දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා ශෛලියෙන් ගැයූ කිෂාණි කියන කතාව


 20-Rasap-p1-1-(2)   

කිෂාණි ජයසිංහ සැමියා සහ දරු දෙදෙනා

 

 

“කිෂාණි ජයසිංහ” නමැති ඇය යුරෝපයේ සිටින ඔපෙරා සංගීතය රසවිඳින සම්භාව්‍ය රසික සමාජයට අමුත්තියක නොවේ. ශ්‍රී ලාංකේය සමාජයේ සිටින සංගීතයේ උසස් රසය සොයා යන ප්‍රේක්‍ෂකයන්ට ද ඇය අමුත්තියක නොවිය හැකිය. නමුත්, සමස්ත ශ්‍රී ලාංකේය සමාජයට නම්, ඇය අමුත්තියකි. ශ්‍රී ලාංකීය සමාජයේ සමාජ වෙබ් අඩවි පරිහරණය කරන පිරිස සහ සමාජයේ වෙසෙන අනෙකුත් බොහෝ දෙනා අද මේ කිෂාණි ගැන බෙහෙවින් කතාබහ කරන්නේ පසුගියදා සැමරූ 68 වැනි නිදහස් දින සමරු උළෙලේ දී “දන්නෝ බුදුන්ගේ” ගීතය ඇය සතු උච්ච ස්වරයෙන්, නැතහොත් විශ්ව සංගීත භාවිතාවේ සුප්‍රානො රිද්මයෙන් ගැයීම නිසාය. ඇයි ඇය මෙලෙසින් දන්නෝ බුදුන්ගේ ගීතය 
ගැයුවේ? මේ කිෂාණි කවුරුන්ද? “ඉරිදා ලංකාදීප”යට ඇය අදහස් ප්‍රකාශ කළේ මෙලෙසිනි.

 

20-Rasap-p1-1-(4)
● කිෂාණි ඔබ ගැන කෙටි සඳහනක් කළොත්?
මගේ ගම කොළඹ. ඉගෙන ගත්තෙ කොළඹ විශාඛා විද්‍යාලයෙන්. සාමාන්‍ය පවුලක කෙනෙක්. තාත්තා ඉංජිනේරුවරයෙක්. නමුත් පවුලේ ව්‍යාපාරවලට දායක වුණා. අම්මා ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ කේටරින් අංශයේ කළමනාකාරවරියක ලෙස සේවය කළා. මට සිටින්නෙ එක් සහෝදරයෙක් විතරයි. එයා පදිංචිව සිටින්නේ එංගලන්තයේ. මම විවාහකයි. මහත්තයාගේ නම කවිංග විජේසේකර. අපි දෙදෙනාට දරු දෙදෙනෙක් සිටිනවා. පසුගිය දාහත් වසරක වගේ කාලයක් අපි සිටියේ එංගලන්තයේ.

 


● නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ?
දරු දෙදෙනාට ශ්‍රී ලාංකීය අගය වටහා දිය යුතුයි. ඒ වගේම ලෝකයේ කොතැන හිටියත් මාත් මගේ සැමියාත් වඩා කැමැති අපේ ශ්‍රී ලංකාවටයි.

 


● ඇයි එදා ඔබ එංගලන්තයට ගියේ?
උසස් පෙළ විභාගය සමත් වූ පසු නීතිය ගැන හැදෑරීම අපේක්ෂාව වුණා. අන්න ඒ නිසා තමයි එංගලන්තයට ගියේ. විශාඛාවේ පාසල් අධ්‍යාපනය ලැබූ කාලයේදී මම ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසත් කටයුතු කළා. ටෙනිස්, රුවල් ඔරු, විවාද කණ්ඩායම, නර්තන, රංගන ඔය ආදී බොහෝ අංශ සඳහා දායක වූ පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යාවක මෙන්ම ඒ කණ්ඩායම්වල නායකත්වය ද දැරුවා. සංගීතයට, බැලේ නර්තනයට මෙන්ම ගායනයට සමීප වුණේ ප්‍රාථමික පංතිවල සිටියදීමයි. වතාවක එම අංශයෙන් හොඳම යොවුන් ශිල්පිණිය ලෙසත් සම්මාන ලැබුවා. ඔරු පැදීමේ අංශයෙන් ජාතික ශූරිය වී වතාවක ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළා. මේ සියලු දේ අවසන එංගලන්තයට ගියේ නීතිය ගැන වැඩිදුර හැදෑරීමටයි. නීති උපාධිය සඳහා ඉගෙන ගන්නා අතරේ මගේ ජීවිතයට වඩාත් සමීපව තිබුණු සංගීත කටයුතු සඳහාත් වඩා උනන්දු වුණා. 

 


● ඉන්පසුව ඔපෙරා ගායන ශිල්පිණියක වුණේ කොහොමද?
කලාව සහ සංගීතය කෙරෙහි මගේ ඇතුළාන්තයෙන්ම තිබුණේ ගැඹුරු ආදරයක්. නමුත් මේ තරම් දුරකට විශ්ව සංගීතයට සමීප වේවි යැයි හිතුවේ නැහැ. ඒක මගේ අරමුණ වුණෙත් නැහැ. නීතිය සඳහා උපාධි ද්විත්වයක් ලබා නීතිඥවරියක වූ පසු දිනෙක ගිම්හාන සෘතුවේදී සංගීත පාසලකට ගියා. සංගීතයට තිබුණු බැඳීම නිසයි එතැනට ගියේ. එහිදී එම පාසලේ මහාචාර්යවරයකු මට හමුවුණා. ඔහු සමග සුහද කතාබහක යෙදෙමින් සිටියදී එතුමා මගේ හඬ ගැන උනන්දු වුණා. ඔබ නීතිය ගැන ඉගෙන ගන්නා සරසවිය අසල තමයි කටහඬ අභ්‍යාස පුහුණු කරන හොඳම ගුරුවරිය සිටින්නෙත්. ඉතින් නරක ද ගිහින් ඇය හමුවුණොත් කියලා එතුමා මට කිව්වා. මම එහෙම කියන්නෙ ඔයාගෙ හැකියාව ගැන මට දැනෙන නිසයි කියලත් එතුමා කිව්වා. ඒ අනුව “පැමෙලා කුක්” ගුරුතුමිය යටතේ හඬ පුහුණුවට යොමුවුණා. එය මගේ ජීවිතයේ විශාල භාග්‍යයක් වුණා.

 


● ඇය නිසාද ඔබ ඔපෙරා ගායිකාවක වුණේ. නැතිනම් වෙන මොන විදියටද?
එතුමියගෙන් දැනුම් සම්භාරයක් උකහා ගත්තා කිව්වොත් නිවැරදියි. ඉන්පසුව ඔපෙරා ශිල්පිණියක වීම සඳහා අයදුම්පතක් යොමු කරන්න කියා එතුමිය කිව්වා. පුංචි උත්සාහයක් ගන්න, හරිගියොත් හරි, නැත්නම්, ඔයා නීති අංශයෙන් ඉදිරියට යන්න කීවා. ඒ අනුව කටයුතු කළ නිසා මාව තේරුණා. එම අංශයේ උපාධිය දක්වාම ඉගෙන ගත්තා. ඒ සඳහා ශිෂ්‍යත්වයක් පවා ලැබුවා. ඔපෙරා ශෛලියේදී මගේ අංශය වුණේ උච්චතම ස්වර අභ්‍යාස ප්‍රගුණ කළ රිද්මයයි. ඒ මුළු පංතියෙන්ම ප්‍රධාන ඔපෙරා කණ්ඩායම සඳහා එම අංශයෙන් ශිල්පිණියන් දෙදෙනෙක් පමණක් ඇතුළත් වුණා. ඉන් එක් ශිල්පිණියක ලෙස මාව තේරුණා. මගේ ජීවිතය වෙනස් කළ අරුම පුදුම මොහොත වුණේ “රෝයල් ඔපෙරා හවුස්” හෙවත් රාජකීය ඔපෙරා කණ්ඩායම හා එක්වීමේ භාග්‍යය ලැබීමයි. තරුණ ගායිකාවන් සඳහා වසර දෙකක වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබුණා. ලෝකයේ සිටින විශ්ව සංගීතයේ විශිෂ්ටයන් යටතේ එහිදී දැනුම ලබා ගැනීමට මට හැකි වුණා. ඒ තැනට ප්‍රවේශවීම අතිශය දුර්ලභ අවස්ථාවක්. අවසන ඉහළතම ස්වරයෙන් 
ගයන එකම ශිල්පිණිය ලෙස මාව බඳවා ගත්තා. එනම් එකම සුප්‍රානො ගායන රිද්මයේ ශිල්පිණිය ලෙසයි.

 


● සුප්‍රානො ශෛලියේ ගායන ශිල්පිණියක වීම අතිශය බැරෑරුම් කටයුත්තක්ද?
මම මා ගැන ආත්ම වර්ණනාවක් කර ගන්නවා නොවෙයි. විශ්ව සංගීතය ඇසුරු කරන, එය රසවිඳින පිරිස එහි ඇති බැරෑරුම් බව ගැන දන්නවා. අතිතාරස්වර ගායන රිද්මයේ ශිල්පිණියක වීම, එනම් උස් හඬකින් නාද කරන, ඒ අතරිනුත් උච්චතම ස්වර පරාසයෙන් ගයන ශිල්පිණියක වීම අතිශය අසීරු කටයුත්තක්. ඒ සඳහා ඉගෙනීම්වලට අමතරව බොහෝ පුහුණු අභ්‍යාස කළ යුතු වෙනවා. මම මේ උච්චතම නැතහොත් අතිතාරස්වර ශෛලියේ මධ්‍යම ස්වරයකින් 
ගයන ශිල්පිණියක කිව්වොත් වඩා නිවැරදියි. සංගීතය යනු එක් තැනෙකින් නිමා නොවන, තව තවත් පුරුදු - පුහුණු සහ ප්‍රගුණ කළ යුතු සාගරයක් බදු විෂයයක්. ඔපෙරා ශෛලියේ ගීත නාටක ඉදිරිපත් කරන ආකාරයේ විවිධ ශෛලීන් තියෙනවා. අන්න එය තමයි ශ්‍රී ලාංකීය ප්‍රජාවට පැහැදිලි කළ යුතු දේ වන්නෙ. මේ අතිතාරස්වර හඬ විතරක් උපයෝගී කරගෙන ඉදිරිපත් කරනු ලබන අවස්ථාවකදී දෙදහසක් - තුන්දහසක් පමණ සිටින ප්‍රේක්‍ෂකාගාරයකට ඒ හඬ මුදා හරින්නෙ මයික්‍රෆෝන් මගින් නොවෙයි. තම මුළු සර්වාංගයෙන්ම ප්‍රගුණ කළා වූ හඬ තමයි සජීවීව මුදා හරින්නෙ. එවැනි දෙයක් කිරීමට නම් ස්වර අභ්‍යාසයේ ගැඹුරු පුහුණුවක් ලබා තිබිය යුතුයි. සුප්‍රානො (අතිතාරස්වර) හඬ මුදා හැරීම සඳහා සංගීතයෙහි බොහෝ දේ ප්‍රගුණ කළ යුතු වෙනවා. ඔපෙරා භාෂා රිද්මය හා වඩාත් බැඳුණු භාෂාව වන්නේ, එනම් මුල් තැන වන්නේ ඉතාලි භාෂාවයි. මේ අධ්‍යයනය වෙනුවෙන් ඉතාලියට ගිහින් ඒ භාෂාව පවා පුරුදු වුණා.

20-Rasap-p1-1-(5)

ඔපෙරා ප්‍රසංගයකදී...

 


● මේ විදියට සංගීතය වෙතින් ගමනක් යන ඔබට, මෙවර 68 වැනි නිදහස් දින සමරු උළෙල ප්‍රසංගයේදී ගීයක් ගැයීමේ අවකාශය ලැබුණේ කොහොමද?
පසුගිය දෙසැම්බරයේදී මගේ ප්‍රසංගයක් කොළඹ දී පැවැත්වුණා. එම ප්‍රසංගය අවසන ලැබුණෙ ඉතාමත් යහපත් ප්‍රතිචාර. මේ මොහොතේදී තමයි මට ආරාධනයක් ලැබුණෙ. ඊට විශේෂිතම දේ වුණේ එදා ඔපෙරා ශෛලියේ ගීතවලට අමතරව ඒ ශෛලියට අනුගාමීව “දන්නෝ බුදුන්ගේ” ගීතය ගැයීම නිසයි. විශ්ව සංගීතයෙහි අභාසය ලද මම මගේ රටට මගේ භාෂාවෙන් යමක් කළ යුතුයි. මා උගත් දේ රටට ලබාදීම මගේ යුතුකමක්. සුප්‍රානො ශෛලියෙන් ගීත ගැන කතා කළොත්, ප්‍රංශ, ජර්මානු, ඉතාලි මෙන්ම යුරෝපයේ අනෙකුත් රටවල භාෂාවන්ට අදාළව ගැයෙනවා. ඉතින් මගේ රටේ ගීතයක් එම ශෛලියෙන් දෙසැම්බර් ප්‍රසංගයේදී ඉදිරිපත් කළා. ඊට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා තමයි නිදහස් දින උළෙලට ආරාධනා ලැබුණාම මේ ගීතය ගැයුවේ. මම ශ්‍රී ලාංකික දියණියක්. පිට රටකින් ආ කෙනෙක් නොවෙයි.

 


● “දන්නෝ බුදුන්ගේ” ගීතයම ඊට තෝරා 
ගත්තේ ඇයි? මේ සුප්රානේ ශෛලිය සිංහල ගීතයට ගැළපෙනවා යැයි ඔබ විශ්වාස කරනවාද?
සංගීතයට භාෂාවක් තියෙනවාද? සංගීත රසවින්දනයට ජාතියක්, ආගමක්, භාෂාවක් නොවෙයි වැදගත් වන්නෙ. එය රසවිඳින විදිය විතරයි. සංගීතය යනු විශ්වීය භාෂාවක්. එය  වින්දනය සඳහාම පමණක් වූ විෂයයක්. රසවිඳීමේ පරාසය එකිනෙකාට වෙනස්. 

 


● නමුත් මේ විදියට ඔපෙරා ශෛලියෙන් මෙම ගීතය ගැයීම නිසා ඔබට එල්ල වූ විවේචන බොහෝමයි. එහෙම නේද?
මම හදවතින්ම ශ්‍රී ලාංකික දියණියක්. රටේ බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදෙන පාසලකින් උගත් දියණියක්. මේ විදියට, විශේෂයෙන්ම සමාජ වෙබ් අඩවි හරහා මට විවේචන එල්ල වුණේ සංගීතය ගැන වූ හරය බොහෝ දෙනාට නොවැටහෙන නිසා වෙන්න ඇති. ඒ වගේම ආණ්ඩු විරෝධී ආකල්ප දරන අය මේ විදියට විවේචන පටන් ගන්න ඇත්තේ ඒ ආකල්ප දරාගෙන වෙන්න ඇති. සමහරු හිතුවෙ මම දේශපාලන හෝ වෙනත් බටහිර ආකල්ප මේ රටට ගෙනැල්ලා දාන්න ආ කෙනෙක් කියලයි. එක්කෝ ජාතියට විරුද්ධව දෙයක් කරන්න යනවා කියලත් හිතන්න ඇති. ශ්‍රී ලංකාවට මෙතරම් ආදරය කරන මම මගේ රටට දෙන්නේ හොඳම දේ මිසක නරක දේ නොවෙයි. සිංහල - බෞද්ධ මම මියයන තෙක්ම ශ්‍රී ලාංකීයයි. ලාංකීය ශිල්පිණියක ලෙසයි ජාත්‍යන්තරයේ දී මම පෙනී සිටින්නෙ. පාසල් සමයේ සිට මගේ රටට මම කීර්තියක් මිසෙක අවනම්බුවක් කළේ නැහැ. අපේ සමහර මිනිස්සු හරි කලබලයි. පිංතූරයක් දැක්කා, කටහඬ ඇහුනා, ඊට පස්සෙ කෙනා කවුද යැයි නොසොයා විවේචන කළා. හෙව්වෙ නැහැ, බැලුවෙ නැහැ කවුද මේ කිෂාණි? මොකක්ද මේ ඔපෙරාව? ඔන්න ඔහොමයි බැලුවෙ. මේ විදේශිකයෙක්ද? අපේ භාෂාව කතා කරන්න බැරි කෙනෙක්ද? ඔන්න ඔය විදියට තමයි මුලදි හිතන්න ඇත්තෙ.

 

20-Rasap-p1-1-(1)

 


● ඇත්තටම සිංහල වචන මේ ඔපෙරා ශෛලියට ගැළපෙන්නෙ නැද්ද?
භාෂාව නොවෙයි ප්‍රශ්නය. මෙතැන තිබෙන්නෙ රසවින්දනය පිළිබඳව වූ ගැටලුවක්. මට අවශ්‍ය වුණේ අපේ ගීතයක් ජාත්‍යන්තරයට දැනෙන විදියට මේ ශෛලියෙන් ගැයීමටයි. මම කතෝලික කියලත් සමහරු කිව්වා. මම බුද්ධාගම කන්න ඇවිත් තියෙන්නෙත් කිව්වා. මම සියල්ල උපේක්ෂාවෙන් දරාගෙන සිටියා. ඉවසන්නම බැරි වුණේ සමහර කාන්තාවන් - මට එල්ල කළ විවේචනයි. (සමාජ වෙබ් අඩවි හරහා). කාන්තාවකට ගෞරවයක් ගෙන දුන් කාන්තාවක් ලෙස මා ගැන නොසොයා සමහර කාන්තාවන් කළ කී දේ ගැන මම අතිශයින්ම කනගාටු වෙනවා. මම පොළවේ පය ගහලා කරවල හොද්ද එක්ක පොල් සම්බල එක්ක බතක් කෑමට රුසි සරල කාන්තාවක්. හොඳ සිංහල කාන්තාවක්. මෙතැනදි මම කළේ සංගීතයෙන් මා උගත් දේ වෙතින් ජාත්‍යන්තරයට ගැළපෙන විදියට අපේ දේ ඉදිරිපත් කිරීමයි. එදා මේ ගීතය ගැයූ පසු ඒ අවස්ථාවට සහභාගී වූ තානාපති අංශ ප්‍රභූවරුන් ඇතුලු බොහෝ දෙනාගෙන් ලැබුණු ප්‍රතිචාර හරිම ඉහළයි. ඔපෙරා ගායිකාවක වුවත් මම ඔපෙරා ඇඳුම නොවෙයි එදා භාවිතා කළේ. අපේ දේශීය හොඳ ඇඳුමක්. එතැනදීත් මම වඩා තැන දුන්නේ ලාංකීයත්වයටයි. නමුත් සංගීතය නමැති විශ්ව භාෂාව තේරුම් ගැනීම තමයි වැදගත් වන්නෙ.


 

දන්නෝ බුදුන්ගේ ගීතය කාගෙද?

 

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා
ක්ලේෂ නස්නා භික්ෂූ
ඇත්තේය බෝ සේ
රහතුන් නිවාසනා පායා ප්‍රකාශේ

භූ ලෝ මතේ මේ දෙව් ලෝ පෑවා සේ
පේනා මෙපුර මුණි සාසන වාසේ
එර්දියෙන් යන්නා වූ නෙක් රහතුන්ගේ
සෙවණැල්ලෙන් හිරු රශ්මිය භංගේ

මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී
සේරු පන්ති පන්ති පීනති බෝ සේ
අනුරාධ නගරය දැන් පේනේ බෝ සේ


සිංහල වේදිකා නාට්‍ය වංශ කතාවේ පුරෝගාමී චරිතය වන්නේ නීතිඥ ජෝන් ද සිල්වා සූරීන්ය. එතුමාගේ නාට්‍ය නිර්මාණ එකතුවේ එක් සුවිශේෂී නිර්මාණයක් ලෙස “සිරිසඟබෝ” නූර්තිය නම් කළ හැකිය. නූර්ති නාට්‍ය කලාවේ ශ්‍රී ලාංකීය සලකුණ ඇති කළ නූර්ති නාට්‍යය ලෙස සැලකෙන්නේ ද මේ “සිරිසඟබෝ” නූර්තියයි. එකල ගීතය විකාශය වූයේ නූර්ති හෝ ටීටර් සමග බැඳී ආ විෂයයක් ලෙසිනි. නමුදු පසුව ගීතය කේවල මාධ්‍යයක් ලෙස විකාශය වීම ඇරඹිණි. එහිදී ද නීතිඥ ජෝන් ද සිල්වා සූරීන් රචිත ගීත වලට හිමි වූයේ විශේෂිත ස්ථානයකි. 


නූර්ති නාට්‍ය සම්ප්‍රදායට පෙර ශ්‍රී ලංකාවේ පැවැතියේ නාඩගම් කලාවය. එහි පුරෝගාමී චරිතය වූයේ ශ්‍රී දොන් බස්තියන්ය. නමුත් ඊට පෙර මෙරට රඟ දක්වා තිබුණේ, බොම්බෙන් (මුම්බායි) සංක්‍රමණික නාඩගම්ය. ඒවා හින්දි - උර්දු - මරාති ආදි භාෂා වලින් විකාශය විණි. ශ්‍රී දොන් බස්තියන් සහ ජෝන් ද සිල්වා සූරීන් ශ්‍රී ලාංකීය සම්ප්‍රදායක් බිහිකිරීමට මුල් වූයේ ඉන් පසුවය. වෙසෙසින්ම නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන් නූර්ති නාට්‍ය කලාවට මෙන්ම එතෙක් එම නාට්‍ය හා බැඳි ආ ගීත කලාවට අපූරු රිද්මයක් එක් කළේය.


මෙම දන්නෝ බුදුන්ගේ ගීතය ඇතුළත් වූයේ එතුමා විසින් රචිත “සිරිසඟබෝ” නූර්ති නාට්‍යය වෙනුවෙනි. ඊට පෙර ජෝන් ද සිල්වා සූරීන් විසින් “දස්කොන්”, “රාමායනය” නූර්ති නාට්‍ය බිහි කර තිබුණද ඔහුගේ ස්වකීය නාට්‍ය කලාවට ආලෝකයක් ගෙන දුන්නේ, “සිරි සඟබෝ” නූර්තියයි. ප්‍රථම වතාවට ඉන්දියානු සංගීතඥ “විශ්වනාත් ලව්ජි” සිරිසඟබෝ නූර්තිය වෙනුවෙන් ජෝන් ද සිල්වා ශූරීන් සමග එක්විණි.


ශ්‍රී ලාංකීය ගීත කලාවකට මුල පිරූ ප්‍රථම සුසංයෝගය ලෙස සැලකෙන්නේ මේ දෙපෙළය. එනම් නීතිඥ ජෝන් ද සිල්වා සූරීන් සහ විශ්වනාත් ලව්ජි සුසංයෝගයයි. සිරි සඟබෝ වෙතින් පසුව මේ දෙදෙනාගේ සුසංයෝගයෙන් තවත් අපූරු නිර්මාණ රැසක් බිහිවිණි.


“සිරිසඟබෝ” නූර්තියේ මෙම ගීතය ඇතුළත් වූයේ, ගෝඨාභය, සංඝතිස්ස සහ සංඝබෝධි යන චරිත ත්‍රිත්වය සඳහාය. මෙම චරිත වෙනුවෙන් දායක වූ නළුවන් තිදෙනා “දන්නෝ බුදුන්ගේ” ගීතය ගයමින් අනුරාධපුරය බලා යන අවස්ථා විකාශය විණි. එම ගීතය මුලින්ම ගැයුවේ කවුරුද යන්න හරියටම සඳහන් නොවූවද, ඩබ්.ඒ. පෙරේරා, ඩබ්.ඒ. අප්පු සිංඤෝ, ඩබ්.ඩී.එස්. ජේම්ස් ගයා ඇතැයි සඳහන් වේ. පසුව හියුබට් රාජපක්ෂ, එච්.ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් මෙන්ම ඉන් පසුව තවත් කීප දෙනකු විසින්ද, පසුකාලීනව, පණ්ඩිත් අමරදේව ශූරීන් මෙන්ම විශාරද නන්දා මාලිනියද ඇතුළුව තවත් ශිල්පීහූ කීප දෙනකු විසින් ගයා තිබේ. එලෙසින් හෙට දිනයේද එය සිදුවනු ඇත. 


නමුදු මෙම “දන්නෝ බුදුන්ගේ” ගීතය යනු නීතිඥ ජෝන් ද සිල්වා සූරීන් විසින් රචිත සර්වකාලීන ගුණයෙන් සපිරි ගේය පද රචනාවක් වන්නේය. එහි අති සුවිශේෂී ගුණය වන්නේ එයයි. මේ කිෂාණි නීතිඥ ජෝන් ද සිල්වා සූරීන් හට ඥාතිත්වයක් ඇතැයි ප්‍රකාශ වේ. එයද විශේෂත්වයක් වන්නේ.

 

                    සටහන: සඳුන් ගමගේ