ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් පාලනයක් මේ වන විට ආරම්භ වී ඇත. ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය තමන්ගේ ආණ්ඩුව විසින් පත්කරනු ලැබ ඇතැයි පවසන සමහරුන් වත්මන් ජනාධිපතිතුමා සමග අන්තර්වාර පාලනයක් එම පක්ෂය ආරම්භ කර තිබේ.
රටේ ජනතාවගේ සාමාන්‍ය බහුතරයක් මේ වෙනස්කම බලාපොරොත්තු වූ බැවින් එය අපගේ අවධානයට ගැනීම වැදගත්ය. මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ මේ අලුත් පාලනයේ ගමන් මග පිළිබඳව මගේ අදහසය.
IMF සම්බන්ධතාව
වත්මන් ආණ්ඩුව IMF සමග සම්බන්ධතාව පවත්වන්නේ කෙසේදැයි තවමත් පැහැදිලි නැත. එහෙත් රටේ වත්මන් ආර්ථික තත්වය මත IMF සමග තිබෙන සම්බන්ධතාව අතරමග කඩා දැමීමේ හැකියාවක් නැති බව පැහැදිලිය. එහෙත් IMF එකඟතාව සමග ගැට ගැසුණු සමහර ප්‍රශ්න රටේ ජනතාවට සම්බන්ධව පවතී. උදාහරණයක් වශයෙන් ගතහොත් රටේ බදු සම්බන්ධ ගැටලුව ගතහැකිය. මේ වන විට රටේ බදු සම්බන්ධ ප්‍රතිපත්තිය පදනම් කරගෙන තිබෙන්නේ IMF සම්බන්ධතාව මතය. ඒ සම්බන්ධව යම් වෙනසක් කළ යුතු නම් එය කළ හැක්කේ IMF එකඟතාව පිළිබඳව සාකච්ඡාවකින් පසුවය.
අනෙක් අතට වත්මන් පාලනය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ආර්ථික ප්‍රතිපත්ති මාලාව කුමක්ද යන්න තවම කාටවත් හරි හැටි තේරුමක් නැත.
රටේ ආර්ථිකය ඉදිරියට පදනම් වන්නේ විවෘත ආර්ථික ක්‍රියාදාමය මතද එසේත් නැතිනම් සංවෘත ආර්ථික ක්‍රියාමාර්ගයක් ද යන කාරණය අපි තවම නොදනිමු. ආණ්ඩුවේ නායකයන් එකිනෙකා මේ ගැන එකිනෙක වර්ගයේ අදහස් ප්‍රකාශ කරන බව පැහැදිලිය. ඒවා උග්‍ර කොමියුනිස්ට් අන්තවාදයකට තල්ලු නොවේවා යනු අපගේ බලාපොරොත්තුවය. තනිකරම මධ්‍යගත ප්‍රතිපත්ති සැලසුමක් මගින් ආර්ථිකය ගොඩ ගැනීමේ හැකියාවක් නැත. එසේම අලුත් අත්හදා බැලීම් හරහා ආර්ථිකයේ මෙතරම් කාලයක් ලබාගත් ජයග්‍රහණ ඉවත දැමීමට රටක් ලෙසින් අපට හැකියාවක් නැත.
අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන ගැටලු 03 ක් පවතී. ඒවා වන්නේ බරපතළ ලෙසින් වර්ධනය වී ඇති. 1. ගෙවුම්ශේෂ අර්බුදය 2. අය-වැය හිඟය සහ 3. දේශීය හා විදේශීය ණය අර්බුදය ලෙසින් වූ ගැටලු තුනක්ය. මේ ගැටලු මතු වී තිබෙන්නේ මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව නොවන බව සැබෑවක්ය. එහෙත් රටේ මෙවැනි බරපතළ අර්බුද තුනක් නිර්මාණය වී ඇති බව සත්‍යයක්ය. ඒ අර්බුදයන් වෙතින් එළියට යා හැක්කේ යම් ආකාරයක මැදිහත් ප්‍රතිපත්ති තීරණයක් හරහා මිස දැඩි අන්තයක සිටගනිමින් නොවේ. ඒ පිළිබඳව රජයේ අවධානය යොමු කිරීම අවශ්‍ය වෙයි.
මෙහිදී ඉතාමත් වැදගත් කාරණය වන්නේ රටේ විදේශ මූල්‍ය ශක්තිය දීර්ඝ කාලීනව වර්ධනය කරන ආකාරය ගැන කියන කථා සහ රටේ පවතින ආර්ථික තත්වය අතර බරපතළ පරස්පරයක් හෝ නොගැළපීමක් ඇතිවිය හැකි බවයි. තව වසර 10 කින් මේ රටේ ආර්ථික තත්වය මොන තැනකට ගෙන යනවාද යන්න වැදගත් කාරණයකි. එහෙත් මීළඟ තෙල් නැවට ගෙවන්නට ඩොලර් තිබේද යන්න ඊටත් වඩා වැදගත් කාරණයකි. ආණ්ඩුවේ සමහරුන්ගේ වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ මීළඟ වසර 10 කින් පසුව රටේ ආර්ථිකය ගොඩ ගන්නවා වැනි අදහස්වලින් බව බැලූ බැල්මට පෙනී යන කාරණයක්ය.
අය වැය හිඟය යැයි කියන්නේ ආණ්ඩුවේ වියදම අතර තිබෙන අසමතුළිත තත්වයයි. රජයේ ක්‍රියාකාරකම් කිරීමට රජය සතුව තිබෙන මූල්‍ය ශක්තිය ප්‍රමාණවත් නොවීම මේ තත්වය තුළ පෙනී යන කාරණයය. වත්මන් ආණ්ඩුව පසුගිය සති කීපයේ විශාල වශයෙන් අභ්‍යන්තර ණය ලබාගත් බව මාධ්‍ය තුළින් වාර්තා විය. එසේ ආණ්ඩුවට ණය ගැනීමට සිදුවන බව මට නම් එවැනි අරුමයක් නොවේ. එහෙත් ජ.වි.පෙ. නායකයන් හැසිරෙන්නේ ඒ අය ණය ගන්නා විට එහි වැරැද්දක් නැති ආකාරයක් සහ අනෙක් ආණ්ඩු ණය ගන්නා විට ඒවා බරපතළ වැරදි යැයි හැඟෙන ආකාරයකටය.
ණය අර්බුදය නිමා කරන්නට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගියේ IMF එක ලබා දුන් විසඳුම් පාර දිගේය. එය විසඳුමකට වඩා තවත් ගැටලුවක් යැයි පෙනී යන තත්වයක් තුළ IMF සමග ණය ප්‍රතිව්‍යූහගතකරණය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න බරපතළ ලෙසින් අවධානයට ගත යුතු කාරණයක්ය.
දේශපාලන ප්‍රතිසංස්කරණ
දේශපාලන ක්ෂේත්‍රයේ මේ ආණ්ඩුව සිදු කිරීමට යන ප්‍රතිසංස්කරණය පිළිබඳව යමක් ප්‍රකාශ කළ යුතුව ඇත. ආණ්ඩුවේ අය ප්‍රකාශ කරන්නේ බරපතළ දේශපාලන වෙනසක් සඳහා මෙවර ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්දය භාවිතා කළ යුතු බවයි. එහෙත් එම ප්‍රතිසංස්කරණ කවරේදැයි රට තුළ විවෘත සංවාදයක් කිරීම වැදගත්ය.
පසුගිය දිනක පුවත්පත්වල තිබුණේ ජනාධිපතිවරයාගේ අදහස වන්නේ තනි පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයක් අපේ රටට වැඩදායක වන බවයි. මේ ප්‍රකාශයේ සත්‍යතාව මා දන්නේ නැත. එහෙත් සැබැවින්ම එතුමා එවැනි අදහසක් දරනවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ඉතාමත් භයානක දෙයක් බව මගේ අදහසය. අනුර දිසානායක මහතා සිතන ආකාරයෙන් එක පක්ෂයක් පමණක් පාලනය කරන රටවල ජන ජීවිතයේ තිබෙන පසුගාමී තත්වය සහ ආර්ථික වශයෙන් මතුවිය හැකි ගැටලුකාරී තත්වය ගැන බරපතළ ලෙස අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය.
අනෙක් අතට අප සිතිය යුත්තේ මෙරට තිබෙන එක් වැදගත් විශේෂත්වයක් වන්නේ වසර 70 අධික කාලයක් පුරා රටේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් තුළ පැවතීමයි. එය අප අගය කළ යුතු ධනාත්මක තත්වයක් බව පැවැසීම නිවැරදිය. එවැනි ඉතිහාසයක් ඇති රටක දේශපාලන භාවිතය පිළිබඳව වෙනස්කම් කළ යුත්තේ බරපතළ ආකාරයේ පරෙස්සමකින්ය.
දූෂණ විරෝධයේ දේශපාලනය
වර්තමාන ජනාධිපතිවරයාගේ පාලනයේ එක් වැදගත් කාරණයක් වන්නේ දේශපාලන අලංකාරික හෙවත් Political Retoric මත රටේ පාලනය ස්ථාපිත කිරීමයි. ඒ අනුව ආණ්ඩුව මවා පෙන්වන්නේ රටේ ආර්ථිකය කඩා වැටී තිබෙන්නේ දූෂණය, හා හොරකම නිසා බවයි. මෙහි යම්කිසි සත්‍ය්‍යක් තිබෙන බව සැබෑය. එහෙත් එය තනිකරම සත්‍යයක් නොවේ. රට කඩා වැටී ඇත්තේ එක් පැත්තකින් දූෂිත පාලනය නිසාය. තවත් පැත්තකින් වැරදි ප්‍රතිපත්තිකරණය නිසාය. වැරදි ප්‍රතිපත්තිකරණය නිමා කරන්නේ නැතිව රට සංවර්ධනය කිරීමට හැකියාවක් නැත.
හොඳ පාර්ලිමේන්තුවක් තර්කය
සමහරුන් මේ දිනවල කියන්නේ පාර්ලිමේන්තුව හොඳ එකක් වීමට 225 ම අලුතින් එන අය පත්විය යුතුවා වැනි අදහසක්ය. මෙය වැරදි අදහසක් වන්නේ එවැනි තත්වයකදී රටේ ප්‍රතිපත්ති සාදනයේ අත්දැකීම් සහිත බොහෝ අයගේ සේවය ලබා ගැනීමේ ඉඩක් නොමැති වීමය. එසේම ව්‍යවස්ථාදායකය තුළට අවශ්‍ය පුහුණුව නොලැබී යාමේ තත්වයක් වර්ධනය වීමේ අනතුරක්ද ඒ තුළ තිබේ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ඉතාමත් අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති සාදනයට සහ නීති හැදීමට ශක්තියක් ඇති කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවීමය.
මගේ අදහස වන්නේ මෙවර පාර්ලිමේන්තුව අනෙක් සෑම වතාවකටම වඩා වැදගත් සහ තීරණාත්මක මැදිහත්වීමක් අවශ්‍ය කරන තැනට වැටී ඇති බවය. එසේ වී ඇත්තේ එක් පැත්තකින් රටේ විධායක බලය නව දේශපාලනික මතවාදයකට නතු වී ඇති තත්වයක් යටතේය.
විශේෂයෙන්ම මෙවර රට හමුවේ ඇති අභියෝග අතර ආර්ථික අභියෝගයට අමතරව දේශපාලන අභියෝගයක් ද මතු වීමේ විශාල ඉඩක් ඇති නිසා බුද්ධිමත් දේශපාලන තීරණයක් මහ මැතිවරණයේදී ගැනීම ඉතාමත් අවශ්‍යය.
(***)
මහාචාර්ය
චරිත හේරත්