දෙමළ දේශපාලනයේ යුග තුනක සලකුණ - සම්පන්තන්


“සියලු දෙනාටම සමානයින් ලෙස හැඟෙන්නට, තමන් ලාංකිකයකු යැයි බැඳීමක් ඇති වන්නට සහ ලංකාව තමන්ගේ යැයි හැඟෙන්නට, නොබෙදුණු, නොබෙදිය හැකි එක්සත් ලංකාවක, සාධාරණ, යුක්තිසහගත දේශපාලන විසඳුමක් වෙනුවෙන් දෙමළ ජනතාව පෙනී සිටිනවා.” (දෙමළ ජාතික සන්ධානයෙහි නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජවරෝතියම් සම්පන්තන් 2019 මාර්තු 12 වැනි දින අයවැය දෙවැනි වර විවාදයේදී කීවේය.)

දෙමළ ජාතික සන්ධානයෙහි නායක රාජවරෝතියම් සම්පන්තන් මන්ත්‍රීවරයාගේ පිය පස ජන්ම ප්‍රදේශය ත්‍රිකුණාමලයයි. ඔහුගේ පියා ගල්ඔය ජනාවාස ව්‍යාපෘතියෙහි ගබඩා අධිකාරි වශයෙන් කලක් රැකියාව කළේය. යුග තුනක දෙමළ ජාතික දේශපාලනයේ සම්පන්තන්ගේ ක්‍රියාකාරී දේශපාලනයට අවුරුදු 65 කි. 1956 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK)  නොහොත් ෆෙඩරල් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් සම්පන්තන්ගේ පක්ෂ දේශපාලනයට, මේ වනවිට අවුරුදු 68 කි. කෙටි කලක් ඔත්පලව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්තන් ඉකුත් ජුනි 30 වැනි ඉරිදා අභාවප්‍රාප්ත වන විට අවුරුදු 91 කි.

සම්පන්තන්ගේ පාසල් දිවිය වර්ණවත් ළමා කාලයකි. එය තීන්දු වූයේ පියාගේ රැකියා ස්ථාන අනුවය. ඔහුගේ පළමු පාසල වූයේ යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලය ය. වසර කිහිපයකින් කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයට ඇතුළු කරනු ලැබ අනතුරුව තවත් වසර කිහිපයකින් ත්‍රිකුණාමලයේ ශාන්ත ජෝසෆ් විද්‍යාලයට ඔහු ඇතුළු කරනු ලැබීය. අවසන් වශයෙන් ජ්‍යෙෂ්ඨ පාසල් සහතික (S.S.C) විභාගයට පෙනී සිටින තෙක් වසර කිහිපය ඔහු මොරටුව ශාන්ත සෙබෙස්තියන් විදුහලෙහි ඉගෙනුම ලැබුවේය. කුරුණෑගල ශාන්ත ආනා විදුහලෙහි සහ මොරටුවේ ශාන්ත සෙබෙස්තියන් විදුහලෙහි ඉගෙනුම ලබන අවදියේ ඔහුට සිංහල පාසල් මිතුරන් සිටි බවත් දිගු කලක් පාසල් මිතුදම් පැවතියේ ශාන්ත සෙබෙස්තියන් විදුහලේ එකම පන්තියේ ඉගෙන ගත් සිංහල මිතුරන් සමග බවත් දිනෙක ඔහු මා සමග කීවේ ය. සිංහල බසින් කතා බහ කරන්නට ඔහු ඉගෙන ගෙන ඇත්තේද මොරටුවේ සිටියදී ය.

ශාන්ත සෙබෙස්තියන් විදුහලෙන් පාසල් අධ්‍යාපනය අවසන් කළ සම්පන්තන් නීති විද්‍යාලයට ඇතුළත්ව එහි නීතිඥ විභාගය සඳහා වසර 03 ක් ඉගෙන ගත්තේ ය. තරුණ සම්පන්තන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ 1957 දී නීතිඥයකු ලෙස දිවුරුම් දීමෙන් පසුව ය. ඔහු නීතිඥයකු ලෙස වෘත්තිය කටයුතු ආරම්භ කරන්නේ ත්‍රිකුණාමලයෙනි. ක්‍රියාකාරී දේශපාලනයට තරුණ සම්පන්තන් ඇදෙන්නේ ද ඉන් පසුව ය. සම්පන්තන් ෆෙඩරල් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයට එකතු වන්නේ ඔහු දැඩි භක්තියකින් සැලකූ දෙමළ ජාතික දේශපාලනයේ ඉතාමත් ගෞරවනීය, සාමකාමී චරිතයක් ලෙස පිළිගැනුණු නායකයකු වූ රාජනීතිඥ එස්.ජේ.වී චෙල්වනායගම්ගේ ආරාධනයෙනි.

තරුණ සම්පන්තන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඒ යුගය, දෙමළ ජාතික දේශපාලනයේ නායකත්වය කොළඹ සිංහල-බෞද්ධ නායකයන් සමගින් සාකච්ඡාමය විසඳුම් සෙවීමේ උත්සාහයෙන් හෙම්බත්වූ යුගයක් විය. ‘56 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ පනතට එරෙහිව චෙල්වනායගම්ගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පැවැත්වූ සත්‍යග්‍රහයට දරුණු මැර ප්‍රහාරයක් එල්ල කෙරුණේ ආණ්ඩුවේ නායකයන්ගේ අනුදැනුම ඇතිව ය. ඒ මැරයන් නාගනාදන් හා නවරත්නම් මන්ත්‍රී දෙපළව බේරේ වැවට ඇද දැමූ බවටද වාර්තා ඇත. ඊට පිළිතුරු වශයෙන් ෆෙඩරල් පක්ෂයේ වවුනියා පාර්ලිමේන්තු මන්ත්‍රී සී. සුන්දරලිංගම් සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී, පළමු වරට ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස අතුරු මැතිවරණයට ඉදිරිපත් විය. ඒ අතරතුර, චෙල්වනායගම්ගේ නායකත්වයෙන් වූ ෆෙඩරල් පක්ෂය රාජ්‍ය පාලනයෙහි ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම සහතික කර ගැනීම සඳහා 1957 වසරේ ජූලි 26 වැනි දින බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම අත්සන් කළේ ය. එහෙත් භික්ෂුන් වහන්සේලා පිරිසකගේ විරෝධය හමුවේ අගමැති බණ්ඩාරනායක ඒ ගිවිසුම අතහැර දැමුවේ ය. එහි ඊළඟ දිගුව වූයේ 1958 අංක 28 ලෙසින් පාර්ලිමේන්තුවේ සම්මත කළ “දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත” ක්‍රියාත්මක නොකිරීම ය.

එය එතැනින්ද එහාට ගෙන යනු ලැබුවේ 1960 ජුලි මැතිවරණයෙන් බලයට පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවෙන් ය. ඒ ආණ්ඩුව දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනතට පටහැනිව උතුරු-නැගෙනහිර පවා සියලු රාජකාරී කටයුතු සිංහල බසින් පමණක් කිරීමට පියවර ගත්තේය. තරුණ සම්පන්තන් දෙමළ ජාතික දේශපාලනයට එකතු වන්නේ එවැනි අවිනිශ්චිතයක් තුළ ය. ඔහු හවුල් වූ පළමු විරෝධතා ව්‍යාපාරය වූයේ ෆෙඩරල් පක්ෂය විසින් බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ සිංහල භාෂා ප්‍රතිපත්තියට එරෙහිව 1961 ජනවාරියේ දියත් කළ “සිවිල් නීති කැඩීමේ” යෝධ විරෝධතා ව්‍යාපාරය විය.

තෙමසකට වැඩි කලක් දියත් වූ ඒ සිවිල් නීති කැඩීමේ විරෝධතාව, උතුරු-නැගෙනහිර, විශේෂයෙන් ප්‍රධාන නගරවල රජයේ සියලු දෙපාර්තමේන්තු අක්‍රීය කිරීමට සමත් විය. ඒවා ඉතා සාමකාමී වාගේම ජනතාව ගීතිකා ගැයූ, සටන් පාඨ කියූ, දේශපාලන නායකයන් කතා පැවැත්වූ ඉතා සජීවී විරෝධතා විය. එවගේම යාපනයේ ප්‍රධාන තැපැල් හල ඇතුළු නොයෙකුත් තැපැල් හල් විරෝධතාකරුවන් විසින් ඔවුන්ගේ පාලනයට ගෙන තිබූ අතර, ඔවුන් උතුරු-නැගෙනහිර තැපැල් සේවා සඳහා ඔවුන්ගේ ඊළාම් මුද්දර නිකුත් කර තිබිණ.

ජනතා සහභාගිත්වයේ සංඛ්‍යාත්මක හා ක්‍රියාකාරී ශක්තිය හමුවේ, සිවිල් කටයුතු කිරීමේ දෙපාර්තමේන්තුවක් ලෙස පුරුදු පුහුණුව සිටි එදා පොලිසියට, බැටන් පොලු ප්‍රහාරයකින් හා වරක් කඳුළු ගැස් විදීමෙන් ඒ විරෝධතා මඩින්නට නොහැකි විය. උතුරු-නැගෙනහිර විරෝධතා මර්දනය සඳහා පළමු වරට හමුදාව යොදවනු ලැබුවේ ඒ සිවිල් නීති කැඩීමේ විරෝධතාවට එරෙහිව ය. 1961 අප්‍රේල් මාසයේ 18 වැනි දින හදිසි නීතිය ක්‍රියාත්මක කරමින් බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව චෙල්වනායගම් ඇතුළු ෆෙඩරල් පක්ෂ මන්ත්‍රීවරුන් සහ දෙමළ දේශපාලන ක්‍රියාකාරීන් සමූහයක් අත්අඩංගුවට ගෙන කොළඹට රැගෙනවිත් පනාගොඩ හමුදා කඳවුරෙහි රඳවා තැබුවේය. සතියකට පමණ පසු චෙල්වනායගම්ගේ රෝගී තත්වය හේතුවෙන් ඔහු නිවාස අඩස්සියේ තබනු ලැබිණ. පනාගොඩ හමුදා කඳවුරෙහි රඳවනු ලැබූ 62 කුගෙන් ලාබාලම රැඳවියා වූයේ ආර්. සම්පන්තන් ය. සය මසකට පමණ පසු ඔක්තෝම්බර මාසයේදී ඔවුහු සියලු දෙන නිදහස් කරනු ලැබුහ.

පාර්ලිමේන්තු දේශපාලනයට නොපැමිණියත් සම්පන්තන් එතැන් සිට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙහි නීති වෘත්තිකයන් අතර හඳුන්වනු ලැබුණේ ෆෙඩරල්වාදියකු ලෙසින් ය. එසේ වූවත් දෙමළ ජනගහනයට අමතරව සැලකිය යුතු සිංහල-මුස්ලිම් ජනගහනයක්ද සිටි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඔහු නීති‌ඥයකු වශයෙන් ඔහුගේ සේවය ඉල්ලූ සියල්ලන්ට එකසේ සේවය ලබා දුන්නේය. 1971 අප්‍රේල් ජ.වි.පෙ ත්‍රස්තවාදී කැරැල්ලට මාසයකට හමාරකට පමණ කලින් ත්‍රිකුණාමල ප්‍රදේශයෙහි ප්‍රචාරක පෝස්ටර ඇලවූ තරුණයන්  කණ්ඩායමක් අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනු ලැබූ විට, ඒ තරුණන් වෙනුවෙන් තමන් නොමිලේ පෙනී සිට ඔවුන් නිදහස් කරවා ගත්තේ යැයි ඔහු දිනක් මා සමග කියුවේ “අතුල කියලා තරුණයෙක් එතන හිටියා මතකයි. ඒ අපේ මිත්‍රයා, වික්ටර් අයිවන්ද කියලා මට හරියට මතක නැහැ” යැයිද කියමින් ය.

ඒ වනවිට චෙල්වනායගම්ගේ පෙරැත්ත කිරීම් නොතකා තරුණ සම්පන්තන් පාර්ලිමේන්තු මැතිවරණ දෙකක් - 1965 මාර්තු සහ 1970 ජුලි මැතිවරණවලට ඉදිරිපත් නොවීය. බණ්ඩාරනායක මැතිනියගේ සමසමාජ-කොමියුනිස්ට් සභාග ආණ්ඩුව ඔවුන්ගේ මැතිවරණ පොරොන්දුවක් වූ 1972 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයෙහි ෆෙඩරල් පක්ෂයේ මූලික ඉල්ලීම් සාකච්ඡාවකට හෝ නොගෙන ඉවත් කිරීම හේතුවෙන් ෆෙඩරල් පක්ෂය 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ විය. සම්පන්තන් 1960 දී සම්බන්ධවූ දෙමළ ජාතික දේශපාලනයෙහි ප්‍රජාතන්ත්‍රවාදී යුගය ඒ වනවිට නව පරිවර්තනයකට හසුව තිබිණ. 1965 ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම අගමැති ඩඞ්ලි සේනානායක විසින් 1968 දී අත හැර දැමීමත් ඊට හේතුවක්ව තිබිණ. ‘72 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සුළුතර ජන කොටස් සඳහා කිසිදු අවකාශයක් නොමැති යැයිද, එය පළමු වරට “ඒකීය” රාජ්‍යයක් ස්ථාපිත කර සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ව්‍යවස්ථාගත කරමින් බුද්ධ ශාසනයටද විශේෂ සැලකීමක් ලබා දෙන්නේ යැයි වූ මතය සමග කොළඹ දේශපාලන නායකයන්  ගැන දෙමළ ජනතාව තැබූ විශ්වාසය සහමුලින් බිඳ වැටිණ. විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා දිස්ත්‍රික්ක මට්ටමේ ප්‍රමිතිගත ක්‍රමයක් 1974 දී හඳුන්වා දීමත් ඒ අවිශ්වාසයට එකතු වූවකි. ඒ වනවිට දෙමළ තරුණ කල්ලි දෙක තුනක් වෙනම ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් සන්නද්ධ කැරැල්ලක් අවශ්‍ය යැයි තීන්දුකර තිබිණ.

ඒ පසුබිමෙහි ෆෙඩරල් පක්ෂය 1972 දී ජී.ජී. පොන්නම්බලම්ගේ සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය සහ සෞම්‍යමූර්ති තොන්ඩමන්ගේ ලංකා කම්කරු කොන්ග්‍රසය සමග දෙමළ එක්සත් පෙරමුණ පිහිටුවා ගත්හ. අනතුරුව පුළුල් සන්ධානයක් වෙනුවෙන් 1976 දී එය “දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ” ලෙස වඩුක්කොඩෙයිහි පැවැත් වූ සමුළුවේදී “අනාගමික සමාජවාදී දෙමළ ඊළාම් රාජ්‍යයක්” සඳහා යෝජනා සම්මත කර ගත්හ. 1977 දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ජුලි මහ මැතිවරණයට තරග කළේ ඒ සටන් පාඨය සමගින් ය. පළමු වරට ඒ මැතිවරණයේදී ත්‍රිකුණාමලය ආසනයට අප්පාපිල්ලෙයි අමිර්තලිංගම්ගේ නායකත්වයෙන් වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් සම්පන්තන් ඉදිරිපත් විය. ඒ මැතිවරණයෙන් ඔවුන්ට උතුරු-නැගෙනහිර ආසන 18 ක් ලැබුණි. උතුරු-නැගෙනහිර ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 88 ට ආසන්න ප්‍රතිශතයක් ඔවුන්ට ලැබිණ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයෙහි දෙමළ දේශපාලන පක්ෂයකින් පත් වූ පළමු විපක්ෂ නායකයා අමීර්තලිංගම් විය. ඔවුන් වෙනම ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි ජයවර්ධන ආණ්ඩුව ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් ප්‍රතිඥා දීම අනිවාර්ය කළ 06 වැනි ව්‍යවස්ථා සංශෝධනය 1983 ජුලියේදී සම්මත කිරීමෙන් ඊට විරුද්ධ වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ ආසන අහිමි විය. ඉන් පසු පැවති 1989, 1994 හා 2000 පාර්ලිමේන්තු මැතිවරණ තුනේදීම සම්පන්තන් පරාජය විය. ඔහු නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 2001 දෙසැම්බර මැතිවරණයෙනි.

සම්පන්තන් 1983 ජුලියේ සිට පාර්ලිමේන්තුවේ නොසිටි අවුරුදු 18 ක පමණ කාලය, දෙමළ ජාතික දේශපාලනයේ දෙවැනි යුගය විය. සන්නද්ධ දේශපාලන කණ්ඩායම් අතට පත්ව, අනතුරුව ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් වෙනම ඊළාම් රාජ්‍යයක් සඳහා එල්.ටී.ටී.ඊය ලංකාණ්ඩුවට එරෙහිව යුධ වැදුණු යුගය ආරම්භව තිබිණ. ඒ කාලයේ එල්.ටී.ටී.ඊය දෙමළ ජනතාව නියෝජනය කිරීමේ තනි බලය ඔවුන් අතට ගෙන තිබුණි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ තවත් සංවිධාන කිහිපයක් සමග 2001 ඔක්තෝම්බරයේදී දෙමළ ජාතික සන්ධානය පිහිටුවා ගත්තෝය. එහි නායකත්වයට පත්ව සිටියේ සම්පන්තන් ය. මේ දේශපාලන වර්ධන අතරතුර සන්නද්ධ දේශපාලනය හා කිසිදු සම්බන්ධයක් නොවුණු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ එල්.ටී.ටී.ඊයේ දේශපාලන ආධිපත්‍ය බාර නොගැනීම හේතුවෙන් දේශපාලන අවුලක පටලැවිණි. 2004 මැතිවරණයේදී ආනන්දසංගරීගේ නායකත්වයෙන් වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙහි නම, එල්.ටී.ටී.ඊය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය යොදා නොගත යුතු යැයි ආනන්දසංගරී ඉතා දැඩිව සිටියෙන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙහි ඇතැම්හු සම්පන්තන් සමග දෙමළ ජාතික සන්ධානයෙහි නතර වූහ. ඔවුන්ට දෙමළ ජාතික සන්ධානයෙහි හවුල්කාරිත්වයක් තබා ගැනීම වෙනුවෙන් අනතුරුව සම්පන්තන්ගේ නායකත්වයෙන් ඔවුහු ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය නැවත ගොඩ ගත්හ. ඒ අතර එල්.ටී.ටී.ඊ. විරෝධියකු ලෙස ආනන්දසංගරී හංවඩු ගැසුණෙන් දෙමළ ජාතික සන්ධානයෙහි මන්ත්‍රීවරුන් වූ අමීර්තලිංගම්, යෝගේස්වරන්, ජෝසෆ් පරරාජසිංහම් ගිය ගමන් යාමට සූදානම් නොවුණු ආනන්දසංගරී, ජනාධිපති චන්ද්‍රිකාගෙන් රාජ්‍ය ආරක්ෂාව ලබා ගත්තේය.

එවැනි අතිශය කුරිරු අවිනිශ්චිත දේශපාලන පෙළ ගැසීම් සමග උතුරු-නැගෙනහිර යුද්ධය අවසන් වනතුරු සම්පන්තන්ගේ නායකත්වයෙන් වූ දෙමළ ජාතික සන්ධානයත් ඉතා ආරක්ෂා සහිත දේශපාලනයක නිරතව සිටියේය. 2009 මැයි මාසයෙහි ප්‍රභාකරන්ගේ නායකත්වයද සමග එල්.ටී.ටී.ඊය සමූලඝාතනය කෙරුණු උතුරු-නැගෙනහිර යුද්ධය අවසන් වූ පසු, දෙමළ ජාතික දේශපාලනයේ තුන්වැනි යුගය ආරම්භ වූයේ සම්පන්තන්ගේ නායකත්වයෙන් වූ දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජනතාව නියෝජනය කිරීමේ වගකීම බාර වීමෙනි. ඒ වනවිට වයස අවුරුදු 75 ක්ද ඉක්ම සිටි සම්පන්තන් දෙවැනි පෙළ නායකත්වයක් ගැන දැඩි උනන්දුවක් දක්වමින් සිටියේය. ජාත්‍යන්තර ප්‍රජාවද, බටහිර බලවත් රටවල සිටි දෙමළ සමාජයද, නාගරික මැදපන්තියද සමග ගනුදෙනු කළ හැකි තරුණ නායකත්වයක් සෙවූ සම්පන්තන්, 2010 අප්‍රේල් මැතිවරණයේදී කොළඹ සිටි ඉතා දක්ෂ නීතිවේදියකු වූ සුමන්තිරන් ඒ වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කර ගත්තේය.

ඉතිරිය එක්තරා ආකාරයක ඔවුන්ගේ අසාර්ථක දේශපාලන ඉතිහාසයේ කතාව ය. සම්පන්තන්ට පාර්ලිමේන්තු දේශපාලනයට එහා ගිය ජනතා දේශපාලනයකට ජවයක් ඉතිරිව නොතිබුණි. එනිසා ඔහු දෙමළ ජනතාවගේ සියලු ප්‍රශ්න වෙනුවෙන් ෆෙඩරල් විසඳුමක් සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වරමක් ඉල්ලා 2015 අගෝස්තු මැතිවරණයේදී තරග කර දෙමළ ජාතික සන්ධානයට ආසන 16 ක් දිනා ගත්තේය. එහෙත් යුද්ධයෙන් පසු උතුරු-නැගෙනහිර ජනතාවට ඉතිරි වූ ප්‍රශ්න කිසිවක් වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන නායකත්වයට විසඳුම් ලබා ගැනීමට නොහැකි වූයෙන් 2020 මහ මැතිවරණයෙන් ඔවුන් ආසන 10 ට සීමා කෙරුණේ, ඉතා සුන්දර මනුස්සයකු ලෙස මා හඳුනාගෙන සිටි සම්පන්තන්ගේ තෙවැනි දේශපාලන යුගය අසාර්ථක දුර්වල කතාවක් යැයි සනාථ කරමින්ය.

 

(*** කුසල් පෙරේරා)