දිවියට සවියක් වන බුදු සිරිතෙහි ගුණ


වර්තමානයෙහි නිතර අසන්නට ලැබෙන මැසිවිල්ලක් වන්නේ, ආදර්ශයට ගත හැකි පුද්ගලයන් නැති බවයි. මෙය මුළු මහත් සමාජයම මුහුණ දෙන කාලීන ගැටලු‍වකි. අපේ සමාජයේ විවිධ අංශවල මෙම බිඳවැටීම දක්නට ලැබෙන අතර, එය ගිහි පැවිදි වශයෙන් වර්ග කළ හැකිව ඇත. බෞද්ධ සමාජයේ පමණක් නොව වෙනත් ආගමික සමාජ හා ජාතික සමාජ සංස්ථාවන්හි ද මෙබඳු සාරධර්ම සෝදා පාලු‍වක් පවතින බව රහසක් නොවේ.

මෙම සමාජ ස්වභාවය ලෝකවාසී සකල මිනිස් ප්‍රජාව තුළින්ම දක්නට ලැබීම අහඹු සිදුවීමක් ද නොවන්නේ බුදු දහමින් ප්‍රකාශිත අනිත්‍යතා ධර්මයට හසු නොවන කිසිවක් තිලෝකයෙහිම දක්නට නොලැබෙන බැවිනි.

කුඩා කළලයක්ව මවු කුසක හටගෙන කුඩා බිලිඳකු ලෙස උපත ලබන ජීවියා මවු කුස තුළ වර්ධනය වීමේදී ද තමා උපදින පරිසරය පිළිබඳව කිසියම් අත්දැකීමක් මෙන්ම හුරු වීමක යෙදෙන බව ප්‍රකාශ කෙරේ. උපතින් පසුව මවගේ චර්යාවන්ට හුරු වන අයුරු නොරහසකි. එතැන් සිට මවුපියන්ගේ හා සමීපතමයන්ගේ විවිධ චර්යාවන්ට හුරු වෙමින් වැඩෙන දරුවා බාහිර සමාජීය අත්දැකීම් සඳහා ප්‍රාථමික අධ්‍යාපනයේ සිට හුරුපුරුදු වීමේදී මවුපියන් හා සමාන වූ ගුරුවරුන්ගේ ආදර්ශ ඉතා වැදගත් වේ. ඒ අනුව සමාජගත වන පුද්ගල ජීවිතය සඳහා ගුරුවරුන්ගේ ආදර්ශවත් ජීවිතය ප්‍රමුඛ සාධකයක් වන අතර, ගුරුවරයාගේ චර්යාව තුළ පුද්ගල ජීවිතවල දිසානතිය තීරණය වන ආකාරය බෞද්ධ සාහිත්‍යය තුළින් මනාව ගත හැකිව තිබේ.

බුද්ධ චරිතය පිළිබඳ විමසා බැලීමේදී කල්පාන්තරව බෝධිසත්ව චරිතයෙහි චර්යාවන් ද බුද්ධාංකුරව ගෙවාලූ ආකාරය ඉතා ආදර්ශවත්ය. “බෝධිසත්ව” යන්න හැඳින්වීමට අනුගත අයුරින් ඒ ඒ ආත්මභාවවලදී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ විවිධ භාවිත ජාතක පොත් වහන්සේ තුළින් එළිදක්වා ඇති ආකාරය අතිශය චමත්කාරජනක වේ. අවසන් අත්බැව් දී වූ සිදුහත් නම් රාජ කුමාරව ද එම කුමාර ජීවිතය තුළ මුළුමනින්ම වෙනත් රාජ කුමාරවරුන්ට පටහැනි වූ චරිත ලක්ෂණ විද්‍යමාන වුණි. ඒ අනුව බෝසතාණන් වහන්සේ සතර පෙරනිමිති දැකීමෙන් පසු වයස්ගත වීම හෙවත් සිරුරේ වෙනස් වීම ලෙඩ වීම සේම අනතුරුව මරණයට පත් වීමත් සිදුහත් කුමරුගේ සිත දැඩි සේ කළකිරුණේ මතු නොව පැවිදි රුවක් දැකීමෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණ යන ස්වාභාවික දුක්ඛන්ධයන්ගෙන් අත්මිදීම සඳහා මෙන්ම සංසාරගතව දුක් විඳින සත්වයන් මුදවා ගැනීමේ උතුම් ක්‍රියාවලියට ගවේෂණාත්මකව ඉදිරිපත් වූයේ ඉමහත් කරුණාවෙනි. එම උතුම් ප්‍රාර්ථනය මස්තක ප්‍රාප්ත කරගැනීම සඳහා ඇති කරගත් අධිෂ්ඨානශීලී උත්සාහය මෙන්ම නොපසුබට වීර්යය මානව ඉතිහාසයෙහි අසමාන වූ පුද්ගල චර්යාවකි.

තම ප්‍රාර්ථනා අකාමකා දමන සතුරු බලවේග සඳහා මුහුණ දීමේ දැඩි අධිෂ්ඨානශීලි බව ප්‍රකට වන්නේ චතුරංග සමන්නාගත වීර්යයෙන් වන්නේ මතු නොව පාපී මරහුගේ විවිධ උපක්‍රම ජය ගැනීම සඳහා සිත සවිමත් කරගැනීම මානව ඉතිහාසයේ මනුෂ්‍යයකු මුහුණ දුන් භයානක ත්‍රාසජනක අවස්ථාව ලෙස හැඳින්වීමේ වරදක් නැත.

මෙසේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වන සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තමන් වහන්සේ විසින් ලබන ලද මෙම අසමසම සම්බුදු බව ලැබීමේ ඉමහත් සතුට උදානත්වයෙන් ප්‍රකාශ කොට සත් සතිය ගතකිරීමේ උතුම් අවස්ථාවන්ගෙන් ද උතුම් ආදර්ශ රාශියක් ලෝක සත්වයන් වෙත ලබාදෙන ලදහ. සමාධි සුවයෙන් විජය ශ්‍රී ජය ශ්‍රී බෝධීන් වහන්සේ සමීපයෙහි සතියක් වැඩ සිටිමින් මහත් පරිශ්‍රමයකින් චතුරා සංඛ්‍ය කප් සුවහසක් මුළුල්ලෙහි දරන ලද උත්සාහයෙහි සතුට ඉතා නිහඬව මෙනෙහි කිරීමෙන් ද ලබාදෙන ආදර්ශය වන්නේ ලබන ලද ජයග්‍රහණය භුක්ති විඳීමේදී තිබිය යුතු ශික්ෂණය පිළිබඳව වූ ඉගැන්වීමය. දෙවැනි සතියේදී සිදු කෙරෙන අනිමිස ලෝචන පූජාවෙන් ද කළගුණ සැලකීම පිළිබඳ ආදර්ශය ලබා දෙනුයේ මතු නොව එය තමන් වහන්සේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කිරීමටත් පෙර කාය ක්ෂය වශයෙන්ම ලබා දුන් ආදර්ශයකි. පසු කාලීනව උන්වහන්සේ දේශනාවලදීම “කතඤ්ඤු කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං” යනාදි වශයෙන් දේශිත විවිධ දේශනාවලින් තමන් වහන්සේ සිත් පිත් නැති තමන්ට සෙවණ දුන් ගසකට පවා ගෞරව කරමින් සිදු කරන ලද ආදර්ශය නැවත නැවතත් අවධානයට ලක් කොට තිබේ.

තමන් වහන්සේ විසින් ඉතා දුෂ්කර ගවේෂණයකින් යුතුව ස්වයංභූඤාණයෙන් අවබෝධ කරගත් චතුරාර්ය සත්‍යය ධර්මය ප්‍රථමයෙන්ම දේශනා කිරීමට කල්පනා කිරීමේදී තමන් වහන්සේගේ පූර්වාචාර්යයන් වහන්සේ පිළිබඳ සොයා බැලීමත්, ඉන් අනතුරුව තමන් වහන්සේ සමග එක්ව කටයුතු කළ පස්වග තවුසන් සොයා ගොස් ඔවුන් ප්‍රධාන කොට ගෙන දම්සක් පැවතුම් දේශනාව සිදු කිරීම තුළින් ද ලබා දෙන ආදර්ශය වන්නේ ගුරු ගෞරවය මතු නොව මිත්‍රධර්මයෙහි අගයන් කෘතවේදීත්වය පිළිබඳ ආදර්ශය. එමතු ද නොව පිය රජතුමා ඇතුළු යශෝදරාදී සමීප ඥාතීන්ට අනුග්‍රහ දැක්වීමත් ශාක්‍ය කෝලිය ඥාතිවරුන් අතර ගැටුම නිරාකරණය සඳහා යුද බිමට වැඩම වීමත් කිඹුල්වතින් හමන සුළඟ ද සුවදායක බව පැවැසීමත් තම උපන් බිම පිළිබඳව හා තමන් අයත් වන ජාතිය පිළිබඳ අභිමානීය ආදර්ශ සේ සැලකිය හැකිය.

දීඝනිකායට අයත් සෝණදණ්ඩ සූත්‍රයේදී “සෝණදණ්ඩ” නම් වූ අන්‍ය ලබ්ධික ත්‍රිවේද පාරප්‍රාප්ත වූ වෘද්ධ වූ බ්‍රාහ්මණතුමා තමන් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ තමාගේ ප්‍රසාදය ඇති වීමට මතු නොව උන්වහන්සේගේ උතුම් ධර්මය පිළිගැනීමට හේතු වූ ආදර්ශවත් කරුණු කිහිපයක් පිළිබඳව ප්‍රකාශ කොට තිබේ. එම උදාර ගුණ සියල්ල සාමාන්‍ය පුද්ගලයකුට ඇති කරගත නොහැකි වුවත් ඕනෑම ජීවිතයක උදාරත්වය සඳහා හේතු වන සිදුහත් චර්යාවන් හයක් පිළිබඳ සඳහන් වන්නේ මෙසේය.

 “ගෝතමෝ ඛෝ ඒහි සාගතවාදී හෝති” තමන් වහන්සේ වෙත පැමිණෙන අය ඉතා සුහදව පිළිගන්නා බව මින් ප්‍රකාශ වේ. “සඛිලෝ හෝති” පැමිණෙන්නා සමග කනට සුවයක් වන සේ කතා කිරීම පිළිබඳ මින් කියැවේ. “සම්මෝදකෝ හෝති” ඉතා සතුටු සාමීචිව පිළිසඳරේ යෙදෙන්නකු බව මෙම යෙදුමෙන් ප්‍රකාශිතය. “අබ්භාකුටිකෝ හෝති” තරහ සිතින් බැම හකුළුවා නොබලන්නකු බව මින් ප්‍රකාශ වන අතර, “උත්තාන මුඛෝ හෝති” යනු කතාබහ සඳහා ප්‍රියමනාප බව ඉන් ප්‍රකාශ කෙරේ. “පුබ්බභාසි හෝති” තමන් වහන්සේම පළමුවෙන් කතා කිරීම ලෙස එය අර්ථ ගන්වා තිබේ. තථාගතයන් වහන්සේගේ අරහං ආදි අප්‍රමාණ වූ ගුණ පිළිබඳ බොහෝ දෙනා අසා ඇතත් පංචවිධ වූ මෙම ගුණ සමූහය පිළිබඳ ඇත්තේ අප්‍රකට බවක් වන්නේ ‍බ්‍රාහ්මණ ඉගැන්වීම් දැඩි විවේචනයට ලක් කළ බ්‍රාහ්මණ සමාජයෙහි වේද පාරප්‍රාප්තව වයෝවෘද්ධ වූ සෝණදණ්ඩ නම් බ්‍රාහ්මණ තුමාගේ මුවින් ප්‍රකාශිත මෙම උතුම් ගුණ සාමාන්‍ය ජීවිතයේදී භාවිත කළ හැකි උතුම් ගුණ සමුදායකි. තමන් හමු වීමට පැමිණෙන කෙනකු සුහදව පිළිගැනීම සුහදව කතා කිරීම සතුටු සාමීචියේ යෙදීම කරදරයක් සේ නොසිතා සුහදතාව දැක්වීම ඉතා ප්‍රියමනාපව කතා කිරීම මෙන්ම තමා පළමුවෙන් කතා කිරීම ඉතා වැදගත් වන්නේ බොහෝ දෙනාම ප්‍රකාශ කරනුයේ තමා සමග කතා කරන්නේ නම් පමණක් කතා කරන බවයි. එය නුසුදුසු ක්‍රියාවක් බව තථාගත භාෂිතයෙන් පැහැදිලි වන අතර, මෙම කිසිදු චර්යාවක් කිසිවකුටත් අනුගමනය කළ නොහැක්කේ නොවේ. තුන්ලෝ තලයටම ගුරු වූ ශාස්තෘවරයන් වහන්සේගේ මෙම උතුම් ගුණ ජීවිතය හා සම්බන්ධ කරගැනීම ඉතා ප්‍රියශීලි ආදර්ශවත් දිවි පැවැත්මක් සඳහා හේතු වන්නේ මතු නොව මෙම ගුණ සමුදාය අනුගමනය කිරීම සඳහා අධිෂ්ඨානශීලී වීමට උචිතම දිනයක් සේ අද දිනය හැඳින්විය හැකිය.

බුද්ධ චරිතයෙහි සුවිශේෂී සිදුවීම් වූ බෝසත් උපත, බුද්ධත්වය, මහා පරිනිර්වාණය මෙන්ම කිඹුල්වතට වැඩමවීම, යමා මහ පෙළහර ආදි සිදු වූ සුවිශේෂී සිදුවීම් මෙන්ම ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය ද අද වන් දිනක සිදුව ඇත. ලංකා ශාසන ඉතිහාසයෙහි වැදගත් සංසිද්ධීන් ලෙස තෙවැනි වරටත් ලක් පොළොව ශ්‍රී පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත්වීමත් විජයාවතරණයත් සමග සිංහල ජාතියේ ආරම්භක දිනය මතු නොව දෙවන පෑතිස් නිරිඳුන්ගේ දෙවැනි අභිෂේකයත් දුටුගැමුණු නිරිඳුන් රුවන්වැලි සෑ රදුන්ගේ වැඩ ඇරැඹීමත් අද වන් දිනක සිදුව ඇති අතර, එම උතුම් සංසිද්ධීන් ද සිහිපත් කරමින් බුද්ධ චරිතයෙහි උතුම් ආදර්ශ අනුගමනය කරමින් උතුම් ධර්මාවබෝධය ලබා සසරින් එතෙර වීමට උත්සාහවත් විය යුතුව ඇත.

සිතුවම: පෑලියගොඩ දයානන්ද

(***)
කොළඹ, හැව්ලොක් සිටි සාම විහාරාධිපති,
දක්‍ෂිණ ලංකාවේ සමථ බලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක,
අතපත්තුකන්දේ ආනන්ද නා හිමි