ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අදාළ තම නවතම වාර්තාව ඉදිරිපත් කළේ 2023 අප්‍රේල් මාසයේදීය. දරිද්‍රතාවය සහ සමානතාවය පිළිබඳ සටහන ලෙස නම් කර තිබෙන එහි 2019 සිට ලංකාවේ ආර්ථිකයෙහි සිදුවී තිබෙන වෙනස්කම් සහ දුප්පත්කම සේම ආදායම් විසමතාමය පිළිබඳව සාකච්ඡා කරයි.
2019 දී සියයට 11.3 ක්ව තිබූ ලංකාවේ දිළිඳුකම 2023 වන විට සියයට 25 දක්වා වැඩි වී තිබෙන බව ඒ වාර්තාවේ සඳහන් වෙයි. එහි සඳහන් ආකාරයට 2019 දී එය සියයට 11.3 කි. 2020 දී 12.7 කි. 2021 දී 13.1 කි. 2023 දී එය සියයට 25 ක් වනු ඇතැයි පුරෝකතනය කරයි. ඒ අනුව 2023 දී ලංකාවේ දුප්පතුන් සංඛ්‍යාව දෙගුණ වෙයි.
දුප්පත්කම වැඩිවීම නිසා ජනතාව පරිභෝජනය අඩුකරයි. පරිභෝජනය අඩුකරයි. පරිභෝජනය අඩුකිරීම නිසා මන්දපෝෂණය ඉහළ යයි.
2021 දී සියයට 7.4 ක් වූ ලංකාවේ මන්දපෝෂණය 2022දී 9.4කට වැඩි වූ බව ලෝක බැංකුව හෙළිකරයි. එපමණක් නොව ඒත් සමගම ලංකාවේ ආදායම් අසමානතාවත් ඉහළ ගොසිනි.
ලංකාවේ සමස්ත ආදායම් අසමානතාව 2019 දී සියයට 37.7 කි. 2022 වනවිට එය සියයට 39.8 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආදායම් විසමතාව එසේ ඉහළ නොයාම සාමාන්‍ය ස්වභාවයයි. එහෙත් ලංකාවේ වී තිබෙන්නේ අස්වාභාවික දේවල්ය. දුප්පත්කම ඉහළ යාම මගින් ආදායම් අසමානතාව 2023 දී තවත් ඉහළ යයි.
ලංකාවේ මුළු දළ දේශීය නිෂ්පාදිතය 2021 දී ඇමෙරිකන් ඩොලර් බිලියන 88.5 කි. 2022 දි එය ඩොලර් බිලියන 77.1 ක් දක්වා අඩුවී තිබේ. ඉන් අනාවරණය වන්නේ අවුරුද්දකට බිලියන 11.4 කින් ලංකාවේ නිෂ්පාදනය අඩු වී තිබෙන බවය. ඒ රුපියල් බිලියනවලින් නොව ඇමෙරිකන් ඩොලර් බිලියනවලිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙන්නට සහ ගන්නට යන්නේ අවුරුදු හතරකටම ඇමෙරිකන් ඩොලර් බිලියන 2.9 කි. එහෙත් රටේ නිෂ්පාදනයෙන් අවුරුද්දකදී අපට අහිමි වී තිබෙන ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 11.4 කි. රටේ ආර්ථිකයේ වී තිබෙන කඩා වැටීමේ තරම එමගින් අනාවරණය කරගත හැකිය.
2022 දී ලංකා ආර්ථිකයේ කඩා වැටීම සෘණ 7.8 කි. එසේ වූයේ නිෂ්පාදනය කඩා වැටීම නිසාය. ලංකාවේ ඒක පුද්ගල ආදායම 2021 දී ඇමෙරිකන් ඩොලර් 3,997 කි. 2022 දී එය 3,474 කි. රුපියල්වලින් නම් එය 12,75,043 සිට 11,08,206 ක් දක්වා පහත බැසීමකි. රටේ ආර්ථිකය පහත බසිද්දී ජනතාවගේ ආර්ථිකය කඩා වැටෙන හැටි ඉන් අනාවරණය වෙයි. ආණ්ඩුව ණය රැගෙන ගෙවා ගැනීමට නොහැකිව රටේ සමස්ත ආර්ථිකයම දැන් හැකිළෙමින් පවතියි. ඒ හැකිළීම වේගවත් වන්නේ අර්බුදයෙන් ගොඩ ඒමට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග නිසාය.
2022 දී රටේ ආර්ථිකයේ වූ වර්ධනය සෘණ 7.8 කි. කෘෂිකාර්මික අංශයේ වර්ධනය සෘණ 4.6 කි. කර්මාන්ත අංශයේ වර්ධනය සෘණ 16 කි. සේවා අංශයේ වර්ධනය සෘණ 02 කි. ඒ තොරතුරුවලින් අනාවරණය වන්නේ ආර්ථිකයේ සෑම අංශයක්ම බිඳ වැටී තිබෙන බවය. කර්මාන්ත අංශයේ කඩා වැටීම නිසා රටේ අපනයන පහළ යයි. නිෂ්පාදනය අඩුවීමෙන් අනාවරණය වන්නේ රැකියා අහිමි වන බවය. රැකියා අහිමිවීමෙන් ජනතාවගේ ආදායම් මාර්ග අහිමි වෙයි. එමගින් පරිභෝජනය අඩුවෙයි. පරිභෝජනය අඩුකිරීමට සිදුවුවත් අත්‍යවශ්‍ය දේවල් පරිභෝජනය කරන්නට සිදුවෙයි. ඒ දිවි පැවැත්ම සඳහාය. ඒ නිසා මෙතෙක් කල් ඉතිරි කරගත් දෙයක් යොදාගෙන හෝ තිබෙන දෙයක් උගස්කර හෝ විකුණා අත්‍යවශ්‍ය පරිභෝජන කිරීමට ජනතාව පෙළඹෙයි.
සියල්ල අවසානයේ ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් බවට පත් වෙයි. උදේට කෑම කන මනුස්සයාට දවල්ට කන්නට ලැබේදැයි අවිනිශ්චිතය. ආහාරයට ගන්නා ප්‍රමාණය සහ වේල් ගණන අඩුවීමෙන් එය අනාවරණය වෙයි. එහි ප්‍රතිඵලය මන්දපෝෂණයයි. ඊට හේතුව ආර්ථික අර්බුදය නිසා ආදායම් අඩුවීම සහ රැකියා අහිමිවීමය. මේ පසුබිම මත අවිනිශ්චිත ආර්ථික හා දේශපාලන වාතාවරණයක් රටේ නිර්මාණය වී තිබෙන බව ලෝක බැංකුවේ තක්සේරුවයි. ඒ නිසා ඉදිරියේදී හෙට කුමක්වේදැයි පුරෝකතනය කිරීමද දුෂ්කරය. රට නිවැරැදි දිසාවකට ගමන් නොකරන බව ලෝක බැංකු වාර්තාව නොකියා කියයි.
ආහාර සුරක්ෂිතතාව බිඳ වැටීම, දරිද්‍රතාව ඉහළ යාම, මන්දපෝෂණය වර්ධනය වීම වහාම නතර කරගත යුතුය. මක්නිසාද යත් රට තවතවත් ප්‍රපාතයට තල්ලු වීම නවතා දැමිය යුතුම නිසාය. ඛේදවාචකය වන්නේ මේ අර්බුදවලින් මැරි මැරී ජීවත් වන්නේ දුප්පතුන් වීමය. ඒ දුප්පතුන් සංඛ්‍යාව මේ අවුරුද්ද අවසානයේදී ලක්ෂ 55 ක් පමණ ෙවයි. නැතහොත් රටේ සමස්ත ජනගහනයෙන් හතරෙන් එකක්ම දුප්පතුන් ගොඩට ඇද වැටෙයි.
මේ අර්බුදයෙන් රට හා ජනතාව ගලවා ගැනීමට ආණ්ඩුව කළයුත්තේ කුමක්ද? පළමුව ආහාර සුරක්ෂිත බව නිර්මාණය කළ යුතුය. දැන් එය කළනොහැකිව තිබෙන්නේ ආදායම අඩුවීම, භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම සහ නිෂ්පාදනය කඩා වැටීම නිසාය. රජය අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිලවත් පාලනය කරන බවක් නොපෙනෙයි. කළ යුතු දෙය නොකරන ආණ්ඩුව අප්‍රේල් මාසයේදී උද්ධමන අනුපාතය අඩුවී ඇතැයි හරුප කියයි. ඉලක්කමක් ලෙස උද්ධමනය අඩුවී තිබෙන බව අසත්‍යයක් නොවේ.
සියයට 80 සිට 100 අතර තිබූ උද්ධමන අනුපාතය අප්‍රේල් මාසයේදී සියයට 35 කට අඩුවී ඇතැයි ආණ්ඩුව කියයි. සියයට 35 ක් කියන්නේ ඉහළ උද්ධමනයකි. ඉන් අනාවරණය වන්නේ පෙර රුපියල් 100 ක් වටිනා භාණ්ඩයක මිල දැන් රුපියල් 135 ක් වන බවය. රැකියා අහිමි වි හා ආදායම් අඩු වී සිටින ජනතාව ඒ මිල දරාගන්නේ කොහොමද?
ජනතාව මුහුණ දෙන සැබෑ උද්ධමනය සියයට 35 ක් නොවේ. අප සලකා බැලිය යුත්තේ අර්බුදයට පෙර උද්ධමනය සහ පසුව උද්ගත වූ උද්ධමනයයි. අර්බුදයට පෙර තිබූ තත්ත්වයට වඩා වර්තමාන උද්ධමනය සියයට 150 කට වැඩිය. 2020 සාපේක්ෂව භාණ්ඩ මිල සියයට 150 කින් පමණ ඉහළ ගොසිනි. ඒ කාලයේදී ජනතාවගේ ආදායම් අඩු වූවා මිස වැඩි වුණේ නැත. ලක්ෂ හතකට වැඩි පිරිසක් තිබූ ආදායමක් අහිමිව සිටිති. උද්ධමනය ගැන ආණ්ඩුව හරුප කියන බව මා කියන්නේ ඒ හේතු සාධක සියල්ල මතය.
කිසිම දෙයක් හුදෙකලාව ගෙන නිගමනවලට පැමිණිය නොහැකිය. උද්ධමනය අඩුකිරීමට නම් භාණ්ඩ මිල අඩු කළ යුතුය. එය කළ හැක්කේ ආණ්ඩුවටය. ඒ සඳහා භාණ්ඩ මත පනවා තිබෙන බදු අඩු කළ යුතුය. එහෙත් ආණ්ඩුව කළේ සියයට 8 ක්ව තිබූ වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ නැංවීමය. වැට් බද්ද වැඩි කිරීම භාණ්ඩ මිල ඉහළ යාමට හේතු වෙයි. එය භාණ්ඩ මත පැටවෙන්නේ පනවන ප්‍රමාණයට වඩා ඉහළ අගයකිනි.
අනෙක් පැත්තෙන් රැකියා ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව කිසිවක් නොකරයි. දැනට ඉතිරි වී තිබෙන රැකියා ටිකවත් බේරාගත යුතුය. කර්මාන්ත අංශයේ වර්ධනය සියයට 16 කින් පහත වැටීමෙන් අනාවරණය වන්නේ රැකියා සෑහෙන ප්‍රමාණයක් අහිමි වී තිබෙන බවය. එසේම කර්මාන්ත ශාලා යම් ප්‍රමාණයක් වැසී තිබෙන බව සහ නිෂ්පාදනය අඩුකර තිබෙන බවය.
එහෙත් විය යුත්තේ නිෂ්පාදන පවත්වාගෙන යාමය. හැකිනම් වර්ධනය කිරීමය. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බිඳවැටීම සියයට 20 කට වඩා ඉහළය. අමුද්‍රව්‍ය මිල ඉහළයාම ඊට බලපෑ ප්‍රබල හේතුවයි. ඉදිකිරීම් සඳහා යන පිරිවැය කිසිවකුට දරාගත නොහැකිය. ඒ නිසා පිරිවැය අඩුකිරීමට අවශ්‍ය පියවර වහාම ගත යුතුය. එය කළ හැක්කේ ආණ්ඩුවටය.
රටේ කිසිම ආයෝජනයක් සිදුනොවීම ද බරපතළ කාරණයකි. දෙස් විදෙස් කිසිම ආයෝජනයක් දැන් රටෙහි සිදුනොවෙයි. අලුත් ආයෝජන නොවන තැන නිෂ්පාදනයක් ද සිදුනොවෙයි. මේ තත්ත්වය මත ආණ්ඩුව. දිගින් දිගටම කරගෙන යන්නේ ආර්ථිකය හැකිළීමය. එය කරන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති මගිනි. ආණ්ඩුව දැන් ක්‍රියාත්මක කරන්නේ වැරදි මූල්‍ය ප්‍රතිපත්තියකි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ විගස රජයේ බදු ආදායම අඩුකර ගෙන දිගින් දිගටම සල්ලි අච්චු ගැසුවේය.
බදු ආදායම අඩු නිසාම වැඩියෙන් මුදල් මුද්‍රණය කරන්නට ද සිදුවිය. ඒ නිසා වෙළෙඳපොළට පැමිණි මුදල් ප්‍රමාණය ද ඉතා විශාලය. මුදල් සැපයුම වැඩි නිසා උද්ධමනය ද වැඩි විය. අප දැන් මේ අත්දකින්නේ ඒ පාලනයේ විපාකය. ඒ ප්‍රතිවිපාක අනෙක් පැත්තට හැරවීමට මහ බැංකුව දැන් ඉතාමත් දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි.
පොලී අනුපාත විශාල වශයෙන් ඉහළ දමා ණය ගැනීමට හා මුදල් එළියට එන ප්‍රමාණය දැඩිලෙස හකුළුවා තිබේ. ඒ නිසා දැන් කාටවත් බැංකු ණයක් ගත නොහැකිය. බැංකුවලින් ණය දෙන්නේත් නැති අතර ඒ ඉහළ පොලී අනුපාත මත ණය ගෙන ආයෝජනය කළ නොහැකිය. ඒ ආයෝජනවලින් ලාබ ලැබිය නොහැකි නිසාය.
එබැවින් ව්‍යවසායකයෝ නිහඬව සිටිති. ඒ නිසා ව්‍යාපාර නොකරති. ඔවුනට ආදායම්ද නැත. රටට සේවයක් ද නොවෙයි. එය එසේ වන්නේ මහ බැංකුව අනුගමනය කරන දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය නිසාය. එය යම් මට්ටමකින් ලිහිල් කළ යුතුමය. පරිභෝජනය සඳහා ණය නොදී ආයෝජන සඳහා අඩු පොලියකට ණය දිය යුතුය. මගේ යෝජනාව සියයට 15 ක පමණ පොලියකට ආයෝජන සඳහා ණය දිය යුතු බවය.
එහෙත් ආණ්ඩුව හා මහ බැංකුව කරන්නේ වෙනත් දෙයකි. උද්ධමනය අඩු කරන්නටය කියමින් ඉල්ලුම අඩුකිරීමට පියවර ගෙන තිබේ. ඉල්ලුම අඩුකිරීම සඳහා ණය ගැනීම නවත්වයි. ණය ගැනීම නැවැත්වීම සඳහා පොලී අනුපාත අසීමිතව ඉහළ නංවයි. ආණ්ඩුවේ වර්තමාන ප්‍රතිපත්තිය එයයි. ඒ ප්‍රතිපත්තිය නිසා එක පැත්තකින් භාණ්ඩවලට තිබෙන ඉල්ලුම අඩුවෙයි. ඉල්ලුම අඩුනම් නිෂ්පාදනය කළ නොහැකිය. හේතුව භාණ්ඩ අලෙවි නොවීමය. එවිට නිෂ්පාදනය කපා හරියි.
එසේ කළ විට සේවකයන් ඉවත් කිරීමට සිදුවෙයි. අමුද්‍රව්‍ය මිලදී ගැනීම අඩුකරයි. එමගින් ආර්ථිකය හැකිළෙයි. එය ඉබේ වන්නක් නොවේ. ආණ්ඩුවේ හා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තියේ මහිමයෙන් සිදුවන්නකි. මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුත්තේ යම්කිසි නම්‍යතාවයක් සහිතවය. පරිභෝජනයට ණය ගැනීම අධෛර්යවත් කළ යුතු බව සත්‍යයකි. එහෙත් සියදිවි නසා නොගෙන දිවි පැවැත්ම සඳහා ණයක් ගැනීමට පහසුකමක් තිබිය යුතුය. එසේම ආයෝජනයට ද අඩු පොලියකට ණය දිය යුතුය.
වගාවක ආයෝජනයට අඩු පොලියකට ණයක් දුන්නොත් ආයෝජකයා ඒ ඉඩමේ වගා කරයි. ඒ සඳහා ශ්‍රමය මිලදී ගනියි. යන්ත්‍ර සූත්‍ර මිලදී ගනියි. බීජ, පැළ සේම තෙල් හා පොහොර ද මිලදී ගනියි. එමගින් ආර්ථික කටයුතු රැසක් සිදුවෙයි. එහෙත් ඒ දැක්ම ආණ්ඩුවට හා මහ බැංකුවට නැත. ඔවුන් කරපින්නාගෙන යන්නේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම හකුළුවන ප්‍රතිපත්තියකි. වැඩපිළිවෙළකි. නිෂ්පාදනය දිරිගන්වන්නේ නැතිව නිෂ්පාදනය ඉහළ යන්නේ කොහොමද? දැනට තිබෙන රැකියා ටිකවත් බේරාගන්නේ කොහොමද? ජනතාවගේ ආදායම් මාර්ග රැකගන්නේ කොහොමද? දුප්පත්කම හා මන්දපෝෂණය ඉහළ යාම වළක්වන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට පිළිතුරු නැති ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත් ගෙනැවිත් උගතුන් බුද්ධිමතුන් හා වෘත්තීය සමිති මර්දනයට වලිකයි. ආණ්ඩුකරණය කියන්නේ එයට ද?
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම
සාකච්ඡා සටහන ගුණසිංහ හේරත්
(***)