2001 පෙබරවාරි මස 12 වැනිදා අනුරාධපුරයේ තලාව නගරයට හිරු උදා වීමත් සමග දරුවන් පාසල් යාමට සැරැසුණි. ලොකු පොඩි කාගේත් ප්‍රධාන ප්‍රවාහන සේවය වන දුම්රිය ද උදෑසන ගමනට සූදානම් විය. පාසල් යන මල් කැකුළු දෙකක් දුම්රියට බිලි වන බව දුම්රියට ද රහසක් විය. උදෑසන 7.00ට පාසල් යාමට පැමිණි පාසල් සිසුන් දෙදෙනකු දුම්රියේ ගැටුණේ තලාව ප්‍රදේශයම කම්පාවට පත් කරමිනි.
භාග්‍යා සෑම උදෑසනකම පාසලට ගියේ තම සහෝදරයා ද සමගිනි. පාසලට යෑම බොහෝ විට දුම්රියෙන් සිදු වන අතර, ඇතැම් දාට බස් රථයෙන් ද යයි. පෙබරවාරි 12 වැනිදාත් භාග්‍යා, මල්ලි සමග පාසල් යාමට පැමිණි නමුත්, දෛවෝපගත ලෙස තම වතුර බෝතලය අමතක වී භාග්‍යාට නැවත නිවෙසට යාමට සිදු විය. භාග්‍යා ප්‍රමාද වන බැවින්, කලින් පැමිණි බසයට නැග මල්ලි පාසල් යාමට පිටත් විය. භාග්‍යා නැවත පැමිණෙන විට තම නිවෙස අසල නිල නිවාසකයට අලුතින් පැමිණි සිසුවියක් ද බසය මගහැරී බලා සිටිනු දුටුවාය. ඇය මින් පෙර කිසිදු දිනයක දුම්රියෙන් පාසල වෙත ගමන් කර නොතිබුණි. එහෙත්, දුම්රියෙන් පාසල වෙත යාමට භාග්‍යා සමග එක්වූවාය. භාග්‍යාට දුම්රියේ ගමන ඉතා හුරුපුරුදු බැවින් වෙනදා මෙන් දුම්රිය මාර්ගය දිගේ ගමන් කළාය.
එහෙත්, එදින දුම්රිය එන මාර්ගය වෙනස් වී ඇති බව භාග්‍යා නොදැන සිටියාය. දුම්රිය එනු දුටු විට භාග්‍යා ඉක්මනින් දුම්රිය පීල්ලෙන් එළියට පැනීමට තැත් කළ ද අවාසනාවකට ඒ වන විට භාග්‍යා හා දුම්රිය අතර පැවැතියේ ඉතා සීමිත දුරකි. භාග්‍යා සහ යෙහෙළිය දුම්රියේ වැදුණි. භාග්‍යා දුම්රිය පීල්ල මතට වැටුණු අතර, යෙහෙළිය විසි වී ගියාය. එම සිදුවීමෙන් ඇයට තම පාද යුගලය සහ දකුණු අත අහිමි විය. වම් අත පමණක් ඉතිරි වූ ඇය එයින් නොසැලී අද මාස් හෝල්ඩින්ග්ස් ආයතනයේ කළමනාකාරවරියක ලෙස රැකියාවේ නියැළේ.
මේ, ඇය, ඇයගේ කතාව වචනවලට හැරවූ ආකාරයයි.
“මගේ ජීවිතේ වෙනස් වුණ දවස තමයි 2001 පෙබරවාරි 12 වැනිදා. ඒ තමයි මම දුම්රිය අනතුරට මුහුණ දීපු දවස. එතකොට මම පාසලේ 11 වසරේ ඉගෙන ගනිමින් හිටියේ. ඒත් එක්ක ආපු අභියෝග තමයි මගේ ජීවිත කතාව. උපතින්ම ආබාධිත කෙනෙක් නම් එයාලා ඒ ජීවිතයට මුල ඉඳලා හුරු වෙනවා. හැබැයි මම අවුරුදු 16ක් වෙනකන් හොඳට ඇවිදලා දුවලා පැනලා ඉඳලා එක පාරම ආබාධිත වුණාම මට ඒක අලුත්ම ජීවිතයක් වුණා. මට දැන් වයස අවුරුදු 39ක්. මගේ ජීවිතේ වැඩි කාලයක් මම ආබාධිත ලෙසයි ගත කරලා තියෙන්නේ. ඇත්තටම ඒක ජීවිත දෙකක් වගේ. මෙහෙම ජීවත් වෙද්දි කායිකව දැනෙන දේ, මානසිකව දැනෙන දේ සහ සමාජයෙන් නිර්මාණය කරන දේ ලෙස ආකාර 3ක් තියෙනවා. මේක කායික මානසික වේදනාවක්. ඒ වගේම සමාජයෙනුත් නිර්මාණය කරනවා අපිට සීමා සහ වේදනාව. අපේ රට මම විතරක් නෙමෙයි මම වගේ ආබාධිත අය ගොඩක් ඉන්න රටක්. යුද්ධයේදීත් ගොඩක් අය ආබාධවලට ලක් වුණා. මගේ කකුල් දෙකත් නෑ, දකුණු අතත් නෑ. එහෙම කියලා මම ගෙදර හිටියා නම්, මම 8 පාස් මනුස්සයෙක් වෙනවා. එතැනින් නවතින්නේ නැතුව ඉස්සරහට යනවා කියන එක තමයි මට අභියෝගයක් වුණේ.
මගේ අම්මා ගුරුවරියක්. තාත්තා සේවය කළේ තැපැල් දෙපාර්තමේන්තුවේ. මම පාසල් ගියේ අනුරාධපුර මාධ්‍ය මහා විද්‍යාලයට. මල්ලියි මමයි වෙන වෙනම පාසල් ගිය පළමුවැනි දවස ඒක. මේ අනතුර වුණේ උදේ 7.00ට වගේ. මම දුම්රිය දැකලා මාර්ගයෙන් ඉවත් වෙන්න හදද්දී දුම්රිය මගේ ළඟටම ඇවිත් තිබුණේ. මම දුම්රියේ වැදිලා වැටුණා. මගේ කකුල් දෙක දුම්රියේ රේල් පීල්ලට වැටුණ නිසා තමයි කකුල් දෙක අයින් කරන්න වුණේ. අක්කා දුම්රියේ වැදිලා විසි වුණා. ඒ නිසා එයාට ලොකු අනතුරක් වුණේ නෑ. අනතුරින් පස්සේ වුණ සිදුවීම් මට අසුබ විදිහට තමයි වෙලා තිබ්බේ. දුම්රිය ස්ථානයේ කිට්ටුවමයි රෝහල තියෙන්නේ. දුම්රිය ස්ථානයේ හිටපු අයයි දුම්රියේ හිටපු අයයි ඔක්කොම අක්කාව තමයි මුලින්ම රෝහල්ගත කරලා තියෙන්නේ. කට්ටිය ඒ වෙලාවේ හිතලා තිබුණේ මම මැරිලා කියලා. දුම්රියේ සද්දෙත් එක්ක, පාරේ එහා පැත්තේ ඉන්නවා මගේ අම්මාගේ යාළුවෙක්. එයා ඇවිල්ලා බලද්දි මම කියලා දැක්කාම එයා දුවලා ගිහිල්ලා මගේ තාත්තාට කියලා. තාත්තා ඇවිල්ලා තමයි මාව උස්සලා අරගෙන තියෙන්නේ. එක සැරයක් මම ඇස් ඇරලා බලලා මට අමාරුයි කියලා මම කිව්වාලු. ඊට පස්සේ එතැනින් එහාට මට ලොකු මතකයක් නෑ.
තාත්තා මාව අනුරාධපුර රෝහලට අරන් ගිහින් තිබුණා. ඒකත් ගිලන් රථයක නෙමෙයි අඳුරන කෙනෙක්ගේ වාහනයක. රෝහලට ගියාමත් අක්කාව බේරගන්න තියෙන අවස්ථාව වැඩි නිසා එයාලා තීරණය කරලා තිබුණා ඉස්සෙල්ලාම ඒ අක්කාගේ සැත්කම කරන්න. ඊට පස්සේ තමයි මාව සැත්කමට අරන් තිබුණේ. මගේ සැත්කම කරලා තිබුණේ උදේ 9.00ට. එතකොට පැය දෙකක් වෙනවා මාව අනතුරට ලක්වෙලා. ඒ නිසා අධික ලෙස ලේ ගැලීම් සිදු වෙලා තියෙනවා. මාස 8ක් වගේ කාලයක් මට ප්‍රතිකාර කළා. මාස දෙක හමාරකින් පස්සේ තමයි මට සිහිය ඇවිල්ලා තිබ්බේ. ඊට පස්සෙ තමයි මට මතකය ආවේ. ඒ වෙනකොට මගේ කකුල් දෙකයි අතයි අයින් කරලා. මට ඒක දරාගන්න අමාරු වුණා. මාව සිහි නැති කරලා 52 වතාවක් මාව සැත්කම්වලට භාජන කරල තිබ්බා. සමහර දවස්වලට මගේ ළඟ ඉන්න අම්මත් සිහිසුන් වී වැටෙනවා මම දිහා බලන් ඉන්න බැරුව.
මට සිහිය ආවාට පස්සේ ආපු ලොකුම අභියෝගය තමයි මම ඉස්සරහට මොකක්ද කරන්නේ කියලා තීරණය කරන එක. මට අනාගතය ගැන හරිම අපැහැදිලි හැඟීමක් තිබ්බේ. මම දිවි නසා ගත්තා නම් හොඳයි කියන හැඟීම මට දැනුණා. මට අතකුත් නෑ කකුල් දෙකත් නෑ. ඉතින් ඇයි මම ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නේ මට ඇති වුණා. මම ජීවත් වෙන එකෙන් මටවත් කාටවත් වැදගත් නෑ කියලා මට හිතුණා. අම්මාටයි තාත්තාටයි මල්ලිටයි මාව කරදරයක් කියලා හිතුණා. මම ගෙදර ආවාට පස්සේ මගේ කාමරේ දොර වහලා මාව සම්පූර්ණ පේන කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් මගේ දිහා බලාගෙන හොඳටම ඇඬුවා. ඒ තමයි මම ගැන හිතලා අඬපු අන්තිම වතාව. එදායින් පස්සේ ආයේ මම වෙනුවෙන් මම ඇඬුවේ නෑ. මම සිය දිවි නසා ගන්නේ නෑ කියලා තීරණය කළේ ඒ දවසේ.
මගේ වම් අත විතරයි තිබ්බේ. මම කලිනුත් ලිව්වේ වම් අතින්. අනිත් වැඩත් කාලයත් එක්ක වම් අතින් කරන්න රෝහලේ ඉද්දිම හුරු වුණා. වෛද්‍යවරයා ඇහුවා ඊළඟට මොකක්ද කරන්නේ කියලා. මම කිව්වේ, මට පාසල් යන්න ඕනෑ කියලා. අනුරාධපුර තිබ්බ අඩුපාඩුකම් එක්ක අයේ මම වගේ කෙනෙක් පාසල් යනවා කියන්නේ හරිම අමාරු වැඩක්. රෝහලේ වෛද්‍යවරයකුගේ හැඳුනුම්කමකට බ්‍රිතාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික රෝද පුටුවක් ලබා ගන්න පුළුවන් වුණා.
මගේ ඉල්ලීමට අම්මායි තාත්තායි පාසලට ගිහින් කතා කළා මගේ පාසල් ගමන ගැන. මම පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යාවක් විදිහට හිටපු කෙනෙක්. ඒ අවුරුද්දෙත් තෑගි ප්‍රදාන උත්සවයේ තෑග්ගක් මට තිබුණා. ඒ වගේම ක්‍රීඩා වැනි බාහිර දේවලුත් කළා. ඒ මොන දේ තිබුණත් විදුහල්පති මාව නැවත පාසලට ගැනීම ප්‍රත්ක්ෂේප කළා.
“භාග්‍යාට දැන් හිතෙනවා ඇති රෝහලේ හෙදියන්, වෛද්‍යවරු එයාව ආදරෙන් බලාගත්තා වගේ පාසලේදිත් ගුරුවරු ඇයව බලගනී කියලා. ඇත්තටම අපිට ඒක කරන්න බෑ. එයාට ඒක තේරුම් කරලා දෙන්න. පාසලේ එයාට අවශ්‍ය පහසුකම් අපිට ලබා දෙන්න බෑ.”
විදුහල්පති මගේ මවුපියන්ට කිව්වේ එහෙමයි. නැවත නැවත අහද්දි කිව්වා, එක උදව්වක් කරන්න පුළුවන්, ඉහළ තට්ටුවේ තියෙන පන්ති කාමරය පහළ තට්ටුවට අරන් දෙන්නම් කියලා. ඊට අමතරව එයාව බලාගන්න, වැසිකිළි එක්කන් යන්න බෑ කියලා කිව්වා. මට පාසල් නිල ඇඳුම අඳින්න කියලත් කිව්වා. මගේ මවුපියන්ට තිබුණ ප්‍රශ්නේ තමයි මාව වැසිකිළි එක්කන් යන ප්‍රශ්නේ. ඒ වගේම මගේ තුවාල සම්පූර්ණ හොඳ වෙලා තිබුණේ නෑ. ඒවාටත් ප්‍රතිකාර කරන ගමන් හිටියේ. මම ගෙදර ඉද්දි දවසම රෝද පුටුවේ ඉඳගෙන ඉන්නවා. මම එහෙම කරලා පෙන්නන්න ඕනෑ වුණේ මට පාසල් ගිහිල්ලත් වැසිකිළි නොයා ඉන්න පුළුවන් කියන එක. ඒ දේවල් එක්ක මගේ මවුපියන්ටත් මගේ ඉල්ලීම අහක දාන්න බැරි තත්වයක් උදා වුණා. ඒ සීමා බාධා මැද මාව නැවත පාසලට ඇතුළත් කළා.
මම නැවත පාසල් යන්න පටන්ගත්තේ ඔක්තෝබර් මාසයේ. සමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් නිසා මාස දෙකක කාලයයි මට තිබ්බේ විභාගයට. ඒ මාස දෙකේදිත් දවස් තුනක් පාසල් ගියා, දවස් දෙකක් ප්‍රතිකාරවලට රෝහලට ගියා. වෛද්‍යවරු නිර්දේශ කළේ 2001 වසරේ විභාගය නොකර ලබන වසරේදී විභාගයට පෙනී සිටින ලෙසයි. වැඩි වාර ගණනක් සැත්කම්වලට භාජන කර ඇති නිසා මම දුර්වල වෙලා වගේම මගේ මතකයත් නැති වෙලා තිබ්බා. ඒ නිසා විභාගයක් කරන්න තරම් සුදුසු මට්ටමක නෑ කියලා ඔවුන් නිර්දේශ කළා. හැබැයි මම තීරණය කළා තව අවුරුද්දක් පහු කරනවාට වඩා ඒ වසරේම කරන එක හොඳයි කියලා. මාස දෙකක් පාඩම් කරලා විභාගය ලිව්වා. ලියද්දි මට තේරුණා වෛද්‍යවරු කියපු දේ හරි කියලා. මට සමහර පාඩම් මතක් වෙනවා, අමතක වෙනවා වගේ තත්වයක් ඇති වුණා.
සාමාන්‍ය පෙළ සමත් වෙලා මම උසස් පෙළ හදාරන්න ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණය විෂය ක්ෂේත්‍රය තෝරා ගත්තා. මගේ දිස්ත්‍රික් කුසලතාව අනුරාධපුරයෙන් 30 වැනි ස්ථානය. මාව කැලණිය විශ්වවිද්‍යාලයට තේරී පත් වුණා. හැබැයි මගේ තත්වෙත් එක්ක තනියම මාව කොළඹට එවන්න අම්මලා කැමැති වුණේ නෑ. ඒ නිසා මම රජරට විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මම අවුරුදු 4ම විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ තමයි හිටියේ. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගද්දී මම අධ්‍යයන ශාලාවලට යන්න කිලෝමීටර් 3ක් වගේ යන්න ඕනෑ රෝද පුටුවෙන්. හරිම කර්කශයි ඒ ගමන් මාර්ගය. හරිම අමාරු කාලයක් ඒ කාලය. හොඳ යාළුවෝ හිටියා එයාලා මට උදව් කළා. ඒ වගේම වෙනස් වුණ දුරස් වුණ යාළුවොත් හිටියා. ඒ අභියෝග එක්ක අන්තිමට මට 254කින් යුතු අපේ කණ්ඩායමේ හොඳම ශිෂ්‍යාව බවට පත් වෙන්න හැකියාව ලබුණා. ඒ වගේම පළමු පෙළ සාමාර්ථයක් ලබාගන්නත් මට හැකියාව ලැබුණා.
උපාධිය ලබා ගැනීමෙන් පස්සේ මමත් රැකියාවක් හොයාගෙන ගියා. මම ගොඩක් රැකියාවලට ඉල්ලුම් කළා. ගොඩක් රැකියාවලට සම්මුඛ පරීක්ෂණවලට ගියා. විභාග ලිව්වා. විභාගයෙන් පාස් වුණත් සම්මුඛ පරීක්ෂණවලින් මම ප්‍රතික්ෂේප වුණ අවස්ථා බොහොමයි. මම එක්තරා බැංකුවක සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වූ අවස්ථාවේදී සම්මුඛ පරීක්ෂණය පවත්වන ස්ථානය උඩු මහලක තිබ්බේ. විදුලි සෝපානයටත් යන්න පඩි 23ක් නගින්න තිබ්බා. සම්මුඛ පරීක්ෂණය තියෙන තැනට ගිහින් තාත්තා කතා කළාම එයාලා කියලා තිබ්බේ, ‘අපිට උදව් කරන්න බෑ. ඔයාට පුළුවන් නම් ඔයාගේ ළමයා මෙතැනට එක්කන් එන්න. එක්කන් ආවොත් අපි සම්මුඛ පරීක්ෂණය කරන්නම්’ කියලා. තාත්තා මාව එතැනට එක්කන් ගියා. හැබැයි සම්මුඛ පරීක්ෂණයෙන් පස්සේ එයාලා දැනුම් දුන්නේ එක් අතක් විතරක් තියාගෙන සල්ලි එක්ක වැඩ කරන්න බැරි නිසා මාව ගන්න රැකියාවට බඳවා ගන්න බෑ කියලා. මගේ උපාධිය කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණය. මම මගේ විශ්වවිද්‍යාලයේම කථිකාචාර්ය තනතුරකට ඉල්ලුම් කළා. එයාලාගේ අදහස වුණේ මම කොහොම ද සිසුවෙක් ළඟට ගිහිල්ලා උගන්නන්නේ කියන එක. මම පැහැදිලි කළා මම ඉගෙන ගත්ත තැන මට වැඩ කරන්න පුළුවන් කියලා. එහෙත් මට ඒ රැකියාවත් අහිමි වුණා.
අපි ජීවිතේ අභියෝග බාර ගත්තට සමාජය අභියෝග බාර ගන්න ලෑස්ති ද කියන එක ඇත්තටම ගැටලුවක්. සමාජයට අභියෝගය බාර ගන්න බැරි නිසා මාව රැකියාවට ගත්තේ නෑ. කිසිම තැනක අවස්ථාවක් ලැබුණේ නෑ. ඊටත් පස්සේ තමයි මම මාස් හෝල්ඩින්ග්ස් ආයතනයට සම්බන්ධ වෙන්නේ. මම සම්බන්ධ වෙද්දි විවිධ ගැටලු තිබ්බා. එහෙත්, ආයතනය මට අවශ්‍ය පහසුකම් සලසලා දුන්නා. මම දැන් මාස් හෝල්ඩින්ග්ස් ආයතනයේ කළමනාකාරිණියක්.
මගේ පෞද්ගලික ජීවිතය ගැන කියනවා නම්, මම දැන් බිරියක් වගේම දෙදරු මවක්. මට අවුරුදු 8ක සහ අවුරුදු 6ක දුවලා දෙන්නෙක් ඉන්නවා. මගේ ජීවිතේ තව කෙනෙක් එක්ක ඉස්සරහට යන්න කිසිම අදහසක් මට තිබ්බේ නෑ. එහෙම ජීවිතේ බෙදා ගන්න තරම් වටින දෙයක් මට නෑ කියලා මම හිතුවේ. මගේ සැමියා 6 පන්තියේ ඉඳලා මගේ යාළුවෙක්. අපේ ප්‍රේමය පාසල් ප්‍රේමයක් නෙමෙයි. විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙන ගනිද්දි තමයි අපි අතර සම්බන්ධයක් ඇති වෙන්නේ. එහෙත්, අපි විශ්වවිද්‍යාල දෙකක අධ්‍යාපනය හැදෑරුවේ. එයා කොළඹ විශ්වවිද්‍යාලයේ. මම රජරට විශ්වවිද්‍යාලයේ. අපි අතර කලින් ඉඳලාම මිත්‍රත්වය තිබ්බා. මට එයා ගොඩක් උදව් කළා. මාව මෙහෙයවූවා. ඒවත් එක්කම අපි පෙම්වතුන් වුණා. එයාලාගේ මවුපියන් මට කැමැති වුණේ නෑ මුලදී. කාලයක් යනකොට මවුපියන් අවබෝධ කරගත්තා. කාලයත් එක්ක හැමදේම හරි ගියා. අපි බඳින්න තීරණය කළා. මගේ විවාහ ජීවිතයත් සාර්ථක වුණා. ඒකට හේතුව තමයි, මගේ සැමියා මට අලුත් කෙනෙක් නෙමෙයි. අලුතෙන් අඳුරගන්න දෙයක් තිබ්බෙ නෑ. හොඳම යාළුවෙක් ස්වාමියා බවට පත්වුණ එක තමයි වුණේ.
මම සිසේරියන් සැත්කමක් මගින් දරුවන් දෙන්නාම බිහි කළේ. මගේ උදව්වට මගේ අම්මා හිටියා මගේ ළඟ. දරුවෝ ලැබුණු දවසේ ඉඳලා දරුවන්ගේ සියලුම වැඩ කරන්නේ මගේ අතින්. 12.00ට නිදාගෙන 4.00ට නැගිටලා තමයි මම දවසේ වැඩ කරන්නේ. දවසට පැය 20ක් මම වැඩ කරනවා. මම දැන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ ශාස්ත්‍රපති උපාධියත් අවසන් කරලා තියෙනවා.
මම පොඩි කාලේ ඉඳලාම ඇදහූ දෙයක් තිබ්බා. ඒ තමයි, මේ ලෝකේ වෙනස් වෙන්නේ නැති එකම දේ වෙනස් වීම කියන එක. මගේ අනතුරෙන් පස්සේ ඒ කතාව ඇත්ත කියලා මම විශ්වාස කරන්න ගත්තා. ඒකත් එක්ක මට හැම වැඩක්ම කරන්න ගියාම ඒකේ අවසන් අරමුණු දෙකක් තිබ්බා. හරි ගියොත් මොකක්ද වෙන්නේ, වැරැදුණොත් මොකක්ද වෙන්නේ කියලා. ඒකේ උපරිම 100 වගේම 0 දක්වා සීමාවක් තිබ්බා. මොන දේ කළත් වැරැදුණා කියල නෑ, ඒකත් වෙනස් වීමක් කියලා තේරුම් ගන්න තරම් මට ආත්ම විශ්වාසයක් ඇති වුණා. එහෙත්, මාස් හෝල්ඩින්ග්ස් එකට ආවාම මම තේරුම් ගත්ත දේ තමයි, නොවෙනස් වෙන එකම දේ වෙනස් වීම නෙවෙයි, වෙනස් වීම අවස්ථාවක් කරගන්න ඕනෑ කියන කාරණාව. වෙනස් වන දේ අභියෝගයක් නමුත්, එය නව අවස්ථාවකට පරිවර්තනය කරගන්න ඕනෑ.
අපේ ජීවිතයේ හොඳ දවස් වගේම නරක දවස් එනවා. අපි සතුටු වුණ දවස්වලට වඩා දුක් වුණු දවස්වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒ දවස් ජීවිතයට ශක්තියක් කරගන්න ඕනෑ. තමන් කවුද කියලා මුලින්ම හදඳුනාගන්න ඕනෑ. මම මොනවා ද කරන්න ඕනෑ, මට මොනවා ද ඕනෑ, කොතැනට ද මම යන්න ඕනෑ කියලා අවබෝධ කරගන්න එක ජීවිතයට හරිම වැදගත්. මගේ ජීවිතයේ සාර්ථකත්වය මෙලෙස ජීවිතය අවබෝධ කරගැනීමයි.
භාග්‍යා සෙනෙවිරත්න කියන්නේ නිදහස් අධ්‍යාපනයෙන්, නිදහස් සෞඛ්‍යයෙන් ජීවත්වෙන කෙනෙක්. ඒ නිසා මම මේ රටට මොනවා හරි කරන්න ඕනෑ කියලා හැම වෙලාවෙම හිතනවා. මම භාවිත කරලා ඉවත් කරන ඉලෙක්ට්‍රෝන රෝද පුටු, ඉගෙන ගන්න ළමයින්ට මම පරිත්‍යාග කරනවා. මට මෙතැනට එන්න තිබ්බ අභියෝග මොනවා ද කියලා මම දන්නවා. මම වගේ ආබාධිත දරුවන්ට කොළඹ නැවතිලා එයාලාගේ අවශ්‍යතා ඉටු කරගන්න, ඉගෙන ගන්න පුළුවන් තැනක් කොළඹ අවටින් හදන්න මමයි මගේ සැමියයි බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ජනගහනයෙන් සියයට 8ක් ආබාධිත අය ඉන්නවා. එයින් රටේ ශ්‍රම බළකායට දායක වෙන්නේ සියයට 2කටත් වඩා අඩු ප්‍රමාණයක්. මගේ අරමුණ තමයි ශ්‍රම බළකායට දායක වන පිරිස වැඩි කරන එක.
ඒ වගේම, ලංකාව තුළ ආබාධිත පුද්ගලයන්ට පහසුකම් සලසා දීම පිළිබඳව මීට වඩා සැලකිලිමත් වීමට හැකි නම් එය ඉතා වැදගත්. ඒ වගේම ලංකාවේ මිනිසුන්ගේ ආකල්පමය වශයෙන් වෙනස් වීමක් වෙන්න ඕනෑ. මම මුහුණ දුන් සිදුවීමක් විස්තර කරනවා නම්, මම අම්මලා එක්ක රුවන්වැලි සෑය වඳින්න ගිහින් ඉද්දි පොඩි ළමයෙක් දුවගෙන ඇවිල්ලා රුපියල් 20ක් මට දීලා දුවලා ගියා. මම ඒක ආපහු දුන්නත් ඒ ළමයා ගන්න ලෑස්ති නෑ. මම ඒක පින් කැටයකට දැම්මා. රෝද පුටුවක ඉන්න හැමෝම හිඟා කන අය ද, හිඟා කන්න ඕනෑ ද කියන ගැටලුව මට තියෙනවා. මේ ආකල්පය වෙනස් වෙන්න ඕනෑ.”
ඇය බාධක අභියෝග රාශියක් මැද ජීවිතය දිනා අවසන්ය. ඇය දියණියක්, බිරියක්, මවක්, සේවා ස්ථානයේ කළමනාකාරිණියක් ලෙස ජීවිතයේ අරමුණු කරා ගමන් කර ඇත. ඇයත් ශ්‍රී ලකාවේ බිහි වූ වීර කාන්තාවකි. අධිෂ්ඨානයක්, අරමුණක් තිබේ නම්, කළ නොහැක්කක් නොමැත යන්නට ඇය හොඳම නිදසුනකි.
(***)
ශෂිකා අබේරත්න