දෙමලිය - වන්දම අලි නිජබිම් සමාගම්වලට බදු දීලා?


මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අලි - ඇතුන් ගේ නිජබිම් මේ වෙන විට ව්‍යාපාරිකයන්ට බදු දී තිබේ. දෙමලිය, වන්දම, කුඩාඔය යන රජයේ වනාන්තරයට අයත් රහතන්ගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වනාන්තර මෙලෙස ව්‍යාපාරිකයන්ට බදු දී තිබේ.

මේ ඉඩම් බදු දීමේදී ඊට සෘජු මැදිහත්වීමක් වූ බවට බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇතැම් නිලධාරින්ට ද සෘජුවම චෝදනා එල්ල වී තිබේ. ඔවුන් විවිධ සමාගම් හා විවිධ ව්‍යාපාරිකයන්ට රජයේ මෙම රක්ෂිත ඉඩම් බදු දී තිබෙන බවට ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර මහතා ද පවසයි.

මෙම වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වූවකි. මෙම වනාන්තර ලබාදීමේ කාර්යයට සහය දුන් බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකුට ද චෝදනා එල්ල වෙයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම ඉඩම් සමාගම්වලට හා ව්‍යාපාරිකයන් වෙත නිදහස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ පවතින නීති උල්ලංඝනය කිරීමෙන් බව ද සජීව චාමිකර මහතා පෙන්වා දෙයි. මෙම දැවැන්ත ඉඩම් ජාවාරමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහයද ලැබී තිබෙන බව වාර්තා වෙයි.

ලු‍ණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට හඳපානාගල වැව දක්වා අලි සංක්‍රමණය වීම සිදු වන්නේ දෙමලිය - වන්දම වනාන්තර ප්‍රදේශයෙනි. අලි - ඇතුන් 120 ක් පමණ මෙම වනාන්තර නිජබිම් කර ගෙන ජීවත් වන අතර වර්තමානය වන විට අක්කර 3000 ක පමණ භූමි ප්‍රදේශයක වනාන්තර ඉවත් කර දැවැන්ත එල්ලෙන විදුලි වැටවල් සකස් කර ඇත. තවද මහා පරිමාණ වාණිජ වගා බිම් ව්‍යාප්ත කර තිබේ. මේ හේතුවෙන් අලි - ඇතුන්ගේ සංචරණ මාර්ග සම්පූර්ණයෙන් අවහිර වී ඇත. එහෙයින් තෙලු‍ල්ල, ඇතිලිවැව, කිතුල්කොටේ, උල්කන්ඳ, හඳපානාගල සහ පැල්වත්ත ජනපද ලෙස පවතින බ්ලොක් 16 හා 14 යන ගම්මානවලට අලි ඇතුන්ගේ පැමිණීම වැඩි වී ඇත. මේ හේතුවෙන් දරුණු අලි - මිනිස් ගැටුමක් නිර්මාණය වී තිබේ.

හෙක්ටයාර 2694 ක් පුරා ව්‍යාප්තව ඇති දෙමලිය - වන්දම - කුඩාඔය රජයේ වනාන්තරය තුළ හා ඊට මායිම්ව කඩවර වැව, පරළු වැව, දෙමලිය වැව, හුරත්ගමුව වැව හා ගුනේරිස් වැව පිහිටා තිබේ. මෙම වනාන්තර ප්‍රදේශය මෙම වැව්වල මෙන්ම කිරිඳි ඔයේ ජල පෝෂක ප්‍රදේශය. මීට අමතරව මෙම වනාන්තර ප්‍රදේශය උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය යටතේ දෙමලිය - වන්දම වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා වී තිබුණි. එහෙත් ඊට බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කණ්ඩායමක් විසින් සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට මෙම රජයේ වනාන්තර සියල්ල බදු දී තිබෙන බවට සජීව චාමිකර මහතා පෙන්වා දෙයි.

මොනරාගල හිටපු දිසා වන නිලධාරියකුගේ පාලන කාලයේදී ප්‍රධාන පෙළේ සමාගම් දෙකකට රජයේ වනාන්තර අක්කර 1200 ක් හා 500 ක් ආදී වශයෙන් නීති විරෝධීව ලබාදීම ආරම්භ කෙරුණි. මෙම වනාන්තර ඉඩම් ජාවාරම වර්තමානය වන විට සමස්ත දෙමලිය - වන්දම - කුඩාඔය රජයේ වනාන්තර පද්ධතිය පුරාම ව්‍යාප්ත කර ඇත. නීති විරෝධීව මෙම සමාගම් දෙකට ඉඩම් නිදහස් කිරීම සඳහා බුත්තල සහ වැල්ලවාය හිටපු ප්‍රාදේශීය ලේකම්වරුන් දෙදෙනකුද කටයුතු කර ඇති බවට සජීව චාමිකර මහතා පෙන්වා දෙයි. මේ නිසා මෙම වනාන්තරය නිජබිම් කරගෙන ජීවත් වන අලි 120 කට පමණ ලු‍ණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට හඳපානාගල වැව දක්වා සංක්‍රමණය වීමේදී මහත් ඛේදවාචකයකට මුහුණ දීමට සිදුව ඇත. එම ප්‍රදේශවල වගා බිම් පවත්වාගෙන යන සමාගම්වල සේවකයන් හා ව්‍යාපාරිකයන් විසින් අලි - ඇතුන්ට වෙඩි තැබීම ජයටම සිදු වෙයි. මේ හේතුවෙන් අලි මරණ විශාල ගණනක් මෙම ප්‍රදේශය තුළ වාර්තා වී තිබෙන බව සජීව චාමිකර මහතා පෙන්වා දෙයි.

මීට අමතරව මෙම ප්‍රදේශයේ පිහිටි කඩවර වැවට පහළින් ලු‍ණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට මායිම්ව ඇති වර්තමානය වන විට අලි - ඇතුන් රැඳී සිටින විශාලම වනාන්තර ප්‍රදේශයට අයත් අක්කර 202 ක් වාණිජ වගා සඳහා නිදහස් කිරීමට ද සූදානමක් පවතියි. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම ඉඩම් නිදහස් කිරීමට සූදානම් වන්නේ ඉඩම් ජාවාරම්කරුවන් කිහිපදෙනකුගේ පෙළැඹවීම බව ද වාර්තා වෙයි.

දෙමලිය - වන්දම - කුඩාඔය රජයේ වනාන්තරයේ ඉඩම් මහ පරිමාණයෙන් අත්පත් කර ගෙන සිටින්නේ දේශපාලඥයන් හා ව්‍යාපාරිකයන් පිරිසකි. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අක්කර 300ක්ද, නුවරඑළියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුතකුට අක්කර 100 ක්ද බුත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අක්කර 150 ක්ද, පෞද්ගලික සමාගමට අක්කර 100 ක්ද, ගොවිපොළක් හිමි සමාගමට අයත් අක්කර 50 ක්, ඕස්ට්‍රේලියාවේ වැඩවාසය කරන හිමිනමකට අයත් අක්කර 100 ක් හා තවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනකුට අයත් අක්කර 50 ක් පමණ වන ඉඩම් කට්ටි කිහිපයක් මේ වන විට අත්පත් කර ගෙන තිබේ. මේ සියලූම වනාන්තර එළිපෙහෙළි කර වගා බිම් ව්‍යාප්ත කර ඇත්තේ පාරිසරික නීති උල්ලංඝනය කරමින් බවද සජීව චාමිකර මහතා පෙන්වා දෙයි.

දෙමලිය - වන්දම - කුඩාඔය රජයේ වනාන්තරය, දෙමලිය - කුඩාඔය යෝජිත රක්ෂිතය ලෙස නම් කර ඇති අතර 2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥාපනතේ 20(1) වැනි වගන්තියට අනුව රජයේ වනාන්තරයක් ලෙස මෙම ප්‍රදේශය පාලනය වේ. එම වගන්තියට අනුව එවැනි වනාන්තරයක ශාක කපා ඉවත් කිරීම, වගා කිරීම, තාවකාලික හෝ ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීම හා පදිංචි වී සිටීම, මාර්ග සකස් කිරීම හා භාවිත කිරීම වරදකි. එවන් වරදකට අධිකරණයෙන් වරදකරුවකු කරන පුද්ගලයකු වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 5000 ත් 50,000 ත් අතර දඩයකට හෝ මෙම දණ්ඩන දෙකටම යටත් කළ හැකිය. මෙම දඬුවමට අමතරව රජයේ වනාන්තරයට කරන ලද හානිය සඳහා අධිකරණය නියම කරන දඩයකට ද යටත් කළ හැකි ය. මෙම ආඥාපනතේ 20(2) වගන්තියේ සඳහන් වන ආකාරයට රජයේ වනාන්තරයක නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට ආධාර හා අනුබල ලබා දීම ද වරදක් වන අතර එවන් පුද්ගලයකු මෙම දඬුවම්වලටම යටත් කළ හැකි බව සජීව චාමිකර මහතා පෙන්වා දෙයි.

වන අපරාධ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සඟවමින් එම ක්‍රියාවේ නිරත වන පුද්ගලයකු මෙම ආඥාපනතේ 48(1) වගන්තියට අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි ය. මීට අමතර ව මෙම ආඥාපනතේ 53අ. වගන්තියට අනුව රජයේ වනාන්තරයක් නීති විරෝධීව එළිකරන හෝ අල්ලා ගනු ලබන හෝ නීති විරෝධීව හෝ අනවසරයෙන් සතු කර ගෙන ඇති අවස්ථාවක ඒ තැනැත්තා වරදකරුවකු වන අතර ඔහු එම වරද සම්බන්ධයෙන් වූ දඬුවමට අතිරේකව එම ඉඩමෙන් නෙරපීමට ද යටත් විය යුතු ය. 1979 අංක 7 දරන රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනතේ විධිවිධානවලට අනුව අදාළ නෙරපීම් කළ යුතු ය. මෙය අදාළ ඉඩම පිහිටි ප්‍රදේශයේ වන නිලධාරීන් විසින් කළ යුතු බව සජීව චාමිකර මහතා පෙන්වා දෙයි.

මෙවන් වූ නීතිමය තත්ව ගණනාවකට යටත් වන දෙමලිය - වන්දම - කුඩාඔය රජයේ වනාන්තරය බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇතැම් පිරිස් සහ ඇතැම් වන සංරක්ෂණ නිලධාරීන් හා හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු එක්ව සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දී ඇත්තේ කුමන පදනමක් මත ද යන්න ගැටලු‍වකි. නිලධාරීන් හා දේශපාලඥයන් සිදු කළ මෙම නීති විරෝධී ක්‍රියා සියල්ලට ම එරෙහි ව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද සජීව චාමිකර මහතා පෙන්වා දෙයි.

මේ සඳහා වැදගත් වන ප්‍රමුඛ නඩු තීන්දුවක් වන්නේ පටපිළිකන්ඳ නඩු තීන්දුවයි. ප්‍රාදේශීය ලේකම්වරයකු විසින් වන සංරක්ෂණ ආඥාපනත යටතේ පාලනය වන පටපිළිකන්දේ රජයේ වනාන්තර ඉඩමක් සඳහා වාර්ෂික බලපත්‍රයක් ලබා දීමට එරෙහිව අභියාචනාධිකරණයේ විභාග වූ සීඒ/රිට්/අංක 2047/2003 දරන රිට් නඩුකරයට අනුව ලබා දුන් රිට් ආඥාවේ සඳහන් වන්නේ අදාළ රජයේ වනාන්තර ඉඩම ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසට පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයේ ලේකම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂණ ජනරාල්වරයා වෙත නියෝග කළ බව ය. එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ එස්.සී. අංක 78/2006 දරන නඩුකරයට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකඟතාවක් නොමැතිව රජයේ වනාන්තර ඉඩමක් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීම බලය ඉක්මවා කටයුතු කිරීමක් බවට තීන්දු කරමිනි. අභියාචනාධිකරණයෙන් ද එලෙස ලබා දුන් තීන්දුව තවදුරටත් තහවුරු කරන ලදී. මෙවන් පූර්වාදර්ශ නඩු තීන්දු තිබියදී බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇතැම් පිරිස් දෙමලිය හා වන්දම ප්‍රදේශයේ රජයේ වනාන්තර ඉඩම් සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දීමෙන් සිදු කර ඇත්තේ කුමන පදනමකින් දැයි විමසා බැලිය යුතු බව සජීව චාමිකර මහතා පෙන්වා දෙයි

එසේම ඉඩම් ලබාගත් සමාගම් හා ව්‍යාපාරිකයන් බදු වශයෙන් ලබා ගත් ඉඩම් සංවර්ධනය කිරීම කර ඇත්තේ ද නීති විරෝධී ලෙසය. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින 772/22 අංක දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර් 1 කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්‍රිත නොවන කාර්යයක් සඳහා යොදා ගැනීමට ප්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප්‍රදේශයක් එළි පෙහෙළි කිරීමට ප්‍රථමයෙන් පාරිසරික බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. මෙම නීතිමය තත්වය උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයකු පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකිය. එහෙත් මෙම වගන්තිවලට යටත් ව පනත ක්‍රියාවේ යෙදවිය යුතු මධ්‍යම පරිසර අධිකාරිය මෙම සමාගම් හා ව්‍යාපාරිකයන් කර ඇති කිසිදු නීති විරෝධී ක්‍රියාවකට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කර නොමැත.

මීට අමතරව 1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥාපනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2001 අංක 1 දරන ව්‍යාපෘති කාර්යය පටිපාටි නියෝගවලට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. එහෙත් මෙම නීති උල්ලංඝනය කරමින් වනාන්තර විනාශ කරමින් මහ පරිමාණ වගා බිම් නීති විරෝධී ව පවත්වාගෙන යන කිසිදු සමාගමකට එරෙහිව පුරාවස්තු ආඥා පනත ක්‍රියාවේ යොදවන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද සජීව චාමිකර මහතා පෙන්වා දෙයි.

බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇතැම් නිලධාරින් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් මෙම අණ පනත් උල්ලංඝනය කර රජයේ වනාන්තර ඉඩම් බදු දීමෙන් කර ඇත්තේ බල අතික්‍රමණය නැතහොත් අයුතු ලෙස බලය භාවිත කිරීමකි. මධ්‍යම පරිසර අධිකාරියේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අණ පනත් ක්‍රියාවේ නොයෙදවීමෙන් කර ඇත්තේ සාපරාධී නොකර හැරීමකි. එය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වැනි පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ සඳහන් 27(14) ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර, සුරක්ෂිත කර, වැඩිදියුණු කළ යුතු ය යන ව්‍යවස්ථාව මේ මගින් උල්ලංඝනය කර ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ 289 වන වගන්තියට අනුව ආඥාවකින් පැවරුණු යුතුකමක් නොකරහරින හෝ ඕනෑවටම පැහැර හැරීම නීතියෙන් දඬුවම් නියම විය යුතු වරදකි. එම වරද සඳහා වන දඬුවම වන සංරක්ෂණ ආඥාපනතේ 20 වගන්තියට අනුව වන අපරාධයක් කිරීමට ආධාර හා අනුබල ලබා දීමේ දණ්ඩනය ම වේ. මීට අමතරව දණ්ඩ නීති සංග්‍රහයේ නව වන පරිච්ඡේදයේ 158 වන වගන්තියට අනුව යම් නිල කාර්යයක් නොකර සිටීමට තුටු පඬුරක් ලබා ගැනීම අවුරුදු 3 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයකට හෝ එම දඬුවම් දෙකට ම යටත් කළ හැකි වරදක් බව ද සජීව චාමිකර මහතා පෙන්වා දෙයි.

අපි නිදහස් කළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිදහස් කළ ඉඩම්

කිසිම අයථා කටයුත්තක් වෙලා නෑ

- ප්‍රාදේශීය ලේකම් බුත්තල

මේ සම්බන්ධව අදහස් දක්වන බුත්තල ප්‍රාදේශීය ලේකම් රසික තිලකරත්න මහතා පෙන්වා දෙන්නේ මෙවැන්නකි. පරිසර සංවිධාන කියා ගන්න පිරිසක් විසින් නඟන මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. මේ ඉඩම් 2021 ට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්ව තිබුණා. එහෙත් 2021-07-19 දින MWFC/1/2020 දරන අමාත්‍ය මණ්ඩල චක්‍රලේබනයට අනුව හදුනාගත් සංරක්ෂණය නොකළ වන සංරක්ෂණ සහ වනජීවි දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරු වෙත බාරදීම සිදු කළා. ඒ අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය අඩවි වන කාර්යාලයට අයත් බුත්තල බීට්ටුවේ පිහිටි වන්දම නම් හෙක්ටයාර 1251.12ක ඉඩම බුත්තල ප්‍රාදේශීය ලේකම්රයා වෙත පැවරුණා. මෙම ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබෙන විට මිනිස්සු බලෙන් අල්ලා ගෙන හිටියා. ඒනිසා අප වෙත පැවරූ ඉඩම් සංවර්ධනය කිරීමට ඉල්ලන අයදුම්කරුවන් වෙත මුදා හැරියා. ඒ නීත්‍යනුකූල පදනමක සිටයි.

සංවර්ධන කටයුතු සඳහා ඉඩම් ඉල්ලා සිටින විට අදාළ වාර්තා සහ නිර්දේශ ලබාගෙන විධිමත්ව වනජීවී වන සංරක්ෂණ හා පුරාවිද්‍යා මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ඇතිව තමයි සංවර්ධනය සඳහා අවසර ලබා දී තිබෙන්නේ. සමහර පෞද්ගලික සමාගම් සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉඩමක් නිදහස් කරලා තිබෙනවා ඉඩම් කොමසාරිස් ජනරාල්ට එම ඉඩම සඳහා බදු හදන්න කියලා. තවත් සමාගමකට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒක නිසා පරිසර සංවිධාන කියන විදියට කිසිම අකටයුත්තක් මෙතන වෙලා නෑ. මේ අයට තොරතුරු කොහෙන් ගිහින් ද කියලා දන්නේ නෑ. එහෙත් අපි රජයේ ඉඩම් දීලා තියෙන්නේ නීත්‍යනුකූලව.

අපට රජයේ ඉඩම් ඉල්ලලා අයදුම්පත් ගොඩක් ලැබෙනවා. ඒවා අර ඇමැතිවරයාගේ අර ඇමතිවරයාගේ පුතාගේ කියලා වෙන් කරලා දෙන්නේ නෑ. අයදුම්පතේ තිබෙන නමට සුදුසුකම් සපුරා ඇත්නම් ඉඩමක් සංවර්ධනය සඳහා ලබාදිය හැකි කොන්දේසි සපුරලා නම් ඉඩම නිදහස් කරනවා. ඉන් එහාට කිසිම අකටයුත්තක් වෙලා නැති බවද ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේය.

 

 මගේ කාලයේ සංවර්ධනය සඳහා ඉඩම් බදු දීලා නෑ

- ප්‍රාදේශීය ලේකම් වැල්ලවාය

මේ ගැන වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් රවින්ද්‍රා මාලනි මහත්මිය පැවසුවේ මෙවැන්නකි. මම ඇවිත් අවුරුද්දයි මාස දෙකයි. මගේ කාල සීමාව තුළ කාටවත් රජයේ ඉඩම් නිදහස් කරලා නෑ. නීත්‍යනුකූවල බදු දීලත් නෑ. වන සංරක්ෂණ ඉඩම් අපට කොහොමත් බදු දෙන්න බෑ. රජයේ ඉඩම් ප්‍රාදේශීය ලේකම්ට අයත් ඉඩම් නියමිත බදු ගෙවලා නිත්‍යනුකූල ලෙස බදු දීලා තිබෙනවා යැයි ප්‍රාදේශීය ලේකම්වරිය කියා සිටියාය.

 

 බුත්තල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත හෙක්ටයාර 2232.35ක ඉඩම් නිදහස් කළා

- වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව

මේ ගැන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීමට කතා කළත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සිටියේ හදිසි රැස්වීමකය. එහෙයින් එහි ප්‍රකාශකයකු අප වෙත සඳහන් කළේ 2020/1 චක්‍රලේබනය යටතේ වන්දම - දෙමලිය හෙක්ටයාර 2232.35ක් බුත්තල ප්‍රාදේශීය ලේක්ම්වරයා වෙත නිදහස් කර ඇති බවය. එම ඉඩම් ප්‍රාදේශීය ලේක්ම්වරයාට සංවර්ධන කටයුතු සඳහා නිදහස් කිරීමේ බලය ඇති බවද එම ප්‍රකාශකයා කීය.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි 2025-03-24 දින වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් මගින් දැනුම් දෙන්නේ වන්දම - දෙමලිය යෝජිත රක්ෂිතයේ ඉඩම් පුද්ගලයන්ට හෝ ආයතන වෙත ලබාදීමේ ගැටලු පවතින බවය. එහෙයින් එම ඉඩම් ලබාදීම තාවකාලිකව නවතා දමන ලෙසය.

 

(***)
ප්‍රගීත් සම්පත් කරුණාතිලක
සුධාරිකා ගුරුසිංහ