දුප්පතා පිට පැටවෙන බදුබර


නවසිය පනස් හයේදී ලංකාව ආදර්ශයට ගෙන දියුණුව ආරම්භ කළ සිංගප්පූරුවේ ආදායම් බදු ආදායම සමස්ත බදු ආදායමෙන් සියයට 72කි. එරට භාණ්ඩ හා සේවා බදු ආදායම සමස්ත බදු ආදායමෙන් සියයට 28කි. එහෙත් දියුණුව සඳහා සිංගප්පූරුව ආදර්ශයට ගත් ලංකාවේ ආදායම් බදු ආදායම සියයට 30.5කි. භාණ්ඩ හා සේවා බදු ආදායම සියයට 69.5කි. මේ එහි ප්‍රතිවිපාක පිළිබඳ සාකච්ඡා කෙරෙන ලිපියකි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2019 දත්ත අනුව රටේ ජනගහනයෙන් ඉහළම ආදායම් ලබන සියයට විස්සට ඇතුළත් එක් පුද්ගලයකුගේ සාමාන්‍ය (Average) මාසික ආදායම රුපියල් එක්ලක්ෂ අනූහය දහස් දෙසීය අසූ නවයකි. (1,96,289) රටේ නීතිය අනුව රුපියල් ලක්ෂයකට වැඩි මාසික ආදායමක් සහිත පුද්ගලයන් ආදායම් බදු ගෙවිය යුතුය. ඉහළම ආදායම් ලබන ඒ සියයට 20ට ඇතුළත් පිරිස පමණක් ලක්ෂ 45කි. එහෙත් ආදායම් බදු ගෙවීම සඳහා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටින්නේ ලක්ෂ 15ක් පමණකි. මාසයකට ආදායම රුපියල් 1,96,289ක් වන්නේ ඉහළම ආදායම් ලබන සියයට 20ට ඇතුළත් ජන පිරිස නම් ඒ සියයට 20ට වඩා වැඩි පිරිසක් බදු ගෙවිය යුතු සීමාවේ සිටින බව අනාවරණය වෙයි. හේතුව ආදායම් බදු ගෙවිය යුත්තේ මාසයක ආදායම රුපියල් ලක්ෂයක් ඉක්මවන පුද්ගලයන් වන බැවිනි. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත මත පදනම් වෙමින් ඒ පිරිස කොපමණ විය හැකි දැයි බලමු.

එළඹෙන 2024 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය ලේඛනය අනුව මේ 2023 දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය හෙවත් රටේ මුළු ආදායම රුපියල් බිලියන 28,228කි. ඉන් සියයට 65ක් ඉහළම ආදායම් ලබන සියයට 40 අතර බෙදී යන බවට උපකල්පනය කරමු. රුපියල් බිලියන 28,228කින් සියයට 65ක් කියන්නේ රුපියල් බිලියන 18,348කි. මිලියනවලින් නම් (18,348 x 1000) 1,83,48,000කි. එනම් මිලියන එක්කෝටි අසූතුන් ලක්ෂ හතළින් අට දහසකි. රටේ ජනගහනය මිලියන 22කි. ලක්ෂවලින් නම් 220කි. ඉන් සියයට 40ක් කියන්නේ මිලියන 8.8කි. ලක්ෂවලින් නම් 88කි. ඒ ලක්ෂ 88 අතර සිටින සෑම පුද්ගලයකුගේම වාර්ෂික ආදායම රුපියල් 20,85,000කි. (18,348,000 : 8.8) ඒ අනුව ඉහළම ආදායම් ලබන සියයට 40ට අයත් එක පුද්ගලයකුගේ මාසයක ආදායම (20,85,000 : 12) රුපියල් 1,73,750කි. ඒ ගණනය කිරීම අනුව මාසයකට රුපියල් 1,73,750ක ආදායමක් ලබන පිරිස ලක්ෂ 88කි. තම මාසික ආදායම රුපියල් ලක්ෂයකට වැඩි නිසා ඔවුහු සියල්ලෝ ආදායම් බදු ගෙවිය යුත්තෝය. එහෙත් ආදායම් බදු ගෙවීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටින්නේ ලක්ෂ 88ක් නොව ලක්ෂ 15කි. ලක්ෂ 73ක්ම ආදායම් බදු නොගෙවති. ඒ ලක්ෂ 88 මාසයකට රුපියල් 1,73,750ක ආදායමක් ලබන්නෝය. ආදායම් බදු ගෙවිය යුත්තේ මාසයකට ලක්ෂයකට වැඩි ආදායමක් ලබන්නන් වන හෙයින් අප මේ කියන ලක්ෂය සහ එක් ලක්ෂ හැත්තෑ තුන්දහස් හත්සිය පනහ (1,00,000 සිට 1,73,750) අතර ආදායම් ලබන පිරිස ඒ ලක්ෂ 88 අතරට ඇතුළත් නොවෙයි. ඒ පිරිස ද ලක්ෂ ගණනක් වනු නියතය. ඒ අනුව රටේ ආදායමෙන් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 75ක් පමණම ඉහළ ආදායම් ලබන සියයට හැටකට වැඩි පිරි අතර බෙදී යනු ඇතැයි පහසුවෙන් උපකල්පනය කළ හැකිය. ඒ රටේ ජාතික ධනය රටේ ජනතාව අතර බෙදී යන අවලස්සන ස්වභාවයයි. නැතහොත් ආදායම් ව්‍යාප්ති විසමතාව හෙවත් ඇති නැති පරතරය සංවර්ධනය වී තිබෙන තරමය.

ඒ තොරතුරුවලින් අනාවරණය වන අනෙක් කාරණය වන්නේ රටේ නීතිය අනුව ආදායම් බදු ගෙවිය යුතු ජනතාවගෙන් සියයට 50කට වැඩි පිරිසක් ආදායම් බදු නොගෙවන බවය. ආදායම් බදු ගෙවීම සඳහා දැනට ලියාපදිංචි සිටින්නේ රටේ ජනගහනයෙන් සියයට හතක් පමණකි. ආදායම් බදු ගෙවිය යුතු තරම් ආදායමක් උපයන මිලියන ගණනකින් සත පහකවත් බද්දක් අය නොකරන ආණ්ඩු කරන්නෝ බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටින ලක්ෂ 15 ට ඇතුළත් ඇතැම් අයගේ බෙල්ල මිරිකා ඔවුන්ගේ ආදායමෙන් සියයට 36 ක් බදු ලෙස  පැහැර ගනිති. ඒ සියයට 36 බද්දට යටත් වන්නෝ වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරි, බැංකු, විශ්ව විද්‍යාල කථිකාචාර්ය යනාදී වෘත්තිකයෝය. තම මාසික ආදායම එසේ බදු ලෙස කොල්ල කෑමට අකැමැත්තෝ රට හැර යති. රට සහ දරු පවුල්වලට බැඳීම් ඇති නිසා රට හැර යා නොහැක්කෝ අකැමැත්තෙන් සිය වැටුප් කොල්ලය ඉවසා සිටිති. බදු අය කරගත හැකි ලක්ෂ 88 කට වැඩි පිරිසගෙන් බදු අය කරගන්නේ නම් ඒ වෘත්තිකයන් මත සියයට 36 ක බද්දක් පැටවීමට සිදුනොවෙයි. එසේම රටේ සමස්ත ජනතාව මත සියයට 18 ක නොව සියයට 15 ක වැට් බද්දක්වත් පැනවීමට සිදු නොවෙයි. කළයුතු දෙය නොකරන ප්‍රතිපත්ති සම්පාදක නිලබලධාරීන් තම අසමත්කම නමැති හෙලුව වසාගන්නේ සමස්ත රටවැසියන් මත ඉසිලිය නොහැකි තරම් විශාල බදු පනවමිනි. එසේම බදු දැලට හසුවී සිටින වෘත්තිකයන් නොමරා මරමිනි.

 ආදායම් බදු ගෙවිය යුතු ලක්ෂ 88 කට වැඩි පිරිසක් දැනටත් රටේ සිටියත් බදු දැලට හසු වී සිටින්නේ ලක්ෂ 15 ක් පමණකි. ඒ අතරින් අතිවිශාල බහුතරය මාසික වැටුප් ලබන්නෝය. ඔවුන් ඉතා පහසුවෙන් බදු දැලට හසුකරගත හැකිය. බදු ලෙස ගෙවිය යුතු මුදල ඔවුන් සේවය කරන ආයතනවලින්ම කපා ආදායම් බදු දෙපාර්තමේන්තුවට බැර කරයි. බදු කපා ගැනීමෙන් පසු ඉතිරි මුදල ඒ සේවකයන් අතට ලැබෙයි. රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනගතව රැකියා නොකරන එහෙත් ලක්ෂයකට වැඩි මාසික ආදායමක් උපයන පුද්ගලයන් බදු දැලට හසුකරගත හැකි යාන්ත්‍රණයක් සුපිරි කළමනාකරුවන් බව කියාගන්නා ප්‍රතිපත්ති සම්පාදකයන් සතුව නැති නිසා දිගින් දිගට බදු අනුපාත වැඩි කරයි. මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයාව සිටි  යහපාලන ආණ්ඩු සමයේ උපරිම බදු අනුපාතය සියයට 24 කි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමයේ එය සියයට 18 දක්වා අඩු කරයි. එහෙත් වර්තමාන මුදල් අමාත්‍යවරයා උපරිම බදු අනුපාතය සියයට 36 දක්වා ඉහළ නංවා තිබේ.  අනුපාත එසේ ඉහළ දමා බදු ලෙස වැඩි මුදලක් උපයා ගන්නේ බදු ජාලයේ දැනටත් සිටින අයගෙනි. දැනටත් බදු ගෙවන අයගෙනි.

 එහෙත් මාසයකට ලක්ෂයකට වැඩි ආදායමක් උපයන අතිවිශාල බහුතරයකගේ ආදායම් වාර්තා නොවෙයි. වාර්තා නොවීම හෝ ආදායම් සැඟවීම නිසා හෝ ලක්ෂ 88 කට වැඩි ඒ පිරිස බද්දට හසුකර ගැනීමට ආණ්ඩුව අසමත්ව සිටියි. උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්, පෞද්ගලිකව වෘත්තියේ නියැලෙන වෛද්‍යවරුන්, නීතිඥයන්, ගණකාධිකරුවන්, බදු උපදේශකයන්, ඉංජිනේරුවන්, වෙළෙන්දන්, ව්‍යාපාරිකයන්, ඇතැම් අපනයනකරුවන්, තේ කම්හල් හිමියන් සේම ඇතැම් කර්මාන්ත ශාලා හිමියන් ද ආදායම් බදු නොගෙවන ඒ ලක්ෂ 88 අතර සිටිනු නිසැකය. රටේ නීතිය අනුව බදු ගෙවිය යුතු සහ  බදු ගෙවිය හැකි තරම් ඉහළ ආදායම් උපයන ලක්ෂ 73 කට වැඩි පිරිසක් බදු නොගෙවද්දී බදු ගෙවන්නේ විධිමත් ආයතනගතව රැකියා කරන ලක්ෂ 15 ක් පමණකි.

 බදු ගෙවිය යුතු තරමින් ආදායම් උපයන එහෙත් බදු නොගෙවන අය  තම ආදායම් සුඛ විහරණය හෝ නැවත ආයෝජනය සඳහා යොදවති. ඒ නිසා ආදායම්  ව්‍යාප්ති විසමතාව ඉහළ යයි. සරලව කිවහොත් ඇති නැති පරතරය සංවර්ධනය වෙයි. ඒ පරතරය මනින එක ක්‍රමයක් වන්නේ  රටේ මුළු ජනගහනය සියයට දහයේ කොටස් දහයකට වෙන්කර ඒ එක කොටසකට දළ දේශීය නිෂ්පාදිතයෙන් කොපමණ ප්‍රමාණයක් හිමිවන්නේද යන්නය. ඒ සෑම කොටසකටම ආදායම් සමානව බෙදී යන්නේ නම් එමගින් රටේ මුළු ආදායම හෙවත් දළ දේශීය නිෂ්පාදිතය පූර්ණ වශයෙන් සමානව බෙදී යයි. එහෙත් එසේ සිදුනොවෙයි. ඉහළම ආදායම් ලබන සියයට 20 ට රටේ මුළු ආදායමෙන් සියයට 52 ක් හිමිවෙයි. ඉන් අනාවරණය වන්නේ රටේ ජාතික ධනය බරපතළ අසමානතාවකින් ජනතාව අතර බෙදී යන බවය.

ඇති නැති පරතරය මනින තවත් නිර්ණායකයක් වන්නේ රටේ ජාතික ධනය බෙදී යන ආකාරයයි. රටක ජාතික ධනය නිවැරැදිව ගණනය කිරීම අපහසුය. එහෙත් ඒ සඳහා අවශ්‍ය දත්ත ‘වල්ඩ් ඉන් ඊක්විලිටි ඩේටා බේස්’ හි පවතී. එහි ලංකාවේ තොරතුරු ද තිබේ. එහි සඳහන් ලෙස ලංකාවේ ඉහළම ආදායම් ලබන සියයට දහයට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 42.2 ක් හිමිවී තිබෙන්නේ 1980 දීය. 1990 දී එය සියයට 44.6 කි. 2000 දී සියයට 49.3 කි. 2010 දී සියයට 47.5 කි. 2020 දී සියයට 49 කි. 2022 දී සියයට 42.2 කි. එහෙත් පහළම ආදායම් ලබන සියයට 50 ට 1980 දී දළ ජාතික නිෂ්පාදිතයෙන් හිමිවී තිබෙන්නේ සියයට 16.7 කි. 1990 දී එය 16.4 කි. 2000 දී එය 13.8 කි. 2010 දී එය 14.2 කි. 2020 දී 14.1 කි. 2022 දී 16.7 කි. රටේ ජනගහනයෙන් පහළම ආදායම් ලබන සියයට පනහට රටේ මුළු ආදායමෙන් සියයට 16.7 ක් හිමිවෙද්දී ඉහළම ආදායම් ලබන සියයට දහයට රටේ මුළු ආදායමෙන් සියයට 42.2 ක් හිමිවෙයි. ආදායම් අසමානතාව කෙතරම් ඉහළද යන්න ඒ තොරතුරුවලින් මැනවින් අනාවරණය වෙයි.

එසේ වන්නේ රටේ බදු ක්‍රමය නිවැරැදිව ක්‍රියාත්මක නොවන නිසාය. ඊට ප්‍රධාන හේතුව වක්‍ර බදු මත දිගින් දිගටම යැපීමය. වක්‍ර බදු ආදායම සියයට 60 දක්වා පහළ දමා සෘජු බදු ආදායම සියයට 40 දක්වා ඉහළ නංවන බව යහපාලන ආණ්ඩුවේ සිටි අග්‍රාමාත්‍යවරයා 2015 නොවැම්බර් 05 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළත් අදටත් එය එලෙස සිදුවී නැත. මහ බැංකුවේ තොරතුරු අනුව 2022 දී ලංකාවේ සෘජු බදු ආදායම සියයට 30.5 කි. එහෙත් වක්‍ර බදු ආදායම සියයට 69.5 කි. රටේ ජනතාව අතර ආදායම් විසමතාව එසේ ඉහළ යන්නේ සෘජු බදු සහ වක්‍ර බදු ආදායම අතර පවතින මේ විසමතාව නිසාය. ඒ නිසා රටේ ධනය ද විසම ලෙස බෙදීයයි. 1990 දී ඉහළම ආදායම් ලබන සියයට 10 ට ජාතික ධනයෙන් හිමිවී තිබෙන ප්‍රමාණය සියයට 59.5 කි. 2000 දී එය 64.2 ක් දක්වා ඉහළ නගියි. 2010 දී 61.0 කි. 2020 දී 64.4 කි. 2022 දීත් 64.4 කි.

එහෙත් පහළම ආදායම් ලබන සියයට 50 ට රටේ ශුද්ධ ධනයෙන් හිමිවූ ප්‍රමාණය 1995 දී සියයට 4.6 කි. 2000 දී එය 3.7 කි. 2010 දී 4.4 කි. 2020 දී 3.7 කි. 2022 දීත් 3.7 කි. ජනගහනයෙන් සියයට 50 කට රටේ සමස්ත ධනයෙන් සියයට 3.7 ක් හිමිවෙද්දී ඉහළම ආදායම් ලබන සියයට දහයට රටේ සමස්ත ධනයෙන් සියයට 64.4 ක් හිමිවෙයි. එසේ වීමට ධනවතුන්ගෙන් බදු අයකර නොගැනීමත් වක්‍ර බදු මගින් දුප්පතුන්ගෙන් වැඩි බදු ආදායමක් අයකර ගැනීමත් හේතු වී තිබේ. එහෙයින් වැට් වැනි වක්‍ර බදු අනුපාත දැනට තිබෙනවාට වඩා අඩු කළ යුතුය. එහෙත් ආණ්ඩුව කරන්නේ බදු අනුපාතය සියයට 15 සිට 18 දක්වා වැඩිකිරීමෙන් නොනැවතී මෙතෙක් වැට් බදු අය නොකළ භාණ්ඩවලින් සියයට 18 ක වැට් බද්දක් අය කිරීමය. එය නොකළ යුතු දෙය කිරීමකි. එමගින් වන්නේ ඇති නැති පරතරය තව තවත් ඉහළ ගොස් දුප්පතුන් නැත්තට නැතිවී යාමය. එය වැළැක්විය හැක්කේ දැනට ක්‍රියාත්මක සහ ඉදිරියේදී ක්‍රියාත්මකවීමට නියමිත විෂම බදු ප්‍රතිපත්ති ඉවතලා සාධාරණ සහ යුක්ති සහගත බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමෙනි.

(*** ගුණසිංහ හේරත්)