ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කර ඇති ‘සෞභාග්‍යයේ දැක්ම’ මගින් ප්‍රකාශිත දේශහිතෛශී වැඩපිළිවෙළ බලගන්වා මහජනතාවගේ යහපත් අභිලාෂයන් සාක්ෂාත් කිරීමට නම් ආදර්ශවත් වියත්, බුද්ධිමත් රටට හා ජනතාවට අවංක දක්ෂ සුපිළිපන් පුද්ගලයන්ගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලයක් පත්විය යුතු යැයි ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. ජනතාවද ඒ සඳහා සිය අභිමතය ප්‍රකාශ කර ඇති බව මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වන්නේ යැයිද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
ඉකුත් අගෝස්තු 5 වැනිදා මෙරට සාතිශය බහුතරයක් ජනයා සිය ඡන්දය ප්‍රකාශ කළේ කවර අරමුණකින්දැයි නව පාලකයන් ඉතාම ගැඹුරින් වටහාගත යුතුය. එම ඡන්ද ප්‍රතිඵලය තුළ අන්තර්ගතව ඇත්තේ ඉතිහාසයේ සියලු වැරැදි අකාමකා දැමූ අලුත් රටකි. මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත්විය හැකි අලුත් ලංකාවකි. ‘පාර්ලිමේන්තුවේ 225 ටම බෝම්බ ගැසිය යුතුයැයි මතයක් නිර්මාණය වී තිබූ සමාජයෙන්ම තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් බිහිවූයේ අලුත් ගමනක් තුළින් බලවත් ජයග්‍රහණ රටට ලබාගැනීමේ පවිත්‍ර අරමුණෙන්ය.
මෙරට දේශපාලනය බඩ රස්සාවක් බවට පත්වී ඇතැයි යන්න මුසාවක් නොවේ. මන්ත්‍රී ධුරය ද ඇමැති ධුරයද ඇතැමුන්ට සියලුම ආකාරයේ මංපැහැරීම්, කොල්ලකෑම් සඳහා බලපත්‍රයක් පමණි. මැති ඇමති වරප්‍රසාද ඇතැම්විට කිසිදු මිනිසකුට ජීවිතයේ එක් වතාවක් හෝ අත්විඳීමට නොලැබෙන ‘දිව්‍යමය සැපතකි’. ඒ සැපට ලොබ බැඳ වැඩකිරීම නිසා හැත්තෑ දෙවසරක් පුරා රට ගමන් කළේ ආපස්සටය. ජනතාවගේ ඉල්ලීම යළි එබඳු වැරැදි නොකරන ලෙසය.
වැරැදි නොකරන ආණ්ඩුවක් සඳහා වැරැදි නොකරන මිනිසුන් අතට වගකීම් පැවරිය යුතුය. යහපාලන ආණ්ඩුව නියෝජනය කළ එක් සුළු ජාතික පක්ෂයකට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා වසරකට එක් මන්ත්‍රීවරයකු වශයෙන් පත්කරනු ලැබීය. එයට හේතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි වන තීරුබදු රහිත අති සුඛෝපභෝගී වාහනයක් ලබාගැනීමට ඇති වරප්‍රසාදය බවද කියැවිණි. එක් වසරක් පාර්ලිමේන්තුව නියෝජනය කර රුපියල් ලක්ෂ 300 ක් ලබා එම පක්ෂයේම තවත් පුද්ගලයකුට එම අවස්ථාව ලබාදී යාම තුළ ජනතාවගේ පරමාධිපත්‍ය සමග මහ දවාලේ කළ මහ හොරකමකි. යහපාලන රජය කාලයේදීම දින දෙකකට මන්ත්‍රීවරයකු බවට පත්වූ පුද්ගලයා කළ එකම දෙය තීරුබදු රහිත අතිසුඛෝපභෝගී වාහනය ලබාගැනීම පමණි.
ව්‍යවස්ථාවේ වගන්තිවලට මුවා වී සිදුකරන මහ හොරකම් නතර විය යුතුය. මහජනයාගේ රුපියලට ශතයට වගවන ගරු කටයුතු මහජන නියෝජිතයන් නිර්මාණය විය යුතුය. මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ සියලු දෙනා සර්ව සුන්දර මිනිස්සු නොවෙති. මහ මැතිවරණයෙන් තේරී පත්වූවෝ සියලු දෙනාද නිවැරැදි මිනිස්සු නොවෙති. විවිධ චෝදනා ඇති ඒ වෙනුවෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත වූවෝද ජයග්‍රාහකයෝ අතර සිටිති. චෝදනා එල්ල වූ පමණින් හෝ යමකු රිමාන්ඩ් බන්ධනාගාරගත වූ පමණින් ඔවුහු වැරැදිකරුවෝ නොවෙති. එහෙත් චෝදනාවලට ලක්වීමට බලපෑ හේතුද සුළුවට ගෙන පහසුවෙන් බැහැර කළ නොහැකිය.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු පුද්ගලයන් ඇමති මණ්ඩලයට පත් කළ යුතු බවය. දේශපාලනයේදී තීන්දු තීරණ ගැනීමේදී විවිධ සුදුසුකම් සලකා බැලෙන අතර ඇතැම් සුදුසුකම් වන්නේ ‘අවසන් වරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම’ පක්ෂයක නායකයකු වීම, පක්ෂය වෙනුවෙන් කැපවීම වැනි කාරණාද වෙයි. එම කාරණා ඉහළට එනවිට එම වගකීම දැරීමේ හැකියාව ඔහු සතුව වේද යන්න නොවටිනා කාරණයක් බවට පත්වේ. වසර හැත්තෑ දෙකක් පුරා මෙරට ජනයා අත්විඳි මෙවන් නරුම අත්දැකීම් වෙනස් වන්නේ නම් ජනයා ඉල්ලන අලුත් රට නිර්මාණය කිරීම පහසුය.
මෙරට ජනයා බොහෝ වෙනස් වී තිබේ. කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු දේශපාලනයෙන් ඔවුහු බැහැරවී සිටිති. ඒ වෙනුවට අරාජිකත්වයෙන් තොර සවිමත් රටක් වෙනුවෙන් ඔවුහු ඡන්දය භාවිත කළහ. ඒ ජනයාගේ දිදුලන අපේක්ෂාවන් මුදුන් පැමිණවීමට ලැබුණු ඇතැම්විට අවසන් මෙන්ම මහඟු අවස්ථාව අපතේ නොහරිනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවය.