රට තිබෙන්නේ එකම ගිනි ජාලාවකය. රඹුක්කන ඇවිලෙන්නට ගිය ගින්න ඒ ගිනි ජාලාවේ එකක් පමණය. පසුගිය සති 03ක්ම ගෙවී ගියේ විශාල විරෝධතා මැදය. ජනතාවගේ මූලික අවශ්‍යතා වන ගෑස්, විදුලිය, ඉන්ධන, බෙහෙත් වැනි දේවල් නොමැති වීමෙන් පටන් ගත් මේ අර්බුදය මේ වනවිට ආණ්ඩු වෙනස් කිරීමක් දක්වා වර්ධනය වී ඇත. එපමණක්ද නොවේ. ආණ්ඩු වෙනසක් පමණක් නොව ජනාධිපතිවරයාද ඉවත් විය යුතු බව විරෝධතාකරුවන්ගේ වර්තමාන සටන් පාඨය වී ඇත. Gota go home සටන් පාඨය යටතේ ගෝල්පේස් පිටියට පැමිණි විරෝධය සති 02කට ආසන්න කාලයක් අඛණ්ඩව පැවැත්වෙමින් තිබේ.
මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ රටේ පවතින මේ බරපතළ තත්ත්වය පිළිබඳවය. ඒ තත්ත්වයෙන් මිදීමට ගත හැකි පියවර කීපයක් සාකච්ඡා කිරීමටය.
රටේ තත්ත්වය
මේ අර්බුදය මුලින්ම පැමිණියේ ආර්ථික ක්ෂේත්‍රයේය. විදේශීය මූල්‍ය සංචිත නොමැතිකමින් රටේ ආනයන ආර්ථිකය බරපතළ ලෙසින් සෙළවෙන්නට පටන් ගැනීම මෙහි එක් ආකාරයක ප්‍රකාශයක් විය. දැන් මේ අර්බුදය ආර්ථික ක්ෂේත්‍රයෙන් දේශපාලන ක්ෂේත්‍රයටද පැමිණ ඇත. ජනාධිපතිවරයා පමණක් නොව මුළු පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන තරමේ විරෝධයක් ජනතාව තුළින් මතු වෙන්නේ එහි තවත් එක් ප්‍රකාශනයක් ලෙසින්ය. රටේ ආර්ථිකයේ බරපතළ කොටසක් ආනයනය කරන භාණ්ඩ සමග ගැටගැසී ඇති තත්ත්වයක විදේශ මුදල් නොමැතිවීම යනු ආර්ථිකය කඩා වැටීම යැයි සිතීමේ වැරැද්දක් නැත. 1977 ආරම්භ වූ විවෘත වෙළඳපොළ ක්‍රමය හේතුවෙන් රටේ ආර්ථිකයේ විශාල කලාපයක් ගැටගැසී ඇත්තේ භාණ්ඩ ආනයනය සමග බව තවමත් සමහරුන් පිළිගන්නේ නැත. ඩොලර් අඩු වුණාට රුපියල් තිබෙනවා යැයි කියන්නේ විවෘත වෙළඳපොළ ක්‍රමය තේරුම් ගන්නේ නැති අය විසින්ය. කනගාටුවට කාරණයක් වන්නේ මේ යල් පැන ගිය ආකල්පය (එනම් ඩොලර් නැතත් අපට එතරම් බලපෑමක් නැතැයි ආකල්පය) ආණ්ඩුවේ සිටි හා සිටින සමහරුන් ද දැරීමය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ඉන්ධන නැති, ගෑස් නැති විදුලිය නැති, බෙහෙත් නැති තත්ත්වයක් උද්ගතවීමය.
මේ වනවිට පෝලිම්වල සිටින අයට ප්‍රායෝගිකව අත්විඳින්නට සිදුවී තිබෙන වේදනාවේ සංඛ්‍යාත්මක දත්තමය පැත්ත අපේ අවධානයට ගැනීම ඉතාමත් අවශ්‍යය.
2021 වර්ෂය වනවිට මෙරට දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 81ක්ය. රටක් ලෙසින් අපි ගෙවන්නට තිබෙන විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 51ක්ය. ඒ කියන්නේ දළ ජාතික නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙසින් සීයට හැට දෙකක්ය. (62%) 2021 වසරේ සම්පූර්ණ අපනයන ආදායම ඩොලර් බිලියන 12.5වූ අතර භාණ්ඩ ආනයනය සඳහා ගිය මුළු වියදම ඩොලර් බිලියන 20.6කි. එතනම හිඟය හෙවත් පරතරය ඩොලර් බිලියන 8.1කි. ඒ පසුගිය වසර සඳහාය.
මීට අමතරව ඩොලර් ආදායම ලැබෙන තවත් මාර්ග ඇති බව බොහෝ අය දන්නා කරුණකි. 2021 වසරේ විදේශ රැකියා කරන අයගෙන් ලැබුණු මුදල ඩොලර් බිලියන 5.5කි. එය 2020 වසරේ ලැබුණු ඩොලර් බිලියන 7.1 සාපේක්ෂව බැලූ විට ඩොලර් බිලියන 2.6අඩුවකි. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන මුදල ඉතාමත් අඩු තත්ත්වයක් බවද 2021 පෙන්නුම් කරන කාරණයකි.
2021 වසරේ මේ ඩොලර් බිලියන 5.5ත් අපනයන ආදායමට (බි. 12.5) එකතු කළ විට සමස්තය ඩොලර් බිලියන 18කි. ඒ වසරේ වියදම වූ ඩො. බි. 20.6න් එය අඩු කළ විට හිඟය ඩො. බි. 2.6කි. මේ රටේ විදේශ ණය ගෙවීම් එකක්වත් නොකළත් අපිට 2021 වර්ෂයේ තිබුණු වෙළඳ හිඟයයි. 2022 වසර සඳහා අපට ගෙවන්නට ඇති ණය වාරිකවල එකතුව ඩො. බි. 6.5කි. එයින් ඩො. මි. 500 ගෙවා ඇති අතර මහ බැංකුව පසුගියදා ප්‍රකාශයට පත් කළේ ඉතිරි ණය ගෙවීම් මේ වසරේ සිදු කරන්නට නොහැකි බවය. ණය ගෙවන්නට නොහැකි වීම කියන්නේ රටක් සම්පූර්ණ කඩා වැටීමක් යැයි සමහරුන් කියන බව සැබෑවක්ය. එහෙත් එවැනි නිගමනයකට පැමිණෙන්නට අපි ඉක්මන් නොවිය යුතු බව මගේ යෝජනාවය. රට තිබෙන්නේ බරපතළ මූල්‍ය අර්බුදයක බව සැබෑවක්ය. එහෙත් රටක් ලෙසින් අපිට තිබෙන වත්කම් පදනමට (Assets Foundation) සාපේක්ෂව සිතන විට අපේ ණය ගෙවීම් කල් දැමීම නිසාම රට සම්පූර්ණයෙන්ම බංකොලොත් තත්ත්වයකට පත් වන්නේ නැති බව මගේ මතයයි. රටේ සම්පූර්ණ වත්කම් ගණනය කර ඇත්තේ ඩොලර් බිලියන 402ක් ලෙසින්ය. මෙම වත්කම් පදනමට සාපේක්ෂව විදේශීය ණය ඩො. බි. 51ක් ගෙවීම සම්පූර්ණයෙන්ම කළ නොහැකි තත්ත්වයක් නොවේ. එසේම සමහර රටවල වත්කම්වලට සාපේක්ෂව විදේශ ණය ප්‍රතිශතය තිබෙන්නේ ඉතාමත් ඉහළ අගයකය. බ්‍රිතාන්‍යයේ එය සියයට හැට තුනකි (63%) ලංකාවේ තත්ත්වය ඊට වඩා හුඟක් අඩුය. එනම් සියයට 13කි. එහෙත් මෙරට ගැටලුව වන්නේ රටේ වත්කම් මත සිට විදේශ මූල්‍ය ශක්තිය වර්ධනය කර ගැනීමේ ප්‍රතිපත්ති හා උපාය මාර්ග පැත්තෙන් අපි සිටින්නේ යල් පැනගිය මතවාදවල වීමය. පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් ඍජුවම වගකිවයුතු ආයතනයයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පසුගිය දිනවල නිතර කියනු ඇසුණු පරිදි රටේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු වගකීම නිසි ලෙසින් භාවිතා නොකරන්නේ නම් ජනතාව ඒ ආයතනය ප්‍රතික්ෂේප කළ හැකි බව ඉතාමත් පැහැදිලිය.
අභියෝග තුනක්
මේ මොහොතේ රටේ දේශපාලනය ඉදිරියේ ප්‍රධාන අභියෝග 03ක් තිබෙන බව මගේ අදහසය. මේ අභියෝග 03 ජය ගන්නට හැකි පුද්ගලයන් හා පක්ෂ මේ මොහොතේ සමාජයෙන් වලංගුභාවයක් ලබාගත හැකි අතර මේ අභියෝග 03 හමුවේ විහිලු සපයන අය දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම අතුගෑවී යාමට නියමිත බව මගේ තේරුම් ගැනීමය.
අප හමුවේ ඇති පළමු අභියෝගය වන්නේ ජන ජීවිතය යථා පරිදි ස්ථාපිත කිරීමට අවශ්‍ය විදේශ මූල්‍ය ශක්තිය කෙටිකාලීන (මාස 06) සහ දීර්ඝ කාලීනව (වසර 02කට) වර්ධනය කර ගැනීමේ උපාය මාර්ග සැකසීමයි. මේ සඳහා IFM ආයතනය සමග දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව බොහෝ අය දන්නා කාරණයකි. එහෙත් එක පැත්තකින් ඒ සාකච්ඡා පල දරන්නට ගතවන කාලය පිළිබඳව සිතිය යුතු අතර අනෙක් පැත්තෙන් රටේ දේශපාලන තත්ත්වය සෞඛ්‍ය සම්පන්න ලෙසින් පවත්වාගෙන යාමත් එහිදී අත්‍යවශ්‍යය. ආර්ථික තීරණ සඳහා දේශපාලන ස්ථාවරත්වය බරපතළ ආකාරයෙන් බලපාන බව මෙහිදී තේරුම් ගත යුතු වැදගත් කාරණයකි.
යහපත් ප්‍රජාතන්ත්‍රීය පාලන ආකෘතියක් පවත්වාගෙන යාමත් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ පවත්වා ගෙන යාමත් මේ සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. එසේම රට යනු ජනාතවගේ පොදු වගකීමක් මිස පුද්ගලයකුගේ හෝ පවුලක වගකීමක් නොවන බවද මෙහිදී අවධානයට ගත යුතු කාරණයකි.
රට හමුවේ ඇති දෙවැනි අභියෝගය වන්නේ මන්ත්‍රීවරුන් 113ක් සිටින සහ රට් මේ මොහොතේ අභියෝග භාර ගත හැකි ආණ්ඩුවක් හැදීමය. හුදු පුද්ගලයන් සතුටු කිරීමට ඇමතිකම් ලබාදීමත් පුද්ගලයන් සතුටු කිරීමට ඇමතිකම් කපා දැමීමත් යන දෙකම සමාජය භාර ගන්නේ නැති ඒවාය. අනෙක් අතට සමාජය භාර නොගන්නා ආකාරයේ කණ්ඩායම් එකතු කර හදන ඇමති මණ්ඩලවල ආයු කාලය ඉතාමත් අඩුය. එවැනි විකාරරූපී ඇමැති මණ්ඩල හරහා 113 තබා ගැනීම තබා රට තුළ සමාජ සම්මුතියක් (social contract) ගොඩනගා ගැනීමටත් හැකියාවක් නැත. මේ ගැටලු ලිහා ගැනීම වත්මන් අර්බුදජනක තත්ත්වය සමහන් කිරීමේ එක් වැදගත් කාරණයක් බව මගේ මතයය.
තුන්වැනි අභියෝගය වන්නේ රටේ ජනතාව පිළිගන්නා දේශපාලන සංවාදයක්/ කථා විශ්වයක් නිර්මාණය කිරීමයි. ඉංග්‍රීසියෙන් මෙයට කියන්නේ political Narrative එකක් කියාය. දැන් සිදුවී තිබෙන්නේ සම්මත පක්ෂවල දේශපාලනඥයන් ස්ථානගත වී ඇති කථා විශ්වය පරණ එකක් වීමත් රටේ ජනතාව එයට වඩා අලුත් දේශපාලන කථා විශ්වයක් හෙවත් කථාන්දරයක් විශ්වාස කිරීමත්ය. ජනතාව පිළිගන්නා දේශපාලන මතවාදයක් කරා රටේ සංවාදය රැගෙන යාම අත්‍යවශ්‍ය කාරණයක් වී ඇත. ගෝල්පේස් විරෝධයේ තරුණයන්ගේ භාෂාව දියවන්නාවේ සිටින මහල්ලන්ට තේරෙන්නේ නැතැයි මගේ මිතුරෙක් මා සමග පසුගිය දිනක කීවේ මේ නිසා විය යුතුය.
මේ අභියෝග 03 පිළිවෙළින් නියෝජනය කරන්නේ ආර්ථිකය (Economy) ආණ්ඩු බලය (Governing) සහ මතවාදය (Ideology) යන කරුණු 03ය. මේ පැති 03නේම අලුත්වීමක් මගින් මිස හුදු පැලැස්තර මගින් මේ අර්බුදය විසඳිය හැකි යැයි මට සිතෙන්නේ නැත.
අපට වෙච්ච දේ
පියදාස සිරිසේන මැතිතුමා විසින් 19 වැනි සියවසේ ලියූ නවකතාවක නම වන්නේ ‘‘අපට වෙච්ච දේ’’ ය. ඔහු විසින් එහි අදහස් කරන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය නිසා රටක් ලෙසින් අපට වෙච්ච දේ කතාන්දරයක් හරහා කීමයි. මට හිතෙන ආකාරයට අපේ දේශපාලන ව්‍යාපෘතිය 2020 පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිතව පත්වීමටත් එය අද වනවිට වැටී ඇති තත්ත්වය යන දෙක අතර පසු විපරමක් කිරීම ඉතාමත් සුදුසු බවයි.
අපට වෙච්ච දේ වෙනුවෙන් වෙනමම ලිපියක් ලිවිය යුතු තරම් සංකීර්ණ එකක් බව සැබෑවය. එහෙත් ඉතාමත් සැකෙවින් කිවහොත් අපට වෙච්ච දේ පදනම් වන්නේ වත්මන් සමාජ දේශපාලන වර්ධනය අවබෝධ නොකර ගැනීමේ හේතුව මත සිදුවූ ඉතාමත් කනගාටුදායක ඉරණමක් බවය.
මහනුවර රාජධානිය කඩා වැටුණේ ඒ කාලයේ ඉහළ සිටි අයගේ බේබදුකම නිසා යැයි පිළිගැනීමක් තිබේ. අපේ ආණ්ඩුව කඩා වැටුණේ ඉහළ සිටි අයගේ මෝඩකම නිසා යැයි යම් දවසක කවරෙක් හෝ කීවොත් එහි වරදක් ඇතැයි මා සිතන්නේ නැත.
(***)
මහාචාර්ය චරිත හේරත්