දෙදාස් දාහතේ අපි ආණ්ඩුව පෙරළනවා ඒක කල්යන්නේ නෑ


 UDYA-GAMANPILA

 

එකාබද්ධ විපක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග විමසමින් පිවිතුරු හෙළ උරුමයේ නායක එක්සත් ජනතා නිදහස් සංධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සමඟ කළ සාකච්ඡාවකි.

 


ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ යුගයේ දී චීනයට ඉඩම් සින්නක්කරව දෙනකොට නිදාගෙන හිටපු ඔබ දැන් අක්කර 15000ක් දෙන්න හදනකොට මරාගෙන මැරෙන්න හදනවා?
පිළිතුර:-
මහින්ද රාජපක්ෂ යුගයේ මිරිජ්ජවිල ආයෝජන කලාපයක් හදන්න අක්කර 750ක් වෙන් කළ බව ඇත්තයි. ඒ ආයෝජන කලාපය චීනයට පමණක් වෙන්වූවක් නොවෙයි. ඒක ආයෝජන මණ්ඩලය යටතේ තියෙන්නෙ ආයෝජන කලාපයක්. එතැනට ඒමට වැඩිපුර කැමැත්ත පල කළේ චීනය තමයි.

 


ප්‍රශ්නය:- නමුත් චීනය අක්කර 2000ක් ඉල්ලා සිටියා?
පිළිතුර:-
ඒකත් ඇත්ත. නමුත් දුන්නේ නැහැ. ඒ තරම් අක්කර ප්‍රමාණයක් වෙන් කළාම, ඒ ජන ජීවිතයට සංස්කෘතියට, උරුමයට, පරිසරයට සෘජුවම බලපානවා. ඒ නිසා රට ගැන හිතලා ජනතාව ගැන හිතලා තමයි අක්කර 750ක් විතරක් දුන්නේ.

 


ප්‍රශ්නය:- ඒක වැරදි නෑ?
පිළිතුර:-
එහෙම ආයෝජන කලාප රට පුරාම තියෙනවා. කොග්ගල ආයෝජන කලාපය, කටුනායක, බියගම, පල්ලේකැලේ ආයෝජන කලාප තියෙනවා. ඒක සමාන්‍ය තත්ත්වයක්. අක්කර 15000ක් එකම ප්‍රදේශයකින් එක රටකට වෙන් කරනවා කියන්නේ ආපසු නිවැරදි කළ නොහැකි බරපතළ වරදක්.

 


ප්‍රශ්නය:- නමුත් සුදු අලියෙක් වෙච්ච ගුවන් තොටුපළෙන්, වරායෙන් ප්‍රයෝජනයක් ගන්න නම් එවැනි ව්‍යාපෘතිවලට යන්න වෙනවා කියලා ආණ්ඩුව කියනවා?
පිළිතුර:-
ආණ්ඩුව ඒ ප්‍රකාශ හරහා ප්‍රදර්ශනය කරන්නේ හම්බන්තොට වරාය පිළිබඳ ඔවුන්ට තිබෙන අනවබෝධයයි. හම්බන්තොට වරාය හදලා තියෙන්නේ හම්බන්තොට නිෂ්පාදන අපනයනට කිරීමටවත්, හම්බන්තොටට ඕනෑ දේවල් ආනයනට කරන්නවත් නෙවෙයි. හම්බන්තොට තව වසර දහයකින් ආසියාවේ වැදගත්ම වරාය බවට පත්වීමට නියමිතයි.

 


ප්‍රශ්නය:-නමුත් ආණ්ඩුව නම් කියන්නේ හම්බන්තොට වරායට නැව් එන්නේ නෑ කියලා?
පිළිතුර:-
පොඞ්ඩක් ඉන්නකෝ. මේ සම්බන්ධයෙන් විස්තරාත්මක පර්යේක්ෂණ ලිපියක් මම 2017 ජනවාරි 5 වැනි දා ලංකාදීපයට ලිව්වා. ලෝක ඉතිහාසයේ නාවික පෙරැළි 2 වශයෙන් සලකන්නේ 1858දී සූවස් ඇළ ඉදිකිරීමත් 1903දී පැනමා ඇළ ඉදිකිරීමත් අද කා ඇළ නමින් තායිලන්තයේ හරහා ඇළක් ඉදිකිරීමට නියමිතයි. මෙය ඉදි කරන්නේ චීනයේ හිටපු ජනාධිපති හු ජුන්ටාවෝ චීන මලක්කා දෙගිඩියාව නමින් හැඳින් වූ මලක්කා සමුද්‍ර සන්ධියට අදාළ ප්‍රශ්නයයි. චීනයට තෙල් රැගෙන පැමිණෙන නැව්වලින් සියයට 80ක් අරාබියෙන් හා අප්‍රිකාවෙන් පිටත් වී මලක්කා සමුද්‍ර සන්ධිය හරහා තමයි චීනයට යන්නේ. මලක්කා සමුද්‍ර සන්ධිය කිලෝ මීටර් 2ත් 5ත් අතර ඉතා පටු තීරයක්. ඒ නිසා ඉන්දුනීසියාවටත් මැලේසියාවටත්, සිංගප්පූරුවටත් අයිති මුහුදු තීරයෙන් තමයි නැව් ගමන් කරන්නේ. කවදාහරි දවසක චීනය සමඟ අපනාපවී අපේ මුහුදු තීරය ඔස්සේ ඔබේ නැව් යන්න එපා යැයි චීනයට කිව්වොත් චීන ආර්ථිකය සතියකින් ඇඳගෙන වැටෙනවා. මේ නිසා චීනයට තමන්ගේ බල ශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් මලක්කා සමුද්‍ර සන්ධිය මඟ හැර යාමට තායිලන්තයේ ක්‍රා නැමැති ප්‍රදේශයේ හරහා ඇළක් කැපීමට ගිය වසරේ ආරම්භ කළා. මෙය ඩොලර් බිලියන 18ක් වැය කරන මෙය වසර 10කින් සම්පූර්ණ කිරීමට නියමිතයි. මේ ඇළ ඉදි කළාට පස්සේ සුවස් ඇළ ඉඳිකිරීමෙන් පසු සුබ පැතීමේ තුඩුව වරායට සිදු වූ දෙය සිංගප්පූරු වරායටත් සිදු වෙනවා. සුබ පැතීමේ තුඩුව වරාය ලෝකයේ තිබුණ කාර්යක්ෂම වරායක්. ඇයි? ආසියාව හා යුරෝපය අතර සියලුම නැව් නතර කරන ප්‍රධානම වරාය. හැබැයි සුවස් ඇළ කපලා අප්‍රිකාව වටා නැව් ගමනාගමනය නතර වුණාට පස්සේ මේක පාළු වරායක් බවට පත් වෙනවා. සිංගප්පූරු වරායට එන නැව්වලින් සියයට 90ක් ක්‍රා ඇළ හරහා යන්න පටන් ගන්නවා. එතකොට සිංගප්පූරුවට ආසියාවේ වැදගත්ම වරාය තත්ත්වය අහිමි වෙනවා.

 


ප්‍රශ්නය:- ඔබ කියන්නේ ඒ තත්ත්වය ශ්‍රී ලංකාවට හිමි වෙනවා කියලද?
පිළිතුර:-
ඔව්. ඒ තත්ත්වය හිමිවීමට නියමිත හම්බන්තොට වරායටයි.

 


ප්‍රශ්නය:- ඒක එහෙම වෙන්නේ කොහොමද?
පිළිතුර:-
ඒකට හේතු දෙකක් තියෙනවා. මුහුදු සේද මාවතට සමීපතම ගොඩබිම හම්බන්තොටයි. අනික හම්බන්තොට පවතින්නේ ක්‍රා සහ ඩුබායි හරි මැදයි. මේ නිසා ආසියාවේ තිබෙන වැදගත්ම නැව් තොට බවට හම්බන්තොට වරාය පත්වීමට නියමිතයි. ඒ නිසා මේ වරාය හදලා තියෙන්නේ හම්බන්තොට බඩු පිටරට යවන්න නෙවෙයි. සේද මාවතේ යන නැව්වලට අවශ්‍ය ඉන්ධන ආහාර හා නැවියන් සැපයීමේ සේවාවක් මෙන්ම නැව්වලට අවශ්‍ය අලුත්වැඩියා සැපයීමේ සේවාවක් කිරීමටයි. ඒ නිසා හම්බන්තොට වරාය හැදීමේ උපායමාර්ගික වැදගත්කම මේ අණ්ඩුවේ කිසි කෙනෙකුට නොතේරෙන බවයි, කර්මාන්ත ඇති කරලා අලුතින් ව්‍යාපාර ගේනවා කියලා කියන්නේ.

 


ප්‍රශ්නය:- එතකොට ගුවන් යානා එන්නැති ගුවන් තොටුපොළ ඔබ කොහොමද මේකට ගලපන්නේ?
පිළිතුර:-
ඇත්තෙන්ම අපේ රටට දෙවැනි එහෙම නැත්තම් විකල්ප ගුවන් තොටුපොලක අවශ්‍යතාවය තිබුණා. මොකද ලංකාවට පැමිණෙන ගුවන්යානා හිදිසියේ මතුවන තත්ත්වයක් තුළ ඒ කියන්නේ ගං වතුර, ගින්නක්, ත්‍රස්ත ප්‍රහාරයක්, සේවක වැඩවර්ජනයක් වගේ තත්ත්වයක් ඇති වුණොත් කියලා ඊළඟ ගුවන් තොටුපොළ බලායන්න අමතර තෙල් අරගෙන ආ යුතුයි. තෙල් බරයි. ඒක බැලන්ස් කරන්න මගීන් හා භාණ්ඩ ප්‍රමාණය අඩු කරනවා. ඒ නිසාම ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් අධික වියදම් සහිත ගමනක් බවට පත්වෙලා තිබුණේ. මේ කාරණාව නිසා ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර විකල්ප ගුවන් තොටුපොළක අවශ්‍යතාවය තිබුණා. මේක ජේ.ආර්. ජයවර්ධන යුගයේ පටන්ම විවිධ ස්ථානවල ඉදි කරන්න හෙව්වා.

 


ප්‍රශ්නය:- මහින්ද යුගයේ දී ඒකට හම්බන්තොටම සුදුසු වුණා. වෙන තැනක් තිබුණේ නෑ?
පිළිතුර:-
කටුනායක තියෙන්නේ තෙත් කලාපයේ නිසා මේක හදන්න ඕනෑ වියළි කලාපයේ. ඒ වගේම අපි දන්නවා හම්බන්තොට සේද මාවතේ තිබෙන නිසා නැවියන් මාරුවීමට යොදා ගත හැකියි. එතකොට මේ නැවියන් එන්නේ කොහෙන්ද? ගුවන් යානයෙන්. ඒ නිසා වරායක් අසල අනිවාර්යයෙන්ම ගුවන් තොටුපොළක් තිබිය යුතුයි. ඒ වගේම වරායක් වේවා ගුවන් තොටුපොළක් වේවා ඒවා සක්‍රීයවීමට අවශ්‍ය වෙනවා ජාත්‍යන්තර මට්ටමේ රෝහලක්. ඒ වගේම හොඳ හෝටල් පද්ධතියක්, හොඳ සාප්පු සංකීර්ණයක් අවශ්‍යයි. එතකොට ගුවන් තොටුපොළයි, වරායයි තැන් දෙකක හැදුවොත් ඔය කියපු දේවල් ඒ තැන් දෙකේම හදන්න වෙනවා. ඒ නිසා වරාය හා ගුවන්තොටුපොළ එකිනෙකා මත යැපෙන නිසා පහසුකම් හවුලේ භුක්ති විඳිය හැකි නිසා තමයි ගුවන්තොටුපළ හම්බන්තොටම හැදුවේ.

 


ප්‍රශ්නය:- රජය කියනවා චීන ආයෝජකයන් 50කට අධික පිරිසක් හම්බන්තොට එන්න සූදානම් කියලා. ඉතින් ඇයි ඔබලා විරුද්ධ වෙන්නේ?
පිළිතුර:-
රජය හිතාගෙන ඉන්නවා හම්බන්තොට වරාය හදලා තියෙන්නේ ලංකාවේ භාණ්ඩ පිටරට යවන්න. භාණ්ඩ නැති නිසයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ නිසා අප වහ වහා කළ යුත්තේ ලංකාවේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න ආයෝජකයන් ගෙන්වීමයි කියලයි. අද චීනය බරපතළ ප්‍රශ්නයක ඉන්නවා. ලෝකයේ අග නගරවලින් වැඩිම දූෂිතම අග නගරය බේජින්. වැඩිම පරිසර දූෂණය වෙන්නේ බේජින්වල. ඒ නිසා බේජින්වල ඔලිම්පික් පවත්වද්දී රටවල් ගණනාවක් ප්‍රතික්ෂේප කළා එහෙ එන්න. ඒක චීනයට ලැජ්ජාවට කාරණයක් වුණා. අද චීනය උත්සහ කරනවා. මේ දූෂිත කර්මාන්ත ලෝකයේ වෙනත් තැන්වලට ගෙනියන්න. තීන්ත, සායම් කර්මාන්තය, ඉන්ධන ආශ්‍රිත කර්මාන්තය, ලෝහ ආශ්‍රිත කර්මාන්ත වාගේ දූෂිත කර්මාන්ත චීනයෙන් පිටමං කරන්න හදනවා. ඉතින් ලංකාවේ හම්බන්තොට වරායේ අරමුණ නිෂ්පාදනය නොවේනම් ඇයි මේ දූෂිත කර්මාන්තවලට අපේ රටේ දොරවල් අරින්නේ? අමතක කරන්න එපා හම්බන්තොට මායිමේ තියෙන්නේ ලෝකයේ ආකර්ශනයට ලක් වෙලා තියෙන, ලංකාවේ දිවියා සම්බන්ධයෙන් කීර්තියක් උසුලන්නේ යාල ජාතික වනෝද්‍යානයයි. ඒ ජාතික වනෝද්‍යානයට සෘජුවම බලපෑමක් විය හැකි, බේජින් නුවරින් ඉවත් කිරීමට නියමිත් අධි පරිසර දූෂක කර්මාන්ත ටික මෙතැනට ගෙන ඒමටද මේ උත්සාහ කරන්නේ? එහෙම නැත්තම් මෙහි මුල් සැලැස්ම අනුව සේද මාවතේ යන නැව්වලට සේවා සැපයීම ද හම්බන්තොටින් කළ යුත්තේ? ඒ නිසා  මේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ හම්බන්තොට වරායේ උපාය මාර්ගික වැදගත්කමවත් ක්‍රා ඇළ ඉදිවීමේ ලෝක ප්‍රවණතා පිළිබඳවත්  මෙළෝ හසරක අවබෝධයක් නැති බවයි.

 


ප්‍රශ්නය:- ව්‍යාපෘතිය හම්බන්තොටට එපානම් ඒක පොලොන්නරුවට දෙන්න කියලා ජනපති මෛත්‍රී කිව්වා?
පිළිතුර:-
මම මුලින් පෙන්නුවා අගමැතිවරයා තමන්ගේ නොදන්නාකම ප්‍රදර්ශනය කළ ආකාරය. ඔය ප්‍රදර්ශනය කර තිබෙන්නේ ජනාධිපතිතුමාගේ නොදන්නා කමයි. හම්බන්තොට වරාය කාර්යක්ෂම කිරීම සඳහා හම්බන්තොට ආශ්‍රිතව කර්මාන්ත ඉදිකරන්නේ කියා අගමැතිතුමා පවසනවා. ඉතින් පොලොන්නරුවේ වරායක් තියෙනවද? හම්බන්තොට වරායේ ප්‍රශ්න විසඳෙනව ද පොලොන්නරුවට කර්මාන්ත දීමෙන්. පොලොන්නරුව කියන්නේ රට මැද තියෙන නගරයක්. ඉතින් වරායක් හදන්න පුළුවන්ද? එතුමන්ලා අපහාසයට පත් කරලා තියෙන්නේ එතුමන්ලාට ඡන්දය දුන් ලක්ෂ 62ක ජනතාවයි.

 


ප්‍රශ්නය:- හම්බන්තොට කර්මාන්ත එනකොට හම්බන්තොට මහින්ද පදනම දියවෙනවා. කුරුණෑගලට කර්මාන්ත එනකොට කුරුණෑගල මහින්ද රාජපක්ෂ ඡන්ද පදනම බිඳ වැටෙනවා. සමහරු කියනවා මහින්ද රාජපක්ෂට මන්ත්‍රී ධූරයත් රැකගන්න අමාරු වෙනවා කියලා?
පිළිතුර:-
කතාව මිසක් වැඩ නෑනේ. දැන් බලන්න 2015 දෙසැම්බර් 19 වැනිදා මා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා කිව්වා ජර්මනියේ ෆොක්ස්වැගන් සමාගම ලංකාවට එනවා. ඒ වගේම සමහරුන් කියන වොක්ස්වැගන් සමාගමක් ලෝකයේ කොහේවත් නෑ.


මොකද මගේ නම උදය වුණාට මට ඉංග්‍රීසියෙන් ‘මෝනින්’ කියලා කියන්නේ නැහැ. මගේ නම මොන භාෂාවෙන් කිව්වත් උදයම තමයි. එතකොට ජර්මන් නමක් උච්ඡාරණය කළ යුත්තේ ජර්මන් ආකාරයටයි. ජර්මන් භාෂාවේ වී අකුර ශබ්ධ කරන්නේ එෆ් අකුරේ ශබ්දයයි. ඒ අනුව එම සමාගමේ නම ෆොක්ස්වාගන් මිස වොක්ස්වැගන් නොවෙයි. 2015 ජනවාරි 19 වැනිදා මලික් සමරවික්‍රම ඇමතිතුමා කිව්වේ ෆොක්ස්වාගන් සමාගම ලංකාවේ වාහන එකලස් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියලා. ඊට පස්සේ අගමැතිතුමා 2016 ඔක්තෝම්බර් 27 වැනිදා තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ෆොක්ස්වාගන් සමාගම ලංකාවට එනවා කියලා කිව්වා. අයවැය විවාදයට එක් වෙමින් අකිල විරාජ් කාරියවසම් මැතිතුමා මේ ප්‍රකාශයම සිද්ධ කළා. දැන් අගමැතිතුමා අපෙන් අහනවා කවුද ෆොක්ස්වාගන් ලංකාවට එනවා කියලා කිව්වේ කියලා. මම නම් එහෙම කිව්වේ නැහැ. මගෙන් ඇහුවා නම් මම ඇත්ත කතාව කියනවා කියලා. නමුත් මුළු රටම දන්නවා කිව්වේ කවුද කියලා. එතුමාට කිව්ව කෙනා හොයාගන්න ඕනෑ නම් එතුමා කළ යුත්තේ කණ්ණාඩියක් ඉදිරියට යාමයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මන්ත්‍රී ධූරයටත් ප්‍රශ්නයක් වෙයි කියලා කිව්වත් ඒ ඡන්ද පදනම හොළවන්න ඔය කාටවත් බැහැ.

 


ප්‍රශ්නය:- ආණ්ඩුවෙන් තව කී දෙනෙක් එන්න ඉන්නවද?
පිළිතුර:-
මහින්ද රාජපක්ෂ යුගයේ දී අපි දැක්කේ විපක්ෂයේ අය පෙළ ගැසී ආණ්ඩුවට එකතුවීමයි. ජනාධිපතිතුමාගේ දෑත ශක්තිමත් කරනවා කියලයි එතුමාලා කිව්වේ. හැබැයි ඒකාබද්ධ විපක්ෂයෙන් කිසිම මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට ගියේ නෑ. ආණ්ඩුවේ මැති ඇමතිවරු අද කියන්නේ ආණ්ඩුවේ නායකයන් නටන පිස්සු නිසා අපට දැන් ගම්වලට යන්න බෑ. තව ටිකක් කල්ගියාම අපට ගෙදර යන්න වෙන්නෙත් නෑ කියලා. ඉතින් අපි දැක්කා පළමු වෙඩි මුරය තියමින් ප්‍රියංකර ජයරත්න ඇමතිතුමා ඉවත් වුණා. 

 


ප්‍රශ්නය:- අනික් අය එන්නේ කවදාද?
පිළිතුර:-
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී අපිත් එක්ක තව මන්ත්‍රීවරුන් පස් දෙනෙක් එකතු වෙන්න හිටියා. ඒ වගේම ව්‍යවස්ථාවට ඡන්දය විමසන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විසි දෙනෙක් එකතු කර ගන්න අපි බලාපොරොත්තුවෙන් හිටියා. 

 


ප්‍රශ්නය:- නමුත් ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම දින නියමයක් නැතිව කල් ගිහින්?
පිළිතුර:-
ඔව්. ඒ නිසාම ආණ්ඩුවෙන් විපක්ෂට එන එකත් කල් ගිහින් තියෙනවා. මොකද මන්ත්‍රී ධූරය අවදානමට දාගෙන එහෙම ඇවිත් රටට වැඩක් නැති නිසයි.

 


ප්‍රශ්නය:- 2017 දී ආණ්ඩුව පෙරළනවා කියලා මහින්ද රාජපක්ෂ කිව්වා. මේ අනුව ඒකත් කල් යයි ද?
පිළිතුර:-
අද මේ ආණ්ඩුව මිථ්‍යාවක් වපුරනවා 2020 වෙනතුරු ආණ්ඩුව යනවා කියලා. 2020 වෙනතුරු ආණ්ඩුව යන්න ව්‍යවස්ථාවෙන් ඉඩක් නෑ. ව්‍යවස්ථාව අනුව 2019 දෙසැම්බර් 9 වෙනකොට ජනාධිපතිවරණය පවත්වා අවසන් කළ යුතුයි. ඒ අනුව තව තියෙන්නේ අවුරුදු 2යි මාස 8ක් වැනි ඉතා සුළු කාලයක්. හැබැයි මේ ඉතුරු කාලයත් ඒ අයට රට කරගෙන යන්න ඉඩ දුන්නොත් 2019දී අපට බාරගන්න රටත් ඉතිරි වෙන්නේ නෑ. ඒ නිසා 2017 වසරේදීම අපි ආණ්ඩුව පෙරළනවා. ඒක කල් යන්නේ නැහැ.

m