දිග කොණ්ඬේ කපලා කොට ඇඳුම් අන්දවලා එයාල මාව හැඩකළා


  RASAVITHA 01

 

‘‘ආ මඟ කෙටියි
යා යුතු මඟ දුරයි
නිරතුරු නුවණැසින්
තරණය කළ යුතුයි’’

 

එය කොතරම් නම් අපුරු සංකල්පනාවක්ද? සැබැවින්ම ජීවිතය තක්ෂලාවකි. මොහොතින් මොහොත, දවසින් දවස ජීවිතයට කොතරම් නම් වූ අත්දැකීම්, සම්භාරයක් එකතුවන්නේද? ඒ සෑම අත්දැකීමකින්ම අපි ජීවිතය ඉගෙන ගනිමු. විසමාකාර සමාජයේ ඇති ගිරිදුර්ග ඔස්සේ පිය නඟමින් අපි ජීවිතය ඉගෙන ගනිමු. ඒ තුළින් ජීවිතයට පන්නරයක් ලබමු. අදත් මා හමුවට එන තාරකාව ජීවිතය අවබෝධකරගත්තියකි. කටුක අත්දැකීම් මතින් ජීවිතය සොයා පියනැඟු ඇය ජීවිතයේ සැබෑ යථාර්ථය අවබෝධකර ගත්තියකි.
මම ඇය සුපර්ණිකා යන නමින් හඳුන්වමි. සුපර්ණිකා සුන්දරය. ඇගේ හඬ මියුරුය. ගායනය, රංගනය, නර්තනය ඇගේ ජීවිතය වුවාය. ළෙන්ගතු වූ, ඇය සෙවූ ඒ සුන්දර ලෝකයේ ලස්සනම ලස්සන තාරකා හීනයක් විය. ඒ තාරකා හීනයට ළඟා වීමට ඇයට ජීවිතයේ හමුවූ කටුක මංසංධි බොහෝමයක් පසුකරන්නට සිදුවුවාය. අද ඇය හඬනගා කියන්නේ ඒ කටුකත්වය තුළින් ජීවිතාවබෝධය ලැබූ ආකාරය පිළිබඳවය.

 

RASAVITHA 01

‘‘මගේ ගම පිහිටලා තිබුණේ නුවර පළාතේ. අම්මයි, අප්පච්චියි, නංගිලා දෙන්නයි මගේ පවුලේ හිටියේ. ආර්ථික අඩුපාඩු තිබුණත් වේලක් ඇර වේලක් කාලා හරි අපි පවුලක් විදියට ගොඩක් සතුටින් හිටියා. මම ඉගෙන ගන්න ටිකක් දුර්වලයි. ඒත් ගායනයට, නර්තනයට පාසලේ ප‍්‍රසිද්ධ චරිතයක් වුණා. පාසලේ තිබුණ හැම උත්සවයකටම මා ගීතයක්, නැටුමක් අනිවාර්යෙන්ම ඉදිරිපත් කරනවා. මා සතුවෙච්ච ඒ කලා හැකියාවන් ගැන පාසලේ වගේම ගමේ අයත් දැනගෙන හිටියා.


එක දවසක් අපේ පැත්තේ සංගීත සන්දර්ශනයක් තිබුණා. එදා මටත් සිංදුවක් කියන්න අවස්ථාව උදාවුණා. මමත් ගොඩක් සතුටින් ඒ අවස්ථාවට මූණ දුන්නා. ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබුණා. එතැනදි තමයි මට ශේරම් මහත්තයා හඳුනාගන්න ලැබුණේ. එදා ශේරම් මහත්තයා මට එයාගේ ෆොන් නම්බර් එක දීලා  ඕන වෙලාවක කතා කරන්න කිව්වා. පාසල් යන වයසේ හිටපු මට එදා දැනුණේ ලොකු සතුටක්. පුංචි ආඩම්බරයකුත් දැනුණා. ශේරම් මහත්තයා ලියලා දුන්න ෆෝන් නම්බර් එක අරන් ගුලි කරගත්ත මම ස්ටේජ් එකෙන් පහළට බැස්සේ තටු ලැබුණ කිරිල්ලියක් වගේ. එදා මගේ යාළුවෝ හැමෝම මාව වටකරගත්තා. හැමෝම මට සුබ පැතුවා. මම ගොඩක් ලස්සනට සිංදුව කිව්වා කියලා හැමෝම කිව්වා. අම්මගේ ඇස් දෙකෙත් සතුටු කදුළු පිරිලා තිබුණා. ‘‘මගේ දුවට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි’’ කියලා අම්මා මාව තුරුල්කර ගත්තා.


හැමදේම මට හීනයක් වගේ, මගේ පුංචි හිතට ඒ සතුට දරාගන්න බැරිවුණා. ඒ දවස් ටිකම ගෙවිලා ගියේ පුදුමාකාර සතුටකින්.


ඒත් ඒ සතුට විඳගන්න අපට එච්චර කාලයක් ලැබුණේ නෑ. හදිස්සියේම මගේ තාත්තා නැතිවුණා. අඟ හිඟකම් මැද ජීවත්වෙච්ච අපිව අන්ත අසරණ තත්ත්වයට පත්වුණා. අපි තුන්දෙනාටම පාසල් යවලා උගන්වන්න තරම් ශක්තියක් මගේ අම්මට තිබුණේ නෑ. ඒ නිසා පවුලේ වැඩිමලා වෙච්ච මම පාසල් අධ්‍යාපනයට සමුදීලා රස්සාවක් හොයාගෙන කොළඹ ආවා. ඒ ඇඟලූම්කම්හල් සේවිකාවක් විදියට. උදේ ඉඳලා ? වෙනකන් හිටගෙන ඉඳලා ගත්ත සොච්චම් වැටුප බෝඩිමට දීලා ගෙදරට කීයක් හරි යවලා ඉවරවෙනකොට මට ඇඳුමක් ගන්නවත් සල්ලි ඉතුරුවෙන්නේ නැහැ. මම වගේම දුක් විඳින තවත් කෙල්ලෝ ගොඩක් හිටියා. ඒ නිසා මමත් කොහොමහරි ඉවසාගෙන බොහොම අරපිරිමැස්මෙන් ජීවිතේ ගෙනගියා.


ඒ අතරවාරයේදී අපේ ගාමන්ට් එකෙත් සංගීත සංදර්ශනයක් පැවැත්වුණා. ජීවිතේ කියන්නේ හරිම දෛවෝපගත සිදුවීම් වැලක්. එදත් මට ශේරම් මහත්තයා මුණ ගැහුණා. මම එයත් එක්ක කතාකළා. එයා මට උදව් කරන්න පොරොන්දු වුණා. ‘‘කලාවට දක්ෂ මම වගේ ළමයෙක් මෙහෙම දුක් විදින්න  ඕන නෑ කියලා එයා කිව්වා’’ හිතේ ආයෙත් පුංචි බලාපොරොත්තුවක් ඇති වුණා. මම පොරොන්දු වුණා ශේරම් මහත්තයව හම්බ වෙන්න යන්න. කොළඹට ඇවිල්ලා ටික කාලයක් ගියපු නිසා මට කොළඹ ගමන් අරුමයක් වුණේ නෑ. ඒ වගේම ගමේදි දැකපු ශේරම් මහත්තයා කොළඹදී මුණ ගැහුණාම හිතට ලොකු ශක්තියක් දැනුණා. තමන්ගේ කෙනෙක් ළඟ ඉන්නවා වගේ හිතුණා. ඒ නිසා එයාව මුණ ගැහෙන්න යන්න මම දෙපාරක් හිතුවේ නෑ.


ශේරම් මහත්තයත් එක්ක කතා කරගත්ත විදියට මම එයාව මුණ ගැහෙන්න ගියා. එයා එදා කළුපාට ලොකු කාර් එකක ඇවිල්ලා තිබුණේ. මාවත් කාර් එකේ දාගෙන එයා ඉගිල්ලූණා. එදා මගේ හිතට පුංචි ආඩම්බරයක් දැනුණා. ශේරම් මහත්තයා ගැන මට අංශු මාත‍්‍රයක තරම්වත් සැකයක් හිතුණේ නැහැ. එයා මාවත් අරගෙන ගිහින් නතරවුණේ කළුපාට වීදුරු දමා තිබුණ උස බිල්ඩින් එකක් ළඟ. එතැන එයා හඳුනන කලා අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා කිව්වා. එයාට මාව හඳුන්වලා දෙන්නයි එක්ක යනවා කිව්වේ. ඒ පුංචි කාලය තුළ මම මහා හීන ගොඩක් දැක්කා. ලස්සන වේදිකාවක මම ලස්සනට ඇඳගෙන සිංදුවක් කිය කියා නටනවා. මගේ අම්මයි නංගිලා දෙන්නයි සතුටින් බලාගෙන ඉන්නවා. යාළුවෝ හැමෝම මම ගැන කතා කරනවා. හැමෝම වටවෙලා මට සුබ පතනවා. මගේ හීන ලෝකය ගොඩක් ලස්සන වුණා.


ඒ හීන අරගෙන මම ශේරම් මහත්තයත් එක්ක වායු සමනය කරපු කාමරයකට ඇතුළු වුණා. එතැන කැරකෙන පුටුවක තරබාරු මහත්තයෙක් වාඩිවෙලා හිටියා. ශේරම් මහත්තයා ඒ මහත්තයාට මාව හඳුන්වලා දෙන ගමන් මෙහෙම කිව්වා. ‘‘මේ හොඳට නටන්න ගයන්න පුළුවන් දක්ෂ ළමයෙක්. මෙයා මේ ආයතනයේ හදන දැන්වීමක චරිතයක් දෙන්න පුළුවන් නම් දෙන්න’’ ඒ මහත්තයා මම දිහා හොඳට බලලා හිනාවුණා. ‘‘කැලේ පිපිච්ච කැලෑ මලක්, උඹ කොහෙන්ද හොයා ගත්තේ’’ කියලා ඒ මහත්තයා ශේරම් මහත්තයාගෙන් ඇහුවා. ශේරම් මහත්තයා ‘‘සොයන්නාටලූනේ හම්බවෙන්නේ’’ කියලා හිනාවුණා.

එදා ඒ මහත්තයා මාව දැන්වීමකට ගන්න පොරොන්දු වුණා. ඒකට ඉස්සරවෙලා ටෙස්ට් වගයකට එන්න කිව්වා. ඒකට ශේරම් මහත්තයට උදව්කරන්න කිව්වා. ශේරම් මහත්තයත් ඒක සතුටින් භාරගත්තා.


ඒ විදියට දවස් කීපයක් මට ශේරම් මහත්තයත් එක්ක යන්න වුණා.  මගේ දිග කොණ්ඩය කොටට කපන්න වුණා. මට කොට ඇඳුම් අඳින්න වුණා. පවුඩර් කුඩු දාපු මූණ පාටින් පාට සැරසුවා. මට මාව හඳුනාගන්න බැරි තරමටම වෙනස් කළා. එදා ඒ කිසිම දෙයක් ගැන මට දුකක් හිතුණේ නැහැ. මම හිතුවේ මගේ නංගිලා දෙන්නට හොඳට උගන්නන්න, මගේ දුප්පත් අම්මව සතුටින් තියන්න මටත් දැන් පුළුවන්වෙයි කියන දේ විතරයි.


ඒ නිසා මම ආදරයෙන් පරිස්සම් කරපු මගේ ගැමි සුන්දරත්වය කිසිම අහිතක් නැතිව වෙනස් කර ගත්තා.


අවසානයේ පුංචි දැන්වීමකට පෙනී හිටින්න අවස්ථාව ලැබුණා විතරක් නෙවෙයි, එයාලා දුන්න මොණර කොළවලට මගේ දුප්පත් ජීවිතේ රැුකගත්ත වටිනාම දේවලූත් දෙන්න සිද්ධ වුණා. ඒ අමිහිරි සිදුවීම් එක්ක මට ශේරම් මහත්තයා බෝධිසත්ත්ව මූණක් පෙන්නගෙන ජඩවැඩකරන කපටියෙක් කියලා තේරුණා. ඒත් ඒ ටික තේරුම් යනකොට මම ගොඩක් පරක්කු වැඩි.


එයාලත් එක්ක වැඩ කරන්න, අත්සන් කරපු මට අවුරුදු ගාණකට එයාලගෙන් අයින් වෙන්න බැරි වුණා. මගේ පින්තූර වගයක් තියාගෙන මාව බැලැක්මේල් කෙරුවා. මගේ වයසේ දරුවෝ ඉන්න වයසක අධ්‍යක්ෂකවරයාගේ අනියම් බිරිඳ වෙන්න මට සිද්ධ වුණා.


හැමපැත්තෙන්ම මම ගැන විවේචන එල්ල වෙනකොට ලෝකයාට හොරෙන් හැංගිලා අඬන්න සිද්ධ වුණා. මම ගොඩක් අසරණවෙලා හිටියේ. ඒත් ලෝක අපවාද ඇහෙන්නේනෑ වගේ ජීවත් වුණා. මගේ පින්තූර ළඟ තියාගෙන එයාලා මාව විකුණලත් සල්ලි හම්බ කෙරුවා. ඒ අතරෙයි මට සුදත් අයියව හම්බවුණේ. මම මගේ කතාව එයාට කිව්වා. එයත් හොඳ සල්ලිකාරයෙක්. එයාගේ මාර්ගයෙන් තමයි මම ශේරම් මහත්තයලගෙන් ගැලවිලා නිදහස් වුණේ. මට සුදත් අයියා උදව් කළා. එයාගේ පිහිටෙන් අද මම ලස්සන ජීවිතයක් ගත කරනවා. ගැහැණු අපි හැමවෙලාවෙම පරාජය භාර අරගෙන ජීවත්වෙනවා. හදවතින් හඬනවා. අපේ හඳවත්වල තියෙන ඒ නම්‍යශීලි බව තේරුම් ගන්න කපටි මිනිස්සු අපිව බයකරලා වැරදි දේට අපිව යොමුකරවනවා.


ඒත් මම අද කියනවා අපි එච්චරටම දුර්වල වෙන්න  ඕන නෑ. මේ සමාජයේ ගොඩක් හොඳ මිනිස්සු ඉන්නවා. ඒ වගේම අපිට ජීවිතේ සිදුවන වැරදි හදාගන්න අවස්ථාවකුත් එනවා. වැරදි නොකර ඉන්න එක ගොඩක් හොඳයි. ඒත් යම් වැරැුද්දක් වෙලා තියෙනවනම් ඒකෙන් මිදෙන්න ක‍්‍රමයකුත් අපිට හොයා ගන්න පුළුවන්. සමාජයේ ඇවිදගෙන යන කොට ගල් බොරළු වගේම මල් මාවතුත් හම්බවෙනවා. සතුටින් ඉන්න හිත ශක්තිමත් කරගන්න.

m