් නැහැ. මම පිනි බාන්න නොගිහින් හිටියා” ඔහු එසේ සටහන් කළේය.
දැන් මට හැට පහයි. ඒත් මම අවුරුදු සියයක වැඩ කරල තියෙනවා. මට මම ගැන සතුටුයි ඔහු කීවේය. ඔහු මරණයට මුහුණ දුන්නේ නොබියවය.
සියල්ලෙහි අනියත බව පෙන්වා දෙමින් ඔහු සමු ගත්තේය. දනන් දෑස පෑදු ඉසිවරයාණෙනි, ඔබට නිවන්සුව!