ආණ්ඩුවට එරෙහිව දැන් පැවැත්වෙන උද්ඝෝෂණවල ආරම්භයේ සිටම ආණ්‍ඩුව ඒවා මර්දනය කිරීමට බරපතළ ක්‍රියාමාර්ග ගන්නට පැකිලුණේය. ඒ සමහර විට මෙම උද්ඝෝෂණ පැන නැගුණේ ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ග නිසා බව ආණ්ඩුවේ නායකයන් දන්නා නිසාත් ඒ අනුව ඔවුන් තුළ ඇතිවූ වරදකාරී හැඟීම් නිසාත් විය යුතුය. එසේම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඇතිවිය හැකි අප්‍රසාදය ගැන සලකා විය යුතුය.
එහෙත් එම උද්ඝෝෂණ ප්‍රබල ජනතා නැගිටීමක් බවට පත්වී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් පිට වීමට සිදුවීමත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමග දැන් තත්ත්වය වෙනස් වෙමින් පවතී. දැන් දැඩි මර්දනකාරී පෙර නිමිති පෙනෙන්නට තිබේ. මෙය ආණ්ඩුවට මෙතෙක් විකල්පයක් නැතිවූ නිසා ඇතිවූ තත්ත්වයක් නැත්නම් නායකත්වයේ ඇතිවූ වෙනස නිසා ඇතිවූ තත්ත්වයක්ද යන්න පැහැදිලි නැත.
බඩු මිල ඉහළ යාම, පොහොර හිඟය ආදියට එරෙහිව පසුගිය වසරේ ආරම්භ වූ උද්ඝෝෂණවලට හෝ ඉකුත් මාර්තු 31 වැනිදා මිරිහානේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට ඇතිවූ දැවැන්ත උද්ඝෝෂණයේදී හෝ ඉන්පසු ගාලු මුවදොර හා අරලියගහ මන්දිරය ඉදිරිපිට මාස තුනක් පමණ අඛණ්ඩව පැවැත්වෙන උද්ඝෝෂණවලදී හෝ දැඩි මර්දන කාරී ක්‍රියාමාර්ග ගනු ලැබුවේ නැත.
මෙම උද්ඝෝෂණවලදී ආණ්ඩුවට ප්‍රබල පසු බෑම්වලට මුහුණ දීමට සිදුවිය. ගාලු මුවදොර උද්ඝෝෂණය ආරම්භ වූයේ පසුගිය අප්‍රේල් 9වැනිදාය. ඉන් හරියටම මසක් ගෙවුණු තැන එනම් මැයි 9 වැනිදා එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා විසින් කොළඹට කැඳවනු ලැබූ පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිසට පහරදීමත් ඊට එරෙහිව ජනතාවගෙන් ඉල්ලවූ ප්‍රතිප්‍රහාරයත් හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට එදිනම අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවිය.
ඊළඟ 9 වැනිදා එනම් ජුනි 9 වැනිදා ඒ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පමණක් දැරූ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය.
එයින්ද හරියටම මසකට පසු ජූලි 9 වැනිදා අති විශාල ජනතාවක් කොළඹට පැමිණ උද්ඝෝෂණය කරමින් පළමුව කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයත් ඉන්පසු ජනාධිපති කාර්යාලයත් අත්පත් කර ගත්හ. ඒ කිසිදු උද්ඝෝෂණයකදී උද්ඝෝෂකයන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් හෝ ඒ නිසා ආරක්ෂක අංශ අතින් ඝාතන හෝ ඇති නොවීය.
වෙනෙකක් තබා මැයි 12 වැනිදා අගමැති ධුරයට පත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රකාශ කළේ ඒ වන විට ගෝඨා ගෝ ගම යනුවෙන් උද්ඝෝෂකයන් විසින් නම් කරනු ලැබූ ගාලු මුවදොර අරගල භූමියට අවශ්‍ය පහසුකම් සපයන බවය. එහිදී ඔහුද එම ස්ථානය හැඳින්වූයේ ගෝඨා ගෝ ගම යනුවෙනි.
එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතා නැගිටීම හමුවේ සිය බිරිඳ සමග ඉකුත් බදාදා ගුවන් හමුදා යානයකින් මාලදිවයිනට ගිය පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රට පුරා හදිසි නීතිය ද බස්නහිර පළාතේ ඇඳිරි නීතියද පැනවීය. නිල වශයෙන් ඔහු ඒ වන විට වැඩ බලන ජනාධිපති ලෙස පත් කරනු ලැබ නොසිටියෙන් එම නියෝග වලංගු නැතැයි විවේචන එල්ල වෙද්දී එදින සවස ජනාධිතිවරයා වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස ගැසට් පත්‍රයකින් නිවේදනය කළේය.
එදිනම විශේෂ ප්‍රකාශයක් කළ වික්‍රමසිංහ මහතා ජනාධිපති මන්දිරය, ගාලු මුවදොර පිටිය හා එදින අරගලකරුවන් අතට පත්වූ මල් පාරේ අගමැති කාර්යාලය අරගලකරුවන්ගෙන් මුදාගෙන තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි තමන් ත්‍රිවිධ හමුදාපතිවරුන්ට නියෝග කළ බව පැවැසීය. කෙසේ වුවද ඉන් පසුද ආරක්ෂක අංශ ප්‍රබල ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් පෙනුණේ නැත.
ජුනි 9 වැනිදා ඇතිවූ මහා ජනතා නැගිටීම හමුවේ ජනාධිපතිවරයා රට හැර ගියද උද්ඝෝෂකයන් හා රටේ බහුතරයක් දෙනා සිතූ ලෙස ආණ්‍ඩු වෙනසක් සිදුවූයේ නැත. ආණ්ඩු වෙනසක් සිදු වුවද පාලන ක්‍රමයේ හෝ සිස්ටම් චේන්ජ් යනුවෙන් අරගලකරුවන් විසින් හඳුන්වනු ලැබූ දේශපාලන සංස්කෘතියේ හෝ වෙනසක් සිදුවේද යන්න අතිශයින්ම සැක සහිතය.
මීට ප්‍රධාන හේතු ගණනාවක් තිබේ. පළමු වැන්න ජනාධිපතිවරයා පමණක් නොව අගමැතිවරයාද උද්ඝෝෂකයන්ගේත් දේශපාලන පක්ෂවලත් බල කිරීම අනුව ඉදිරි දිනවලදී ඉල්ලා අස්වුවද මෙතෙක් මේ රට පාලනය කළ පක්ෂ හා ඒවාට ඍජුව හා අනියමින් සහාය දුන් දේශපාලන පක්ෂ තම තමන්ගේ දේශපාලන හා පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්නට උද්ඝෝෂකයන්ගේ අරගලයේ ප්‍රතිඵල යොදා ගන්නට උත්සාහ කිරීමයි.
දෙවැන්න ආණ්‍ඩුව පෙරළා දැමීම සම්බන්ධයෙන් උද්ඝෝෂකයන් අතර එකඟතාවක් තිබුණද ඉන්පසු කරන්නේ කුමක්ද යන්න පිළිබඳව ඔවුන් අතර එකඟතාවක් නැති වීමයි.
තුන්වැන්න පවතින ආණ්ඩුව පෙරළා දැමීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අනෙකුත් නීති නොතකා උද්ඝෝෂකයන් කටයුතු කළද ඉන් ඔබ්බට එම ව්‍යවස්ථා හා නීති නොතකා කටයුතු කිරීමට ඔවුනට නොහැකි වීමයි. සිව්වැන්න ජනතාවගේ හඬ නියෝජනය කළ සැබෑ අරගලකරුවන් හා පවතින සාම්ප්‍රදායික දේශපාලන යාන්ත්‍රණය අතර සංවාදයක් නැති වීමයි.
ඉකුත් 9 වැනිදා ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට කැමැත්ත ප්‍රකාශ කළ විගස පාර්ලිමේන්තුවේ දැනට සිටින දේශපාලන පක්ෂ එක්වී සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ගැන සාකච්ඡා කොට තිබිණි. වත්මන් ආර්ථික අර්බුදය අනුව ඉතා ක්ෂණික අවශ්‍යතාව වී ඇත්තේ තනි පක්ෂයක ආණ්‍ඩුවක්ද නැත්නම් සර්ව පාක්ෂික ආණ්‍ඩුවක්ද යන්න නොව මෙම අර්බුදය විසඳීමට ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කළ හැකි ආණ්ඩුවකි. එවැනි අදහස් නැති පිරිසක් කුමන නමින් ආණ්ඩුවක් පිහිටුවා ගත්තද එම ආණ්ඩුවද කැකෑරෙන ජනතා කෝපයට ලක්වීම වැළැක්විය නොහැකිය.
මේ වන විට බහුතරයක් ජනතාවගේ ජීවිත කඩා වැටී ඇත. බඩු මිල පිමි පනිමින් නොකඩවා ඉහළයයි. බහුතරයකගේ ආදායම් අසාමාන්‍ය ලෙස පහත වැටෙමින් තිබේ. ජනතාවට තම ආහාරය ප්‍රමාණයෙන් හෝ ගුණයෙන් අඩු කර ගැනීමට සිදුව තිබේ. ගෑස් හා ඉන්ධන හිඟය නිසා ආහාරයක් පිස ගැනීමද ගැටලුවක් වී තිබේ. ඉන්ධන හිඟය නිසා රැකියාවකට යා නොහැකිය. මගී ප්‍රවාහන වාහන හිමිකරුවන් හා රියදුරන් තමන්ට ලැබෙන ඉන්ධන ප්‍රමාණයද වැඩි මිලට විකුණා දැමීම නිසා තත්ත්වය අතිශයින්ම දුෂ්කර හා භයානක වී තිබේ. බස් ගාස්තුව දරා ගැනීමට නොහැකිය. දරුවන්ගේ අධ්‍යාපනය අඩපණ වී තිබේ. දුර බැහැර සිටින තම සමීපතම ඥාතියකු මියගියද එම දේහයට ගරු කිරීමට යන්නට නොහැකිය. හදිසි අනතුරකදී හෝ අසාධ්‍ය රෝගයකට රෝහල් ගත වීමට ක්‍රමයක් නැත.
බොහෝ දෙනකුට ඉන්ධන හා ගෑස් පෝලිම්වල දින ගණනක් ඉන්නට සිදු වී තිබේ. බොහෝ දෙනෙක් තම එදිනෙදා කටයුතු සඳහා කිලෝමීටර් ගණනක් පයින් ගමන් කරති. පවතින තත්ත්වයෙන් සියලු වෙළෙන්දෝ හා වාහන හිමිකරුවෝද කිසිදු අනුකම්පාවකින් තොරව ජනතාව සූරා කති. මේ තත්ත්වයන්ගෙන් අතිශයින්ම කෝපයට පත්ව සිටින ජනතාව පක්ෂ භේදයෙන් තොරව ආණ්ඩුවට එරෙහිව පෙළගැසුණේ ඒ අනුවය.
දැනට අවශ්‍ය වන්නේ ක්ෂණික සහනයක් හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළකි. වත්මන් ආණ්‍ඩුව පිළිබඳ ජනතාවට කිසිදු විශ්වාසයක් නැත. එහෙයින් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට තවදුරටත් බලයේ රැඳී සිටීම දුෂ්කරය. එසේම ඔවුන් වෙනුවට බලයට පත් වන්නන් වෙත යම් විසඳුම් වැඩ පිළිවෙළක් තිබිය යුතුය. එසේ කිසිවක් නැතිව සර්ව පාක්ෂික ආණ්ඩු වැනි තම තමන්ට ඇමැති ධුරලබා ගැනීමේ යෝජනාවලින් ජනතා කෝපය සන්සිඳවිය නොහැකිය.
අනාගතය අවිනිශ්චිතයැයි කියන්නට අප දැක්වූ දෙවැනි කාරණයද මෙතැනටම අදාළය. එනම් ආණ්‍ඩුව පෙරළා දැමීමෙන් පසු කරන්නේ කුමක්දැයි අරගලකරුවන්ද නොදැන සිටීමයි. ආණ්‍ඩුව පෙරළා දැමීමෙන් පසු පිහිටුවිය යුත්තේ කෙබඳු ආණ්ඩුවක්ද එය පිහිටුවන්නේ කෙසේද එම ආණ්‍ඩුව ජනතාව මුහුණ දී සිටින ක්ෂණික ප්‍රශ්නයට දෙන විසඳුම කුමක්ද යන්න පිළිබඳව ඔවුන් එක්සත්ව පොදු වැඩ පිළිවෙළක් ඉදිරිපත් කොට නැත. ඉදිරිපත් කරනු ලැබ ඇති වැඩ පිළිවෙළ සියලු අරගල කණ්ඩායම්වල පොදු යෝජනාවලියක් නොවේ.
ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ තුළ විවිධ පිරිස් සිටිති. ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂවලට සම්බන්ධ බහුජන සංවිධාන කලක් තිස්සේ ආණ්‍ඩුවට විරුද්ධව සමාජ මාධ්‍ය හසුරුවා ජනප්‍රියත්වයට පත් ඇතැම් පුද්ගලයන් හා ඔවුන්ගේ අනුගාමිකයන් සහ ආර්ථික අර්බුදය විසින් කෝපයට පත් කරනු ලැබූ අසංවිධිත පිරිස් ආදී වශයෙන් බොහෝ පිරිසක් මෙම උද්ඝෝෂණවල නිරත වෙයි.
පවතින ආණ්ඩුව පෙරළා දැමීමේ ඔවුන් සියලු දෙනාගේ සටන සාර්ථකත්වයේ මුව විටට පැමිණ තිබෙන මෙම අවස්ථාවේදී ඔවුන්ගේ ප්‍රතිවිරෝධතා ඉස්මතු වන්නට පටන් ගෙන තිබේ. පසුගිය දිනෙක අරලියගහ මන්දිරය තුළ ඇතිවූ ගැටුමද එම ප්‍රතිවිරෝධතාවක ප්‍රතිඵලයක් බව පෙනේ. මේ අතර අරගලකරුවන් පිරිසක් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීම සඳහා තමන්ගේ නියෝජිතයන් 25 දෙනකුගේ නම් ඉදිරිපත් කළ විට තවත් අරගලකරුවන් පිරිසක් ප්‍රශ්න කළේ ඒ 25 දෙනාට සමස්ත අරගලය නියෝජනය කරන්නට බලය දුන්නේ කවුදැයි කියාය.
එසේම ඉකුත් 9 වැනිදා ජනතා නැගිටීමෙන් පසු එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට බලයෙන් ඇතුල් වී බලයෙන් සජීවී සම්මුඛ සාකච්ඡාවක් ලබාගත් පිරිස එම සාකච්ඡාවේදී සර්ව පාක්ෂික ආණ්‍ඩුවක් පිළිබඳ අදහස ඉදිරිපත් කළහ. මේ අතර ජනතාව කැප කිරීමෙන් ලබා ගත් ජයග්‍රහණය මෙතෙක් ජනතාවගේ සම්පත් කොල්ල කෑ පිරිසට සර්ව පාක්ෂික ආණ්ඩු පිහිටුවා ගැනීමට යොදා ගන්නට ඉඩ දිය නොහැකි යැයි අරගලයේ කැපී පෙනෙන නායකයෙක් කීවේය.
අනාගත අවිනිශ්චිතතාවට අප දැක්වූ තුන්වැනි හේතුව නම් මෙතැනින් ඔබ්බට ව්‍යවස්ථාව නොතකා කටයුතු කිරීමට ඇති දුෂ්කරතාවයි. ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අස්වූ ජනාධිපතිවරයාගේ ඉතිරි ධුර කාලය සඳහා ජනාධිපති ලෙස පත් කරනු ලැබිය යුතුය. එසේ පත් කර ගත හැකි අයකු වත්මන් පාර්ලිමේන්තුවේ නැතැයි අරගලයට නායකත්වය දුන් යම් කණ්ඩායමක් සිතයි නම් ඔවුන් කරන්නේ කුමක්ද?
කළ හැකි එකම දේ අලුතින් පත්වන ජනාධිපතිවරයා හා ඔහුගේ ආණ්‍ඩුව සමග සමස්ත අරගලකරුවන්ගේ නියෝජිතයන් අතර අඛණ්‍ඩව සංවාදයක් පවත්වා ගෙන යාම සහ යාන්ත්‍රණයක් සකස් කිරීමයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා සම්බන්ධ අරගලකරුවන් ඒ සඳහා යෝජනාකොට ඇත්තේ මහජන කවුන්සිලයක් පිහිටුවා එය පාර්ලිමේන්තුව හා ගනුදෙනු කරන යාන්ත්‍රණය බවට පත් කළ යුතු බවයි.
මෙම අදහස අරගලයට අඛණ්‍ඩව දායකත්වය දුන් අනෙකුත් කණ්ඩායම් අනුමත කරන්නේ දැයි දැනට දැනගන්නට නැත. එහෙත් කුමක් හෝ ඉතා ඉක්මනින් අරගලකරුවන්ගේද එකඟතාව ඇති කළ යුතුය. එමගින් ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා ඉටුකිරීමට කටයුතු කළ යුතුව ඇත. ආහාර, ඉන්ධන, ගෑස් ආනයනය කිරීමට විදේශ මුදල් සොයා ගත යුතුය. එමගින් එදිනෙදා කටයුතු යම් තරමකට හෝ කරගෙන යා හැකි තත්ත්වයක් ඇති කර ගත යුතුය. නැතහොත් ජනතා කෝපය පාලනය ඉක්මවා යා හැකිය. මෙය දේශපාලන මතවාද සම්බන්ධයෙන් හෝ බලතල නිලතල සම්බන්ධයෙන් හෝ වාද කරමින් සිටිය හැකි කාලයක් නොවේ.
(*** එම්.එස්.එම්.අයුබ්)