ද්‍රවිඩ ජාතික දේශපාලනයේ සම්බන්ධන්


පසුගිය ඉරිදා රාත්‍රියේ සිදු වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ අභාවය දෙමළ දේශපාලනයේ අන්තවාදීන් හා මධ්‍යස්ථ මතධාරීන් අතර සංවාදයක් මගින් ජනවාර්ගික ප්‍රශ්නයට දකුණේ ජනතාවට පිළිගත හැකි විසඳුමක් සෙවීමට උත්සාහ කළ දෙමළ නායකයන් කිහිප දෙනා අතරින් එක් අයකුගේ අභාවයකි.

 ඔහුගේ එම උත්සාහය ඒ ආකාරයෙන්ම තේරුම් ගත් පිරිසට වඩා එය වරදවා තේරුම් ගත් පිරිස අධිකය. එසේ වන්නේ ඔහු එක් අතකින් ෆෙඩරල් පාලන ක්‍රමයක් වෙනුවෙන් පෙනි සිටින නිසාත්, අනෙක් අතින් එක්සත් ශ්‍රී ලංකාවත් පිළිබඳව කතා කිරීම නිසාත්ය.

 දකුණේ පිරිසක් ෆෙඩරල් පාලන ක්‍රමය බෙදුම්වාදය ලෙස දකිති. උතුරේ පිරිසක් එක්සත් ශ්‍රී ලංකාව යන්න ෆෙඩරල් මතවාදය අත්හැරීමක් ලෙස දකිති. ඔහුට අවාසිදායක මත ගොඩනැඟී ඇත්තේ එහෙයිනි.

එසේම ඔහු ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් පවසන දේ ඒ ආකාරයෙන්ම පිළිගත් පිරිස් උතුරේ පමණක් නොව දකුණේ ද සිටිති. ඔහුගේ අභාවය පිළිබඳව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ෆේස්බුක් පිටුවේ ලියා ඇති සටහන ඊට සාක්ෂියකි. “එක්සත් ලංකාවත් තුළ උපරිම බලය බෙදීම වෙනුවෙන් පෙනී සිටි සැබෑ දේශපාලනඥයකු වූ රාජවරෝදයම් සම්බන්දන් මහතා පිළිබඳ මතකය දිනේවා!” යනුවෙන් දේශප්‍රිය මහතා සටහන් කොට තිබිණි.

කෙසේ වෙතත් එම සටහන ඇතැම් පිරිසකගේ දැඩි විවේචනයට ලක්වී ඇත. ඒ සම්බන්ධන් මහතා ඇතුළු උතුරේ දෙමළ නායකයන් කොටි සංවිධානයට සහාය දුන්නේය යන පදනමිනි. එයද එක්තරා දුරකට සත්‍යයකි. එක්තරා දුරකට යැයි අප පවසන්නේ එය වටපිටා තත්වයන්ගේ බල කිරීම මත සිදු වූවක් නිසාය.

ප්‍රශ්නවලට මුහුණ දීමේදී දේශපාලනඥයන් හට බොහෝ විට විකල්ප ගණනාවක් තිබිය හැකිය. එහෙත් ආයුධ සන්නද්ධ නොවූ උතුරේ දෙමළ දේශපාලනඥයන්හට බොහෝ විට තිබුණේ එක් විකල්පයක් පමණි. වටපිටා තත්වයන්ගේ බල කිරීම මත ඔවුන් බොහෝ විට තීරණ ගත් බව අප පවසන්නේ එහෙයිනි. සම්බන්ධන් මහතාට ද බොහෝ විට සිදු වූයේ එයයි.

 එහෙත් ඒ තත්වයට මගපෑදූ දෙමළ බෙදුම්වාදය පිළිබඳ තීරණයේ බලපෑම මත ගත යුතුම වූ අනිවාර්ය තීරණයක් නොවීය. එය වට පිටා තත්වය ගැඹුරින් අධ්‍යයනය නොකොට හා අනෙක් රටවල බෙදුම්වාදී අරගවල දක්නට ලැබුණු ආවේගශීලීත්වය නොතකා හැර ගන්නා ලද තීරණයකි. එම තීරණය ගත් කණ්ඩායමේ සම්බන්ධන් මහතා ද සිටියේය.

ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ නායකයාව සිටි අභාවප්‍රාප්ත එස්. ශන්මුගදාසන් මහතා ශ්‍රී ලංකාවේ බෙදුම්වාදය දකින්නේ 1970 මහ මැතිවරණයේ ප්‍රතිඵලවල අතුරු ඵලයක් ලෙසය. ඔහුගේ තර්කය වූයේ  එම මැතිවරණයේ දී සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් තරග කළ ‘‘සමගි පෙරමුණ’’ තුනෙන් දෙකක බලයක් ලබා නොගත්තේ නම් බොහෝ විට මේ රටේ බෙදුම්වාදයක් ඇති නොවන්නට තිබුණු බවය.

 ඊට පෙර පැවැති මැතිවරණවල දී ප්‍රධාන පක්ෂ දෙක වූ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එතරම් විශාල පරතරයක් නොවීය. මේ නිසා එම පක්ෂ දෙක මැතිවරණයෙන් පසු උතුරේ හා වතුකරයේ දෙමළ පක්ෂ තමන් සමග එක්කර ගැනීමට උනන්දු විය. එහෙත් සමඟි පෙරමුණ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමත් සමග ඒ පක්ෂ දෙකටම එම  දෙමළ පක්ෂ අවශ්‍ය නොවීය. ඒ අනුව එම දෙමළ පක්ෂවල කේවල් කිරීමේ බලය නැතිවී ගියේය. එම නිසා ආණ්ඩුවට බලපෑම් කොට තමන්ට ද වටිනාකමක් ලබා ගැනීම සඳහා එම පක්ෂ 1972 දී දෙමළ එක්සත් පෙරමුණ ගොඩ නැඟූ බවත් එහි දිගුවක් ලෙස 1976 සිය සම්මේලනයේ දී එම සන්ධානයේ නම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ලෙස වෙනස් කරමින් වෙනම දෙමළ රාජ්‍යයක් අවශ්‍ය බවට යෝජනාවක් සම්මත කළ බවත් ශන්මුගදාසන් මහතා තර්ක කළේය.

එසේ වුවද ජනවාර්ගික කරුණු මත ඒ වනවිටත් දෙමළ තරුණයන් අතර නොසන්සුන්තාවක් ගොඩනැගී තිබූ බව ද අමතක කළ යුතු නැත. පසු කලෙක තමිල් ඊළම් විඩුදලයි පුලිගල් හෙවත් දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කිහිප දෙනකු යාපනයේ නගරාධිපතිවරයා වූ ඇල්ප්‍රඩ් දුරයියප්පා ඝාතනය කළේ 1975 දීය.

සම්බන්ධන් මහතාගේ පරපුරේ දෙමළ නායකයන්ට විකල්ප නැති වී ගොස් එම තත්වයන්ගේ බලපෑම මත තීරණ ගන්නට සිදු වූයේ ඉන් පසුවය. දෙමළ නායකයන් වෙනම රාජ්‍යයක් සඳහා වූ තීරණය ගෙන වසරකින් පමණ එම බෙදුම්වා දී අරගලය ආයුධ සන්නද්ධ තරුණ කණ්ඩායම් යටතට පත්විය. එම තීරණය ගත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ ක්‍රියා කළ නායකයෝ එම තරුණ කණ්ඩායම්වලට ‘‘ද්‍රෝහීන්’’ ලෙස පෙනෙන්නට විය. දෙමළ සන්නද්ධ අරගලයත් ඊට එරෙහි රාජ්‍ය මර්දනයත් එකිනෙක පෝෂණය කරමින් උතුරු හා නැගෙනහිර පළාත් වසා ගත් යුද්ධයක් ඇති වූයෙන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයන්ට සිදු වූයේ පදිංචිය සඳහා කොළඹ එන්නටය.

 ඒ වනවිට ඉන්දීය සාගර කලාපයේ තම බලාධිකාරයට අහිතකර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ශ්‍රී ලංකාවේ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට ප්‍රතිචාරයක් වශයෙන් ඉන්දියානු ආණ්ඩුව මෙරට දෙමළ සන්නද්ධ සංවිධානවලට මුදලෙන් අවි ආයුධවලින් හා යුද පුහුණුවෙන් සහාය දෙමින් සිටියේය. එහෙත් මෙරට බෙදුම්වාදය පිළිබඳ ඉන්දියානු ආණ්ඩුවේ සැබෑ ස්ථාවරය හෙළි වූයේ 1987 දී ඉන්දීය ආණ්ඩුව මෙරට ආණ්ඩුව මත හා දෙමළ දේශපාලනඥයන් මත පැට වූ ඉන්දු - ලංකා ගිවිසුම මගිනි.

එම ගිවිසුම මගින් ඉන්දීය ආණ්ඩුව ශ්‍රී ලංකාව බොහෝ දුරට තම බල අධිකාරයට යටත් කර ගත් අතර තමන් මෙරට දෙමළ බෙදුම්වාදයට එකඟ නොවන බව ද පෙන්වීය. එම බෙදුම්වාදය පිළිබඳ ඉන්දියාවේ  ස්ථාවරය ඉතා පැහැදිලි වචනවලින් මුලින්ම ප්‍රකාශ කළේ එවක ඉන්දියාවේ විදේශ ලේකම් වූ එස්.කේ. සිංය. ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදය තමිල්නාඩුවේ බෙදුම්වාදයට පණ දිය හැකි හෙයින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ රාජ්‍යයකට ඉඩ නොදෙන බව සිං 1988 පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැති දකුණු ආසියානු සහයෝගීතා සංගමයේ (සාර්ක්) විසිවැනි සමුළුවට ගොස් සිටිය දී ජනමාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

සම්බන්ධන් මහතා ඇතුළු එක්සත් විමුක්ති පෙරමුණේ නායකයෝත් කොටි සංවිධාන හැර අනෙක් දෙමළ සන්නද්ධ සංවිධානත් ඉන්දු - ලංකා ගිවිසුම පිළිගත්හ. එම සන්නද්ධ සංවිධාන ආයුධ  සන්නද්ධ අරගලය ද අත් හැරියේය. ඒ තත්වය විසින් බල කරනු ලැබීම නිසාය.

ගිවිසුම මගින් ඉන්දියාව කියා පෑ එරට ස්ථාවරය වටහා නොගත් ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානයේ නායකයෝ ගිවිසුම අත්සන් කරනු ලැබ මාස දෙකක් ඉක්ම ගිය තැන යළි යුද්ධය ආරම්භ කළහ. රාජ්‍ය මර්දනය හමුවේ ඊට දෙමළ ජනතාවගෙන් ලැබුණු සහයෝගය හේතුවෙන් සම්බන්ධන්ලාට ද ඊට එරෙහිව යන්නට නොහැකි විය. කොටි සංවිධානය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ඒ. අමිර්තලිංගම්, යෝගේශ්වරන් ආදීන් ඝාතනය කරමින් එම පක්ෂයේ අනෙක් නායකයන් ද හඹා ආ තත්වය යටතේ ඔවුනට වෙනත් විකල්පයක් ද නොවීය.

2000 වසරේදී මේ තත්වය අසාමාන්‍ය ලෙස වෙනස් විය. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආරාධනයෙන් නෝර්වේ රාජ්‍ය මෙරට සාමදූත මෙහෙවරක නිරත විය. එතෙක් පොදුජන එක්සත් පෙරමුණේ සියලු සාම වෑයම්වලට හා ජනවාර්ගික ප්‍රශ්නය සඳහා වූ සියලු විසඳුම්වලට එරෙහි වෙමින් ද 2000 අගෝස්තු මස කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ පිටපත් පාර්ලිමේන්තුව තුළදීම ගිනි තබමින් ද කටයුතු කළ එජාපය ද හාස්කමින් මෙන් නෝර්වේ මැදිහත් වීමෙන් ආරම්භ වූ සාම වෑයමට පක්ෂ විය. එවිට ද එම පක්ෂයේ නායකයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතාය.

2000 අප්‍රේල් මාසයේ දී 11,000 හමුදා භට පිරිසක් සිටි අලිමංකඩ කඳවුර අල්ලාගෙන ඉතා ශක්තිමත් තත්වයක සිටි කොටි සංවිධානයද එම සාම වැඩ පිළිවෙළට එකඟ විය. එතෙක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ සිටි සම්බන්ධන්ලා ප්‍රමුඛ දෙමළ දේශපාලනඥයන් ද්‍රෝහීන් ලෙස සැලකූ එම සංවිධානය එම දේශපාලනඥයන් සමග සාකච්ඡා ආරම්භ කළේය. එම දේශපාලනඥයෝ ද කොටි සංවිධානය දෙමළ  ජනයාගේ එකම නියෝජිතයා බව කියන්නට වූහ.

මේ වෙනස්කම් එකම කාලයක කෙසේ සිදුවී දැයි යන්න පැහැදිලි නැත. එහෙත් නෝර්වේ රාජ්‍යයේ මැදිහත්වීමෙන් ආරම්භ වූ සාම වැඩ පිළිවෙළට සහාය දෙන ලෙස තමන් එජාපයට කියා සිටි බව 2001 අප්‍රේල් මාසයේ දී එවක දකුණු ආසියාව සඳහා වූ ඇමෙරිකානු සහකාර ලේකම් කාල් ඉන්ඩර්ෆර්ත් ද හින්දු පුවත්පතට පවසා තිබිණි. එහෙයින් මේ වෙනස්කම් සියල්ල පිටුපස ඇමෙරිකාව සිටින්නට ඇතැයි කෙනකු නිගමය කළ ද වරදක් ඇත.

කෙසේ වෙතත් මෙම සාම වැඩ පිළිවෙළ හේතුවෙන් 2001 දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දෙකඩ විය. එම පක්ෂයේ බහුතරය සම්බන්ධන් මහතාගේ නායකත්වයෙන් ඉලංගයි තමිල් අරසු කට්චි යටතේ කටයුතු කරන්නට වූහ. 2009 දී යුද්ධය අවසන් වීමෙන් පසු ඔහු දෙමළ දේශපාලනයේ ප්‍රධාන හඬ බවට පත්විය.

එතැන් පටන් ඔහු සිය සමීපතම සගයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සමග එක්ව එක්සත් ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදීමක් වශයෙන් ෆෙඩරල් පාලන ක්‍රමයක් පිළිබඳ මතවාදය දකුණේ ජනතාවට වටහා දෙන්නට දැඩි පරීශ්‍රමයක් දැරීය. 2016 දී යහපාලන ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පියවර ගත් විට ඔහු ෆෙඩරල් යන වචනය වෙනුවට ‘‘ඔරුමිත්ත නාඩු’’ යන දෙමළ පදය භාවිත කළ යුතු යැයි කීවේය. එම පදයේ තේරුම එක් වූ රට යන්නයි.

මෙය දෙබරයට ගල් ගැසීමක් විය. සිංහල හා දෙමළ ජාතිකවාදී පාර්ශිකව දෙකම එම යෙදුම ප්‍රතික්ෂේප කළේය. සිංහල පාර්ශ්වයේ තර්කය වූයේ මෙය ෆෙඩරල් ක්‍රමයම බවත් ෆෙඩරල් ක්‍රමය යනු රට බෙදා වෙන් කිරීමක් බවත්ය. දෙමළ පාර්ශ්වය ෆෙඩරල් යන යෙදුම අත්හැරීමට එකඟ නොවීය.

මෙය දෙමළ නායකයන්ට වෙනස්වීමට ඇති දුෂ්කරතාව පෙන්වන්නකි. කෙසේ වෙතත් ඇතැම් තීරණාත්මක අවස්ථාවල දී නිර්භීතව දෙමළ ජනතාවට යම් යම් පණිවිඩ දෙන්නට සම්බන්ධන් මහතා පැකිළුණේ නැත.

රටේ සිටින දෙමළ නායකයන් දැන් වෙනම දෙමළ රාජ්‍යයක් ඉල්ලා නොසිටිය ද දෙමළ ඩයස්පෝරාව එය ඉල්ලා සිටියි. තමිල් අරසු කච්චි පක්ෂයේ 14 වැනි සමුළුවේ දී කතා කළ සම්බන්ධන් මහතා රටේ තත්වය දන්නේ රටේ සිටින දෙමළ නායකයන් බවත් ඔවුන්ට තීරණ ගන්නට ඩයස්පොරාව ඉඩදිය යුතු බවත් කීවේය. දෙමළ ඩයස්පෝරාවේ බලපෑමේ ශක්තිය අනුව මෙය නිර්භීත ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව එ.ජා. මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස් නවනීදම් පිල්ලෙයි 2014 දී පරීක්ෂණයක් කළාය. එහිදී ඝාතන පැහැරගෙන යාම් ආදී වශයෙන් ආරක්ෂක හමුදාවන්ට එල්ල වූ සියලු චෝදනා කොටි සංවිධානයට ද එල්ල විය. එවිට සම්බන්ධන් මහතා ප්‍රකාශයක් කරමින් කීවේ ‘‘අපගේ නමින් අපරාධ සිදුවී ඇති බව අප පිළිගත යුතුයි’’ යනුවෙනි. එසේ වුව ද ඔහුට ද දෙමළ දේශපාලනයේ දශක හතරකට වඩා පැරැණි සටන් පාඨ වෙනස් කිරීමකට තරම් ධෛර්යමත් නොවීය.

 

(*** එම්.එස්.එම්. අයුබ්)