‘මාතෘ භාෂා ප්‍රතිපත්තිය’ යන මැයෙන් විවෘත සංවාදයක් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණි. කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්වරයකු ලෙස කටයුතු කළ අශෝක ප්‍රේමරත්න මහතා මෙම සංවාදයේදී පළ කළ අදහස් ඇසුරින් සකස් කෙරුණු ලිපියකි මේ.
මාතෘ භාෂා සංකල්පය පැහැදිලිව තේරුම් ගැනීම සඳහා භාෂාව සම්බන්ධ මූලික සංකල්ප තුනක් දැක්වීමට මම කැමැතියි.
රාජ්‍ය භාෂාව
ජාතික භාෂාව
මාධ්‍ය භාෂාව
රාජ්‍ය භාෂාවක් යනු රජයේ කටයුතු කෙරෙන භාෂාවයි. පරිපාලන කටයුතු සියල්ල සිදු කෙරෙන්නේ එම භාෂාවෙන්. ලංකාවේ ඉංග්‍රීසි පාලන සමය පැවැති කාලයේදී රාජ්‍ය භාෂාව ලෙස යොදා ගැනුණේ ඉංග්‍රීසියයි. ඉන්පසු නිදහස ලබන අවධියේ අපේම ව්‍යවස්ථාවක් සකස් කරගෙන අපේම රාජ්‍ය පාලනයක් ගොඩනැගීමේදී පෙර පැවැති තත්ත්වය වෙනස් කර ගැනුණා. ඇතැම් රටවල් ගත්තොත් එම රටේ රාජ්‍ය භාෂාව කතාකරන භාෂාවක් නොවෙයි. ඒ අනුව රාජ්‍ය භාෂාවක් යනු කොටින්ම කිව්වොත් රජයේ පරිපාලන කටයුතු සඳහා භාවිත කරන භාෂාවක්.
ජාතික භාෂාවක් යනු ඊට වඩා වෙනස් දෙයක්. එය යම්කිසි රටක බහුතර ජනතාවක් කතා කරන භාෂාව හෝ භාෂා. අපේ රට ගතහොත් අපට තිබෙනවා ජාතික භාෂා දෙකක්. එකක් සිංහල භාෂාව, අනෙක දෙමළ භාෂාව. ජාතික භාෂාවක තිබෙන වැදගත්ම ලක්ෂණය තමයි එය යම්කිසි ජාතියක සංස්කෘතියක සංකේතයක් වීම.
සිංහලය ජාතික භාෂාවක් හැටියට ගතහොත් එය රාජ්‍ය පරිපාලන කටයුතු සඳහා පමණක්ම යොදාගත යුතු එකක් නොවෙයි. එය අපේ සංස්කෘතියේ පදනමයි. එය අපේ ජාතියේ සංකේතයයි. දෙමළ භාෂාව ගත්තත් එය දෙමළ භාෂාව කතා කරන අයගේ සංකේතයයි. එම කාරණය ඕනෑම ජාතික භාෂාවකට පොදුයි.
මාතෘ භාෂා ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කිරීමේදී වැදගත්වන තුන්වැනි කාරණය තමයි මාධ්‍ය භාෂාව. මාධ්‍ය භාෂාව යනු අධ්‍යාපනය සඳහා යොදාගන්නා භාෂාවයි. ඇතැම් විට ජාතික භාෂාව නොවෙන්න පුළුවන් මාධ්‍ය භාෂාව හැටියට භාවිත කරන්නේ. මෙරට භාෂා ඉතිහාසයේ සිදුවූ ඉතාම වැදගත් දෙයක් නම් 1953 දී මාධ්‍ය භාෂාව ස්වභාෂාවට පරිවර්තනය වීමයි. එය ඉතාමත් වැදගත් සිදුවීමක්.
මේ ප්‍රධාන භාෂා සංකල්ප තුන අමතක කොට මාතෘ භාෂා ගැන කතා කිරීම අපහසුයි. අප කාගේත් බලාපොරොත්තුව වන්නේ අපගේ මවුබස අපේ රටේත් ජනතාවගේත් කටයුතුවල ඉදිරි ගමන සඳහා පාවිච්චි කිරීමයි. ජාතියක් හැටියට අපි තීරණය කළ යුතුයි එකඟතාවකට පැමිණිය යුතුයි අපේ රටේ රාජ්‍ය භාෂාව වියයුත්තේ කුමක්ද? අපේ රටේ ජාතික භාෂාව පැවැතිය යුත්තේ කෙසේද? මාධ්‍ය භාෂාව ලෙස භාවිත කළ යුත්තේ කුමක්ද කියන කාරණා සම්බන්ධයෙන්. ඒ පිළිබඳව ප්‍රතිපත්ති ඉතා පැහැදිලිව සකස් කරගත්තොත් පමණයි අපේ මාතෘ භාෂාව ගැන ආඩම්බර වෙන්න පුළුවන් වෙන්නේ. මාතෘ භාෂාවෙන් වැඩගන්න පුළුවන්කම ලැබන්නේ.
පාසල්වල ඉගැන්විය යුතු භාෂා මාධ්‍යය කුමක්ද යන්න ගැන පසුගිය කාලයේ සමාජය තුළ සංවාදයක් තිබුණා. 1953 සිට අපි ස්වභාෂා මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු කරගෙන ආවා. එය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී විශ්වවිද්‍යාලවල පවා ඒ තත්ත්වය ඇති වුණා. ඒත් මෑතක සිට ගෝලීයකරණ සංකල්පයේ බලපෑමත් සමඟ නැවත සංවාදයක් මතු වෙමින් තිබෙනවා මාධ්‍ය භාෂාව ඉංග්‍රීසි විය යුතු බවට. එය කෙතරම් දුර ගියාදැයි කිවහොත් ප්‍රාථමික පාසල් අවධියේ සිටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය යුතුය යන තකතීරු සංකල්පයක් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී ගෙන යන බව පෙනෙනවා.
මුළු ලෝකයේම අධ්‍යාපනඥයන්, භාෂා ශාස්ත්‍රඥයන්, මනෝවිද්‍යාඥයන් හැමදෙනාම පොදුවේ එකඟවන දෙයක් තිබෙනවා. ඒ තමයි ළදරු අවදියේ ළමා අවධියේ සිටින කෙනෙකුට ඉගැන්විය යුත්තේ ඔහුගේ මවු භාෂාවෙන්ය කියන කාරණය. මේ ගැන විවාදයක් නෑ. මේක එක් අයෙකුගේ හෝ කීපදෙනෙකුගේ මතයක් පමණක් නොවෙයි. මුළු ලෝකයම පිළිගත්ත මතයක්.
එහෙත් අවාසනාවකට අපේ රටේ සමහර දෙමව්පියන් කල්පනා කරනවා ලෝකයට යන්න නම් ළදරුවියේ සිටම ළමයින්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය දිය යුතු බව. ශ්‍රීනාත් ගණේවත්තයන් ඔහුගේ පැහැදිලි කිරීමේදී ප්‍රකාශ කළා සේ ඉංග්‍රීසි ඉගැන්වීම සහ ඉංග්‍රීසියෙන් ඉගැන්වීම යනු කාරණා දෙකක්. ළදරු අවධියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්නට ගියොත් සිදුවන්නේ කුමක්ද? සුනිල් සරත් පෙරේරා මහත්මා ඔහුගේ පැහැදිලි කිරීමේදී ප්‍රකාශ කළා ඉතා වැදගත් දෙයක්.
ඒ තමයි මව්බස මවුකිරි වැන්නේ කියන කාරණය. ඒ කතාවේ මහා ගැඹුරක් තිබෙනවා. අපි කුඩා කල මවුකිරි බීලා හැදෙන්නෙ. මැක්සිම් ගෝර්කි සඳහන් කළේ ලෝකයේ මේ හැමදේම බිහිවෙන්නේ හිරුගේ රැස්වලින් සහ මවගේ කිරිවලින් කියලා. එය ඇත්තක්. ළදරු වියේ කෙනෙකුට මවුකිරි හැර වෙනත් කිරි ලබාදී හැදුවොත් වෛද්‍යවරුන් කියනවා දරුවාගේ ඔරොත්තුදීමේ ශක්තිය අඩුවෙනවාය කියා.
භාෂාවත් එහෙම තමයි. තමන්ගේ මවු භාෂාව පැත්තකින් තියලා පුංචි කාලෙ ඉඳල වෙනත් භාෂාවකින් අධ්‍යාපනය දෙන්න පටන් ගත්තොත් වෙන්නෙත් ඒ දේම තමයි. මාතෘ භාෂාව ඉහළට ඔසවා තැබීමේ පළමුවැනි පියවර ළදරු වියේදී මාධ්‍ය භාෂාව මවුබස ලෙස යොදාගැනීමයි. එහෙම වුණොත් තමයි කෙනෙක් සංස්කෘතිකමය වශයෙන්, වින්දනාත්මක වශයෙන් හොඳ වැදගත් තැනකට පත්වෙන්නේ. මවු භාෂාව කියන්නේ අපේ හදවතේ භාෂාව. අපි වෙනත් භාෂා කොපමණ ඉගෙන ගත්තත් අප පටන්ගත යුත්තේ මවු භාෂාවෙන්.
මේ කියන්නේ ඉංග්‍රීසි ඉගැනීම පැත්තකට දාන්න කියන එක නොවෙයි. කරුණාකරලා එය පැහැදිලිව තේරුම්ගන්න. මෙය ඉතාමත් ලස්සනට මහත්මා ගාන්ධිතුමා ප්‍රකාශ කරලා තියෙනවා.එතුමා මෙහෙම කියනවා.
‘ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ගැන මගේ කිසි විරෝධයක් නැහැ. දැනුම ලබාගැනීම සඳහා ජීවිකාව පවත්වා ගැනීම සඳහා ඉංග්‍රීසි ඉගෙන ගත්තට කමක් නැහැ. හැබැයි ඔබේ ජාතික භාෂාවක් වන හින්දි භාෂාවට පහළ තැනක් දීලා ඊට වඩා ලොකු තැනක් ඉංග්‍රීසි භාෂාවට දෙන එක ගැන මට එකඟ වන්නට බැහැ’
මහත්මා ගාන්ධිතුමා කියන මේ කතාව හින්දි භාෂාවට පමණක් නොවෙයි ලෝකයේ ඕනෑම භාෂාවකට වැදගත්. මේ කතාව ඉන්දියාවට පමණක් නොවෙයි අපටත් ලොකු පාඩමක් කියා දෙනවා.
ඒ නිසා අපි තේරුම් ගත යුතුයි මවුබස දියුණු කරන්නට නම් මාතෘ භාෂාවෙන් වැඩගන්න නම් ප්‍රාථමික අධ්‍යාපන මට්ටමේ ළමයින්ට මවුබසින් ඉගැන්වීමේ වැදගත්කම. එහෙත් ඉංග්‍රීසි අවශ්‍යයි. ඉංග්‍රීසි අවශ්‍ය ඇයි? එය ලෝක භාෂාවක්. දෙවැනි ලෝක යුද්ධයට පෙර ඉංග්‍රීසි යනු ජාත්‍යන්තර භාෂාවක් පමණයි.
ඉංග්‍රීසි භාෂාවට වගේ තැනක් එදා ජර්මන් හා ප්‍රංශ භාෂාවලටත් තිබුණා. එදා යුරෝපා මහද්වීපය තුළ ඉංග්‍රීසි භාෂාවට තැනක් තිබුණේ නැහැ. එකල ලංකාව වැනි යටත් විජිත රටවල තමයි ඉංග්‍රීසියට ලොකු තැනක් ලැබුණෙ. එහෙත් දෙවැනි ලෝක යුද්ධයට පසුව මේ තත්ත්වය වෙනස් වුණා.
ජර්මනියේ ඇද වැටීමත් ඉංග්‍රීසි කතා කරන ඇමරිකාව ලෝකයේ ප්‍රධාන රට බවට පත්වීමත් නිසා ඉංග්‍රීසි භාෂාව ලොව පුරා පැතිරෙන්නට පටන්ගත්තා. දැන් අද අපි කියන්නේ ඉංග්‍රීසිය ජාත්‍යන්තර භාෂාවක් කියල නොවෙයි ලෝක භාෂාවක් කියලා. ඒ නිසා අපට ඉංග්‍රීසි අවශ්‍යයි. එහෙත් අපට ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනෑ ඉංග්‍රීසි උගන්වන්න පටන්ගන්නේ කොතනින්ද කියලා. වඩා ප්‍රතිඵලදායක ලෙස ඉංග්‍රීසි ඉගැන්විය යුත්තේ කොයි ආකාරයෙන්ද කියල බලන්න ඕනෑ.
කෙසේ වෙතත් අපි අපේ භාෂාවට ආදරේ නම් රාජ්‍ය භාෂාව පිළිබඳවත් ජාතික භාෂා පිළිබඳවත් මාධ්‍ය භාෂාව පිළිබඳවත් පැහැදිලිව තේරුම් අරගෙන අපේ රටට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියක් ඉදිරියට ගන්නට මහන්සිගත යුතුයි.
සංවාද සටහන ගාමිණි කන්දේපොළ
කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය අශෝක ප්‍රේමරත්න