වියළි ආහාර බෙදන දන්සැල් පෝලිම් සාමාන්‍ය බත් දන්සැල් පෝලිම්වලට වඩා වෙනස් ය. බත් සහ මයියොක්කා දන්සැල්වලට යෑම නැතහොත් “දන්සැල් වැඳීම” කවුරු කවුරුත් පන්ති භේදයකින් තොරව අශාවට සහ විනෝදයට කරන්නකි. දන්සැල්වල බත් රහට බොහෝ අය කැමතිය. බඩදරු අම්මලා, ස්ත්‍රීන් සහ ළමයින් ඒ අතර ප්‍රධානය. එහෙත් කට්ටියක් බත් දන්සැල් වන්දනාවට යන්නේ එදා වේල පිරිමසා ගැනීමට බව අර ආශාවට සහ විනෝදයට යන අය සමහරවිට දන්නේ නැතිව ඇති. විශ්වවිද්‍යාල සිසු අවධියේ අතිශයින්ම නැතිකම් වලින් දුක් විඳි අප එදා වේල පිරිමහ ගැනීමට දන්සැල් ගිය මතකය අමතක කොට නැත.
ගෑස් මිලත් ඉහළ ගොස් ය. එළවළු ගොවියෝ තම නිෂ්පාදනවලට මිලක් නැති නිසා දුක් විඳිති. ඒවා වීසි කරති. ඔවුන්ව තලන පෙළන කූට අතරමැදියෝ ඉතිරිය සොච්චමකට කිරා ගනිති. වීසි කරන එළවළු කඳු දෙස බලා හිටින නාගරික සහ උප නාගරික පහළ මැද පාන්තිකයන් තමන්ට ඉහළ මිලකට එළවළු ගන්නට වීමේ හේතුව නොතේරී, ඒ අරුමය දැක හූල්ලති. අඩු ආදායම් ලාභීහු සහ කිසිදු ආදායමක් නැති දස ලක්ෂ ගණනින් වූ ජනයා භාණ්ඩ මිල සහ සේවා ගාස්තු ඉහළ යෑමේ නොනවතින අධි වේගය නිසා පවුල ඇතුළෙත් ඉන් පිට සමාජයේදීත් හැළියේ කුණු නෑඹිලියෙන් වසති. එවන් මොහොතක අනෙකුත් දන්සැල් පෝලිම්වලට වඩා වසරින් දික් වෙන වියළි ආහාර දන්සැල් පෝලිම් යනු මහා පාඩමකි.
කුඩයක් ඉහළා ගත් අතකින් දරුවකු වඩා ගත් මවකි. ඇගේ අනිත් අතෙහිපොඩිවුණු හිස් පොලිතින් මල්ලකි. ඒ අතේ එල්ලී සිටින තවත් බහ තෝරණ වයසේ දරුවෙකි. වීදියේ යනවුන් දෙස නොව අනෙක් පසට හරවා ගත් මුහුණු පෙරහරකි. මේ තරම් සෙනඟක් කොහෙන් ආවා දැයි හිතෙන තරමේ දිග පෝලිමකි. මේ පසුගිය මතභේදාත්මක වෙසක් පෝයට පෙර දින කිරිබත්ගොඩ නගරයේ දී මා දුටු දසුනකි. මේ නම් මුළු රටේම ව්‍යුහාත්මක අසාධාරණකම්වල සැබෑව හෙළිදරව් කරගැනීමට යොදා ගත හැකි කදිම සාම්පලයකි.
ප්‍රමුඛ ඉස්ලාම් චින්තකයෙකු වූ ඉබන් ඛල්දුන් :ෂඉබ ණය්කාමබ* එක්තරා ආකාරයක උපහාසයකින් පෙන්වා දුන් ආකාරයට ආණ්ඩුවක් යනු තමන්ගෙන් සිදුවන අසාධාරණකම් වැළැක්වීම නොව අන් අයගෙන් සිදුවන අසාධාරණකම් වැළැක්වීම සඳහා ක්‍රියා කරන ආයතනයකි. මෙය ඉතා කදිම නිර්වචනයකි. ආණ්ඩුවක දෙපිටකාට්ටුකම වගේම ඇත්තටම ආණ්ඩුවක් කරන දේ ඉන් අඟවයි.
එහෙත් ජනයාට වගකියන ශක්තිමත් සහ දියුණු ආණ්ඩු අනුන්ගෙන් සිදුවන අසාධාරණකම්වලින් ජනතාව ගලවා ගන්නවා පමණක් නොව ජනයාට තමන්ගෙන් අසාධාරණකම් සිදු නොවීමට ද වගබලා ගනියි. අවාසනාවකට අප කලක් තිස්සේ ජීවත් වෙන්නේ ආණ්ඩුවෙන් වෙන අසාධාරණකම් තබා පිටින් එළිපිටම සිදුවන අසාධාරණකම් වලින්වත් අප බේරා නොගන්නා ආණ්ඩු යටතේ ය. මේ ආණ්ඩු අපව බේරාගන්නවා වෙනුවට කරමින් සිටින්නේ ඒ අසාධාරණකම් කරන්නවුන්ට පහසුකම් සහ අනුබල දීමය.
ගෑස් සමාගම්වල නැතහොත් ගෑස් වෙළෙන්දන්ගේ ඉල්ලීම් පිළිබඳව “සානුකම්පිතව” සලකා බලා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245 කින් වැඩි කිරීමට ආණ්ඩුව ඉඩ දුන්නේ රටේ පීඩිත ජනයාට ඔවුන්ගේම මුදල් වැය කොට එස්එම්එස් වෙසක් සුබ පැතුමක් එවන තරමේ සැහැල්ලු_වකින් ය. එසේ කළේ ගෑස් සමාගම් “ගෑස් මිල වැඩි කරනු, වැඩි කිරීමට ඉඩ දෙනු” යනුවෙන් පුවරු ඔසවාගෙන මහමඟට බැස ජල ප්‍රහාර, කඳුළු ගෑස් සහ පොලුමුගුරු පහර කමින් අරගල කළ නිසා නොව ඒ සමාගම් “විඳින අන්ත දුක” එසේ නොකර සිටිද්දීත් ආණ්ඩුවට දැනෙන නිසා ය. ඒ මේ ආණ්ඩුවේ සහ තිබුණු කොයි ආණ්ඩුවේත් මහා කරුණාවේ තරම ය. වැඩි වැටුප්, අලි වැටක්, තම නිෂ්පාදනවලට සාධාරණ මිලක්, බීමට දිය පොදක් ඉල්ලා පාරට බසින ජනයාට ආණ්ඩුවෙන් ලැබෙන්නේ කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් සහ මුගුරු ප්‍රහාර ය. වෙළෙඳ සමාගම්වලට ආණ්ඩුවෙන් ලැබෙන මහා කරුණාව ඒ පීඩිත ජනයාට ලැබෙන්නේ නැත. බලගතු වෙළෙන්දන්ගේ දුක දකින ආණ්ඩු ජනයාගේ දුක නොදකින හේතුව කුමක් ද?
ජනයා මුළාවේ දමා ආණ්ඩු බලය උදුරා ගන්නා මැති ඇමතීන් ජනයා ගේ දැවෙන ප්‍රශ්න කෙරෙහි ආණ්ඩුවේ දී හෝ පාර්ලිමේන්තුවේ දී හෝ තීරණාත්මක අවධානයක් යොමු නොකරන හේතුව එක්කෝ අඥාන කම විය හැකිය. නැතහොත් කුහක කම විය යුතුය. පීඩිත ගොවීන්ටත් පාරිභෝගිකයන්ටත් සාධාරණයක් වන ලෙස වී, එළවළු, ලොකු ලූනු, රතු ලූනු, ගම්මිරිස්, දොඩම්, දෙහි වැනි කෘෂි නිෂ්පාදනවලට මිලක් ලැබෙන ක්‍රමවේදයක් සැකසීමේ මුලෝපායන් පිළිබඳ මේ පාර්ලිමේන්තුව කිසිදු ප්‍රතිපත්ති සම්පාදන සංවාදයක් හෝ විවාදයක් පවත්වා තිබේ ද? භාණ්ඩ හා සේවා වෙළඳපොළේ සැහසිකම්වලින් සහ අසාධාරණකම්වලින් පීඩාවට ලක්වන ජනයා ඉන් ගලවා ගන්නේ කෙසේද යන්න පිළිබඳ මුලෝපා තබා අදහසක්වත් “අපේ ප්‍රතිපත්ති සම්පාදකයන්” සිටින පාර්ලිමේන්තුවට තිබෙන බවට සාක්ෂි තිබේ ද?
දශක ගණනාවක් තිස්සේ මගී ජනයා විඳින අනේකවිධ පීඩාවලින් ඔවුන් ගලවා ගෙන ඔවුන් වෙනුවෙන් ප්‍රශස්ත පොදු මගී ප්‍රවාහන සේවාවක් සැලසුම් කොට ක්‍රියාවට නැඟීමට අදාළ ප්‍රතිපත්ති සංවාදයක් හෝ විවාදයක් පාර්ලිමේන්තුව තුළ මෑත ඉතිහාසයේ සිදු කොට තිබේද? වැඩකරන සියලු ජනයාට සාධාරණ වන ජාතික වැටුප් සහ කුලී ප්‍රතිපත්තියක් වෙනුවෙන් මේ පාර්ලිමේන්තුව වෙහෙස වී තිබේද?
රෝහල්වල දිග ගැස්සෙන පොරොත්තු ලේඛන සහ රජයේ රෝහල්වල පහසුකම් පිළිබඳ අවධානය යොමු කොට, විධිමත් මුලෝපායික වැඩ පිළිවෙළක් සකසා ජනතාවගේ සෞඛ්‍ය සහ සුබසාධනය වැඩි දියුණු කිරීම පිළිබඳ දින ගණනින් වූ ප්‍රතිපත්ති සම්පාදන පාර්ලිමේන්තු විවාද ගැන ඔබ අසා තිබේද? “බදු ගෙවීම ඔබගේ යුතුකමකි” කියා ජනයා ගෙවන බදු මුදල්ම යොදවා දැන්වීම් පළ කරමින් බදු බර වැඩිකරන ආණ්ඩුව ඒ බදු මුදලින් පාලකයින්ගේ අධි සුඛ විහරණය සලසා ගන්නවා මිස ඒ බදු ආදායම දුෂණයකින් තොරව රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා යොදවන සැලසුම් තනන මුලෝපායික ප්‍රතිපත්ති සම්පාදන විවාද පාර්ලිමේන්තුව තුළ සිදු කොට තිබේද?
අඩුම තරමින් මහ මුහුදේ ගිල්වන නැව් සහ වෙඩි නොවදින රථ මහජන මුදල් බවට පත් කිරීමේ උපාය ගැන සංවාද පාර්ලිමේන්තුව තුළ ඔබ අසා තිබේද? රේගුව විසින් ගල් රෝල්වලට යට කොට විනාශ කළ ලක්ෂ 310ක් පමණ වටිනා අභ්‍යාස පොත්, පෑන්, පැන්සල් පෙට්ටි සහ සෙල්ලම් බඩු එසේ විනාශ නොකොට අග හිඟකම් ඇති ලක්ෂ ගණනින් වූ පාසල් දරුවන්ට බෙදා දිය යුතුය යන යෝජනාව මේ පොල්මඃක්කාර පාර්ලිමේන්තු හාම්පුතුන්ගේ මොළයට නොඑන එක ගැන ඔබ සිතිය යුතු නොවේ ද?
ඒ ආකාර වූ පසුබිමක එනම් පොදු මහජන සමාජයට අදාළ, ඔවුන් පීඩාවට පත් කරන කිසිවක් ගැන තීරණාත්මක අවධානයක් යොමු නොකරන, දුක් විඳින ජනයාගේ දුකට සහ ඉල්ලීම්වලට අවධානය යොමු නොකරන පාලකයන්ගේ විශ්වාස භංග, පක්ෂ ප්‍රති සංවිධාන, පක්ෂවල තනතුරු වෙනස් කිරීම හෝ යළි පත්කිරීම, මේ ලිපිය ලියන මොහොතේ සිදු කරන කැබිනට් සංශෝධන, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමති සංශෝධන හෝ පත් කිරීම්, ඒ පැත්තට මේ පැත්තට මාරු වීම් යනාදිය ජනයාට අදාළද? ඒවායින් පොදු මහ ජනයාට අත්වන සුගතිය කුමක් ද?
විශේෂයෙන්ම විද්‍යාත්මක පදනමකින් සිදු කරනවා යැයි කියන කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමති සංශෝධන යනු ඒවා ලබන්නන් සහ වටේ සිටින්නන්ගේ සන්තෘෂ්ටියට හේතු වන ඒවා මිස රටේ දුක් විඳින ජනයාගේ සතුටට හේතු වන ඒවා නොවේ ය. මෙහි විද්‍යාත්මක පදනම යනු ඇමැතිකම ලබන්නාත්, පවුලේ අයත්, වටේ සිටින අයත් සතුටුවන ආකාරයෙන් පෞද්ගලික වරප්‍රසාද ලැබෙන සේ ඇමැති පදවි බෙදීමේ පදනම ය. එසේ නැතිව රට වඩාත් යහපත් තැනකට ගෙන යාමේ අරමුණ ඉටු කර ගැනීම සඳහා වූ විද්‍යාත්මක පදනමක් නොවන බව නම් සහතිකය. කැබිනට් ඇමති කමක් නොදීමෙන් තමන්ට විශාල පෞද්ගලික අසාධාරණයක් සිදුවූ බව කියමින් අනේක විධ චෝදනා සහ මැසිවිලි නගන රාජ්‍ය ඇමති පියසේන ගමගේ ඒ නිසා රටට අසාධාරණයක් සිදු වූ බව නොකියයි. ඇත්තටම මේ කිසිවකුටත් ඇමතිකම් නොලැබුණා කියා රටට නම් කිසිදු අසාධාරණයක් සිදු වෙන්නේ නැත. ඉන් පෙනෙන්නේ මේ විද්‍යාත්මක පදනමේ සැබෑ ස්වරූපය ය.
කෙසේ හෝ ආණ්ඩු බලය ඉදිරියට නඩත්තු කිරීමට අවශ්‍ය ඔළුගෙඩි ගණන රැක ගැනීම සඳහා වන විද්‍යාත්මක පදනම හැමටම වඩා ප්‍රබල ය. අපනයනය කිරීමට භාණ්ඩ සුලබ නැති, එනම් මහ ලොකු නිෂ්පාදන ආර්ථිකයක් නැති රටක “රුපියල අවප්‍රමාණය වීම පැති ගොඩකින් හොඳයි” කියන අයද සහිතව මුළු ආණ්ඩුවම ඇමැතීන්ගෙන් පිරී ගොස් ය.
මෙවැනි පසුබිමක මේ අයගේ පක්ෂ ප්‍රතිසංවිධාන රටට සහ පොදු ජනයාට අදාළ නැත. වැඩකුත් නැත. එසේම පාර්ලිමේන්තුව පුරා කෙටූ විකාර පච්චයක් සේ පෙනෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනවලින් ඇති පලයකුත් නැත. දැන් අත්‍යවශ්‍ය වන්නේ රටේ පොදු ජනතාව ප්‍රති සංවිධානය කිරීම සහ සංශෝධනය කිරීමය. එසේ නොවුණහොත් වසරකට සැරයක් හෝ දෙකක් වියළි ආහාර මලු_ බෙදන දන්සල් ඉදිරිපිට අප කාට කාටත් හිට ගැනීමට සිදුවනු ඇත. ඇතැම් විට දන්සලුත් නැතුව අහස දෙස බලා සිටීමට සිදු වනු ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ
ධම්ම දිසානායක