දරුවන් මහමඟ දමා යාමේ සමාජ ප්‍රශ්නයට විසඳුම් නැද්ද?


 

 

 

 

පසුගිය වසරේ දරුවන් 60 ක් පාරවල්වල දමා ගිහින් යන හිසින් පුවතක් මැයි 4 වැනිදා අප පුවත්පතේ පළ වූයේය. මවුපියන්ට හදා වඩා ගත නොහැකි මාස 3 ට අඩු දරුවන් භාරදීම සඳහා පළාත් මට්ටමෙන් කවුළු පිහිටුවීමට කර ඇති තීරණය ද එම පුවතට අදාළව සඳහන් විය.

දරුවන් යනු සම්පතකි. රටේ අනාගතය බාර වෙන්නේ අද දින උපදින දරුවන්ටයි.  දරුවන් මහ මඟ දමා යාම සැබැවින්ම විසඳුම් දිය යුතු මානුෂීය ප්‍රශ්නයක් වන්නේ ඒ නිසාය.

දරුවන් මහ මඟ දමා යාමට බලපාන හේතු විග්‍රහ කිරීමෙන් එම ප්‍රශ්නයට කෙසේ  විසඳුම් දිය යුතුද යන්න තීරණය කිරීමට අදාළ වන තොරතුරු වටහා ගත හැකි වේ.

දරුවන් මහ මඟ දමා යාමට හේතු වී ඇති කරුණු සලකා බැලීමේ දී දුප්පත්කම අනෙක් කාරණා අභිබවා මුල් තැනට පැමිණ තිබේ. දරුවා හදා වඩා ගැනීමට පවතින මුදල් අමාරුකම් නිසා බොහෝ අවස්ථාවල දරුවන් මහ මඟ දමා ගොස් ඇත. බොහෝ විට මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ ස්වාමියකු නොමැති තනි වූ මවක විසින් බව තතු සොයා බැලීමේ දී පෙනී යයි.

දරු ප්‍රසූතියෙන් පසුව ඇතිවන මානසික අවපීඩනය හා මානසික රෝගී බව මීට බලපා ඇති අවස්ථා බොහෝ ය. ලිංගික සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනය මඳ බව හා පවුල් සැලසුම්කරණය සම්බන්ධයෙන් දැනුවත් බව මදි වීම යන කාරණා මීට බලපා ඇති අවස්ථාව ද පවතී. ගබ්සා කිරීම උදෙසා ඇති නීතිරීති දැඩි නිසා අනවශ්‍ය පිළිසිඳ ගැනීම් ඉවසාගන්නට ද කාන්තාවන්ට සිදු වූ අවස්ථා බොහෝය. මීට අමතරව දරුවාට යම් කිසි කායික ආබාධයක් ඇති අවස්ථාවල එම දරුවා මහ මග දමා යාම සිදුවී ඇත.

කෙසේ වුව ද දරුවකු රටට සම්පතක් වන්නේ මහා මැදුරක ඉපදුණේද, පැල්පතක උපත ලද්දේ ද, නැතිනම් වීදි කොනක උපත ලද්දේ ද යන කාරණය මත නොවේ. දරුවාට දෙන අධ්‍යාපනය ඔස්සේ ඔහුගේ චර්යා රටාව හැඩ ගැස්වීමෙන් ඕනෑම දරුවකු රටට වැඩදායි දරුවකු බවට පත් කළ හැකිය.

දරුවන් මහ මඟ දමා යෑමට බලපා ඇති මූලිකම හේතුව වූ දරිද්‍රතාවට පිළියම් යෙදිය  යුත්තේ පුළුල් දේශපාලන සමාජයීය ආර්ථික පදනමක පිහිටා ය. දරිද්‍රතාව දුරලීම යනු රටේ සංවර්ධනය හා බැඳුණු කාර්යයක් නිසා ඒ උදෙසා රජයත් ආණ්ඩු පත් කරන රටේ ජනතාවත් එකසේ වගකීම දැරිය යුතුය. එමනිසා දරිද්‍රතාව හේතුවෙන් මහමගට වැටෙන සෑම දරුවකුගේම අනාගතය වෙනුවෙන් රජයත් පොදුවේ රටේ ජනතාවත් යම් වගකීමක් රට වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් පවරා ගැනීම සාධාරණ ක්‍රියාවකි.

ගර්භණී අවධියේදී දරිද්‍රතාවෙන් පෙළෙන මවක හඳුනා ගෙන එම මවගේත් දරුවාගේත් පෝෂණය වෙනුවෙන් පහන් සිතින් උපකාර කිරීම මානුෂීය කර්තව්‍යයකි. ඒ වෙනුවෙන් ම පරිත්‍යාගශීලීන්, නිසි රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන හා බැඳුණ වැඩපිළිවෙළක් සැකසීම සමාජ සේවා ආයතන වලින් කළ හැක්කකි.දරු ප්‍රසූතියෙන් අනතුරුව ඇතිවන මානසික අවපීඩනය හා මානසික රෝගී බව වැළැක්වීම යනු වෛද්‍ය වෘත්තියට අයත් කාර්යයකි.

එබැවින් සමාජ ප්‍රශ්න හා ආර්ථික ගැටලු වලින් පීඩා විඳින ගර්භණී මව්වරුන් වෛද්‍ය සේවා නොමඳව ලැබෙන පරිසරයකට යොමු කිරීම ඊට පිළියමක් වේ.

දරුවන් මහමග දමා ගිය කාන්තාවන් තනි වූ මව්වරුන් වීම විශේෂයෙන් අවධානයට ලක්විය යුත්තකි.

ගබ්සාව නීතියෙන් තහනම් බව සැබැවි. එහෙත් කාන්තාවක දූෂණයට ලක් වූ විට, දරු පිළිසිඳ ගැනීමක් ඇති වුවහොත් එකී පිළිසිඳ ගැනීම අනවශ්‍ය පිළිසිඳ ගැනීමක් ලෙස නම් කරන්නට එම කාන්තාවට අයිතියක් තිබිය යුතුය. ඇතැම් රටවල් ස්ත්‍රී දූෂණය හේතුවෙන් අනවශ්‍ය පිළිසිඳ ගැනීම් සිදු වූ අවස්ථාවල ගබ්සාවට අවසර දෙන්නේ එම අයිතිය නිසා ය.

සදාචාරය සම්බන්ධ සමාජ මත නිසා දරුවන් මහ මග  දමා යාම වැළැක්වීම උදෙසාත් ගබ්සාව සම්බන්ධයෙන් ඇති නීතිවලට ඇති බිය නිසාත් ප්‍රසූත කළ දරුවන් මහ මඟ දමා යාම වැළැක්වීම උදෙසා දරුවන් බාර ගැනීමේ පළාත් කවුළු ඇති කිරීමට ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ගත් තීරණය පැසසිය යුත්තකි. උපදින දරුවන්ට අහිතකර ලෙස බලපාන නීති සංශෝධනය සඳහා පියවර ගැනීම ද ඒ අතින් වැදගත්ය.

ලිංගික සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනය කාන්තාවන්ට ලබා දීමත් පවුල් සැලසුම්කරණය සම්බන්ධයෙන් දරිද්‍ර ජනයා දැනුවත් කිරීමත් සද්කාර්යයක් වන්නේ එයින් ද මහමග දරුවන් දමා යාම වැළකෙන බැවිනි.

(***)