දරු සම්පත් නැතිව පවුලේ ආරවුල්


 17_page_3-RS

 

 

විවාහ ජීවිතයක් සාර්ථක කරගන්නනම් දෙදෙනා අතර හොඳ අවබෝධයක් තිබිය යුතුය යන්න කවුරුත් පිළිගන්නා අදහසක්. ඒ වගේම පවුලක් සම්පූර්ණ වෙන්නනම් දරුවකු සිටිය යුතු බවට ද සමාජයේ මතයක් පවතිනවා. සමාජයේ තැනුම් ඒකකය පවුල කියන්නා සේම ලෝකයේ අනාගතය නිර්මාණය කරන්නේ අද උපදින දරුවන්. ඒ නිසා එවන් දරුවන් සමාජයට එක් කිරීම පවුලක වගකීමක් කියලයි හැමෝම සිතන්නේ. 

 

1
ඒ වගේම තමයි පවුලක් දෙන්නා දෙමාල්ලන්ගෙන් පමණක් ඉදිරියට ගෙන යාම එතරම් පහසු නැහැ. ඒක ඒකාකාරී වනවාට කිසිම සැකයක් නැහැ. පුංචි දරුවකුගේ සිනහව, හුරතල් කතා නිවසකට ආලෝකයක් ගේනවා. ඒ දරුවා ඔවුන්ගේ පවුල් ජීවිතයේ ප‍්‍රතිඵලයයි. ඒ වගේම දරුවෙක් කියන්නේ විවාහයට පත් කාන්තාවගේ මෙන්ම පිරිමියාගේත් සරු බව පෙන්වන ලකුණක් හැටියටයි සමාජය සලකන්නේ. ඒත් සමාජයේ හැම ගැහැනියක්ම, හැම පිරිමියකුම මේ සරුබව උරුමකරගත්තවුන් නොවේ. ඒක ජීව විද්‍යාත්මකයි. එහෙම යම්කිසි පවුලක පිරිමියා හෝ කාන්තාව හෝ දරුපල නැති අයෙක් වූ විට දරුවකු අරන් හදාගෙන ඒ පවුල සම්පූර්ණ කරගෙන යන්නට උත්සාහ කරන අයද අපට හමුවෙනවා. මේකට තමයි එකිනෙකා පිළිබඳ අවබෝධය අවශ්‍ය වන්නේ. නමුත් සමහර අවස්ථාවල අපි දකිනවා එවැනි දරුවන් නැති වූ පවුල් ගැටලූ සහගත තත්ත්වයන්ට මුහුණ දෙන ආකාරය. සමහර විට අම්මලා, නැන්දම්මලාගේ මැදිහත්වීම නිසා මේ පවුල තවදුරටත් සමගිසම්පන්න පවුලක් ලෙස පවත්වාගෙන යාම අසීරු වෙනවා. මොකද අම්මලාගෙත් බලාපොරොත්තුවක් තියෙනවා තමන්ගේ දරුවන්ගේ දරුවෙක් දැකබලා ගැනීමේ. ඒ කියන්නේ මුනුපුරෙකුගේ මූණ දැකීමේ ආසාවක්. ඉතිං ඒ අවස්ථාව නැතිව ගියාම අම්මලා දුකට පත්වෙනවා. එවිට ඔවුන් එහි වරද තබන්නේ තමන්ගේ දරුවාට නොව පවුලට එක් වූ අනෙක් පාර්ශ්වයට වීමත් සාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා එවැනි පවුල් අවුල් වී පොලිස් පොතේ ලියවෙන කතාවකින් කෙළවර වීම වැළැක්විය නොහැකියි.


    හෝමාගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිලි පොතේ ලියැවී තිබෙන ජයන්තිලාගේ කතාවද එවැනි කතාවකි. හෝමාගම පොලිස් ස්ථානයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක රණබාහු මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂක තනූජා අබේසිංහ මහත්මිය අප සමග මේ කතාව කිව්වේ මෙහෙමයි.


    ජයන්තිත් රංගනත් විවාහ වුණේ යෝජනාවකට අනුවයි. පුවත්පතක පළවූ දැන්වීමක් අනුව ජයන්තිගේ මාපියන් ලියූ පිළිතුරු ලිපියකට අනුව කැමැත්ත පළකරමින් රංගනගේ මාපියන් විසින් ලිපියක් එවනු ලැබ තිබුණා. ජයන්ති ගුරුවරියක්. රංගන බැංකු ලිපිකරුවෙක්. රැකියාවල තත්ත්වයන් ද එතරම් ගැටලූවක් වුණේ නැහැ. හඳහනත් ගැළපුණා. දෙන්නාට දෙන්නාගේ අකමැත්තක්ද පළවුණේ නැහැ. ඒ නිසා දෙපාර්ශ්වයේම දෙමාපියන් එක්ව බොහොම ඉහළින් උත්සවයක් පවත්වා මේ විවාහය සිදුකළා. විවාහයෙන් පසුව ටික කලක් රංගනගේ මාපියන් සමග වාසය කළ නව යුවළ පසුව ණයක් අරගෙන නව නිවසක් ඉදිකිරීම ඇරඹුවා. රංගනත් ජයන්තිත් නව නිවස ඉදිකළේ බලාපොරොත්තු ගොන්නක් පොදිබැඳගෙනයි. 


‘අලූත් ගෙදරට ගියාට පස්සෙම අපි දරුවෙක් හදමු. දැන්ම දරුවෙක් හැදුවොත් ගේ හදන වැඩවලට බාධාවක් වෙන්නත් පුළුවන්.’ ජයන්ති එහෙම කිව්වා. 
‘ඔව්. ඒක ඇත්ත. අනික අපේ ගෙදර නංගිලාත් ඉන්න නිසා ඉඩකඩත් මදිනේ. ඒ නිසා දරුවා අලූත් ගෙදරට ගේන අලූත් තෑග්ගක් වගේ ගේන එක ඔයාගේ වැඩක්’ රංගන ජයන්තිට විහිළුවක් කළා.


‘ආ... ඒක මගේ පිට පටවන්නේ ඇයි? ඒක ඔයාගෙත් වගකීමක් තමයි.’


රංගනලා මේ විදිහට විහිළුතහළු කරමින් සතුටෙන් ජීවත් වුණා. ආදරය කරලා විවාහ වූ දෙන්නෙකුට වඩා ඔවුන්ට කතා කරන්න ගොඩක් දේවල් තිබුණා. මොකද දෙන්නා දැනඅඳුනගන්නෙත් දැන්නේ. ඒ නිසා යම් නැවුම් කමක් එහි තියෙන බවත් දෙන්නාටම දැනුණා. දෙදෙනා සතුටෙන් සිටින ආකාරය දැක ඔවුන්ගේ දෙමාපියන් ද සතුටු වුණා. ඒ තමන් ගත් තීරණය වැරදි නැති බව හිතලයි.  වසරක් වැනි කාලයකදී ඔවුන් නව නිවසේ පදිංචියට ගියා. දැන් කාගෙත් දෙවැනි බලාපොරොත්තුව ඉදිරියට ඇවිත් තියෙන්නේ. ප‍්‍රශ්නයේ ආරම්භය එතැනයි.


    නව නිවසේ පදිංචියට පැමිණ දින සති මාස ගෙවී ගියා. ඒත් ජයන්තිලාට දරුවෙක්ගේ මූණ බැලීමේ වාසනාව තවමත් උදාවෙලා නැහැ. අන්තිමට වෛද්‍යවරු හමුවුණා. එතැනදි දැනගත්තා ජයන්තිට දරුවෙක් බිහිකිරිමේ හැකියාවක් නැති බව. ඊට පස්සේ දරුවෙක් අරන් හදා ගනිමු කියලා ජයන්ති යෝජනා කළත් රංගන ඒකට කැමති වුණේ නැහැ. 


‘මට කාගෙවත් දරුවෙක්ගෙන් වැඩක් නැහැ. මට  ඕන මගේම දරුවෙක්.’


 රංගන කිව්වේ එහෙමයි. ඒ විතරක් නෙවෙයි තව බොහොම දේවල් රංගන ජයන්තිට කියන්න පටන්ගත්තා.


‘බොරු කේන්දර හදලා මාව අල්ලගත්තේ වඳ බව දන්න නිසාම තමයි. මගේ ජීවිතේ කාලකන්ණි කළා.’ මේ විදිහට නිතර නිතරම ජයන්තිට දොස් කියන්න වුණාම දෙන්නා අතර නිතර විරසකකම් ඇතිවෙන්න පටන්ගත්තා. කිරියි පැණියි වගේ හිටපු පවුල දැන් වහ කදුරු වගේ වෙලා. දෙන්නාටම දෙන්නා පෙන්නන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා. උයාගත්ත දේ කන්න බැහැ. රණ්ඩු සරුවල්. රංගනගේ මාපියනුත් මේකට හොඳට පෝර දැම්මා. ඒ නිසා රණ්ඩුව දිගටම වර්ධනය වුණා. ටික කාලයක් යද්දි ජයන්ති මේ නිවසේ ඉන්නවාට ඉන්නවා වැනි තත්ත්වයකට පත්වුණා. රංගනටත් ගෙදර තිත්ත වුණා. ඒ නිසා වැඩට ගිහින් ගෙදර ආවේ බීලා. නිවාඩු දවසට ගෙදර හිටියේ නැහැ, මිතුරන්ගේ ගෙවල්වල අතන-මෙතන ඇවිදින්න ගියා. 


මේ විදිහට ඇවිදින රංගනට දේවිකා හමුවුණේ මිතුරෙකුගේ නිවසකට ගිය අවස්ථාවේදියි. මිතුරාගේ නිවසේ සිටි පොඩි දරුවෙකුගේ හුරතලයට රංගන වශී වුණා. ඔහු කියන, කතා කරන දේවල් හැම දෙයකටම රංගනගේ හිත ඇදිලා ගිය දේවල් වුණා. ‘තමන්ටත් මේ වගේ දරුවෙක් හුරතල් කරන්න තිබුණානම් කොයිතරම් දෙයක්ද?...’ රංගනට හිතුණා. රංගන දරුවා ළඟට අරන් හුරතල් කළා. ඊළඟ දවසේ මිතුරාගේ ගෙදර ගියේ චොකලට් එකක්ද අරගෙනයි. ඒ අර දරුවාට දෙන්නයි. මේ දරුවා හිටියේ මිතුරාගේ නිවසට ආසන්නයේ ගෙදරකයි. දරුවා මිතුරාගේ ගෙදරට ඇවිත් තිබුණේ නැත්නම් රංගන ඒ දරුවාගේ ගෙදරට යන්නත් පුරුදු වුණා. රංගනට දරුවන් නැති බව දන්නා මිතුරා මේ දරුවා බලන්නට යාමෙන් ඔහුගේ හිතට සැහැල්ලූවක් දැනේවි යයි සිතා ඊට ඉඩ දුන්නා. 


නමුත් බැරෑරුම් හා කනගාටුදායක ප‍්‍රශ්නය ඇතිවන්නේ ඉන් පසුවයි. මේ කාන්තාවගේ සැමියා රිය අනතුරකින් මිය ගිහින්. ඇය වාසය කළේ තනිවමයි. රංගන දරුවා බලන්න නිතර නිතර එහි ගිය විටදී මේ තොරතුරුද දැනගන්නට ලැබෙනවා. ඒ නිසා රංගන තේරුම් ගන්නවා එහි තමන්ට ඇතුළු විය හැකි හිඩැසක් ඇති බව. ඒ හිඩැස පුරවන අදහස ඔහු දරුවාගේ මවට ක‍්‍රමයෙන් කියා සිටිනවා. 


ඒ පවුලේ දරුවෝ තුන්දෙනෙක්ම සිටියා. ඒ හැම දරුවකුම කෙටි කලකින් රංගන සමග හිතවත් වුණා. දැන් රංගන මිතුරාගේ නිවසට නොගොසින්ම දරුවාගේ නිවසට යන්න එන්න පටන් අරන්. දරුවාගේ මව දේවිකාද රංගනට ටික ටික කිට්ටු වුණා. මෙහෙම ටික දවසක් යද්දි දේවිකා මේ අදහස රංගනගෙන්ම ගන්න උත්සාහ කළා. 


‘ඔයා මෙහේ එන්නේ පුතා බලන්නමද?’


‘ඔව්’


‘වෙන වුවමනාවක් ඇත්තෙම නැද්ද?’


‘පුතාගේ අම්මව බලන්නත් වුවමනාවක් තියෙනවා.’ 


මේ විදිහට දෙන්නා අතර සමීප ඇසුරක් ඇති වී එය දිගුකාලීන ඇසුරක් බවට පත්වෙන ලකුණු පහළවන්නට වුණා. දැන් රංගන මේ නිවසට යන්නේ දරුවෝ තුන්දෙනෙක්ගේ තාත්තා කෙනෙක් වගේ. ඔවුන්ට කෑම බීම, තෑගි බෝග අරගෙනයි. වැඩි කාලයක් නොගිහින් මේ සම්බන්ධතාව ජයන්තිගේ කනට වැටුණා. නරක ආරංචි හුළඟ වගේ ගහගෙන යනවානේ. ඒත් මේ ගැන සාකච්ඡුා කරලා විසඳුමක් ගන්න පුළුවන් මට්ටමක ඇසුරක් දැන් රංගන හා ජයන්ති අතර නැහැ. ඒ නිසා කිසිවක් නොකියා ජයන්ති නිහඬවම සිටියා. රංගන දවසින් දවසම ජයන්ති සමග රණ්ඩු කිරීම වැඩි වුණා. ටික දවසක් ජයන්ති මහ ගෙදර ගිහින් හිටියත් අම්මලා කිව්වේ කසාදේ කඩාගන්නේ නැතුව බේරගන්න බලන්න කියලයි. මේ වගේ දරුවකු ආපහු ගෙදරට ගෙනත් කසාද බන්දන්න බැරි බව දන්නා ඇගේ මාපියන් ඊට බය වුණා. අන්තිම කාලයේ තමන්ගේ දෑස පියාගන්න වෙන්නේ දරුවන්ගේ ප‍්‍රශ්නද කරපින්නාගෙන බව ඔවුන් සිතුවා වන්නට ඇත. කොහොම වුණත් වසර දෙක තුනක් යද්දි රංගන දිගින් දිගටම ජයන්ති සමඟ රණ්ඩු කරන්න වුණා. ඇය පන්නා දැමීම ඔහුගේ එකම අභිප‍්‍රාය වුණා. දික්කසාද නඩුවක් දාන්න ගියත් ජයන්තිගේ වරදක් කියන්නට නොහැකියි. දරුවන් නැති නිසා වෙන් වෙනවා කියලා කියන්නත් අමාරුයි. ඒ නිසයි ජයන්තිම හිතලා තමන් අත්හැර ආපසු යන තත්ත්වයක් ඇතිකරන්නට රංගන උත්සාහ කළේ. නිතරම ජයන්තිට ගැහුවේ බැන්නේ ඒ නිසාය. 


    අවසානයේ ජයන්ති පොලිසියේ පිහිට පැතුවාය. සැමියා තමන්ට පහර දෙන බවටත්, ඔහුට අනියම් සම්බන්ධතාවයක් ඇති බවටත් ජයන්ති පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා සිටියාය. 


පොලිසිය දෙපාර්ශ්වයම ඔවුන්ගේ වැඩිහිටියන්ද සමග ගෙන්වා මේ පිළිබඳව සාකච්ඡුා කර විසඳීමට උත්සාහ කළා. එහෙත් ඔවුන් එයට යහපත් ප‍්‍රතිචාර දැක්වූයේ නැහැ. විශේෂයෙන්ම රංගන කියා සිටියේ තමන්ට වෙනත් විවාහයක් කරගෙන දරුවන් හදාගෙන ජීවත් වීමට අවශ්‍ය බවත් මෙවැනි වඳ ගැහැනියක සමග පවුල් කෑමට නොහැකි බවත්, අවසානයේ පොලිස් පොතේ ලියා තබා ජයන්ති තම දෙමාපියන් වෙත ගියා. 


මේ සිදුවීමට හේතු සම්බන්ධයෙන් අදහස් දැක්වූ හෝමාගම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක රණබාහු මහතා...
‘‘මේ පවුලේ අර්බුදයට මූලික හේතුව දරුවකු නැතිකම. ඒ නිසා තමයි සැමියා වෙනත් සම්බන්ධතාවකට පෙලඹෙන්නේ. ඔහු දරුවකුගේ හුරතල් දැකලා ඒ දරුවාට ආකර්ෂණය වීම නිසා තමයි මේ ප‍්‍රශ්නය ඇතිවන්නේ. එහෙම දෙයක් ඇති වීම සාමාන්‍ය තත්ත්වයක්. ඒක හිතා මතා කළ දෙයක් කියන්න බැහැ. නමුත් උගත් බුද්ධිමත් ජනකොටසක් හැටියට දරුවන් නැති විවාහක යුවළකට අද නව තාක්ෂණය, විද්‍යාව භාවිත කරමින් අවශ්‍යනම් තමන්ගේම දරුවෙක් ලබාගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම දරුවන් වැඩි පවුලකින්, අනාථ වූ පවුලකින් දරුවෙක් අරන් හදාගැනීමට හැකියාවක් පවතිනවා. ඒක ඒ පවුලටත් ලබාදෙන හයියක් වෙන්න පුළුවන්. ඒ කිසිවකට අකමැති අයට දෙන්නා අතර අවබෝධයෙන් වෙනත් විකල්ප තෝරාගනිමින් පවුලේ සමගිය ආරක්ෂාකර ගැනීමට හැකියාවක් තියෙනවා. මිනිස්සු ඉගෙනගන්න දේවල් වෙනම තියලා ජීවිතයේ එන ප‍්‍රශ්නවලට වෙනම මුහුණ දෙන නිසා තමයි මේ තත්ත්වයන් ඇතිවෙන්නේ.’’


ඉතිං මේ අපි කතා කළෙත් අනියම් සම්බන්ධතාවක් ඇතිකරගත් පිරිමියෙක් ගැන කතාවක්. මේ කතාව තුළත් අපි පැහැදිලි කළා කෙනෙක් සිය කැමැත්තෙන්ම අනියම් සම්බන්ධතාවයක් හදාගන්නේ නැති බව. ඒ සඳහා බලපාන සමාජ වටපිටාවක්, පවුල් පසුබිමක් තිබෙනවාමයි. ඒත් උගත් බුද්ධිමත් මිනිසුන් ලෙස කළ යුත්තේ මෙවැනි දේවල්වලට යොමුවීම ද කියන ප‍්‍රශ්නය අපට ඉතිරිව තිබෙනවා.

m