පසුගිය කාලයේදී කතා බහට ලක්වූ මාතෘකා නැවතත් කරළියට පැමිණ ඇත. මැතිවරණ සමයක දක්නට ඇති පාවෙන ඡන්ද මෙන් සහල් සහ බිත්තර මිල සැමට දැනෙන අයුරින් පාවෙන්නට පටන් ගෙන ඇත. දසතින් නැගෙන මැසිවිලි ඔස්සේ ආහාර මිල පිළිබඳ ගැටලුවේ දී නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයා රැකෙන අයුරින් සහල් සහ බිත්තර මිල තීරණය කළ හැකි ආකාරය සොයා බැලීම මේ ලිපියේ අරමුණයි.
සහල්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහල් ව්‍යාපාරිකයෙක් සහතික කළ මිලට හෝ ඊට අඩුවෙන් මෙතැන් පටන් මෙම 2024-2025 මහා කන්නයේ අස්වනු නෙළීමට පටන්ගන්නා කාලය වනතුරු ආර්ථිකව පාඩු විඳගෙන හෝ සහල් වෙළඳපොළට නිකුත් කිරීමට ඉදිරිපත්වී ඇත. යම් කාල සීමාවක් සඳහා වුවද ආර්ථික පාඩුවක් විඳගෙන මෙවන් කටයුත්තක් කළත්, මෙම ව්‍යාපාරිකයාට සහල් කර්මාන්තයෙහි දිගටම රැඳී සිටීමට ඇති හැකියාව මෙම ලිපියෙන් ප්‍රශ්න කරන්නට හෝ විග්‍රහ කරන්නට අදහසක් නොමැත. එහෙත් ඉන් ඔබ්බට ගොස් සමස්ත සහල් කර්මාන්තයේ තත්වය සැලකීමේදී මතුවන චිත්‍රය බොහෝ වෙනස්ය. මේ තත්වය හේතුවෙන් කුඩා සහ මධ්‍යම පරිමාණයේ සහල් මෝල් හිමියන් සිය අප්‍රසාදය පළ කර තිබේ. මේ ක්‍රියාවලියෙන් සහල් කර්මාන්තයේ සහ වෙළඳපොළේ බිඳ වැටීමක් ගැනත් පුරෝකථනය කර ඇත. සහල් මිල අඩුවෙන් ලබා දෙන ව්‍යාපාරයක් වෙත පාරිභෝගිකයා ටික කාලයකට හෝ නැඹුරුවීම වළක්වන්නට අපහසු වුවත්, එවන් ආර්ථික හානියක් දැරිය නොහැකි සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට කෙටිකාලීන ව හෝ අහිතකර බලපෑමක් ඇති වේ. තම ව්‍යාපාර නඩත්තුවට යන අධික වියදම් හේතුවෙන් තාවකාලිකව හෝ එම කර්මාන්තයෙන් ඔවුන් ඉවත්වීමේ ප්‍රවනතාවක් ඇතිවේ. එවිට රටේ සමස්ත සහල් අවශ්‍යතාව සැපයීමේ වගකීම තනි ව්‍යාපාරිකයකුට ලබාදීමට සිදුවේවිද? එසේ සිදුවිය හැකිද? එවැන්නක් සිදුවීමේ සම්භාවිතාව ඉතා අඩු වුවත්, එවැනි සිතිවිල්ලක් පවා රටේ සහල් මිල සහ වෙළඳපොළ පාලනය නොවූ ව්‍යාකුල තත්වයකට පත්කළ හැකිය.
බිත්තර
නව ආණ්ඩුව පිහිට වූ වහාම බිත්තර මිල සැලකිය යුතු ලෙස පහත වැටි නැවත තිබු තත්වයටම ඉහළයාමත් පසුගිය දින කිහිපයේ දක්නට ලැබුණි. කුකුළු කර්මාන්තයට අවශ්‍ය සත්ව ආහාර නිෂ්පාදනයට භාවිත වන බඩ ඉරිඟු නිෂ්පාදනය පහත වැටීම නිසා, හෝ පහත වැට්ටවීම නිසා හෝ කුකුළු මස් වගේම බිත්තරවල නිෂ්පාදන වියදම ඉහළ ගිය බව නොරහසකි. 2020 වර්ෂයේ දී රුපියල් 20ටත් අඩුවෙන් තිබුණ බිත්තරයක් රුපියල් 70 කට ආසන්න අගයකට මිල ඉහළයාම පාරිභෝගිකයන්ට දරා ගත නොහැකි තත්වයක් විය. මෙහිදී ගොවිමහතුන් වැඩි ආදායමක් ලබා දෙන බිත්තර කර්මාන්තය කරා යොමුවීම සාධාරණය. එහෙත් දිනක් වයසැති කුකුළු පැටවකුගේ සිට මාස පහක් එම කිකිළි රැක බලාගෙන නිෂ්පාදනය වෙළෙදපොළට එනවිට දින කිහිපයකට හෝ බිත්තර මිල පහත වැටීමෙන් හෝ එසේ පහත වැටීමට සැලැස්වීමෙන් හෝ වන වෙළෙඳපොළ කම්පනයන් සුළු සහ මධ්‍ය පරිමාණයේ කුකුළු කර්මාන්තයේ නියැළෙන්නන් කබලෙන් ළිපට වැටෙන බව අමුතුවෙන් කිව යුතු නැත. නිෂ්පාදන වියදම පියවා ගැනීමට නොහැකිවීමෙන් බිත්තර දමන කිකිළියන් මසට විකිණීමට පෙළඹීම ද බිත්තර නිෂ්පාදනය අඩුවීමට බලපාන අතරසැපයීම අඩුවීම නිසා නැවත වතාවක් බිත්තරවල මිල ඉහළ යාම නොවැළැක්විය හැකි කරුණකි.
සහල් සහ බිත්තර
ඉහත කාරණා දෙකෙන්ම, විවිධ තලවල තීරණ ගැනීමේ දුර්වලතා සහ අක්‍රමිකතා මෙන්ම වෙෙළඳපොළ ක්‍රියාකාරිත්වයේ නියාමනය දුර්වල නිසා පාරිභෝගිකයා මෙන්ම ආහාර පද්ධතියේ අනෙකුත් ක්‍රියාකාරීන්ට සිදුවන දරුණු බලපෑම් ගැන පැහැදිලි වේ. සහල් ලාබෙට ලබා දීමට පොරොන්දු වූ සහල් ව්‍යාපාරිකයාට එසේ නොකරන්නැයි නියෝග කිරීමට කිසිවකුටවත් හැකියාවක් නැත. තමන්ගේ ව්‍යාපාරය පාඩු විඳගෙන හෝ ජනතාවට අඩුවෙන් සහල් ලබාදීම රටේ නීතියට පටහැණියි නොසිතමි. එම ව්‍යාපාරිකයා මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වන්නේ නැතිනම්, මැතිවරණ කොමිසමට ද මෙය ඡන්ද ගුන්ඩුවක් කියා මහා මැතිවරණය පැවැත්වෙන තෙක් සහල් මිල අඩු කිරීමට ඉඩදිය නොහැකි යයි පැවසීමට ද නොහැක. බිත්තර කර්මාන්තයේ නියැළී සිටින්නන්ද හිතා මතා හෝ බිත්තර මිල පහත දමන්නේ නම් එයද තහනම් කළ නොහැක. ආහාර මිල පිළිබඳ ගැටලුව මිට වඩා තාර්කිකව රජය, ගොවි ජනතාවද ඇතුළුව එම ක්ෂේත්‍රයේ නියුතු පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් මැදහත් ලෙස විසඳා ගත යුතුව ඇති බවට මිටවඩා උදාහරණ අවශ්‍ය නැත.
ආහාර පද්ධතිය සහ සහනාධාර
රජයක් මගින් බෝග සහ සත්ව පාලනය සිදුකරන ගොවි ප්‍රජාවට ඔවුන්ගේ නිෂ්පාදනයට වැඩි මිලක් සහ පාරිභෝගිකයාට ඒවා අඩු මිලකට ලබා දීමට එකවර උත්සාහ කිරීම නොපෑහෙන දීගයක් වැනියි. ගොවි ජනතාව සහනාධාර මානසිකත්වයෙන් මුදා ගත යුතු බව මම මිට ඉහතදීත් පැවසුවෙමි. සියලු දෙනාට සහනාධාර ලබාදීමේ ක්‍රියා පිළිවෙළකට එකඟ නොවුණත්, රටේ නිපදවන අත්‍යවශ්‍ය ආහාර සඳහා පමණක් වෙළඳපොළේ යම් සහනයක් දීම, රටේ ආර්ථිකය දියුණු මට්ටමකට පත්වන තුරු කළහැකි යම් සාධනීය ක්‍රියාමාර්ගයක් බව සිතමි. මෙය සෑම පාරිභෝගිකයකුටම ලබාදීම කිසිසේත් අනුමත නොකරනමුත්, දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාවට හෝ එම පහසුකම ලබා දීමට පියවර ගැනීම කළයුතු වේ.
එහෙත්, ඔවුන් සදාකාලිකවම මෙම සහනාධාර මත යැපෙන පුද්ගලයන් සමුහයක් බවට පත් නොකට, ඔවුන්ගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීමට ක්‍රමානුකුලව පියවර ගත යුතුය. රජයකට තම උපායමාර්ගික මැදිහත්වීම්කිරීමට අවශ්‍ය වන්නේ මෙවන් අවස්ථාවලදි ය. වඩා වැදගත් වන්නේ මෙම ක්‍රියාමාර්ග කාල වකවානු සහ ඉලක්කගත නිර්නායක මත පදනම්ව ක්‍රියාත්මක කිරීමය. මෙම ක්‍රියාමාර්ග පක්ෂ, හිතවත්, සහෘද, ඥාතී, වරදාන, බලපෑම්, බැදීම්වලින් තොර විය යුතුය. සමස්ත ආහාර පද්ධතිය නොසලකා, ප්‍රාථමික නිෂ්පාදකයා සහ පාරිභෝගිකයාට අවශ්‍ය කාර්ය රැසක් ඉටුකරන සැකසුම් කරුවන් (උදා: සහල් මෝල් හිමියන්), ගබඩා කරුවන්,සත්ත්ව ආහාර නිෂ්පාදකයන්, ප්‍රවාහන පහසුකම් සපයන්නන් සහ අනෙකුත් අතරමැදියන් මෙන්ම තොග සහ සිල්ලර වෙළෙන්දන් වැනි ක්‍රියාකාරීන් ගේ පැවැත්ම සාධාරණ ලෙස තහවුරු නොකිරීම ද මෙම වෙළෙදපොළ තිබෙන්නාවූ අනිසි ක්‍රියාකාරිත්වයට බලපාඇත.
සහල් සහ බිත්තර මිල තීරණය කිරීම
අප දන්නා ගණනය කිරීම්වලට අනුව, වීවලට ගෙවන මිල මෙන් සහල් මිල දෙගුණයක් පමණ වේ. රජයේ මැදිහත් වීමක් නොමැතිව වෙෙළඳපොළ යාන්ත්‍රණයට ඉඩ දුණහොත්, වී ගොවීයාට තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියට ලාභයක් ලැබෙන අයුරින් වැඩි මිලකුත් පාරිභෝගිකයාට තමන්ට දැරිය හැකිවන අඩු මිලකුත් නියම කළ නොහැක. සහල් මෝල් හිමියන් අනවශ්‍ය ලෙස වී ගබඩා කිරීම නිසා වෙළඳපොළ සහල් මිල යන්ත්‍රණය ඔවුන් විසින් මෙහෙයවනු ලබන බවට බොහෝ දෙනෙක් සැක කරති. එත් තවම එය නිසි අයුරින් තහවුරු කර ඇතැයි නොසිතමි. එම ගබඩා සංකීර්ණ පරික්ෂා කිරීමට ගොස් බලාපොරොත්තු වූ වී තොග නොමැතිවීම නිසා රාජ්‍ය නිලධාරීන් අපහසුතාවට පත් වූ ආකාරය 2020 දී රූපවාහිනි තිරයෙන් දැක ගත්තෙමු.
සමස්ත ආහාර පද්ධතියේ ක්‍රියාකාරීන්ට තම ව්‍යාපාර සඳහා සාධාරණ ලාභයක් නොලැබේ නම් එම පද්ධතියේ කඩාවැටීමක් විනා ප්‍රගතියක් දැකිය නොහැක. එහෙත් නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ආහාර ගමන් කරන දුර අඩු කිරීමෙන් යම් පමණකට හෝ වෙළඳපොළ ආහාර මිල අඩු කළ හැකිය. මෑතකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ මුලිකත්වයෙන්, අනෙකුත් කෘෂිකර්ම පිඨ හයක සහභාගිත්වයෙන්, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙන්ම අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනයේ අනුග්‍රයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ වී/සහල්, බඩ ඉරිඟු, අර්තාපල්, බෝංචි, කෙසෙල්, කුකුළු මස් සහ මුහුදු මාළු පාරිභෝගිකයා වෙත එන ගමන් මාර්ග විශ්ලේෂණයේදී මෙම තොරතුරු අනාවරණය විය.
උදාහරණයක් ලෙස රජරට ප්‍රදේශයේ තිබෙන මහා පරිමාණ සහල් මෝල් වෙත දකුණු පළාතෙන් වී අස්වනු රැගෙන යන්නේ නම්, ඒවා සහල් බවට පත්කර කොළඹ පාරිභෝගිකයා වෙත පැමිණීමේ දී කිලෝ මීටර 400 කට වැඩි දුරක් ගමන් කරනු ඇත. මෙය හැම විටම සිදු නොවුණත්, ආහාරයක් මෙපමණක් දුර ගමන් කිරීමේදී ඒ සඳහා වන ප්‍රවාහන වියදම්, සේවක වැටුප් මෙන්ම ආහාර හානිවිමද වැඩි විය හැක. මෙම අමතර පිරිවැය අවසාන සහල් මිල තීරණය කිරීමට සැලකිය යුතු අයුරින් බලපානු ඇත. මෙම පර් යේෂණය තවත් ආහාර ද්‍රව්‍ය හයක්, එනම් බඩ ඉරිඟු, අර්තාපල්, බෝංචි, කෙසෙල් කුකුළු මස් සහ මුහුදු මාළු සම්බන්ධයෙන්ද සිදු කළ අතර එම වාර්තාව සහ නිර්දේශ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයාට මෙම වසරේ මාර්තු මස බාරදී ඇත.
වී සහල් බවට පත්කිරීමේ අනුපාතය වී වර්ගය සහ ඒ සඳහා යොදා ගන්නා යන්ත්‍රවල කාර්යක්ෂමතාව මත රඳා පවතිමින් සියයට 55-63 පමණ දක්වා වෙනස් විය හැක. උදාහරණයක් ලෙස ගත්කල කීරී සම්බාවල ක්ෂේත්‍ර අස්වැන්න අඩු මෙන්ම එය සහල් බවට පත් කිරීමේ අනුපාතයද අඩුවේ. මෙම තත්වයදවී සහ සහල් මිලට බලපායි.
බිත්තර නිෂ්පාදකයාගේ මුළු පිරිවැයෙන් සියයට 75-85 ක් පමණ සත්ව ආහාර සඳහා වැය වන අතර ඒවායේ සංයුතියෙන් ශක්ති ජනක සංඝටකයක් ලෙස සියයට 60 පමණ බඩ ඉරිඟු ඇතුළත් වේ. රටේ බඩ ඉරිඟු වගාවෙන් සියයට 83 පමණ උපයෝගී කරගන්නේ සත්ව ආහාර සඳහාය. බඩ ඉරිඟු නිෂ්පාදන ඉලක්ක සපුරා ලීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගන්නා උත්සාහය ප්‍රායෝගිකව සාර්ථක නොවීම රටේ සත්ව ආහාරවල අවශ්‍යතාව අනුව දේශීයව බඩ ඉරිඟු සැපයීමට බාධකයක් වී ඇත. ගොවීන්ගේ වගා තත්ව යටතේ බඩ ඉරිඟුවල ඵලදායිතාව සහ සහ සමස්ත නිෂ්පාදනය මෙන්ම ගුණාත්මය අඩු වීම මෙයට බලපාන ප්‍රධාන හේතු වේ. සත්ව ආහාර සහ අධි පෝෂණ මිනිස් ආහාර (ත්‍රිපෝෂ වැනි) සඳහා මුලික අමු ද්‍රව්‍යයක් වන මෙම බෝගය පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යංශය වැඩි අවධානයකින් කටයුතු නොකළහොත්, බඩ ඉරිඟු ගොවියා රැක ගැනීම මෙන්ම රටේ වැඩෙන පරපුරේ ප්‍රෝටීන් අවශ්‍යතාව සැපිරීම ද සිහිනයක් වනු ඇත. ගිය නුවණ ඇතුන් ලවාත් ඇද්දවිය නොහැක.
බඩ ඉරිඟු ආනයනයේදී කිරීමේදී සිදුවන බදු ගනුදෙනු ආශ්‍රිත අක්‍රමිකතාද නිතරම සාකච්ඡාවට භාජන වේ. කුමන බලධාරීන් ගේ මැදිහත්වීම්, අතපෙවීම් මේ සඳහා ක්‍රියාත්මක වෙනවාදැයි මහජනතාවට දැනගැනීමට ඇති ඉඩකඩ අල්ප වුවත්, කර්මාන්තයේ නියැළෙන්නන්ට එය රහසක් නොවන බව නොරහසකි. මිට අමතරව සමහර ව්‍යාපාරිකයන් බිත්තර වැඩිපුර ගබඩා කර ගැනීමද බිත්තර හිඟවීම මෙන්ම බිත්තර මිල වැඩි වීමට ද ප්‍රධාන හේතුවක් බව පැවසේ. එය එසේනම්, කර්මාන්තයේ උන්නතිය සඳහා මේ සම්බන්ධව සොයා බැලීම අපහසු කාර්යයක් නොවෙනු ඇත. එසේ නොවුවහොත්, මේ සියල්ලේම ප්‍රතිඵලය වන්නේ ඉහත දැක්වූ ආකාරයට බිත්තරයක මිල සාමාන්‍ය පාරිභෝගිකයාට දරාගත නොහැකි මිලකට ඉහළ යාමය.
මිට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකා කෘෂිකර්ම ආයතනය සංවිධානය කළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරියන් ඇතුළුව උසස් නිලධාරින් මෙන්ම විශ්විද්‍යාල සහ පෞද්ගලික අංශය සහභාගී වූ සමුළුවකදී අනාවරණය වුයේ, දැනට මෙන්ම 2027 දක්වා කාලය තුළදී ද කුකුළු කර්මාන්තය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු දේශීයව නිෂ්පාදනය කිරීම පවතින තත්ව යටතේ අපහසු වන බව ය. පසුගිය අගෝස්තු මස දත්ත අනුව දේශීය බඩ ඉරිඟු නිෂ්පාදන වියදම කිලෝවකට රුපියල් 117 වන විට, ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා ගොඩබාන බඩ ඉරිඟු කිලෝවක් රුපියල් 116 ක් පමණ වේ. එමෙන්ම ගොවියා ට ලාභයක් ලැබීමට බඩ ඉරිඟු කිලෝවකට අවමව රුපියල් 140 ක් අවශ්‍යව අනාවරණය වූවද, අගෝස්තු මාසයේ තිබූ මිලගණන්වලට අනුව බිත්තරයක් රුපියල් 40-42 අතර මිලට ලබාදීමට නම් සත්ත්ව ආහාර නිෂ්පාදකයාට බඩ ඉරිඟු ඇට කිලෝවක් රුපියල් 125-130 ක් අතර මිලකට ලැබිය යුතු බව පැවසුණි. එනමුදු එම කාලය තුළ දේශීය වෙළඳපොළෙහි බඩ ඉරිඟු ඇට කිලෝවක මිල රුපියල් 160-180 අතර පැවතුණි. අද වනවිට මේ මිල ගණන් අදාළ නොවුණද බඩ ඉරිඟු මිල ඉහළ යනවිට බිත්තර මිල අඩු කළ නොහැකි බව පැහැදිලිය. “යා දෙක නොරත රත සමග පෑසීමෙක් නැත”.
ශ්‍රී ලංකාව ආර්ථික අවපාතයට මුහුණදුන් තැන පටන් ඉන්ධන, අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් සහ යන්ත්‍රෝපකරණ, සහ සේවක වැටුප් වැඩි වීම වැනි කාරණා සමස්ත නිෂ්පාදන පිරිවැය කෙරෙහි අනිවාර්යයෙන්ම බලපා ඇත. එම නිසා වී සහ සහල් මිල මෙන් ම බඩ ඉරිඟු මිල තීරණය කිරීමේදී එය වසරකට දෙවරක්වත්, උදාහරණයක් ලෙස වගා කන්නයකට අනුරූපව, කළ යුතු බව මගේ හැඟීමයි. මේ සඳහා අදාළ පාර්ශ්වකරුවන් සමග වෙන් ව සාකච්ඡා නොකොට සියලු නියෝජිතයන් එක සාකච්ඡා මේසයක් වෙත ගෙන ඒම වැදගත් වේ.
මීට අමතරව පාරිභෝගිකයාගේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව වැඩිවීමෙනුත් මෙම ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙන්නට පුළුවනි. එහෙත් ඒ සඳහා සමස්ත ආර්ථිකයේ දියුණුවක් අවශ්‍ය වන්නේය. එවන් තත්වයත් වසරකින් හෝ දෙකකින් ළඟා කරගැනීම අපහසු කාරණයකි.
කළ යුත්තේ කුමක්ද?
ගොවියාට දැනට වඩා අඩු වියදමකින් මිට වඩා වැඩි අස්වැන්නක් නෙළා ගත හැකිනම්, සහල් සහ බඩ ඉරිඟු ප්‍රශ්නයට යම් විසඳුමක් ලබා ගැනීමට හැකිය. ඒ සඳහා තාක්ෂණය තිබුණත් ඒවා ප්‍රායෝගිකව යොදාගැනීමට වැඩි ආයෝජනයක් අවශ්‍යය. රසායනික පොහොර සහ පලිබෝධනාශක අවශ්‍යතාව සම්පුර්ණයෙන්ම දේශීයව නිපදවා ගන්නවා යයි සිතුවත්, එයට යන ආයෝජනයේ ප්‍රතිලාභ එම ආයෝජකයන්ට ලැබිය යුතු බැවින් යෙදවුම්වල ක්ෂණික මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැක. එහෙත් යම් පමණකට හෝ එම කෘෂිකාර්මික යෙදවුම් රට තුළ නිපදවා ගත යුතුය.
බඩ ඉරිඟුවලට ආදේශකයක් ලෙස සත්ව ආහාර නිෂ්පාදනයට සහල් භාවිතය ප්‍රචලිත වී තිබුණත්, 2020 ජුලි 23 දින අංක. 2185/67 දරන වෙළඳ අමාත්‍යංශය නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සත්ව ආහාරවලට සහල් භාවිතය තහනම් කිරීමෙන් එම විකල්පයද නෛතිකව භාවිතා කිරීමේ ගැටලු මතුවී ඇත. රටේ සාමාන්‍ය පරිභෝජනයට බාධා නොවන අයුරින් සත්ව ආහාර සඳහා සහල් භාවිත කළ බව පැහැදිලිය. එනමුදු මෙම ගැසට් නිවේදනය අවලංගු කිරීමෙන් ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා ලීම සඳහා බිත්තර නිෂ්පාදනයට යම් හෝ සහනයක් ලැබෙනු ඇත.
වී සහල් බවට පත් කිරීමේ තාක්ෂණය තවත් වැඩි දියුණු කරගන්නට හැකිවුණොත් පාරිභෝගිකයාට යම් සහනයක් අනාගතයේදී ලැබෙනු ඇත. ගුණාත්මයෙන් උසස් මහා පරිමාණයේ සහල් මෝල් රටේ සැම දිස්ත්‍රික්කයකම පිහිටුවීම මෙයට විසඳුම නොවුණ ද, තෝරා ගත් ස්ථානවල දැනට පවතින සහල් සැකසුම් ව්‍යාපාරවලට හානි නොවන අයුරින්, රටේ වී නිෂ්පාදන ධාරිතාවට අනුරුපව නවීන තාක්ෂණයෙන් යුත් සැකසුම් මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම හෝ දැනට ක්‍රියාත්මක වන සහල් මෝල්වල තත්වය දියුණු කිරීමෙන් වෙළඳපොළ සහල් මිල ද මීට වඩා ස්ථායිව පවත්වා ගැනීමට හැකි වනු ඇත.එම යන්ත්‍රෝපකරණ ලබා ගැනීමට, විශේෂයෙන්ම කුඩා සහ මධ්‍යම පරිමාණයේ සහල් සැකසුම්කරුවන් සතු තාක්ෂණය තවදුරටත් වැඩි දියුණු කිරීමට, වැඩපිළිවෙළක් සහ සහන පොලි අනුපාත යටතේ වන ණය පහසුකමක් හෝ ඒ සඳහා සඳහා ආයෝජකයන් දිරි ගැන්වීමක් කළ යුතුවේ. මෙමගින් ආහාර පාරිභෝගිකයා දක්වා ගමන් කරන දුර අඩු වීමෙන්ද පාරිභෝගිකයා ලබා ගන්නා ගුණාත්මයෙන් යුත් ආහාරවලට මිල සහනයක් ද ලැබෙනු ඇත.
2024/2025 මහ කන්නයේ වගාව ආරම්භ කිරීමට ආසන්න මෙවන් මොහොතක ආහාර පද්ධතියේ සියලුම ක්‍රියාකාරීන් වන මේ යෙදවුම් සපයන්නා, වී සහ බඩ ඉරිඟු මෙන්ම කුකුළු මස්/බිත්තර නිෂ්පාදකයා, සහල් සහ සත්ව ආහාර නිෂ්පාදකයා, සහ පාරිභෝගිකයා ගෙවන මිල තීරණයට බලපාන සමස්ත සැපයුම් ජාලය මෙම සහල් සහ බිත්තර මිල තීරණය කරන සාකච්ඡාවට සම්බන්ධ කර ගත යුතුය. කෙටි කාලීනව ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය මෙය යි. ආහාර පද්ධතියේ සිටින කිසිදු ක්‍රියාකාරිකයකු හෝ මට්ටු කිරිමට තීරණ කිරීමෙන් මෙම ගැටලුවට තිරසර විසඳුම් සොයා ගැනීමට හැකි යයි මම නොසිතමි. කන්නය ආරම්භයේ මෙන් ම අවසානයේ දීත් මෙම සාකච්ඡාවෙන් තීරණ ගැනීමෙන්, ආහාර පද්ධතියේ සිටින සැම දෙනාටම තම ජීවිකාව කරගැනීමට හැකි ලාබයක් ලැබෙන පරිදි, පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් සහ බිත්තර මිලදී ගැනීමට හැකි වේවි.
(***)