මැදියම් රැය මහ පොළොවේ මොන ඉසව්වද යන්න පැහැදිලි නැති සීතල අන්ධකාරයේ ඇන්ජිම, ගොරහැඩි හඬ නංවමින්ද, නලාව අනවරතව හඬා වැටෙමින්ද, වංගුවල ඇඹරෙමින් ද අබලන් තැන්වල ඉහළ පහළ විසිවෙමින් ද ඒ සියල්ල අතරේ අධිවේගයකින් ද බස්රිය ඉදිරියට ගමන් කරයි.
උත්තර ප‍්‍රදේශය හරහා වැටී ඇති මේ මග ඔස්සේ බස්රථය ඇදෙන්නේ හිමාලය ආශ්‍රීත උත්තර ඛණ්ඩය බලාය. බස්රථයේ ගමන අවසාන වන්නට නියමිතව ඇත්තේ ඍෂිකේශි නගරයෙනි. ඒ සඳහා තව කොපමණ දුරක් ගෙවිය යුතු ද තව කොපමණ කාලයක් ගත කළ යුතු දැයි මම නොදනිමි. මේ ගමන යා යුතුව ඇත්තේ වෙහෙස, නිදිමත, බසයේ දුෂ්කරකම යන මේ සියල්ල විඳදරා ගනිමිනි. එය එසේ වුවද මේ අන්ධකාරය නොවිනි නම් ඇස ගැටෙන දසුන් අතිශයින්ම නෙත්කළුය. සිත්කළුය. ඇළදොළ, පොකුණු, ගහකොළ, කෙත්වතු, එළු, ගව, බැටළු රැළ ඒ අතර වෙති. මේ ප‍්‍රදේශය වනාහි එදා මෙදාතුර භාරතය සමෘද්ධිමත් කළ, සශ්‍රීක භූමිභාගවලින් එකකි. කෘෂිකර්මය පදනම් කොට ගත් මේ ජනපදවල ජනජීවිතයේ නොයෙකුත් අවශ්‍යතා ඉටුකරන අනේකවිධ කර්මාන්ත ද මෙහි වෙයි.
බස්රථය එක් අවස්ථාවක කුඹල් කාර්මිකයන්ගේ ජනපදයක් මැදින් ගමන් කරමින් තිබිණි. එය කුඹල් ගමක් බව හඳුනාගත හැක්කේ රැුයේ ඇවිලෙන, වළන් දැවෙන පෝරණු නිසාවෙනි. මීට පෙර ද පසුව ද මා භාරතයේ කුඹල් ගම් දැක ඇත. වරෙක මම කුඹල් ගමක දින කීපයක් ගතකළෙමි. එයින් එක් රැුයක් පහන් කළේ කුඹල් හලකය. රෙදිවලට පසු මිනිසාට අත්‍යවශ්‍ය භාණ්ඩය වන්නේ වළඳයි. කෝටි සංඛ්‍යාත ජනකායක් වෙනුවෙන් වළන් නිපදවීම ද සුළු පටු දෙයක් නොවේ. ඒ නිසාම භාරතයේ කුඹල් ගම් නොව කුඹල් පුරවරයන් ද දැකිය හැකිය. අතීතයේ ද කුඹල් ගම් හා සංචාරක පැවිද්දන් අතර විශේෂ සබැඳියාවක් පැවතිණ. බස්රියක් තුළ ගෙවෙන මේ රාත‍්‍රියේ ඒ පිළිබඳ කල්පනා කරමින් සිටියේ බුද්ධ චරිතයේ ද සුවිශේෂී අවස්ථාවක් කුඹල්හලක් හා බැඳී පවතින බැවිණි. ඒ පුක්කුසාති පිළිබඳ කථාවයි.
පැරණි ‘‘ගාන්ධාරය’’ පිහිටියේ වයඹ දිග භාරතයේ ය. එය වර්තමානයේ පකිස්ථානයට හා ඇෆ්ගනිස්ථානයට අයත්ය. වර්තමානයේ එම දේශසීමා ආසන්නයේ පිහිටි ‘‘කන්ධහාර්’’ පැරණි ගාන්ධාරයේ වත්මන් ශේෂයන්ය. ගාන්ධාරය ඈත අතීතයේ සිටම වැදගත් වෙළඳ මධ්‍යස්ථානයක් විය. එයට පදනම් වූ ප‍්‍රධාන සාධකය වූයේ මධ්‍ය භාරතය හරහා ගමන් කළ ප‍්‍රධාන වෙළඳ මාර්ගය ගාන්ධාරය හරහා ගමන් කොට සේදමාවත හා සම්බන්ධ වීමයි. එම නිසාම ගාන්ධාරය ධන ධාන්‍යයෙන් ආඪ්‍ය සමෘද්ධිමත් රාජ්‍යයක් වීය. මගධයේ පසිඳු ව්‍යාපාරික (සිටු) සුදත්ත (අනේ පිඬු) මේ වෙළඳ මාර්ගයේ සුවිශේෂී ව්‍යාපාරිකයෙක් විය. ඒ නිසාම ඉහත වෙළඳ මාර්ගය හා බැඳුන රාජ්‍යවල රජවරු සිටුවරු සමඟ ඔහුට මනා සබැඳියාවක් තිබිණි. එහි විශේෂත්වය ඔවුත් අතරින් බොහෝදෙනා එකිනෙකා දැන හඳුනා නොතිබීමයි. ඒ අදෘෂ්‍ය මිත‍්‍රයන්ය.
ගාන්ධාරයේ පුක්කුසාති රජු හා මගධයේ සුදත්ත සිටු අතර වූ සබැඳියාව ද එවැන්නකි. සුදත්ත සෝතාපන්න උපාසකයකු වීමෙන් අනතුරුව සිය මිත‍්‍රයන්ට ද ධර්මය නැමති මහඟු සම්පත ලබාදෙන්නට තීරණය කොට රන් පත් ඉරුවල ධර්මය ලියවා එම මිත‍්‍රයින් වෙත යවන ලද්දේය. පුක්කුසාති රජුට ද ඒ ආකාරයෙන් ධර්මය ලිව් රන් පත්ඉරු ලැබිණි. එම ලිපිය කියවූ පමණින්ම සෝතාපන්න ඵලයට පත්වූ රජතුමා රාජ්‍ය අතහැර පැවිදි වෙස්ගෙන බුදුරජුන් මුණගැසීමේ අරමුණ ඇතිව මධ්‍යමණ්ඩලය වෙත යන අරමුණෙන් රජමැදුරෙන් පිටත් විය. එය ඉතා දිගු පා ගමනක් විය. වත්මන් ඉන්දියාවේ පංජාබ්, ගුජරාට්, හර්යානා, දිල්ලි, අලහාබාද්, වාරානසී යන ප‍්‍රදේශවලට අයත් භුමිය හරහා මේ මග වැටී තිබිණි. බුදුරජුන් වැඩසිටි ඉසව්ව සොයා ආ එතුමන් රාජගිරියට ළඟාවිය. ඒ එක්තරා සන්ධ්‍යාවක්ය. ඒ නගරයට ඇතුළුවීමට හෝ පිටවීමට කාලය නොවූ අතර අන් අයට මෙන්ම පුක්කුසාති පැවිද්දාට ද නගරයෙන් පිටත රාත‍්‍රිය ගතකරන්නට සිදුවිය.
පැවිදි වෙස්ගත් රජතුමන් රාත‍්‍රිය ගත කරන්නට තෝරාගනු ලැබුවේ කුඹල් හලකි. තවත් මොහොතකින් වෙනත් පැවිද්දකු ද එහි පැමිණ නවාතැන් ගැනීම සඳහා අවසර පැතීය. ඒ අවසරය ලැබුණ නිසාවෙන් පසුව පැමිණි පැවිද්දා ද කුඹල් හලේ පසෙක අසුනක් පනවාගත්තේය. මේ අතීත පැවිද්දන්ගේ සිරිතයි. පැරණි පැවිද්දා එලෙස කුඹල්හල්වල අසුන් ගනු ලැබුවේ කුමක් නිසාවෙන්ද? එය විශේෂිත වූවකි. මේ කුඹල් හල්වල නිපදවනු ලබන මැටිබඳුන් පුලූස්සනු ලබන්නේ රාත‍්‍රී භාගයේය. ඒ සඳහා මනාව ඉදිකළ පෝරණු තිබේ. ඒවා ශීත කාලයේ හොඳහැටි උණුසුම ගෙනෙන පෝරණු වෙයි. එමෙන්ම උෂ්ණකාලයේ ශීත රකින පරිසරයක් ද මෙහි තිබේ. අනා පදම්කළ මැටිගොඩවල් ද, ජලය රැස් කරන පොකුණු ද කුඹල් කර්මාන්ත භූමිවල තිබේ. (බොහෝවිට මේ කර්මාන්තය පවතින්නේ ගංගා ආශ‍්‍රිතවයි) ඒ නිසාම මෙහි ජල සාංද්‍රතාව හොඳින් පවතී.
සංචාරක පැවිද්දකුට පමණක් නොව ඕනෑම කෙනකුට ඕනෑම ඍතුවකදී කුඹල්හල හොඳ නවාතැනකි. වැසි කාලවලද වළන් නොතෙමෙන්න,
ගිනි නොනිමෙන්න, ආවරණ ඉදිකර තිබේ. වැසි සමයේ ද අවශ්‍යනම් පැවිද්දාට පහසුවෙන් කුඹල්හලේ නැවතිය හැකි ය. එහෙත් වැසි සමය පැවිද්දන් සංචාරවල නියැලූණ යුගයක් නොවේ.
බුද්ධ කාලීන භාරතීය පැවිද්දන්ගේ පැවැත්ම හා චර්යා තේරුම් ගැනීම සඳහා වත්මන් භාරතීය පැවිද්දන් හා ඔවුන්ගේ චර්යා තේරුම් ගැනීම ඉතාම වැදගත් වේ. භික්‍ෂු විනයේ දී අනුගමනය නොකළයුතු යයි සඳහන් වන බොහෝ පුරුදු තවමත් බෞද්ධ නොවන පැවිද්දන් අතර පවතී. එමෙන්ම භික්‍ෂුන් සඳහා පැනවූ විනය නීතිවල අවශ්‍යතාව ද මේ පරිසරය තුළ මොනවට පැහැදිලි වේ. භික්‍ෂු විනයේ එක් පාර්ශ්වයක් වන ධුතාංග වත්මන් භාරතයේ බෞද්ධ නොවන පැවිදි පාර්ශ්ව අතර ද දක්නට ලැබේ. එය ඔවුන්ගේ විශේෂ වූ චර්යාවක් ලෙස නොව, සාමාන්‍ය පැවිදි ගති ලක්‍ෂණ ලෙස පවත්වාගෙන යනු ලැබේ.
ඉහත දැක්වූ පුක්කුසාති පැවිද්දා ද රාජගිරියට පැමිණියේ දිගු මගක් ගෙවාගෙනය. අතර මග වූ අම්බලම්, වනවදුලූ, රුක්ගොමු හි එතුමන්ගේ රාත‍්‍රීන් ගෙවිණ. ගොවියන්, කාර්මිකයින්, වෙළෙන්දන් අතර නවාතැන් ගත් එතුමන් ගැල්කරුවෝ, මග පෙන්වන්නන් හා සහචරයෝ වූහ. එමෙන්ම දායකයෝ ද වූහ. මෙවැනි වූ චාරිකා අත්දැකීම් සිහිනුවණ ඇත්තවුන්ට ජීවිතය හදුනාගන්නටත්, ආධ්‍යාත්මික වර්ධනයටත් උපකාරී වේ. පුක්කුසාති සෝතාපන්න වූයේ දහම්පත කියවූ මොහොතේය. ඒ ගාන්ධාරයේ දී ය.
එම අසිරිමත් රැයේ කුඹල් හලේ පිදුරු එලා සකසාගත් ඇතිරිල්ලක අසුන් ගත් පැවිද්දන් දෙදෙනා අතර මෙබඳු සංවාදයක් ඇති විය.
‘ඔබ කුමන දේශයක සිට පැමිණෙන්නේද?’
‘මම ගාන්ධාරයේ සිට පැමිණෙමි’
‘ඔබ කොතැනකට යන්නේද?’
‘මම මගේ ශාස්තෲවරයාණන් වහන්සේ වෙත යමි’
‘ඔබට මීට පෙර ඔබගේ ශාස්තෘවරයාණන් වහන්සේ හමුව තිබේ ද?’
‘නැත’
‘දුටුවොත් හැඳිනිය හැකි ද?’
‘නැත’
ඉන් අනතුරුව දෙදෙනා අතර දිගු ධර්ම සාකච්ඡාවක් වීය. ඒ සාකාච්ඡුාව අවසන් වනවිට තමා ඉදිරියේ සිටින්නේ තමාගේ ශාස්තෘන් වහන්සේය යන්න පුක්කුසාතිට වැටහිණි. ඒ වනවිට පුක්කුසාති අනාගාමී භාවයට පත්වී අවසන්ය.
මේ බුද්ධ ශාසනයේ ස්වාභාවය සේම බුදුරජාණන් වහන්සේගේ චර්යා පිළිබඳව වටහා ගත හැකි විශේෂ අවස්ථාවකි. උන්වහන්සේ ජනසමාජ පැවතියේ සාමාන්‍ය පැවිද්දකු ලෙසය. එමෙන්ම උන්වහන්සේ විවිධ පැවිදි කණ්ඩායම් ඇසුරු කළහ. විවිධ සම්ප‍්‍රදායන්වලට අයත් පැවිදි කණ්ඩායම් බහුල වූ
රාජගිරිය හා ගයාව වැනි ප‍්‍රදේශවලදී ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකිය. ත‍්‍රිපිටක සාහිත්‍යයේ සූත‍්‍ර කීපයක ම විවිධ පැවිදි කණ්ඩායම් සමග බුදුරාජාණන් වහන්සේ කළ සාකච්ඡුා සහ සංවාද දැකිය හැකිය. ඉන්ද්‍රුිය භාවනා සූත‍්‍රය එවැනි වාර්තාවක් සපයයි.
රාත‍්‍රිය පුරා ගමන් කරමින් තිබූ බස්රියට වී මම මේ සිදුවීම් මෙනෙහිකරමින් සිටියෙමි. පුක්කුසාති පිළිබඳව සිදුවීම වාර්තා කරන සහ අදාළ ධර්ම සාකච්ඡුාව සඳහන්වන සූත‍්‍රය වන්නේ ධාතුවිභංග සූත‍්‍රයයි. මේ සූත‍්‍රයේ අඩංගු ධර්ම කරුණු විශේෂ අවධානයකට යොමු විය යුතුව තිබේ. මහායාන දර්ශනයේ පදනම වන්නේ ප‍්‍රඥාපාරමිතාහෘදය සූත‍්‍රයයි. එය එම දර්ශනයේ හදවතයි. ප‍්‍රඥාපාරමිතා සූත‍්‍රයත්, ධාතුවිභංග සූත‍්‍රයත් අතර විශේෂ සමානකම් දක්නට ඇත. මේ සූත‍්‍රදෙක අතර පවතින සාමානතාව හා අසමානතා මහයාන හා ථේරවාදය සංසන්දනාත්මකව හඳුනාගන්නට ඉතාම වැදගත් සාධක වෙයි.
ධාතුවිභංග සූත‍්‍රයේදී ස්කන්ධ ධර්ම අනාත්ම ලෙස විග‍්‍රහ කරද්දී, ප‍්‍රඥාපාරමිතා සූත‍්‍රය ස්කන්ධ ධර්ම ශූන්‍ය ලෙස විග‍්‍රහ කරයි. ඒ අනුව මේ දර්ශන දෙක තුළ ශුන්‍ය හා අනාත්ම යන කාරණා පිළිබඳව වෙනසක් දක්නට ඇත. මේ වචන භාවිත කරමින් එකිනෙකා ඉදිරිපත් කිරීමට උත්සහ කළේ කුමක් ද, දර්ශන විෂයේදී හා විමුක්ති මාර්ගයේදී මේ කරුණු අදාළ වන්නේ සහ වැදගත් වන්නේ කෙසේ ද, යන්න තේරුම් ගැනීම ඉතාම වැදගත්ය. සහෝදර සම්ප‍්‍රදායයන්ගේ මෙවැනි මූලාශ‍්‍ර අධ්‍යනය හා සංසන්දනාත්මක විග‍්‍රහයන් කාලීන වූ අවශ්‍යතාවකි. කරුණු හා අවස්ථා පිළිබඳ ථේරවාද, මහායාන, තන්ත‍්‍රයාන සම්ප‍්‍රදායවල භික්‍ෂූන් අතර පැහැදිලි සංවාදයක් පැවතිය යුතුය.
මා මේ රාත‍්‍රියේ ගමන් කරමින් සිටින්නේ වෛදික චින්තනයේ කේන්ද්‍රස්ථානයක් වන ඍෂිකේශිය වෙතයි. ගෙවී ගිය අඩ සියවස තුළ බටහිර සංස්කෘතියට ද ප‍්‍රබල බලපෑමක් ඇතිකරමින් පැතිර ගිය පෙරදිග ආධ්‍යාත්මික රැල්ලේ කේන්ද්‍රස්ථානය වූයේ ද මේ ඍෂිකේෂියමැයි. මෑත භාගයේ භාරතීය ආධ්‍යත්මිකත්වයේ සංකේතය බවට පත්වූයේ ද ඍෂිකේෂියයි. ඍෂිකේෂිය ලෝකයට විවෘත වෙමින් පැවති මුල් අවධියේදී අතිපූජ්‍ය
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියෝ මේ යෝගීන් අතර වාසය කළහ. අපේ සමාජය භෞතිකවාදී චින්තනයට යටත්ව පැවති යුගයේ එයින් වෙන් වූ චින්තනයකට සාමාජය රැුගෙන යාමේ අවශ්‍යතාව දුටු ප‍්‍රාඥයා උන්වහන්සේය. ඒ සඳහා අවශ්‍ය යම් පසුබිමක් උන්වහන්සේ ගොඩනැගූහ. මෑත යුගයේ මේ ප‍්‍රදේශයන්හි සැරිසැරූ ලාංකික භික්‍ෂුන් අතලොස්ස අතර උන්වහන්සේ සිටින අතර, ආධ්‍යත්මික ගවේශණයක යෙදෙමින් මෙහි සැරිසැරූ පළමුවැන්නා වන්නේද උන්වහන්සේය. විවිධ භාවනා ක‍්‍රම පිළිබඳව තුළනාත්මක අධ්‍යයනයක දැනුමසේම සමකාලීන භාරතීය ආධ්‍යාත්මික ගුරුවරුන් සමග සබැඳියාවන් පැවතියේ ද උන්වහන්සේටය.
මතු සම්බන්ධයි
මිස්සක කමලසිරි හිමියන් ලියූ ‘මිහිඳු ගිරෙන් හිම ගිරට’ කෘතියෙනි.
(ස්තුතිය - සරසවි ප‍්‍රකාශකයන්ට )