දවල් එකට කලින් එළියට යන්න එපා කියල ජ්‍යේතිෂවේදී ඊබට් ජනපතිට තදින්ම කීවා


01_Nimthera_P2_Back   

ලංකා ඉතිහාසය තුළ හැමදාම අලුත් වන අමරණීය මිනිසෙක් හැටියට රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමන් දැක්වීමේ අඩුවක් නොවෙයි. එතුමා රට කළේ කවුරුවත් නොහිතපු, කාටවත් මතක් නොවුණු අලුත් සංකල්ප අතර සිටය. ගම්උදාව ජන සවිය, උදාගම් ආදී යෝධ ව්‍යාපෘති බිහිවූයේ ප්‍රේමදාස නැමැති දුප්පත්කම ද හඳුනාගත් මිනිසා නිසාය. ඔහුට පැල්පතේ ගෑ ගොම මැටි සුවඳ දැනුණි. පැල්පතේ ඉදෙන බත් මුට්ටියේ තරම දැනුණි. දුප්පතාගේ කුස පිරැවෙන හැටි දැනුණි. පැල්පතේ දැල්වෙන ලාම්පුවේ එළිය දැනුණි. ඒ හින්දා දුප්පත්කම නැති කළ යුතුයැයි එතුමාට තුන් හිතින්ම දැනිණි.
ප්‍රේමදාස ජනාධිපතිතුමාට දුප්පතාගේ හිතවතා යන නම පබැඳුනේම දුක දුටු දුකට බේත් දුන්, දුක් විඳින මිනිස්සු අතර එතුමා සිටි නිසාය.

6
ප්‍රේමදාස ජනාධිපතිතුමා එල්.ටී.ටී.ඊ ය අතින් ඝාතනය වුණේද කම්කරුවන්ගේ දිනය වන මැයි පළමු වැනිදාය. ඒද දුප්පත් කම්කරු ජනතාව අතර සිටිද්දීය. එදා මැයි රැලියට ජනාධිපතිතුමා සහභාගිවීම ගැන සුචරිතයේ ලොකු කසුකුසුවක් තිබිණි.


‘අද දවස හොඳ නෑලු. ඒත් ජනාධිපතිතුමා යන්න හදනවා.’ සුචරිතයේ සිටි කීපදෙනෙකුම කතාවූහ.


ඒ අතර සිටි ජේ.එම්. අබේරත්න මහතා මට මුණ ගැසුණි. ඔහු වයස අවුරුදු 8ක 9ක  තරමේ සිට ප්‍රේමදාස මැතිතුමා දන්නා හඳුනන අයෙකි. එසේම ප්‍රේමදාස ජනාධිපතිතුමා මියයන මොහොත තෙක්ම සුචරිත කාර්යාලයේ වැඩ කළ අයෙකි. ප්‍රේමදාස ජනාධිපතිතුමා ‘අබේ’ යන කෙටි නමින් හැඳින්වූ ඒ පුංචි මිනිසාව අද ඔබට මුණ ගස්වමි. ජනාධිපතිතුමා පොඩි පොඩි වැඩ ගොඩක් කරගත් අබේරත්න මහතා ළඟ ඒ අතීතය ගැන ගොඩක් දේවල් එකතු වී තිබේ. එම නිසා මෙවර ප්‍රේමදාස ගුණසමරුව අළලා එදා සුචරිතයේ සේවය කළ අබේරත්න මහතා සමග සාකච්ඡා කරමු.


මහත්තයො මැයි 01 වුණු දේ නම් ඉතාම අවාසනාවන්ත සිද්ධියක්... ඒක ඇත්තටම වළක්වා ගන්න තිබුණු එකක්. සාමාන්‍යයෙන් ප්‍රේමදාස මහත්තයා වැදගත් ගමනක් පිටත් වෙන්න කලින් සුබ වේලාවක් බලනවා. වැදගත් වැඩක් කරද්දිත් සුබ දවසක් තෝරා ගන්නවා. එතුමා වැදගත් වැඩ සියල්ල කළේ සුබ නැකත් වේලාවකට අනුවයි.


ජනාධිපතිතුමාට වේලාවල් හදලා දුන්නෙ සුචරිත කාර්යාලය ළඟම තැනක පදිංචිවෙලා හිටපු ජ්‍යොතිෂය දන්න කෙනෙක්. ඊබට් සිල්වා තමයි එයා. සුචරිතයට පේන දුරින් හිටියේ දැන් නම් එයා ජීවතුන් අතර නෑ. ඔය මැයි පළමුවැනිදා උදේම ප්‍රේමදාස මහත්තයා මට කතා කළා.


‘අබේ මට වේලාවක් ගන්න ඕනැ කිවුවා.’ මම ඒ වෙලාවේම ඊබට් සිල්වාට දුරකථනයෙන් කතා කළා.


‘ඊබට් මහත්තයා, ජනාධිපතිතුමාට වේලාවක් ගන්න ඕනැලු. පොඞ්ඩක් ඉන්න. ජනාධිපතිතුමා ඉන්නවා...’ කියලා මම කීවා. ඉන්පසු ප්‍රේමදාස මහතා ඊබට් සමග කතා කළේය.

5
ඊබට් මට මැයි පෙළපාලියට යන්න වේලාවක් ඕනැ. ජනාධිපතිතුමා කියද්දීම ඊබට් එය ප්‍රතික්ෂේප කළා වැනිය.


ජනාධිපතිතුමනි, අද දවස නම් නරකයි. හොඳ වේලාවක් නෑ. දවල් එකෙන් පස්සෙ ටිකක් හොඳයි. ඒ වෙලාවට එළියට බහිමු කමක් නැද්ද?
එහෙත් දවල් 1.00 පසුවී එළියට බැසීම ප්‍රේමදාස ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කළේය.


නෑ... නෑ... එක වෙනකල් ඉන්න ඕනෙ නෑ. ඊට කලින් තියෙන ඔය වේලාවක් දෙනවා. ඊට වඩා හරස් කැපීමක් ඊබට්ට කළ නොහැකි විය. දුරකථන සංවාදය අවසානයේ, ජනාධිපතිතුමා අබේරත්නට කතා කළේය.


අබේ ඊබට්ගෙ ගෙදරට ගිහින් වේලාව අරන් එනවා.


අබේරත්න ඊබට්ගේ ගෙදරට ගියේය.


බලනවා අබේ ලොකු මහත්තයා කියන දේ අහන්නෙම නෑනෙ.. අද වේලාව නරක බව කියද්දිත් වේලාවක් දෙන්නලු.


එහෙම කියා ඊබට් වේලාවක් හදා දුන්නේය. වෙනදා හැමදාම සුබ වේලාවක් හැදූ විට එය ඊබට් ලියා දෙන්නේ ‘ලෙටර් හෙඞ්’ එකක් සහිත කඩදාසියකය.
මැයි පළමුවෙනිදා ඊබට් සිල්වා වේලාව ලිවුවේ හිස් සුදු කඩදාසියකය. 


‘මේ මොකද’ කෝ ලෙටර් හෙඞ් එක අබේරත්න පෙරළා විමසුවේය.


‘බෑ... ලෙටර් හෙඞ් එකේ වේලාව ලියන්නෙ කොහොමද? වේලාව නරකයි. ඉතින් කියන දේ කරන්න එපායැ අබේ.


ඊබට් දුන් තුන්ඩු කෑල්ල අතට ගත් අබේරත්න සැණින් ප්‍රේමදාස මැතිතුමා ළඟට ගියේය.


ජනාධිපතිතුමා වේලාව බැලුවේය. ‘ම්’ එතුමා ලැබුණු වේලාවට එකඟය. එය දවල් 1 ට පෙර උදේ කාලයට අයත් වේලාවකි.


‘කෝ අබේ මේක ලෙටර් හෙඞ් එකක ලියලා නෑනෙ.’


සර් ලෙටර් හෙඞ් එකක වේලාව ලියන්න බෑ කිවුවා.


අබේ එහෙම කියද්දී එය ජනාධිපතිතුමා ලොකුවට සැලකුවේ නැත. එය නිකමට ඇසුවාක් මෙන් ඉබේම ගලා ගියේය.


එදා උදේ වරුවේ නිලධාරීන් පිරිසක් සමග ජනාධිපතිතුමා සුචරිත කාර්යාලයේ සාකච්ඡාවක් පැවැත්වූවේය. ඒද රාහු කාලයේය. සාමාන්‍යයෙන් වැදගත් සාකච්ඡාවක් රාහු කාලයේ කිරීමද ප්‍රේමදාස මහතා කිසිදා නොකළේය. නමුත් එදා වේලාව අනුව එවැන්නක් කිරීමටද එතුමාට සිදුවිය.


එදා මේ රැස්වීමත් ඉවර කරලා වේලාවට වාහනේට නැග්ගා. එතුමා හැමදාම යන මිනි මෝක් ජීප් එක එදා තිබුණෙ නෑ. වෙනත් වාහනයක් ලෑස්ති කරලා තිබුණෙ. වාහනේට නැග්ගා විතරයි ජනාධිපතිතුමාට කේන්ති ගියා.


ඒ ඇයි මම අබේරත්න කියන කතාව අතරට පැන්නෙමි.


ජීප් එකේ වී.අයි.පී. කොළයක් අලවා තිබුණා. ඒ කොළේ වාඩිවුණාම හරියටම ප්‍රේමදාස  මහත්තයාගේ මූණ ආවරණය වන විදිහට අලවලා තිබුණෙ. ඒක අලවපු විදිහ දැක්ක ගමන් ගලවලා විසි කළා. ගමන පිටත් වුණෙත් ටිකක් ඒ කේන්තියෙන්මයි.


ඒ ගිය ගමන ආපසු එතුමාට එන්න බැරිවුණා. මේ මැයි දින ගමන තුළ අනතුරක් අවදානමක් කෙසේ වෙතත් සුබයක් නැති බව ප්‍රේමදාස ජනාධිපතිතුමා දැනගෙන හිටියා. එදා උදේ ඉඳන්ම එතුමා දවසෙ නරක බව දැනන් හිටියා. ලෙටර් හෙඞ් එකක වේලාව ආපු නැති වේලාව වුණත් එතුමා ගණන් නොගත්තත් එහි සැලකිය යුතු අවදානම ඊබට් පෙන්නුවා. වේලාව දුන්නේ රාජ්‍ය නායකයා ඉල්ලන නිසයි. බේරෙන්න බැරි කමට. ලෙටර් හෙඞ් එකක දුන්නා නම් මේ වගකීම ඊබට් සිල්වාටත් බරපතළ වෙනවා. අබේරත්න මහතා කියයි.


ප්‍රේමදාස මහත්තයා කියන්නෙ අවශ්‍ය දේ ඒ වෙලාවෙම කරපු කෙනෙක්. හිතුණද කළා. එතුමාගේ නරකට හිටියෙත් ඒකමයි. වේලාවක් ඉල්ලුවා. කළා. හැබැයි එතුමාගේ ඉක්මන් බුද්ධිමත් තීරණ නිසා රටේ විශාල නැවුම් පරිවර්තනයක් වුණා. නිලධාරීන් එතුමාට බයයි. වැඩක් කරන්න කිවුවම කියන දවසෙම හැකි ඉක්මනට පටන් අරන් කරන්න ඕනැ. ඒ වැඬේ කළාද කියලා අධීක්ෂණය කරන්නෙ. ප්‍රේමදාස මහත්තයාට වාර්තා කරන්නෙ තවත් පිරිසක්. මම හොඳ උදාහරණයක් කියන්නම්. 


දවසක් අපේ පවුලෙ අය කතරගම වන්දනාවේ ගියා. කතරගම ගිහින් ඊට පස්සේ වැඩහිටි කන්දට යන්න පිටත් වුණා. එහෙම යද්දි අපි එක්ක ගිය කෙනෙකුට වැසිකිළි යන්න අවශ්‍ය වුණා. 


අපි, ළඟ කඬේකට ගිහින් වැසිකිළියක් තියන තැනක් ඇහුවා. ඒකාලෙ වැඩහිටි කන්ද හරිම දුෂ්කර ගමනක්. කඬේ මුදලාලි කිවුවා. මහත්තයා, වැසිකිළියක් නම් තියනවා. හැබැයි වතුර නෑ. කියලා. 


මම මුදලාලිට කිවුවා, අනේ මුදලාලි ගැහැනු   දැරිවියක්නෙ. මම වතුර වලට සල්ලි දෙන්නම්. මට එක වතුර බාල්දියක් දෙන්න කියලා. 


සල්ලි දෙන්නම් කිවුවත්, එයා වතුර දුන්නෙ බොහොම අපහසුවෙන්. සල්ලිවලට වඩා වතුර ටික ඔහුට වටිනා ගාණට. මම වතුර බාල්දියට රුපියල් 50 ක් ඔහුට දුන්නා. ඒ කාලෙ හැටියට විශාල මුදලක්. මම ඔහුට කිවුවා කොළඹ ගිය හැටියෙ මේකට විසඳුමක් දෙන්න මට හැකි වේවි කියලා. වතුර නෑ. ඒ මදිවට පාර අන්තිමට අබලන්. ලයිට් වැඩ කරන්නේ නෑ.


 මේ සේරම කතාව මම කොළඹ ඇවිත් ප්‍රේමදාස මහත්තයාට කිවුවා. එතුමා ඒ කාලෙ මට මතක හැටියට අගමැති ධූරය දැරුවෙ.


කතාව ඇහුවා විතරයි, ජල සම්පාදන මණ්ඩලේ, මඩුගල්ල මහත්තයාට ගන්න කිවුවා. ඊළඟට විදුලිබල මණ්ඩලේ ප්‍රධානියාට ගත්තා. මහා මාර්ග එකේ ප්‍රධානියාට ගත්තා. 


වැඩහිටිකන්දට යන පාර අබලන්. අදම ගිහින් වහාම වැඩ පටන් ගන්න.


වැඩහිටිකන්දට වතුර නෑ. වහාම නළ ළිං දාලා වතුර දෙන්න. වැඩහිටිකන්දෙ ලයිට් ප්‍රශ්නෙ විසඳන්න. කියලා උපදෙස් දුන්නා. ඒ සියල්ල එදාම කළ යුතු විදිහටයි උපදෙස් දුන්නෙ.


ඒ සේරටම කතා කළාට පස්සෙ ප්‍රේමදාස මහත්තයා, කතරගම පොලිසියේ ස්ථානාධිපතිතුමාට කතා කළා.


මම වැඩහිටිකන්දෙ ප්‍රශ්න ටික විසඳන්න නිලධාරීන් එවුවා. එතන වැඩ කෙරෙනවද බලලා මට රෑට කියන්න ඕනැ කිවුවා.


වැඩය කෙරෙනවාද, නොකරනවද කවුද නොගියේ කවුද ගියේ. කවුද වැඩ පස්ස ගහන්නෙ. මේ සියලු දේ ප්‍රේමදාස මහත්තයාට වාර්තා කළේ අර ආයතන තුනේ අය නෙවෙයි. කතරගම පොලිසියේ ස්ථානාධිපතිතුමා. එතුමා මේ වැඩ ගැන ප්‍රේමාදස මහත්තයාට වාර්තා කරන බව කවුද හිතන්නෙ. ජල සම්පාදනේ, විදුලිබල මණ්ඩලේ, මහාමාර්ගයේ එන නිලධාරීන් හිතන්නෙ කතරගම ඕ.අයි.සී. ආවේ වැඩහිටිකන්දෙ ව්‍යාපෘතියට නිලධාරීන් ආපු නිසා ආරක්ෂාව ගැන සොයා බලන්න යන්න කියලා. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නෙ ප්‍රේමදාස අගමැතිතුමාගේ උපදෙස් පිට එතුමාට කරුණු වාර්තා කිරීමට පත්කළ බාහිර නිලධාරියා. මේ වගේ දේවල් ප්‍රේමදාස මහත්තයා බොහෝ තැන්වලදී කළා. ඒකට හේතුව තමයි වැඬේ කාර්යක්ෂ්ම භාවය හා විනිවිද - පිරිසිදු භාවය, ප්‍රේමදාස මහත්තයා අතගැසූ බොහෝ කටයුතු සාර්ථක වීමට මෙවැනි උපක්‍රම අතිශයින්ම බලපෑවා අබේරත්න මහතා කියන්නේ එසේය.

m