”නමෝ නමෝ” ජාතික ගීය 1949 පළමු වන වර්ෂ පූර්ණයේදී දෙමළ භාෂාවෙන් ද ගායනය කළ බව නොබෝදා ලංකාදීපයේ පළ විය.
එදා දෙමළ භාෂාවෙන් ගායනා කළේ ආනන්ද සමරකෝන්ගේ ”නමෝ නමෝ” ගීතය එම තනුවටම එම අර්ථයෙන්ම දෙමළ භාෂාවෙන්ම ලිවීමෙන් පසුවය. එසේ වුවද එම ගීතය නක්ෂත‍්‍රකරුවන්ගේ හා ඇතැම් සංගීතඥයන්ගේ විරෝධය මත වෙනස්කොට ගායනය ඇරඹිණි.
ගීත රචිත ආනන්ද සමරකෝන් එම තීරණයට විරුද්ධ වුවද ඔහුට කළ හැකි දෙයක් නොවීය. එහෙත් ඔහුගේ අවමඟුල් උළෙලේදී මාධ්‍යවේදීන් 100 ක් පමණ ”නමෝ නමෝ” ගීතය අකුරක්වත් වෙනස් නොකොට ගායනය කිරීම අනුවේදනීය දර්ශනයක් විය.
මේ අවස්ථාවේ මගේ මතකය 68 වසරකට ආපසු දිවයයි. එදා නිදහස් උළෙල වාර්තා කළ මාධ්‍යවේදියෙකු වශයෙන් මට තවම මතක රට වටා, පැතිරී ගිය කඩින් කඩ තරගයයි. එය තරගයක් නොවේ. රටේ සිව් දෙසින් තරුණ පරපුර භාෂා 4 කින් මංජුසාවල තැන්පත් කර සංදේශය රැගෙන අගමැතිවරයාට ඒවා භාර දීමට සංවිධානය කර තිබිණි.
සිංහල සංදේශයේ ගමන ඇරඹුණේ දෙවුන්දරිනි. දෙමළ සංදේශය පටන් ගත්තේ පේදුරුතුඩුවෙනි. අරාබි බසින් ලියන ලද සංදේශයේ ගමන ඇරඹුණේ මඩකළපුවේ සිටය. ඉංග‍්‍රීසි බසින් ලියන ලද සංදේශය පටන් ගත්තේ වැල්ලවත්තෙනි.
මේ පණිවුඩ හතර බොරැල්ල හන්දියේ දී හමුවී එතැන් පටන් තරගකාරීව නොව සම සමව ගෙන යන ලද්දේ ලංකාවේ සිංහල, දෙමළ මුස්ලිම් හා බර්ගර් ධාවන ශූරයන්ය. ඒ ධාවන ශූරීහු ඒවා ගෙනවුත් භාර දුන්නේ ඒ ඒ ජාතික ඇඳුම්වලින් සැරසුණු සිංහල, දෙමළ, මුස්ලිම්, හා බර්ගර් යුවතියන් සිව් දෙනෙකුටය.
ඒ යුවතියෝ ඒවා දිගහැර කියවා අග‍්‍රාමාත්‍ය ඞී.එස්. සේනානායක මහතාට භාර දුන්හ.
මේ කඩින් කඩ දිවීමට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ. වික්ටර් රත්නායක (දෙනියාය) එච්.ආර්.යු. පේ‍්‍රමචන්ද්‍ර (කඩුගන්නාව) මෛත‍්‍රීපාල සේනානායක (මැදවවච්චිය) හා ඇම්.ඇස්. අබුබකර් (මුත්තුර්) යන මන්ත‍්‍රීවරුය.