‘‘ගුරුවරයා අල්තීනායි නගරයට යන දවසේ සමුගන්නා සැටි චිත්‍ර ගත කරපන්. මතකද ඔහු අන්තිම වරට කෑගැසූ හැටි. අල්තීනායි අද වනතුරුත් අමතක නොකර, සෑම මිනිසකුගේම හදවත පණගැන්විය හැකි දුයිෂෙන්ගේ හඬ චිත්‍රයට නඟාපන්.’’
මේ දුයිෂෙන්, අල්තීනායි ඔබට මතකද? කීර්ගීස් ජාතික චිංගීස් අයිත්මාතව් 1962 දී රචනා කළ ‘‘ගුරු ගීතය’’ නවකතාව ලොව පුරා කාගේත් කතාබහට, ආදරයට ලක්වී තිබෙන්නක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙය ඇසුරින් චිත්‍රපටද සිනමාවට එක්කර තිබේ. මේ කියන්නට යන්නේ ‘‘ගුරු ගීතය’’ ඇසුරෙන් මහාචාර්ය මංගල සේනානායක රචනා කොට අධ්‍යක්‍ෂණය කළ ‘‘ගුරු ගීතය’’ වේදිකා නාට්‍යය පිළිබඳවය. එහි මංගල දැක්ම අද (17) පස්වරු 3.30/ 7.00 ට කොළඹ 07, ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී රඟදැක්වේ. ජූඩ් ශ්‍රීමාල් නිෂ්පාදනය කොට ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන මෙම නාට්‍යය වේදිකාවට ගෙන ඒමට කටයුතු කළේද ඇයිද යන්න පිළිබඳව මහැදුරුතුමන්ගෙන් විමසුවෙමු. මේ එහිදී ඔහු දැක්වූ අදහස්ය.
‘‘ඇත්තටම ‘‘ගුරු ගීතය’’ නවකතාව වේදිකා නාට්‍යයක් කරමු කියලා මුලින්ම යෝජනා කළේ ජූඩ් ශ්‍රීමාල්. ඔහු මගේ ‘‘සින්දුකාර කවිනළුව’’ දැකලා මේ වගේ එකක් කරමුද කියා ඇහුවා. මම මේ කෘතිය 4-5 පාරක් විතර කියවලා ඇති. ඒ කාලේ ඉඳලා ආසාවෙන් කියවූ පොතක්. මෙය හුඟාක් රටවල ප්‍රසාදය දිනාගත් රුසියානු නවකතාවක්. රුසියානු සාහිත්‍යයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ මේ නවකතාව 1962 දී කිර්ගීස් ජාතික චිංගීස් අයිත්මාතව් ලියා තිබෙන්නේ.
පොදුවේ මේ නවකතාව, ලෝකයේ රටවල් ගණනාවක පාඨකයන්ගේ අවධානයට ලක්වුණා. මධ්‍යම ආසියාතික සමාජයේ ගැහැනු හා පිරිමින්ගේ අසාමානතාව ගැන කතා කර තිබෙන්නේ. කාන්තාවන්ට අධ්‍යාපනය නොලැබීම ගැන ඔහු එයින් කතාකර තිබුණා. ඒ වගේම බහුභාර්යා සේවනය, කාන්තාවන් භාණ්ඩ ලෙස පාවිච්චි කිරීම ගැනත් ඔහු කතා කළා. ‘‘ගුරු ගීතය’’ නවකතාවෙන් මතුකළ සුවිශේෂී ක්‍රියා කලාපය තමයි අපේ ජාතක කතාවල තිබූ ගුරු - ගෝල සම්බන්ධය. ගුරුවරයා අබිබවා යන අභිවෘද්ධිකාමී ශිෂ්‍යයෙක් ගැන, ඒ ශිෂ්‍යයා හා ගුරුවරයා අතර තිබෙන මානවීය සම්බන්ධතාව මෙමගින් කියාපෑවා. එය ලෝක සාහිත්‍යයට බලපෑමක් එක්කළා.
රුසියාවේ ප්‍රචාරාත්මක නවකතාවක් විදිහට තිබුණත් මෙය මහා සාහිත්‍ය කෘතියක් බවට වෙන රටවල පත්වුණා. මේ කෘතිය වේදිකාවට ගෙනඒම ලොකු අභියෝගයක්. පුහුණුවීම් කරගෙන යද්දී තමයි එය වැටහුණේ කෙසේ හෝ විවිධ ප්‍රයෝග, උපක්‍රම මම පාවිච්චි කළා. මේ කෘතියේ ආකෘතිය නාට්‍යමය ප්‍රවේශයකටත් ඉඩක් තිබෙනවා. මෙය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයක්. ද්වි භාවිතාවක්.
රුසියානු කතාවක්, අපේ මනසේ සිත්තම් වී තිබෙන මේ චරිතවලට හානියක් නොවන්න තමයි මම මෙහි පිටපත ලියා කරළියට ගේන්නේ. මෙහි ගීත 5 ක් තිබෙනවා. ප්‍රවීණ හා ආධුනික නළු නිළියන් වගේම සියලුම ශිල්පීන් ලොකු කැපවීමක් කළා මේ වැඩේ සාර්ථක කරගන්න. එය කොතරම් සාර්ථකද යන්න අද දවසේදී කරළියේදී දැකගන්න පුළුවන්. මම මේ කෘතිය කියවා පාඨකයන්ට මතක තිබෙන දේවල් තවත් ඉස්මතු වන ආකාරයට තමයි මෙය කරළියට ගේන්නේ. ‘‘ගුරු ගීතය’’ කෘතියට මම කිසිදු හානියක් කළේ නෑ. ඒක කිව යුතුමයි.’’
(*** සමන්ත යහම්පත්)