දුරදිග නොබලා වැඩකළොත් රට අමාරුවේ


ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාපේක්ෂව දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කරන බව මහ බැංකු අධිපති හා මුදල් අමාත්‍යංශ ලේකම් කියයි. මේ ඒ පිළිබඳව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන පුද්ගලයන්ට ලැබිය යුතු පොලිය හෝ ණය වාරික කපා හරින්නේ නම් එවැනිම කපා හැරීමක් දේශීය ණය සම්බන්ධයෙන් ද කළ යුතු බව ඒ ජාත්‍යන්තර ආයෝජකයන්ගෙන් පිරිසක් කියති. ණය හිමියා සහ ණය ගැතියා අතර සාකච්ඡා පවත්වා එකඟතාවකට පැමිණ ඒ එකඟතාව මත ණයවල මුළු මුදල හෝ පොලිය අඩු කිරීම සහ ණය යළි ගෙවන කාල පරිච්ඡේදය දිගු කර ගැනීම ණය ප්‍රතිව්‍යුහගත කිරීම ලෙස සැලකෙයි. ස්වෛරී බැඳුම්කර හිමියන් කියන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට ඒ ණය ප්‍රතිසංවිධානය කළ යුතු බවය. ඔවුන් කියන්නේ දේශීය ණය හිමියන්ට ද යම් බරක් දිය යුතු බවය.

ශ්‍රී ලංකා මහ බැංකුවත් මුදල් අමාත්‍යංශයත් ද්වීපාර්ශ්වික ණය හිමියන් දැනුවත් කිරීම සඳහා මාර්තු 30 වැනිදා පැවැත්වූ සාකච්ඡාවල දී කියා තිබෙන්නේ දේශීය ණය ප්‍රශස්තීකරණය (Optimization) කළ යුතු බවය. ඉන් අදහස් කෙරෙන්නේ යම් කෙනකුට ලාභයක් ලැබෙන්නේ නම් ඒ ලාබය උපරිම කිරීමත් අලාබයක් විඳින්නට වන්නේ නම් ඒ අලාබය අවම කිරීමත්ය. මහ බැංකුවත් මුදල් අමාත්‍යංශයත් කියන්නේ ප්‍රශස්තීකරණ වැඩපිළිවෙළ ලංකා ආණ්ඩුව හෝ මහ බැංකුව මගින් ඉදිරිපත් කරන වැඩපිළිවෙළක් නොවන බවය. භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කළ ආයතන ස්වේච්ඡාවෙන් ප්‍රශස්තීකරණ වැඩපිළිවෙළකට යා යුතු බව මහ බැංකුවත් මුදල් අමාත්‍යංශයත් කියයි. එහි අරමුණ ආයෝජකයන් අනාගතයේ දී තමන්ට විය හැකි අලාභ අවම කරගැනීමය. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මගින් ආණ්ඩුව ගෙන තිබෙන දේශීය ණය ගෙවා ගැනීමට ආණ්ඩුවට නොහැකි වුවහොත් භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත් ගෙන තිබෙන ආයතනවලට විශාල අලාභයක් වෙයි. එහෙත් දැනට දේශීය ණය අස්ථිරසාර නොවේ. අපට සියයට 100ක් අවශ්‍ය නැත. සියයට 50ක් ප්‍රමාණවත්ය කියා ඒ ආයතන කිවහොත් එමගින් ඔවුනට විය හැකි අලාභ අවම වෙයි. එය ස්වේච්ඡාවෙන් වෙන දෙයකි. එහෙත් ඊට මහ බැංකුව ඇතුළත් නොවෙයි.

මහ බැංකුව සතු භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 2,800කි. එසේම මහ බැංකුව තාවකාලික අත්තිකාරම් වශයෙන් රජයට දී තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 236කි. ඒ දෙකෙහි එකතුව බිලියන 3,036කි. ඒ රජය මහ බැංකුවට වී තිබෙන ණය ප්‍රමාණයයි. යෝජිත මහ බැංකු කෙටුම්පත මගින් ඒ රුපියල් බිලියන 3,036 ආණ්ඩුව මගින් ආපසු ගෙවනවා වෙනුවට අවුරුදු දහයකදී කල් පිරෙන වෙළෙඳ පොළේ විකිණිය හැකි බැඳුම්කරයක් ආණ්ඩුව මගින් මහ බැංකුවට නිකුත් කිරීමට යෝජිතය. එතනදී වෙන්නේ ඒ බිලියන 3,036 අවුරුදු පතා ආපසු ගෙවීම වෙනුවට ආණ්ඩුව ඒ මුදල අවුරුදු දහයකට පසුව ගෙවීමය. එමගින් වෙන්නේ ආණ්ඩුව ගෙවන්නට තිබෙන ණය අවුරුදු 10 කට කල් දමා ගැනීමය. ප්‍රශස්තීකරණය නමින් හැඳින්වෙන්නේ මෙයයි. ආණ්ඩුව ණය නොගෙව්වොත් මහ බැංකුවට බිලියන 3036ක පාඩුවක් වෙයි. එහෙත් අවුරුදු දහයක දී කල් පිරෙන බැඳුම්කරයක් නිකුත් කර තිබෙන නිසා අලාබය අවම වෙයි.

මහ බැංකුව හැර අනෙක් සියලු ආයෝජකයන්ට එනම් සේවක අර්ථ සාධක අරමුදල, සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල, ඉතිරි කිරීමේ බැංකුව, වෙනත් වාණිජ බැංකු, මූල්‍ය සමාගම්, පෞද්ගලික ආයෝජකයන් යනාදී සියලු දෙනා මුහුණ දෙන ප්‍රශ්නය වන්නේ අය වැය ප්‍රශ්නය නිසා අනාගතයේ දී ණය ගෙවීම ආණ්ඩුව මගින් පැහැර හැරියොත් සියයට 100ක අලාබයක් විඳීමට සිදුවෙයි. ඒ නිසා තමන්ගේ අලාභය අවම කර ගැනීම සඳහා ප්‍රශස්තීකරණ වැඩපිළිවෙළට කැමැත්තෙන්ම යොමු වන්නැයි මහ බැංකුවත් ආණ්ඩුවත් ඒ ආයතන හා පුද්ගලයන්ට කල් තියාම යෝජනා කරයි. සිදුවන්නට යන්නේ එයයි.

සේවක අර්ථ සාධක අරමුදල තමන් සතු බිලියන 3000ක් පමණ වන මුදල්වලින් සියයට 90ක්ම ආයෝජනය කර තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත්වලය. ජාතික ඉතිරි කිරීමේ බැංකුව තමන් සතු මුදල්වලින් සියයට 62ක් පමණ ආයෝජනය කර තිබෙන්නේ ද භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත්වලය. සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදලේ මුදල්වලින් සියයට 60ක් පමණ ආයෝජනය කර තිබෙන්නේ ද භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවලය. ආණ්ඩුව සතු දේශීය ණය ගෙවීම පැහැර හැරියොත් වැඩිම හානිය හා අලාභය සිදුවන්නේ ඒ ආයතන තුනටය. එය වළක්වාගත හැක්කේ තම කැමැත්තෙන්ම යම්කිසි ප්‍රමාණයකින් ණය කපා හැරීමකට එකඟවීමෙනි. ප්‍රශස්තීකරණයට ගියොත් ඒ ආයතනවලට විය හැකි අලාබ අවම කර ගැනීමට හැකිවෙයි. අපට පොලිය එපා එහෙත් අපෙන් ගත් මුළු මුදලම දෙන්නැයි ඒ ආයතන කියා සිටියහොත් එමගින් ඔවුන්ටත් රජයටත් වාසියක් අත්වෙයි. ප්‍රශස්තීකරණයට නොගිහින් සිටිය දී ආණ්ඩුවට වෙළෙඳපොළෙන් මුදල් ගෙන ණය ගෙවා ගැනීමට බැරි තත්ත්වයක් උදා වුවහොත් විදේශ ණය පැහැර හැරියා සේ දේශීය ණය ද පැහැර හැරීමට ආණ්ඩුවට සිදුවෙයි. එසේ වුවහොත් ඉහත කී ආයතනවලට වන්නේ සියයට 100ක අලාබයකි. ඒ අලාබය වළක්වාගත හැක්කේ තම කැමැත්තෙන්ම ප්‍රශස්තීකරණයට එකඟවීමෙනි. එසේ නොකළොත් ඔවුන්ගේ වත්කම් බොල්වෙයි.

එහෙත් ආණ්ඩුවට තවමත් දේශීය වෙළෙඳපොළෙන් කල් පිරෙන ණය ලබාගත හැකිය. ඒ නිසා ආණ්ඩුවේ දේශීය ණය අස්ථිරසාර නොවේ. එහෙයින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල මුදල් ආයෝජනය කර තිබෙන ආයතන හා පුද්ගලයන් අනිසි බියක් ඇතිකරගත යුතු නොවේ. එහෙත් මහ බැංකු අධිපති හා මුදල් අමාත්‍යංශයේ ලේකම් විසින් ද්වීපාර්ශ්වික විදේශ ණය හිමියන්ට පසුගිය මාර්තු 30 වැනිදා ප්‍රකාශ කළ පරිදි ස්වේච්ඡාවෙන් ණය ප්‍රශස්තීකරණයකට යාම සඳහා ඉදිරි අවදානම පිළිබඳව නිසි අධ්‍යයනයක් කිරීම යෝග්‍යය. එය සේවක අර්ථ සාධක අරමුදලේ පාලක සභාව වන මුදල් මණ්ඩලයට ද අදාළය. එවැනි අධ්‍යයනයකින් යම් අවදානම් තත්ත්වයක් හෙළිවුවහොත්, ස්වේච්ඡාවෙන්ම යම් පොලී මුදලක් කපා හැරීමට එකඟවීම සුදුසුය. එයට හේතුවන්නේ ප්‍රශස්තීකරණය මගින් ලාබ උපරිම කර ගැනීමට හෝ අලාභ අවම කර ගැනීමට හැකිවන හෙයිනි.

අද රටේ තිබෙන මූලික ප්‍රශ්නය ආණ්ඩුව මහා පරිමාණයෙන් තම වියදම් කරගෙන යාමය. ආණ්ඩුව කිසිම වියදමක් කපා නැත. ආණ්ඩුව අය වැය ලේඛනයේ සඳහන් කරන්නේ තම ශුද්ධ වියදමය. මහ බැංකුව මාර්තු 30 වැනිදා ණය හිමියන්ට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව 2023දී ආණ්ඩුවේ දල වියදම පමණක් රුපියල් බිලියන 14,000කි. ඉතින් ආණ්ඩුව ඒ වියදම් පියවා ගන්නේ කෙසේද? එය බිලියන 10,000ක් දක්වා වත් අඩුකරගත යුතුය. මූල්‍ය අරමුදල මේ හැම එකක්ම 2020 පෙබරවාරියේ සිට ආණ්ඩුවට පෙන්වා දුන්නාට පැවැති ආණ්ඩුව කටයුතු කළේ ඇස් කන් නැති බිහිරන් පරිද්දෙනි. තම වියදම් කපා හැරීමට ආණ්ඩුව අකමැතිය. වැටුප් හා දීමනා අඩු කරගන්නේ නැතිව පෙර පරිදිම වියදම් කරගෙන යයි. ආණ්ඩුවේ වියදම බිලියන 14,000ක් වූවාට ආණ්ඩුවේ ආදායම බිලියන 3,400කි. ඉතින් රට ඉදිරියට යන්නේ කොහොමද? මූල්‍ය අරමුදල කිව්වත් නැතත් මහා පරිමාණයෙන් පටි තදකරගත යුතුය. තෙල් ගෑස් පෝලිම් දැන් නැති බව සත්‍යයකි. එහෙත් ඉදිරියට සල්ලි නැති වුණොත් තෙල් ගෑස් ආනයනයට ප්‍රශ්න මතුවෙයි. ආණ්ඩුවේ ආදායම හා වියදම අතර පරතරය රුපියල් බිලියන 10,600කි. මේ පරතරය පියවන්නේ කොහොමද? ඒ හිඟය පියවා ගැනීමට නොහැකිවූ විට දේශීය ණයත් පැහැර හැරීමට සිදුවෙයි. ආදායම හා වියදම අතර පවතින මේ දැවැන්ත පරතරය නිසා අනිවාර්යයෙන්ම කළ යුත්තේ වියදම් කපා හැරීමය. එහෙත් ආණ්ඩුව පැත්තෙන් එවැන්නක් සිදු නොවෙයි. මට පෙනෙන හැටියට උග්‍ර ආර්ථික අර්බුදයකට ආණ්ඩුව විසින්ම ඇතුල්වෙමින් සිටියි. වියදම් කපා නොහැරීමෙන් අනාවරණය වන්නේ ඒ සත්‍යයයි. මූල්‍ය අරමුදල කියන්නේ පටි තදකරගන්න කියාය. එය මූල්‍ය අරමුදල විසින් කිව යුත්තක් නොවේ. ආදායම සහ වියදම සංසන්දනය කර ආණ්ඩුව විසින්ම කරගත යුත්තකි.

ආණ්ඩුවේ මේ ක්‍රියා කලාපයෙන් රටට දෙන පණිවිඩය ඉතා භයානකය. අය වැය අතර පරතරය නැතිනම් හිඟය රුපියල් බිලියන 10,600ක් වීම අති බිහිසුණුය. මෙලෙස ආණ්ඩු කළ නොහැකි බව රටට කිව යුත්තේ ආණ්ඩුවය. ආර්ථිකයේ ඇත්ත තත්ත්වය රටට හෙළිකර වියදම් කපා හැරීමට පියවර ගැනීම ආණ්ඩුවේ වගකීමකි. ආණ්ඩුව එසේ කටයුතු නොකරන්නේ නම් අනෙක් අයට ආදර්ශයක් දෙන්නේ කව්ද? ජපානය වැනි රටවල් යුද්ධයෙන් පසුව ගොඩනැගුණේ දැවැන්ත පරිත්‍යාගයක් කිරීම හේතුවෙනි. එළඹෙන සිංහල අලුත් අවුරුද්ද සමරන්නට සැරසෙන්නේ රටේ සාමාන්‍ය තත්ත්වයක් පවතින අයුරිනි. එහෙත් ආර්ථික වශයෙන් රට තිබෙන්නේ ගිනිකන්දකය. ආණ්ඩුව සිටින්නේ උත්සව හා සාද පවත්වන මානසිකත්වයකය. එය රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළාට සමාන ක්‍රියාවකි.

ඇමෙරිකාව වැනි රටක මෙවැනි තත්ත්වයක් මතු වූ විට ඒ රට මාස තුන සිට හය අතර කාලයකට ආණ්ඩුව වසා දමයි. ඒ කාලයේ දී මධ්‍යම ආණ්ඩුවේ නිලධාරීන්ට වැටුප්වත් නොගෙවයි. අද ලංකාවේ තිබෙන ඇතැම් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු සදාකාලිකවම වසා දැමිය හැකිය. රට මෙතරම් අර්බුදයක වැටී සිටියදීත් ඒවා පවත්වාගෙන යයි. අප්‍රේල් මාසයේ වැටුප් අප්‍රේල් 10 වැනිදාට පෙර ගෙවන බවත් ආණ්ඩුව කියයි. රජයේ වියදම් මහා පරිමාණයෙන් කපා හැරිය යුතුය. ඒ සඳහා ජනතාවගේ කැමැත්ත ගත යුතුය. කැප කිරීම පිළිබඳ ආදර්ශය දිය යුත්තේ ඉහළිනි. සරලව කිවහොත් ආණ්ඩුවෙනි. ආණ්ඩුව නාස්තිකාර වියදම් කරන සමයක ජනතාව කැප කිරීම් කරන්න පෙළඹෙයි ද? ගෙදරක තාත්තා කකා බිබී කටයුතු කරන්නේ නම් ඒ නිවසේ දරුවන්ට වියදම් සීමා කරන්නැයි කිව හැකිද?

(***)
සාකච්ඡා සටහන
ගුණසිංහ හේරත්