නීතිඥවරියක හෝ නීතිඥයකු තමන් කියන්නේ බොරුවක් යැයි දැනගෙනම ජන ජීවිතයට බලපෑ හැකි බොරුවක් ප්‍රසිද්ධියේ කීම, නීතිඥ වෘත්තියෙහි ආචාරධර්ම හා සදාචාරයට පටහැනි නොවන්නේ ද? ඒ ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයට කිව හැක්කේ කුමක් ද?
පසුගිය ජනාධිපතිවරණයේදී ආවේගවාදී කතා කීමෙන් මාලිමා වේදිකාවේ ජනප්‍රිය වූ නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය කිසිදු හිරිකිතයක් නැතිව බොරු කියූ බව පිළිගත්තයි සඳහන් වේ. එනිසා ඇයට නම් පටබැඳුණු බව ද ඇය කීවාය. තොමස් ඩි ලා රූ සමාගම විසින් මුද්‍රණය කළ මුදල් උගණ්ඩාවට ගෙන ගියේ යැයි ද, ඒවා ගෙන්වාගත යුතු නොවේ දැයි ද ඇය ජනතාවගෙන් ඇසුවේ මේ රටේ යෝධ දූෂණ සියල්ල රාජපක්ෂ ගිණුමට බැර කරමින්ය.
කොට්ටහච්චි මහත්මියගේ උගණ්ඩා කතාවෙහි නම සඳහන් වූ මහ බ්‍රිතාන්‍ය සමාගමක් වන තොමස් ඩි ලා රූ සමාගම අධි ආරක්ෂිත මුද්‍රණ කටයුතු සම්බන්ධ ලොව ඉතාම විශ්වාසදායි සමාගමක් ලෙස පිළිගැනෙන්නකි. ලොව මහ බැංකුවලින් අඩක් සමග ඔවුහු ගනුදෙනු කරති. ආරම්භයේ සිටම ලාංකීය මුදල් නෝට්ටු ද අවට රටවල් ගණනාවක මුදල් ද මුද්‍රණය කරන්නේ ද ඔවුන් බව සඳහන් වෙයි. ඒ වෙනුවෙන් ඔවුන්ගේ ඉතාම සුරක්ෂිත මුද්‍රණාල සංකීර්ණයක් බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටුවනු ලැබුවේ අවුරුදු 35ක් පමණ ඈතකදීය. ජනාධිපතිවරණය අවසන් වන තෙක් බියගම ඩි ලා රූ සමාගමෙන් මුද්‍රණය කර උගණ්ඩාවට ගෙන ගියේ යැයි කියූ මුදල් ඇත්තටම උගණ්ඩා රජයෙන් ඒ සමාගම ලබා ගත් නිල ඇණවුමක් අනුව මුද්‍රණය කර ආරක්ෂිතව ප්‍රවාහනය කළ මුදල් බව ඇය දැන සිටියේ යැයි කොට්ටහච්චි මහත්මිය කිව්වේ, ජනාධිපතිවරණය අවසන් වී සතියකට පමණ පසුවය.
යෝධ දූෂණ සියල්ල රාජපක්ෂ ගිණුමට බැර කර ‘දූෂණය’ ඡන්ද වෙළෙඳපොළෙහි අලෙවි කළ හැකි නිෂ්පාදනයක් බවට පත් කරනු ලැබුවේ ජ.වි.පෙ. විසින්ය. රාජපක්ෂලාගේ ඩොලර් කෝටි ගණන් කළු සල්ලි ගැන සියලු තොරතුරු දන්නේ යැයි සමාජ මතයක් තහවුරු කර, ඒ සියලු දූෂිත මුදල් ගෙන්වා ගෙන ණය අර්බුදයට ද උත්තර දිය හැක්කේ ජ.වි.පෙ. ආණ්ඩුවකට පමණකැයි ජනාධිපතිවරණ වේදිකාවල පුන පුනා කියනු ලැබිණ. දැන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මාලිමා අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කර ඇත්තේ දැනුවත්ව බොරු කියූ කොට්ටහච්චි මහත්මිය වැනි අවංක පුද්ගලයන් ඇතුළු පිරිසුදු අවංක අපේක්ෂක ලැයිස්තු වශයෙනි.
මේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ඕනෑම පක්ෂයක් තම කණ්ඩායම දූෂණයෙන් තොර පිරිසුදු අවංක අපේක්ෂකයන් යැයි කියන්නේ නම්, මට අසන්නට ඇත්තේ සරල ප්‍රශ්න කිහිපයකි. තමන්ගේ දරුවන් සිටින ජනප්‍රිය පාසල්වල පළමු වසරට ඇතුළත් කරගැනීමට රුපියල් ලක්ෂ ගණන් වියදම් නොකළේ යැයි අවංකව කිව හැකි අපේක්ෂක අපේක්ෂිකාවන් ඉන්නවා ද? මාර්ග නීති උල්ලංඝනය සම්බන්ධයෙන් රථවාහන පොලීසියෙන් නතර කළ විට, ධාවන බලපත්‍රය හා රක්ෂණ ලියැවිලි සමග රම්බොඩ ඇල්ල සමග ගිරා පැටියකු ඉන්නා කොළ පාට නෝට්ටු කිහිපයක් ලබා නොදී ගිය අපේක්ෂක අපේක්ෂිකාවන් ඉන්නවා ද? රජයේ කාර්යාලවල ලාච්චුවලට එවැනි නෝට්ටු නොදමා සාමාන්‍ය විදිහට වැඩ කෙරෙනකම් බලා සිටි අපේක්ෂක අපේක්ෂිකාවන් ඉන්නවා ද?
මේ සමාජයේ දෛනිකව සිදුවන එවැනි ‘දූෂණ’ ගණන් බැලුවහොත්, එලෙස මාසිකව සිදුවන දූෂිත ගනුදෙනු පමණක් රුපියල් කෝටි ගණනක් වනු ඇත. එහෙත්, ඒවා දූෂණ යැයි ගණන් ගැනෙන්නේ නැත. ඒවා ගැන සාමාන්‍ය සමාජයෙහි කතා වන්නේ “එහෙම නැතුව ඒක කෙරෙන්නෙ නැහැනෙ” වැනි කතාවකි. තමන්ගේ වැඩක් කරගැනීමට අල්ලස් දීම බහුතර සමාජයේ සාධාරණය කෙරෙන්නේ එය දූෂණයක් නොව, ඒ වැඩය කරගැනීමේ පහසු ක්‍රමයක් පමණකැයි කීමෙන්ය. රාජ්‍ය ආයතන සියල්ල පාහේ දූෂිත ආයතන ලෙස පැවැතීමට මේ සමාජයේ අති බහුතරයක් එවැනි දූෂණ සාධාරණීකරණය කිරීම, විශාල රුකුලක් වී ඇත. සරලව කියන්නේ නම්, මේ සමස්ත සමාජයම හවුල් වන දෛනික දූෂණ, දූෂණ නොවන්නේය.
දූෂණ සම්බන්ධව එවැනි සමාජ මතයක් තහවුරු වූ පසු එතැනින් ඉහළට දූෂණය වගා වීම වැළැක්විය නොහැකිය. ඒවා යෝධ දූෂණ වුවත්, ඒවාට දේශපාලකයන්ගේ ඍජු සම්බන්ධයක් නොමැත්තෙන් ඒ ගැන කතා වන්නේ නැත. ඒවා ජන ජීවිතයට වහා නොදැනීමත් කතා නොවන්නට තවත් හේතුවකි. එහෙත්, රාජ්‍ය ආයතන සම්බන්ධ විමසීම් කෙරෙන පාර්ලිමේන්තුවේ ‘පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙහි’ - පහසුවට කෙටි ඉංග්‍රීසි නමින් හැඳින්වෙන ‘කෝප් කමිටු’ රැස්වීම්වල හෙළි වූ අයුරු, රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් ඔවුන්ගේ අත්සන් සතු රාජ්‍ය බලය මත සිදු කරන දූෂණ, වරකට රුපියල් කෝටි ගණනකි. රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, පතල් කාර්යාංශය වැනි රාජ්‍ය ආයතනවල දූෂණ සම්බන්ධව ‘කෝප් කමිටු’ රැස්වීම්වල කතා වූයේ රුපියල් කෝටි ගණනින්ය. සුරාබදු දෙපාර්තමේන්තුව 2023 වසරේදී මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය නොකර ගෙන තිබූ රුපියල් බිලියන 01.1ක බදු මුදල් අය කරගැනීමට උනන්දු නොවන්නේ සහ ඒ සමාගම් සඳහා ලබා දී ඇති අවසරපත් තාවකාලිකව හෝ අවලංගු නොකරන්නේ මන්දැයි වන ප්‍රශ්නයක් ඇත. එයට මේ සමාජයෙහි ඇති උත්තරය වන්නේ, ජාවාරම්කාර අනුග්‍රහයක් ඇති නිසා යැයි යන්නය. ආදායම් බදු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඇත්තේ ද ඒ ප්‍රශ්නය හා ඒ උත්තරයම වන්නේය. ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් 2023 වසරේදී එකතු නොවුණු හෝ එකතු නොකෙරුණු බදු මුදල රුපියල් බිලියන 188ක් විය. ඒ සියල්ලම වාගේ ලොකු ජාවාරම්කාරයන්ගෙන් අය විය යුතු බදු මුදල්ය. අනෙක් රජයේ ආයතනවල දූෂණ නැතැයි ඉන් කියවෙන්නේ නැත. සමස්ත රාජ්‍ය සේවාවම දූෂිතය.
එතැනින් ද ඉහළට ගිය විට, පසුගිය ආණ්ඩුවල දේශපාලකයන් හවුල් යැයි කෙරෙන දූෂණ චෝදනා බොහොමයක් රුපියල් නොව ඩොලර් දූෂණය. ඒවා හැමකක්ම විදේශ ණය සමග ලබාගත් ඉදිකිරීම් කටයුතු ප්‍රධාන වූ ව්‍යාපෘතිය. ඒ ගැනත් කිව යුත්තක් ඇත. මහ බැංකු බැඳුම්කර ගනුදෙනු ද ඇතුළත්ව යෝධ දූෂණ කිසිවක් ඉහළ පෙළ වෘත්තිකයන්, රජයේ ඉහළ නිලධාරීන් සහ මේ විවෘත වෙළෙඳපොළෙහි හැදුණු ලොකු ජාවාරම්කාරයන් නොමැතිව දේශපාලකයන්ට තනිව කළ නොහැකි යැයි මා මීට ඉහතින් ද කිහිප වර කියා ඇත. ඉකුත් 16 වැනි බදාදා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයෙහි 45 වැනි ජාතික සමුළුව අමතමින් හිටපු ජනාධිපති සිරිසේන කිව්වේ ද අමාත්‍යාංශ ලේකම් හා ප්‍රධාන ගණකාධිකාරි නැතිව ඇමැතිවරුන්ට සොරකම් කළ නොහැකි යැයි කියාය.
ඒ කල්ලිය ඔහු කීවාට වඩා විශාලය. එය පැහැදිලි කරන්නේ නම්, එවැනි යෝධ ව්‍යාපෘතියක වියදම් ඇස්තමේන්තු කිසිදු ඇමැතිවරයකුට හැදිය නොහැකිය. ඩොලර් බිලියන ගණන් ණය සමග ගෙනෙන වරාය නගර, නෙළුම් කුලුන, අධිවේගි මාර්ග සඳහා අවශ්‍ය වැලි, ගල්, සිමෙන්ති, දැව, යකඩ ආදියත් පාලම් බෝක්කු හදන්නට කොතරම් ගැඹුරට පයිල් කළ යුතු දැයි තීන්දු කිරීමටත්, ඒ වෙනුවෙන් යන්ත්‍රෝපකරණ කුලියට ගැනීම, අවශ්‍ය පුහුණු හා නුපුහුණු ශ්‍රමය වැනි වියදම් ඇතුළත් ඇස්තමේන්තු හදන්නට ඇමැතිවරයකුට, ඔහුගේ අමාත්‍යාංශ ලේකම් සහ ප්‍රධාන ගණකාධිකාරි හවුල් කරගෙන හෝ කළ හැක්කක් නොවේ. එනමුත් ඒ වෙනුවෙන් අවශ්‍ය සුදුසුකම්, අත්දැකීම් මත පුද්ගලයන් තෝරා ගැනීමට විවෘත අයැදුම්පත් කැඳවීම් කෙරෙන්නේ නැත. සම්මතයක් ලෙස සිදුවන්නේ, දන්නා හඳුනන විශේෂඥයන් වෘත්තිකයන් කිහිප දෙනකු හවුල් කරගැනීමය. ඉතිරිය, කවුරුත් කතා කරන දූෂිත ව්‍යාපෘතිය.
එලෙසින් සිදුවන සියලු මහා පරිමාණ දූෂණ සඳහා ‘රාජපක්ෂ’ සන්නාමය යොදා ඡන්ද වෙළෙඳපොළෙහි අලෙවි කරගැනීමේ බරපතළම දෝෂය ඇත්තේ මේ සමාජයේ යෝධ දූෂණ සංවිධානය කෙරෙන රාජ්‍ය අධිකාරයේ බලසම්පන්නයන්ගේ හවුල් අතහැර දැමීමෙහිය. එනිසා දූෂණ පිටුදැකීමට අත්‍යවශ්‍ය දුර දිග යන රාජ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධ කිසිදු වැදගත් අවධානයක් කතිකාවක් සිදුව නැත. දූෂණ පිටුදැකීමට විසඳුම් ලෙස ඉදිරිපත් කෙරෙන්නේ දූෂිත ජාවාරම්කාර සමාජයකින් පිරිසුදු අවංක අපේක්ෂකයන් තෝරා පාර්ලිමේන්තු යැවීමය. පාර්ලිමේන්තුව පිරිසුදු අපේක්ෂකයන්ගෙන් පුරවා ගත්ත ද, ඔවුන්ගෙන් ඇමැතිවරුන් පත්කරගත්ත ද, මේ අන්ත දූෂිත රාජ්‍ය බලධාරීන්ගේ අධිකාර බලය සමග දූෂණයෙන් තොර අලුත් දේශපාලන ගමනක් යා නොහැකිය. හිටපු ජනාධිපති සිරිසේන ද කියූ පරිදි, අමාත්‍යාංශවල ලේකම් හා ප්‍රධාන ගණකාධිකාරි නැතිවම බැරි දෙපළකි. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා පාලනය වන්නේ ඔවුන් යටතේ මිස ඇමැති යටතේ නොවන හෙයින්, පිරිසුදු අපේක්ෂකයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවා ගත්ත ද රාජ්‍ය පාලනයෙහි වෙනසක් නොවනු ඇත.
එසේ නම් විය යුත්තේ, නැති නම් කළ යුත්තේ කුමක් ද? කළ යුත්තේ විසඳුම් සඳහා පැහැදිලි සවිස්තරාත්මක සැලසුමක් සමජයෙහි සාකච්ඡා කර, ඒ වෙනුවෙන් ආණ්ඩුවක් පත්කරගැනීමය. සංක්‍රමණික පියවරක් වෙනුවෙන් දැන් කළ හැක්කේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා මූලික පියවර පිළිබඳව සමාජ එකඟතාවක් ඇති ආණ්ඩුවක් පත්කරගැනීමේ කතිකාවක් වහා ආරම්භ කිරීමය.
එසේ නොවන්නේ නම්, අනතුරුව සිදු විය හැක්කේ තව වටයක් ජනතාව පරණ පුරුදු රැවටිල්ලම කර තබා ගැනීමය. එය පැරැණි ගමේ කතාවකින් අවසන් කරන්නේ නම්, මුදලට ‘බූරු ගැසීම’ ගම්වල නිතර කෙරෙන්නකි. ‘බූරු ගැසීම’ නීති විරෝධී වූයෙන් හිටි අඩියේ පොලීසියෙන් කඩා පැන අල්ලා ගන්නා සියලු දෙනා උසාවියට ඉදිරිපත් කෙරෙති. බූරු ගැසීමට හවුල්වූවන්ට උසාවියේදී රුපියල් 10ක දඩයක් නියම කරන අතර, බලාගෙන හිටියා පමණැයි කියන අයට රුපියල් 20ක් දඩ ගසන්නේ යැයි කියති. මෙදාත් පිරිසුදු අපේක්ෂකයන් තෝරා පත්කර දූෂණයෙන් තොර ආණ්ඩු පාලනයක් ලැබෙන තෙක් බලා ඉන්නා ඡන්දදායකයාට සිදු වනු ඇත්තේ ද බූරුපොළ බලන්නට ගිය ගම්මුන්ට සිදු වූ ඇබැද්දියම විය හැක.
(***කුසල් පෙරේරා)