දිවි නසාගන්නට සිතෙන්නේ ඇයි?


ආසියාවේ උසම කුලුන වශයෙන්ද සලකනු ලබන නෙළුම් කුලුන දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයකි. සංචාරකයන් ආකර්ෂණය කර ගන්නා මෙම සංචාරක මධ්‍යස්ථානය මරණ මංචකයක් බවට පත්වීමට ගතවූයේ එක් ඇසිල්ලකි. 15 හැවිරිදි රාධ්‍යා ගුණසේකර නම් දැරිය පසුගිය 8 වැනිදා දිවි නසා ගත්තේ නෙළුම් කුලු‍නේ 29 වැනි මහලෙන් බිමට පැනීමෙනි.

එළැඹෙන නවවසරේ අග භාගයේ දී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සූදානම් වෙමින් සිටි ඇය කොළඹ ඉහළ පෙළේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිටින්නියක් විය. කොල්ලු‍පිටියේ පදිංචිව සිටි මෙම දැරිය ඊයේ සුපුරුදු පරිදි පාසල් අධ්‍යයන කටයුතු නිමා කර පිටව යන්නේ නෙලු‍ම් කුලු‍න වෙතය. දැරිය නෙලු‍ම් කුලු‍නට ඇතුල් වීමට ප්‍රවේශ පත්‍රයක් මිල දී ගන්නේ සිය ‘අවසන් ගමන’ වෙනුවෙන් යැයි එහි ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් ටිකට් පතක් නිකුත් කළ නිලධාරියා හෝ නිලධාරිනිය මඳකට හෝ නොසිතන්නට ඇත. සෑම අස්සක් මුල්ලක් නෑරම සැණෙකින් පිරී ඉතිරී යන සෙනඟක් එහි නිරන්තරයෙන් ම ගැවසීමද සාමාන්‍ය කරුණකි. එමෙන්ම අතිශය දියුණු තාක්ෂණයකින් යුතු නෙළුම් කුලු‍නෙහි ආරක්ෂාව ද තර කොට තිබේ. නෙළුම් කුලුනේ පැය 24 ම සක්‍රීය ආරක්ෂක සේවා නිලධාරී මණ්ඩලයක් දල ආරක්ෂිත කැමරා පද්ධතියක් ද හතරවටේය. එහෙත් ඒ සියල්ලන්ගේම දෑස්වලින් රිංගා ගොස් රාධ්‍යා ගුණසේකර නම් ඈ  සිය සපත්තු දෙක ද ගලවා, පිටෙහි එල්ලා සිටි බෑගය ද දෙනෝදහක් ගැවසෙන නැරඹුම් මැදිරියේ කෙළවරක තබා දිවි නසා ගෙනය.

ඉකුත් ජූලි මස 2 වැනි දින කොළඹ අල්ටයාර් ටවර් මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලින් බිමට පැන සිසුන් දෙදෙනෙක් සියදිවි නසාගත්හ. එම සිසුන් දෙදෙනා රාධ්‍යාගේ පාසලේම අධ්‍යාපනය ලැබූ ඇයගේ සමීපතම මිතුරෝ දෙදෙනෙකි. මෙම ආසන්නතම සියදිවි නසා ගැනීම පළමු සිදුවීමට මාස තුනකට පමණ පසුව සිදුවී ඇති අතර එම සිසුවිය සිය මිතුරන්ගේ ක්‍රමයට සමාන ක්‍රමයක් අනුගමනය කර ඇති බව මෙම සිදුවීම් ද්විත්වයම අධ්‍යයනයේදී පැහැදිලි වේ. 

පුවත් මවමින් මෙලෙසින් සිදුවන දිවි නසා ගැනීම රට තුළ රැල්ලක් බවට පත් වී තිබේ. දිවි නසා ගැනීම යනු ලොව පුරා මරණ සිදුවීමේ හේතු අතර ප්‍රධාන හේතුවකි. සියදිවි නසා ගැනීම් හේතුවෙන් සෑම තත්පර 40කට වරක් ම අයකු මිය යන බව හෙළිදරව් කර ගෙන ඇත. දිවි නසා ගැනීම අද වන විට සමස්ත ලෝකයේම අවධානයට ලක්ව ඇති බරපතළ ගැටලු‍වකි. මෙම ගැටලු‍ව සඳහා විසඳුම් සෙවීමට තවමත් මනෝවිද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන් හා දාර්ශනිකයන්ට නොහැකි වී තිබේ. අතිවිශාලතම ඛේදවාචකය වනුයේ ලොව පුරා වාර්ෂිකව දස ලක්ෂයකට අධික පිරිසක් දිවිනසා ගැනීම හේතුවෙන් මියයෑම ය. එහෙත් ඇතැම් රටවල සංඛ්‍යා ලේඛන නිසියාකාරව නොලැබීම හේතුවෙන් මෙම සංඛ්‍යාව මීට වඩා ඉහළ අගයක් වන බව පැහැදිලිය. මෙසේ ලොව පුරා දරුණු ඛේදවාචකයක් වන දිවි නසා ගැනීම ශ්‍රී ලංකාව තුළ ද කැපී පෙනෙන ගැටලුවකි. මෙහිදී 1995 වර්ෂය පිළිබඳව සුවිශේෂීව සැලකීමේදී ලෝකයේ ඉහළම දිවි නසා ගැනීමේ අනුපාතිකයක් වාර්තා කළ රට බවට ශ්‍රී ලංකාව පත් විය. එහෙත් 2000 වසර පමණ වන විට එම අනුපාතිකය අඩුවීමක් පෙන්වා ඇති බව සඳහන් කර ඇත. 2019 වසර වන විට දිවි නසා ගැනීමේ අනුපාතිකය අනුව ලෝකයේ 29වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී ඇත. එබැවින් ශ්‍රී ලංකාව තුළ දිවි නසා ගැනීම් සම්බන්ධ විවිධ පැතිකඩ ඔස්සේ විවිධ අධ්‍යයනයන් සිදු කර ඇත. මිනිසා මරණයට පත්වන ක්‍රම රාශියක් පැවතුණ ද ඒවා ප‍්‍රධාන කොටස් හතරකට බෙදා දක්වනු ලබයි. එනම් ස්වාභාවික මරණ, අනතුරු හේතුවෙන් සිදුවන මරණ, ඝාතන සහ දිවි නසා ගැනීම යන ඒවාය. මෙහිදී සැලකිය යුතුම කරුණ වනුයේ මෙම ප‍්‍රවණතාව බුද්ධිමය අතින් ඉහළම සත්වයා වන මිනිසා අතර පමණක් පවතින ඛේදජනක සිදුවීමක් වීමය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ශ්‍රී රංජන්  හෙට්ටි ආරච්චි මහතා මෙම ගැටලුව සමාජ විද්‍යාත්මකව විශ්ලේෂණය කළේ මෙලෙසිනි.

දිවි නසා ගැනීම සමාජය තුළ අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ. එය සමාජීය සහ නීතිමය වශයෙන් අපරාධයකි. ඒ සඳහා විවිධ සාධකවල බලපෑම් එල්ල වේ. සංස්කෘතික කාරණා කේන්ද්‍රීයව, ආර්ථික සාධක කේන්ද්‍රීයව, සමාජ සහ භෞතික සබඳතා නිසි ආකාරව තේරුම් ගැනීමට නොහැකි වීම, ලෙඩ රෝග නිවාරණය කර නොහැකි වීම අාදී හේතූ මත  පුද්ගලයන් දිවි නසාගන්නවා. දිවි නසා ගැනීම ඒක හේතුක ක්‍රියාවලියක් නොවේ. මෙරට පවතින සංස්කෘතික සීමා හේතුවෙන් මෙම දිවි නසා ගැනීමට බලපාන හේතු සාධක තේරුම් ගැනීමට නොහැකි වී තිබේ. සාමාජ සාධක නිවැරදිව ක්‍රියාත්මක නොවීම එයට හේතුවය.

විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ මිනිසාගේ අවශ්‍යතා  තේරුම් ගැනීමට අවශ්‍ය විද්‍යාත්මක දැනුම ලබා නොදීම මෙයට ප්‍රබලව බලපායි. විද්‍යාව විෂයයක් ලෙස අධ්‍යයනය කිරීම සාමාන්‍ය පෙළින් අවසන් කළත් එම විෂය සමස්ත ජීවන ක්‍රියාවලියටම අවශ්‍ය වේ. කලාව තුළ වුවත්  රසවින්දනයට මෙන්ම ගැඹුරු අර්ථ තේරුම් ගැනීමට විද්‍යාව අවශ්‍යයි. අධ්‍යාපන සංකල්පය තුළ සෑම මානව ක්‍රියාවලියකටම, චර්යාවකටම, අවශ්‍යතාවකටම,  අන්තර්ක්‍රියාවකටම, අන්තර් සම්බන්ධතාවකටම විද්‍යාත්මක කියවීමක් අවශ්‍ය වේ. එම විද්‍යාත්මක කියවීම නැති නිසා මිනිසාට මිනිසා තේරුම් ගන්න බැරි වී තිබේ.

ආදරය, ලිංගිකත්වය වැනි ජීව විද්‍යාත්මක අවශ්‍යතා ඇති වීම අවුරුදු 16 වගේ වෙද්දී සිදුවේ. සංස්කෘතික පරිසරය තුළ ආර්ථික පීඩනය, සංස්කෘතිය, පරම්පරා පරත‍රය තුළ ලබන පීඩනය, මතවාද තුළ පීඩනය හරහා එම ජීව විද්‍යාත්මක අවශ්‍යතා විඳින්න බැරි වූ විට තාරුණ්‍යය වේදනාත්මක පරිසරයක ජීවත් වේ. එම වේදනාත්මක පරිසරය දිවි නසා ගැනීම දක්වා ගමන් කෙරේ.

සියදිවි නසාගැනීම් කොටස් තුනකි. එනම් ආත්මාර්ථකාමී සියදිවි නසා ගැනීම, පරාර්ථකාමී සියදිවි නසා ගැනීම සහ සමාජ ධර්මතා බිඳ වැටීම හේතුවෙන් පුද්ගලයා දිවි නසා ගැනීම වේ. පරාර්තකාමී දිවි නසා ගැනීම යනු යුධමය ගැටුම් ආදී වූ අවස්ථාවල ජාතිය වෙනුවෙන් සියදිවි නසා ගැනීම‍ය. අපව ජීවත් කරනු ලබන්නේ සමාජ ධර්මතා මගින්. එම සමාජ ධර්මතා බිඳවැටීම තුළ එය තේරුම් ගැනීමට සමාජ කියවීමක් අවශ්‍ය වේ. එම සමාජ කියවීම නොමැති විට දිවි නසා ගැනීමට යොමු වේ.

මෙම කාරණාවලට සමානවම සමාජ මාධ්‍යයේද ප්‍රබල බලපෑමක් නව යෞවනයන් දිවි නසා ගැනීම වෙත එල්ල වී තිබේ. බොහෝ තැන් වලින් බොහෝ දෙනෙක් විද්‍යුත් මාධ්‍යයට මුදාහරින පණිවිඩ සමාජ මාධ්‍ය තුළ අන්තර්ගත වේ. යුරෝපා රටවලට සාපේක්ෂව ආසියානු රටවල සමාජ ක්‍රමය නොදියුණු මට්ටමක පවතී. භෞතික සම්පත් පමණක් නොව ආකල්ප මට්ටමින්ද නොදියුණු වේ. ඒ තුළින් පුද්ගලයා නිවැරැදි හැඩගැසීම් වලට හුරු කරනු විනා විවිධ වූ පෙළඹවීම්වලට ඇබ්බැහි කරනු ලබයි. විවිධ වූ අපරාධකාරී චර්යාවන්ට හුරු කිරීමට, කාලය කාදැමීමට, පුද්ගලයා වගකීම් වලින් තොර පුද්ගලයකු බවට පත් කිරීමට සමාජ මාධ්‍ය සමත් වේ. පුද්ගල චාරයන්ට වඩා අපචාරයන් ප්‍රවර්ධනය කිරීම සහ නිර්මාණය කිරීමේ තැනක් බවට සමාජ මාධ්‍ය පත්ව ඇත. ඒ හරහා යෞවනයන් සියදිවි නසා ගැනීමට ප්‍රබල උත්ප්‍රේරණයක් ලබා දේ.

දිවි නසා ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කළ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා එහි මනෝ විද්‍යාත්මක පැතිකඩ විශ්ලේෂණය කළේ මෙලෙසිනි.

දිවි නසා ගැනීම මීට දශක දෙකකට පමණ ඉහත එනම් 90 දශකයේ අග භාගයේදී ඉහළ අගයක්ව පැවතුණි. කාලයත් සමග ක්‍රම ක්‍රමයෙන් එම සංඛ්‍යාව අඩු විය. එහෙත් කොරෝනා වසංගතය සමග නව යෞවනයේ දිවි නසා ගැනීම යම් ප්‍රමාණයකින් වැඩිවීමක් දැකගත හැකි විය. මෙයට හේතු ගණනාවක් බලපානු ලබයි. විශේෂයෙන් නව යෞවනයන් තුළ පවතින පෞරුෂත්ව දුර්වලතා සහ සමාජ කුසලතාවල පවතින දුර්වලතා ප්‍රධාන වේ. යම් ගැටලු‍වක් උද්ගත වූ විට ගැටලු‍ව විසඳා ගැනීමේ ක්‍රමවේද පිළිබඳ බොහෝ දරුවන්ට අවබෝධයක් නොමැත. එවැනි ගැටලු‍ හමුවේ ඔවුහු ගැටලු‍ව විසඳා ගන්නවා වෙනුවට තීරණවල පසු ප්‍රතිඵලය පිළිබඳව දැනුවත් බවකින් තොරව ආවේගශීලීව තීරණ ගනිති. එම ගැටලු‍වට එකම විසඳුම දිවි නසා ගැනීම යැයි ඇතැම් යෞවනයෝ සිතති.

 මෙවැනි ගැටලු‍ සඳහා බලපාන විවිධ හේතු කීපයකි. දරුවා විවිධ මානසික පීඩනවල ගොදුරු බවට පත්වීම එක් හේතුවකි. යම් විටක එය ළමා කාලයේ සිටම පීඩාවිඳින්නක් විය හැකිය. පවුල් සංස්ථා බිඳ වැටීම හේතුවෙන් මවුපියන්ගේ ආදරය රැකවරණය නොමැතිව ගොඩනැගෙන මවුපිය දූ දරු සම්බන්ධතා නිරෝගීව සහ නිවැරැදිව ඇති වන්නක් නොවේ. මවුපියන්ගේ කාර්යබහුලත්වය, නොසැලකිල්ල, අනවබෝධය වැනි වූ කාරණා මේ සඳහා බලපානු ලබයි. මවුපියන් දරුවන්ගේ අධ්‍යාපනය ආහාර ආදී අවශ්‍යතා සඳහා නොපැකිලිව කාලය මුදල් වැය කළද, දරුවන්ගේ ගැටලු‍ පිළිබඳ සොයා බැලීමට, හැඟීම් තේරුම් ගැනීමට, හැඟීම්වලට ප්‍රතිචාර දැක්වීමට, ඔවුන්ට සවන් දීමට යොමුවන අවස්ථා  අඩුය. බොහෝවිට දරුවාගේ ආවේගශීලී හැසිරීම්වලට මවුපියන්ද අවේගශීලීව ප්‍රතිචාර දැක්වීම බොහෝවිට සිදු වේ. මෙවැනි අවස්ථාවලදී දරුවාත් මවුපියන් අතරත් දුරස්තභාවයක් නිර්මාණය වේ. 

දරුවෝ යෞවන වියට පා තැබීමත් සමගම මවුපියන්  මත යැපෙන ස්වභාවයෙන් ඉවත් වී ස්වාධීන පුද්ගලයකු බවට පත්වීමට උත්සාහ කරති. මෙහිදී අලු‍ත් දේවල් සොයායෑම, නව අත්දැකීම් ලබාගැනීමට උත්සහ කිරීම, මවුපියන්ට අවනත නොවීම, අවදානම් ගැනීමට ප්‍රිය කිරීම දැකිය හැකිය. මෙවැනි ක්‍රියා මවුපියෝ වරදක් ලෙස දකිති. එවිට ඔවුහු පමණ ඉක්මවා දරුවන්ව පාලනය කිරීම, නරක ළමයකු ලෙස ලේබල් කිරීම, දඬුවම් කිරීම සිදු කරති. එවිට දරුවන් තව දුරටත් මුරණ්ඩු වීම සිදු වේ. දරුවන්ගේ අදහස්  තේරුම් ගෙන හොඳින් සවන් දී ගැටලු‍ හඳුනාගෙන, දරුවන්ට සමීප වී නිවැරදිව මගපෙන්වීමයි සිදුකළ යුත්තේ. එහෙත් බහුතර මව්පියන් මගින් එය මගහැරී යයි. එයද යෞවනයන් පීඩාවට පත්වීමට හේතුවකි.

තවත් ගැටලු‍වක් ලෙස සමාජයේ පවතින ප්‍රචණ්ඩත්වය තම හැසිරීම් තුළට එක්කර ගැනීම හඳුනාගත හැකිය. නිදසුන් ලෙස සමාජ මාධ්‍ය සහ වීඩියෝ ගේම් වැනි දෑවල අන්තර්ගත වූ ප්‍රචණ්ඩත්වය නිරත නිතර දැකිම තුළින් එය සාමාන්‍යකරණයට ලක් වේ. එවිට සමාජය විසම වූ දරුණු වූ තැනක් ලෙස ඔවුන් හඳුනාගනු ලබයි. එවිට අනාගතය පිළිබඳව විශාල අපේක්ෂාභංගත්වයක් ඇති වේ. එයද දරුවන්ගේ යහපත් මානසිකත්වය නැති වීමට බලපානු ලබයි. ඒ ප්‍රචණ්ඩත්වය තම හැඟීම් සිතුවිලි චර්යා වලට එක් කරගනු ලබන අතර අවසානයේ දරුවෝ දරුණු තත්වයට පත් වෙති. ඒ දරුණුකම සමාජය වෙත මුදා හෝ හැරීම තමා වෙතම මුදා හැරීම සිදු කරනු ලබයි. තමා තමන්ටම වෛර කිරීමද සිදු කරනු ලබයි. මේ ලෝකයට බිහිවුණේ යන්නට තමාගෙන්ම ප්‍රශ්න කරනු ලබන අතර තමා බිහිකරේ ඇයිද යන්න මවුපියන්ගෙන්ද ප්‍රශ්න කරනු ලබන තත්වයට ඔවුහු පත්වෙති.

දරුවන් විවිධ වීඩියෝ ගේම්වලටද ඇබ්බැහි වීම වර්තමානයේ බහුලව දැකගත හැකිය. වීඩියෝ ගේම්වලදී  ජයග්‍රහණය කරා යන්නට තවකකු සමග සටන් කර මරා දමා විනාශ කර යුතුය. ඒ තුළින් දරුවන් තුළත් ආකල්ප ගොඩ නැගෙන්නේ සමාජයේ පෙරට යාමටත් ප්‍රචණ්ඩත්වය අවශ්‍ය බවයි. සමාජය ඉදිරියේ අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකි වූ විට තමා පිළිබඳවම අවතක්සේරුවක් ඇති වී ජීවිතයේ වටිනාකම අඩු කරගනු ලබයි. එය දිවි නසා ගැනීමට හේතුවකි.

එමෙන්ම නව පරපුර විවිධ මත්ද්‍රව්‍ය මත්පැන් වලට ඇබ්බැහිවීමද දිවි නසා ගැනීමට හේතුවකි. මත්ද්‍රව්‍ය මගින් පුද්ගලයා තුළ අවේගශීලී බව වැඩි වේ. එවිට දැනෙන දුක කනගාටුව පාලනය කර ගැනීමට නොහැකි වීම ඔස්සේ තමාටම හානි කර ගැනීමට සිතිවිලි ඇති වීමට ඉඩ ඇත.

මෙරට තරගකාරී අධ්‍යාපනය තුළත් දරුවෝ පීඩාවට පත්වෙති. කට පාඩම් අධ්‍යාපන රටාවක් වර්තමානයේ නිර්මාණය වී ඇත. නිර්මාණශීලී බව, නව අදහස්, තාර්කික බව දරුවන්ගෙන් ඈත්වෙමින් පවතී. එවිට සමාජ කුසලතා හැඟීම් පාලනය, දරුවන්ගෙන් ගිලිහී යයි. සමාජීය ක්‍රියාකාරකම්වල යෙදීමට පවතින අවකාශය අඩු නිසා පොතපත දැනුම පමණක් ඇත. සමාජ කුසලතා නැති පුද්ගලයන් බවට පත්ව ඇත. එවිට ගැටලු‍ විසඳා ගැනීමට හැකියාවක් නොමැති වේ. 

දිවි නසා ගැනීමට යෞවනයන්ට පවතින මානසික රෝගත් බලපානු ලබයි. විශාදය වැනි මානසික රෝග යෞවනයන්ගෙන් සියයට 15 ක් පමණ ප්‍රමාණයකට ඇත. මෙහි රෝග ලක්ෂණ ලෙස දුක දැනීම, කලකිරීම, සතුට අඩුබව, ශක්තිය නොමැති බව, අධ්‍යාපනයට සිත යොමු කිරීමට නොහැකි වීම ආදී වූ ජීවිතය පිළිබඳ වේදනාත්මක හැඟීම් ඇති වේ. එවිට ජීවිතයට වඩා මරණය තෝරාගැනීම සිදු කරයි. විශාදය වැනි මානසික රෝග තත්වය මුල් අවස්ථාවේ හඳුනා ගැනීමට මවුපියන් මෙන්ම ගුරුවරු කටයුතු කිරීමද ඉතා වැදගත් වේ. විශාදය වැනි මානසික රෝග සඳහා ඖෂධීය සහ මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර තිබේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීමද  සිදුකළ යුතුය.

මේ තත්වය වළක්වා ගැනීමට අධ්‍යාපනය තුළම සමාජ කුසලතා, සංජානන කුසලතා, අනුයෝජනීය කුසලතා, සන්නිවේදන කුසලතා ඉගැන්විය යුතුය. එය පෙර පාසල් අධ්‍යාපනයෙන්ම ආරම්භ කළ යුතුය. විනයවත් කුසලතා පිරි දරුවන් බිහි වීමට කටපාඩම් අධ්‍යාපනයෙන් මිදී  නිදහසේ කුසලතා ප්‍රගුණ කළ හැකි අධ්‍යාපන රටාවක් ඇති කළ යුතුයි. සමාජයේ ජීවත් විය යුතු ක්‍රම, චාරිත්‍ර වාරිත්‍ර, නීති රීති ආදිය අධ්‍යාපනය හරහාම දරුවන්ට ලබාදිය යුතුය. එමෙන්ම අධ්‍යපනය තුළම පෞරුෂත්ව හැකියා කුසලතා වර්ධනය, හැඟීම් පාලනය, ගැටලු‍ කළමනාකරණය පිළිබඳ කුසලතා ඇති කළ යුතුය.

 

(*** ශෂිකා අබේරත්න)