දන්සල් ඉන්ධන පෝලිම්


වෙසක් දින මුහුණු පොතේ තැබූ සටහනක මෙසේ සඳහන් වී තිබුණි. ˝ ‘‘අද පාරවල් ඇහිරිල තිබුණෙ දන්සැල් නිසාමත් නෙවෙයි, ඒවට ආපු තඩි කාර්වලින්.’’˝ අල් ජසීරා හෝ බීබීසී මාධ්‍යවේදියකු  මෙම තත්ත්වය දුටුවේ නම් ඔවුන් තම නාලිකාවලට යවන වාර්තා මෙයට වඩා බොහෝ වෙනස් වනු ඇත.

දන්සැල් අසල වටිනා වාහන නවතා පුද්ගලයන් පෝලිම් ගැසී සිටිනු දැක ශ්‍රී ලංකාවේ ඉහළ ධනපතීන් පවා ආහාර නැතිව පෝලිම්වල සිටින බව ප්‍රකාශ වන ආකාරයේ වාර්තා පළ කරන්නට ඉඩ තිබුණි. එසේ නැත්නම් මෙවර ශ්‍රී ලංකාවේ දන්සැල් අසල ඉතිහාසයේ කවරදාකවත් නොතිබූ ආකාරයේ දිගු පෝලිම් පවතින බව වාර්තා කරන්නට ද ඉඩ තිබුණි.

කෝවිඩ් කාලයේ දී සහ බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කාලයේ දී සමහර ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ශ්‍රී ලංකාව පිළිබඳව වාර්තා කළේ ඒ ආකාරයෙනි.  ඔවුන් ආසා කළේ ශ්‍රී ලංකාවේ ජනතාව පසුගිය වසර කිහිපය තුළ ආහාර, ඇඳුම් පැළඳුම්, විදුලිබල, ඉන්ධන සහ ගෑස් සම්බන්ධයෙන් මහා අර්බුදයකට මුහුණ දී තවමත් ඒවා විසඳාගත නොහැකිව පීඩාවට පත්ව සිටින බව ලොවට පෙන්වන්නටය. 

සමහර මාධ්‍යවේදීන් මෙන්ම දේශපාලනඥයෝ ද එකල ශ්‍රී ලංකාව මරණ බිය, රෝග බිය සහ ආහාර බිය යන තුන් බියකට මුහුණ දී සිටින බව ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකාවේ ඉන්ධන සහ ගෑස් පෝලිම් ද කුඩා දරුවන් වඩාගෙන එම පෝලිම්වල සිටින මවුවරුන් ද ඉන්ධන පෝලිම්වල මරණයට පත්වන පුද්ගලයන් ද පිළිබඳව තොරතුරුවලින් ලෝක ජනමාධ්‍ය පිරී තිබුණි. ගෝල්ෆේස් අරගල භූමියේ තම අසහනය ප්‍රකාශ කරන විවිධාකාරයේ විරෝධතා ඒවායින්  නිරන්තරයෙන් දැක ගැනීමට හැකි විය.

කෝවිඩ් සහ අරගල සමයේ විසාලා මහනුවර මෙන් පැවැති ශ්‍රී ලංකාව මෙවර වෙසක් දින වන විට තැන තැන දන්සැල් ද  තැන තැන තොරණ ද තැන තැන ඉදි කර ඇති වෙසක් කලාපවලින් ද පිරී ගොස් තිබුණි. වසර කිහිපයකට පසු ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගෙන් පිරී ගිය සිරිපා සමය වෙසක් දා අවසන් වූයේ අවසන් දිනට ද රැස් වූ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මැද්දේය. දළඳා මැදුරට, අටමස්ථානයට පමණක් නොව අලු‍තින් ඉදිකළ කූරගලට ද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නිදහසේ ඇදී එන ආකාරය බොහෝ දෙනකුට දැක ගැනීමට හැකි වූයේ යැයි සිතමි.

අවුරුදු හතරකට පසු මහජනතාවට මෙවර සිංහල හින්දු අලු‍ත් අවුරුද්ද සැමරීමට ඉඩ ලැබුණි. ඒ ආකාරයටම සම්බුදු තෙමඟු‍ල සමරන ආකාරය ද දැක ගැනීමට හැකි විය. වෙසක් මස තරුණ ජෝඩු විශාල පිරිසක් ඔවුන්ගේ විවාහ උත්සව පවත්වා යුග දිවියට සැපත් වන ආකාරය දැක ගැනීමට ද ඉඩ ලැබුණේ යැයි සිතමි. වෙසක් මාසයේ මෙවැනි හෘදයාංගම සිදුවීම් රැසක්  පිළිබඳව අසන්නට ද කතා කරන්නටද  ඉඩ ලැබුණි. 

ශ්‍රී ලංකාව නැවත ඉපදුනු බවක් දැන් පෙන්නුම් කරන්නේ යැයි කීමට මම උත්සාහ නොකරමි. එසේ වුවද අරගලය අවසන් කර ජනපති රනිල් වික්‍රමසිංහයන් විසින් රට යථා තත්ත්වයට පත් නොකරන්නට අපට තුන් බියකට වඩා වැඩි බියකට වුවද මුහුණ දී කල් ගත කිරීමට සිදු වන වටාපිටාවක් තවමත් පවතින්නට ඉඩ තිබුණි. එදා තිබූ තත්ත්වය වෙනස් වී අලු‍ත් අවුරුද්ද සහ වෙසක් සැමරීමට හැකි වීම ආශ්චර්යයක් සේ සිතීමට හේතුවක් නැතැයි තවත් සමහරුන් ප්‍රකාශ කිරීමට ද ඉඩ තිබේ. 

වෙසක් දින නේක වර්ණ විසිතුරු දසුන් මවා පෑ නෙලු‍ම් කුලුනට ගොඩවූ පිරිස 12,204ක් විය. ඒ අතර විදේශිකයන් 76 දෙනෙක්ද වූහ. එය මහජන ප්‍රදර්ශනය සඳහා සැප්තැම්බර් මාසයේදී විවෘතව තැබීමෙන් පසු මේ දක්වා නරඹා ඇති සංචාරක පිරිස 8,15,982ක් වන අතර ඔවුන්ගෙන් 13,057ක් විදේශිකයෝ වෙති. මෙවර වෙසක් දින, එක් දිනකට පැමිණි ඉහළම සංචාරකයන්ගේ සංඛ්‍යාව වාර්තා කළේය.

˝“වසර හතරක පමණ කාලයක් විවිධ සමාජීය හේතූ මත වෙසක් උත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නොහැකිවීම නිසා වෙසක් මහෝත්සවය පිළිබඳ මතකය බාල පරපුරෙන් ගිලිහී ගියා. මෙවර ජාතික වෙසක් මහෝත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වීමෙන් බාල පරම්පරාවේ විශාල මානසික පෙරළියක් ඇති කිරීමට හේතු වෙනවා”. ˝ ජාතික වෙසක් උත්සවය විවෘත කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය සිදුවන වෙනස්කම් අවබෝධ කර ගැනීම සඳහා ඉතා වැදගත් වනු ඇත.

රට වෙනස් වී නැත. තවමත් වෙසක් සැමරුම පිළිබඳ මතක වියැකී ගොස් නැත. බයිසිකල්වල කණ්ඩායම් සැදී වෙසක් බලන තරුණ පිරිස් ද විවෘත රථවල පවුල් පිටින් වෙසක් බලන්නට යන පිරිස් ද යතුරු පැදි කණ්ඩායම් ලෙස වෙසක් බලන පිරිස් ද නැවත කරළියට පැමිණ ඇත. 

හැමදාම දොස් නැගුවත් ඔලු‍බක්කා අතුරුදහන් වී නැත. දන්සැල් ඉදිරියේ කොඩි වනා ආරාධනා කරන්නන්ගෙන් මාර්ග හිස් වී නැත.  භක්ති ගී කණ්ඩායම් ද නැවත වීදි සැරිසරයි. වෙසක් කූඩු තරග, භක්ති ගීත, මහ තොරණ සියල්ල අතීතයේ පැවැති ලෙසම නැවත පැමිණ ඇත. මේ සියල්ල තුළ පැහැදිලි වන්නේ කෝවිඩ් ආර්ථික අර්බුදය සහ අරගලය හේතුවෙන් කලක් නිශ්චලව, නිහඬව සහ ආර්ථික වශයෙන් මරණාසන්නව පැවැති ශ්‍රී ලංකාව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවය.

සිංහල හින්දු අවුරුද්දට වඩා හොඳින් වෙසක් පැවැත්වුණි. වෙසක්වලට වඩා හොඳින් පොසොන් පැවැත්වෙනු ඇත. අනෙකුත් ආගමික උත්සව ද ජාතික හා සංස්කෘතික උත්සව ද ඒ ආකාරයටම පැවැති තත්ත්වයට සමාන වන අයුරින් යළිත් පැවැත්වීමට හැකි වන යුගයක් උදාවනු ඇත. 

වෙසක් උත්සවය ජාත්‍යන්තර මට්ටමින් සමරනු ලබන, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති දිනයකි. එසේ වුවද පසුගිය වසර හතර තුළ ශ්‍රී ලංකාවට පමණක් නොව වෙසක් සමරන අනෙක් බොහෝ රටවලට ද ඒ සඳහා අවස්ථාවක් ලැබී නොතිබුණැයි සිතමි. පාස්කු ප්‍රහාරයේ සිට අරගලය යැයි හඳුන්වන ව්‍යාපාරය අවසන් වන තුරුම රට තුළ දක්නට ලැබුණේ අවිනිශ්චිත, අඳුරු සහ අර්බුදකාරී කාල පරිච්ඡේදයකි.

භෞතික වශයෙන් භුක්ති විඳින දේවල  හිඟය පමණක් නොව කෝවිඩ් වැනි වසංගත නිසා ඇති වූ කම්පනය ද මහජනතාවගේ සාමකාමී දිවි පෙවෙතට විශාල තර්ජනයක් එල්ල කළේය. එහෙත් අද තත්ත්වය සම්පූර්ණයෙන්ම  වෙනස් වී ඇති අතර ජීවිතය පිළිබඳ බලාපොරොත්තු තැබීමටත් තම දූ දරුවන්ගේ අනාගතය පිළිබඳ අපේක්ෂා රැඳවීමටත් මහජනතාවට හැකි වී තිබේ. වෙසඟේ අසිරිය ජනතාවගේ සිත් සතන්වලට දැනෙන ආකාරයෙන් සැමරීමට හැකි වී තිබෙන්නේ ඒ නිසාය. 

සංස්කෘතික සහ සමාජීය පැවැත්ම කොරෝනාවලින් පසු ප්‍රථම වතාවට යථා තත්ත්වයට පත් කර ගැනීමට දැන් අවස්ථාව සැලසී තිබේ.  උද්ධමන වේගය පහළ වැටීම, ඩොලරයේ අගය අඩු වීම, ප්‍රේෂණ වැඩි වීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය පහසුකම් ලබා දීම මේ ආකාරයේ පරිවර්තනයක් ඇති කිරීම සඳහා උපස්ථම්භක වී තිබේ. රජය සමඟ මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසක් එකතු වනු ඇති බවට තොරතුරු ප්‍රචාරය වී තිබුණි. එසේම ජාතික ආණ්ඩුවක් ඇති කිරීම පිළිබඳව ද යම් යම් සංවාද ඇති වී තිබුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැති විවාදයෙන් පසු ගිවිසුමට විරුද්ධව ඡන්දය දීමෙන් වැළකීමට ප්‍රධාන විපක්ෂය තීරණය කර තිබුණි. ශ්‍රී ලාංකික සමාජය තුළ අද පවත්නා ගැටලු‍ විසඳා ගැනීම සඳහා සියලු‍ දෙනාම එකතු වී කටයුතු කිරීම ඉතා වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකාව සහ වෙනත් රටවල වෙසක් සමරද්දී ලොව බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබුණේ බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ අභිෂේක මංගල්‍යය දෙසය. චාල්ස් රජුගේ අභිෂේක මංගල්‍යයට සහභාගී වන අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුවට ද සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සමුළුව අමතමින් තරුණ සහභාගීත්වය දිරිමත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය වඩා පුළුල් කාර්යභාරයක් ඉටු කළ  යුතු බව ප්‍රකාශ කළේය. එසේම ඩිජිටල්කරණය ඔස්සේ සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුව ඇතැයි ද ප්‍රකාශ කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සමගාමීව පැවැති Fireside Chat සමග එකතු වූ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ශ්‍රී ලංකාවට සහ ජාත්‍යන්තරයට අදාළව කරුණු කිහිපයක් පිළිබඳවම අදහස් ඉදිරිපත් කර සාකච්ඡාවල නිරත වූ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. 

රට පුරා සම්බුදු තෙමඟු‍ල අතිඋත්කර්ෂවත් අන්දමින් සැමරෙද්දී ඒ සඳහා මග පෑදූ ජනාධිපතිවරයා තුන්වැනි චාල්ස් රජුගේ මෞලි මංගල්‍යයට සහභාගී වූ අතරම පොදු රාජ්‍ය මණ්ඩල කටයුතුවලට අදාළව සාකච්ඡාවලට සහභාගීවීමට ද ශ්‍රී ලංකාවට අදාළ බොහෝ කරුණු සම්බන්ධව තවත් රටවල රාජ්‍ය නායකයන් සමඟ ද්වීපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට ද හැකි විය. රට අභ්‍යන්තරයේ ඇතිව තිබූ වෙනස තුළින් ගොඩනැගුණු සාමකාමී තත්ත්වය නිසා එවැනි ස්ථාවරත්වයක් ඇති වී තිබේ.

ඒ නිසාම එදා ඉන්ධන පෝලිම්වල දකින්නට ලැබුණු තඩි සහ පොඩි වාහන අද වෙසක් දන්සැල් අසල තිබෙනු දකින්නට ලංකාවාසී ජනතාවට හැකි වී ඇතැයි සිතමි. මගේ මුහුණු පොතේ මිතුරු ලයිස්තුවේ සිටින කෙනකු අර්බුද අවස්ථාවේදී තැබූ සටහනක් මගේ මතකයට නැගේ. ඉන් එකක මෙසේ සඳහන්ව තිබුණි. ˝ “මේ තෙල් පෝලිම්වල පිච්චෙන්නෙ අපේ ජීවිත කා‍ලයෙන් කොටසක්. මේව අපට කවදාවත් ආපහු ගන්න බැහැ.  මම ඊයේ ඉඳන් තෙල් පෝලිමේ.

මට ඉස්සරහ වාහන හාරසීයක් විතර තියෙනව. මේ මම ඉන්ධන පෝලිමකට ආ පළමු වතාව. රෑ තිස්සේ මදුරු ප්‍රහාර. දැන් වෙලාව 4.30යි” එදා මහජනතාවට දැනුණු පීඩනය සහ කම්පනය මේ වෙසඟ දිනය වන විට වෙනස් වී ඇති බව දන්සල් ගැන සටහන් තබන අයට මෙන් තෙල් පෝලිම්වල මෙන්ම අනෙක් පෝලිම්වල රැඳී සිටි සහ පීඩාවට පත්වූ සුවහසක් මහජනතාවට ද වැටහෙනු ඇතැයි සිතමි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර