දේශපාලනයෙන් සමු අරන් ගොවිතැන් කරන හිටපු අධ්‍යාපන ඇමැති


   31_Nimthera_P2_Back   

 

හැත්තෑව, අසූව දශකයේ මෙරට ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් පිළිමතලාව ප්‍රදේශයේ තම නිවසේ පැළ තවානක් පවත්වාගෙන යමින් ඉතාමත් සරල ගැමි ජීවිතයක් ගත කරයි. ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රයට ඔහු අතින් සිදුවී ඇත්තේ අමිල වූ මෙහෙයකි. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල අදටත් ක්‍රියාත්මක “රුසියානු උපාධිය” ඔහු විසින් අත්සන් කළ එකකි. 

 


පාසල් එකොළහක් හා කාර්මික විද්‍යාල දාහතක් අලුතින්ම නිර්මාණය වන්නේ ඔහු අතිනි. 1987 ජේ.වී.පී. කැරැල්ල පැවැති සමයේ කිලෝ විස්සක බෝම්බයකට ඔහු පදිංචිව සිටි නිවෙස පුපුරා විනාශ වෙද්දී, ඉන් බේරී ඇත්තේ හාස්කමකිනි. එවකට ගොවි ජනපදයකින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණු හිටපු උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතාය. 1980 - 1985 යන වසරවල ගඩලාදෙණිය දේවාලයේ බස්නායක නිලමේ තනතුර ද හොබවා ඇත. අද එතුමා බුලත් විටක් සපමින් තම ආදරණීය බිරිඳ සුමිලාවතී මැණිකේ සමග පැළ තවානේ වැඩ කරනු ලබන්නේ යෞවනයකු මෙනි. ඇය ද හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරියකි. ඔහුගේ හැත්තෑඅට වැනි (78) උපන් දිනය යෙදී තිබුණේ පසුගිය පෙබරවාරි මස පස්වෙනි දිනටය.  


ගුරු, විදුහල්පති තනතුරුවලට අමතරව අධ්‍යාපන නිලධාරියෙක් (පත්වීම ලැබුණ ද, වැඩ භාර ගත්තේ නැත), බස්නායක නිලමේ තනතුරක් සහ අවසානයේ උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති වශයෙන් වසර දහයකටත් වඩා වැඩි කාලයක් සේවය කළ ද, අද ඔහුගේ ගමන් බිමන් සියල්ල සිදු වෙන්නේ පොදු මගී ප්‍රවාහන සේවයෙනි. තමාගේම කියා වාහනයක් තබා පා පැදියක්වත් නැති මෙම සොඳුරු මිනිසා තම මතකය අවදි කළේ මෙලෙසිනි.

 

2

 


“මගේ උපන් ගම නුවරඑළිය නිල්දණ්ඩාහින්නයි. සහෝදර සහෝදරියන් හත්දෙනෙකුගෙන් යුත් පවුලේ හයවෙනි සාමාජිකයා මමයි. මාගේ පියාගේ පියා වලපනේ හිටපු කෝරළේ මහත්තයෙක්. මගේ පියා ගුරු වෘත්තීයේ යෙදී තිබෙනවා. ඩී. ඇස්. සේනානායක මහතා තාත්තාව හොඳින් අඳුනනවා. සමහර දිනවල අපේ නිවසට පැමිණ තේ බීලා, බත් කාලා යනවා. ඒ තරම් හිතවත්කමක් තිබුණා. ඒ වෙනකොට මිනිපේ ව්‍යාපාරය ආරම්භ කර තිබුණේ. ඩී.එස්. මහතාගේ ආරාධනයට අනුව අපි මිනිපේ ජනපදයට ගොස් එහි පදිංචි වුණා. වී බුසල් තිස් හයක ඉඩමක් ලැබුණා. 


අපේ ඉඩමට අල්ලපු ඉඩමේ එනම්, 1951 පාසලක් ඉදිකළා. ඒ මොරයාය සංඝබෝධි මහා විද්‍යාලයයි. එතකොට මගේ වයස අවුරුදු දහතුනයි. ඒ වෙනකොටත් මම පාසලකට ගිහින් නැහැ. එහෙත් තාත්තා නිවසේ දී උගන්වනවා. පොත්පත් කියවන්න පුළුවන්. අපි සියලු දෙනාම එම පාසලට ඇතුළත් කළා. අවුරුදු දහතුනේ දී, මම ඇතුළත් වුණේ හෝඩියට. හෝඩියේ සිටියේ සති තුනක පමණ කාලයක්. ඉන් පස්සේ දෙක පංතියට දැම්මා. එහි සිටියේ මාස හයයි. ඒ ආකාරයට වසර හතක පමණ කාලයක් ගත වන විට එස්.එස්.සී. ලියන මට්ටමට පැමිණියා. එහෙත් එහි එස්.එස්.සී. පංති නැහැ. ඒ ළඟම මහියංගණය මහා විද්‍යාලය පිහිටා තිබුණා. එහි එස්.එස්.සී. පංති තිබුණත්, මට පැහැදීමක් ඇති වුණේ නැහැ. 


අපේ නිවසේ සිට සැතපුම් විස්සක් පමණ දුරින් පිහිටි කලුන්තැන්න මහා විද්‍යාලයට ඇතුළත්ව විෂයයන් අටයි සම්මාන පහක් ලබාගෙන පාසලෙන් එස්. එස්. සී. විභාගය සමත් කර ගත්තා. එහි සාහිත්‍ය සංගමයේ සභාපති වෙලත් සිටියා. විභාගයෙන් පාස් වුණාට එහි එච්. එස්. සී. පංති නැහැ. නැවතත් මට පාසලක් සොයාගෙන යාමට සිදු වුණා. එතකොට වළල මධ්‍ය මහා විදුහලට ඇතුළත් කර ගන්නේ පාසලෙන් පවත්වනු ලැබූ විභාගයෙන් සමත් වන අයයි. එම විභාගයට ඉදිරිපත්ව ඉන් ප්‍රථමයා විදිහට සමත් වුණේ මමයි. එහෙත් එම පාසලේ නැවතී ඉගෙන ගත යුතුව තිබුණා. ඒ සඳහා රැගෙන පැමිණිය යුතු බඩු ලැයිස්තුවක් දුන්නා. එවකට ඒ සඳහා රුපියල් තුන් දහසක පමණ මුදලක් වැය කළ යුතු වෙනවා. 


මෙම මුදල තාත්තට වියදම් කිරීමට අමාරුයි. මේ බර තාත්තට දෙන්න හොඳ නැහැ. එම නිසා තෙල්දෙණිය යකාමුල්ල මහා විද්‍යාලයෙන් සිංහල, ඉතිහාසය සහ පාලි යන විෂයන් ඉගෙන පාස්වෙලා විද්‍යොදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මම පමණයි විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ. එම පාසලේ සාහිත්‍ය සංගමයේ සභාපති ඇතුළු විවිධ තනතුරු දැරුවා. මම විශ්වවිද්‍යාලය දක්වා පැමිණි ගමනේ දී පාසල් හොයාගෙන ගොස් ඒවාට ඇතුළත් වුණේ තනිවමයි. අම්මා, තාත්තා මා සමග පැමිණියේ නැහැ. මම ඒ අයට කරදර කළෙත් නැහැ. නමුත් තාත්තා අවශ්‍ය මුදල් ලබාදෙමින් මාව දිරිමත් කළා.”

 

3

 


● වසර අටක් වැනි ඉතාමත් කෙටි කාලයකින් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණු එකම තැනැත්තා වශයෙන් ඔබ ඉතිහාසගත විය හැකියි නේද? 
“එහෙම විය හැකියි. මම 1951 දී හෝඩියේ පංතියට ඇතුළත් වෙලා වසර අටකින් එච්. එස්. සී. විභාගයෙන් සමත් වී, 1960 වසරේ දී විද්‍යොදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඒ මා තුළ අධ්‍යාපනය ලබා ගැනීමට තිබූ ආශාව පමණක් නොවේ දැඩි උත්සාහයේ, උනන්දුවේ ප්‍රතිඵලයක් විදියටයි මම දකින්නේ. මම බොහෝ බාධාවන් ජය ගත්තේ කැපවීම නිසාමයි.”

 


● මම අසා තිබෙනවා ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ ගුරුවරයෙකු ලෙසත් සේවය කළා කියලා. එවකට කෙසේද එම පහසුකම ලබා ගත්තේ?
“එදා එස්. එස්. සී. විභාගය සමත් අයට ගුරු පත්වීම් ලබා දීමට අධ්‍යාපන අධ්‍යක්ෂකට බලය තිබුණා. විශ්වවිද්‍යාලයට පිවිසීමට සුදුසුකම් ලබාගෙන සිටියත්, එයට ඇතුළත්ව සිටියේ නැහැ. ඇතුළත් වීමට තවත් කාලයක් ඉතිරිව තිබුණා. එම කාලයේ තමයි ගුරු පත්වීමට ඉදිරිපත් වුණේ. යහළුවන්ගේ ඉල්ලීමට මම ඔවුන් සමග අධ්‍යක්ෂ හමුවීමට ගියා. -මම පත්වීම ලබා දෙන්නම්, හැබැයි රුපියල් හයසීයක් ගන්නවා. ඔහු කීවා.” 


තාත්තාට මම මේ බව පැවසුවාම ඔහු කීවා. උඹ එච්.එස්.සී. විභාගය සමත් වෙලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබාගෙන සිටින්නේ. අනෙක පුතේ අල්ලස් දීල රස්සාවල් ගන්න පුරුදු වෙන්න එපා. ඒවා නරක වැඩ. ඉගෙන ගෙන දිගටම පලයං. එතකොට උඹට තැනක් ලැබෙයි. 


එතකොට තාත්තා ළඟ මුදල් තිබුණා. වී බුසල් පන්සීය, දාහ ආදී වශයෙන් විකුණනවා. හැබැයි මම ඒ වෙනකොට ගුරු විභාගයත් ලියා තිබුණා. එය සමත් වෙලා ගුරු පත්වීමේ ලිපියයි, විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ ලිපියයි දෙකම ලැබුණේ එකම දිනවලදීයි. මොරයාය විදුහලට පත්වීම ලැබී තිබුණේ. තාත්තාගේ උපදෙස් මත පළමුව නිවෙස ළඟම පිහිටි පාසලට ගුරුවරයෙකු ලෙස පත්වී ගියා. මම දැන් එහි උගන්වනවා. ඒ අතරේ විශ්වවිද්‍යාලයෙන් එක දිගට ලියුම් එනවා එයට ඇතුළත් වන ලෙස දන්වා. තාත්තාට බරක් නොවී, වැටුප් සහිත අධ්‍යයන නිවාඩුවක් ලබාගෙන රැකියාව කරන ගමන්ම, විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ඉගෙන ගන්න ඕනෑ කියා මට සිතුණා.  


එතකොට අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියයි. උගන්වන ගමන් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඉගෙන ගැනීමට අවසර ඉල්ලා අගමැතිනියට ලියුමක් දැම්මා. උත්තර නැහැ. එවකට “වාසිටි” යාම ලෙහෙසි නැහැ. හරිම අමාරුයි. මම හරිම කැමැත්තෙන් ඉන්නේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට. කොළඹ ගිහින් අධ්‍යාපන ඇමැති හමුවුණත් ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. දවසක් මට හිතුණා එවකට විපක්ෂනායක ඩඞ්ලි සේනානායක මහතා හමුවෙලා මෙම ප්‍රශ්නය විසඳා ගත යුතුයි කියා. 


ඩඞ්ලි සේනානායක මහතාත් එවකට අපේ නිවසට පැමිණ තාත්තා සමග කතාබස් කරමින් මිතුරන් සේ ආශ්‍රය කළා. එවකට එනම් 1961 වසරේ ගුරු වැටුප එකසිය පනස් හතරයි ශත විසි පහයි. වැටුප ලබාගත් දිනට පසු දින කොළඔ ගියා. තාත්තා මහලු වයසක පසු වූ නිසා මම ගියේ තනියම. පිටකොටුවේ සිට  ටැක්සියක වුඞ්ලන්ඞ්ස් එකට ගියා. එහි වලව්ව පිහිටා තිබුණේ. රුපියල් එකයි පනහයි ටැක්සි ගාන. මම රුපියල් දෙකක්ම රියදුරුට දුන්නා. එතකොට සවස හතරට පමණ ඇති. මාව හඳුන්වා දීමෙන් පසු, සම්පූර්ණ විස්තර ඩඞ්ලි සේනානායක මහතාට පැවසුවා.                                                                                             
“මම ආවේ සර් අඩුම වශයෙන් මගේ දුක්ගැනවිල්ල සර්ට කියලාවත් යන්නම් කියන අදහසෙනුයි. එවකට අධ්‍යාපන අධ්‍යක්ෂ හෙට්ටිආරච්චි මහතායි. ඩඞ්ලි මහතාගේ රියදුරු එළියට ගිහින්. එන්න මාත් එක්ක. කියලා එතුමා රියදුරු ආසනයට ගොඩවුණා. මම පිටුපස ආසනයේ වාඩිවුණා. මැලේ වීදියේ අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටා තිබුණේ. එහි ගිහින් හෙට්ටිආරච්චි මහතා හමුවුණා. ඒ මහතා හිටගෙන කතා කරනවා. අපි දෙදෙනාත් හිටගෙන. එතකොට ඩඞ්ලි සේනානායක මහතා කියනවා. “හෙට්ටිආරච්චිට ඔබතුමා වාඩි වෙන්නකෝ.”


පළමුවෙන්ම අපේ මිනිපේ ව්‍යාපාරයෙන් විශ්වවිද්‍යාලයට තේරුණේ මේ ළමයායි.  මොරයාය විදුහලේ උගන්වනවා, මාස ගණනක් ගතවෙලා විශ්වවිද්‍යාලයට තේරිලා. මගේ නිවසේ ඉඳලා යන්න වියදම් කරන්නම් කීවා. ඒකටත් කැමැති නැහැ. මුදල් නැහැ. නිවාඩු සහිත අධ්‍යයන නිවාඩු ලබාගන්නයි පැමිණියේ. මෙයාට වැටුප් සහිත නිවාඩු දෙන්නේ කොහොමද? කියා ඇසුවා. “වසර දෙකක සේවයක් සම්පූර්ණ කර තිබෙන අයට වැටුප් සහිත නිවාඩු දිය හැකියි. මෙයාට වසර දෙකක් නැහැනේ. එහෙත් ඔබතුමාගේ ඉල්ලීමක් නිසා මේක ඉවත දමන්නත් බැහැනේ... මෙහෙම කරමු නායකතුමා. මෙයාට විශ්වවිද්‍යාලයේ නිවාඩු ලැබෙන සෑම කාලයේදීම පාසලේ උගන්වන්න කියමු... විශ්වවිද්‍යාලය පටන් ගන්න කොට නැවත එහි පැමිණ ඉගෙනගත යුතුයි.”


එහෙම කරන්න පුළුවන් ද ළමයා, කියා මගෙන් ඇසුවා. මම සතුටුයි සර් කීවා.  එහෙනම් මම ලියුම එවන්නම්. හෙටම ගිහින් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න කීවා. ඒ විදිහටයි මම වැටුප් සහිතව විද්‍යොදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඉගෙන ගත්තේ. පසුව මරදානේ කෙහෙල්වත්ත පී.බී. අත්තනායක මගේ යහළුවාගේ බෝඩිමට පවා ගෙනැවිත් දැමුවා. ආපසු එනකොටත් පසුපස ආසනයේ වාඩි වුණේ. පසුව මම දැනගත්තේ මා යා යුතුව තිබුණේ ඉදිරි අසුනේ බව. බලන්න එතුමාගේ නිහතමානී උදාර ගතිගුණය. සිත රිදෙන ආකාරයෙන් එක වචනයක්වත් මට පැවසුවේ නැහැ. අනෙක් කරුණ නම්, අද වගේ දවසක වසර දෙකට අඩු කාලයකදී වැටුප් සහිත නිවාඩු ලබාගැනීමට උදව් කිරීම වෙනුවෙන් ඩඞ්ලි සේනානායක මහතාට මොන තරම් දෝෂාරෝපණයක් එල්ල වේවිද?”

 


● ඔබතුමාගේ කාලයේ දී නේද විද්‍යොදයට ශිෂ්‍යාවන් ඇතුළත් කර ගත්තේ. ඒ සඳහා ලබාදුන් දායකත්වය ගැනත් දැන ගැනීමට කැමතියි.
“එයත් හරි අපූර්ව කතාවක්. අපගේ පංති තහනම් කිරීමක් පවා සිදුවුණා. 1964  වසරේ දී සරසවි කොමිසන් සභාවට යෝජනාවක් ගෙනාවා විද්‍යොදය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලවලට ගැහැණු ළමයින් ගත යුතුයි කියා. එවකට අධ්‍යාපන ඇමැති පී. බී. ජී. කලුගල්ල මහතායි. අපිට දැන් හරි සතුටුයි. ටික දවසක් ගියා ගන්න පාටක් නැහැ. මම රැස්වීමක් තබා සගයන්ට කීවා මෙය ක්‍රියාත්මක කිරීමට අපි පෙරමුණ ගත යුතුයි. අපි උද්ඝෝෂණයක් කරමු කියා. විශ්වවිද්‍යාලයේ නායකයෝ මේ යෝජනාවට අකමැතියි. 


උඩහමුල්ලේ සොහොන් පිටියෙන් මල්වඩම් පහක් රැගෙන ඇල්බට් එදිරිසිංහට කතාකර බස් රථ කිහිපයක් ගෙන්වාගෙන ගිහින් උද්ඝෝෂණයක් කළා. මම තමයි නායකයා. පසුව භික්ෂූන් වහන්සේලා පෙත්සම් අත්සන් කරනවා ක්‍රියාත්මක කරන්න එපා කියා. අපි පෙත්සම් අත්සන් කරනවා ක්‍රියාත්මක කරන්න කියා.  ශිෂ්‍යයෝයි භික්ෂූන්වහන්සේලායි අතර ගැටුමක් ඇතිවුණා. ගල්, පොලු රැගෙන දෙපැත්තෙන්ම ගහගන්නවා. ඒ අතරේ පොලිසියත් පැමිණියා. දෙපැත්තේම අයට තුවාල වෙලා. අවසානයේ කඵබෝවිල රෝහලට තුවාලකාරයෝ රැගෙන ගියා. උපකුලපති ස්වාමීන් වහන්සේ යෝජනා කළා කොමිසමක් පත්කර වරදකරුවන්ට දඬුවම් කළ යුතුයි කියා. 


අපි විශ්වවිද්‍යාලයේ කිසිදු ගොඩනැගිල්ලකට හානි සිදු කළේ නැහැ. මම ඒ සියල්ල අවසානයේ දේශනයක් පැවැත්වුවා. ඒවායේ ඡායාරූප දොඩම්ගොඩ කොමිසමට ඉදිරිපත් කර තිබුණා. එම කොමිසන් සභාවෙන් දහඅට දෙනෙක් වරදකරුවන් කළා. අපේ පංති තහනම් කළා. මට අවුරුදු දහඅටයි, අනෙකුත් අයට වසර දාහත, දහය ආදී වශයෙන්. ලෝකයේ කිසිදු විශ්වවිද්‍යාලයකින් විභාගයට පෙනී සිටීමට අවසර නැහැ. එවකට මගේ ජීවිතයට තර්ජනයක් පවා තිබුණා. දැන් කුමක් කළ යුතු ද කියා සිතන කොට, ඩඞ්ලි සේනානායක මහතා මතක් වුණා. එදාම එතුමා හමුවී දණගහල වැඳලා, අපේ පංති තහනම් කළ බව පැවසුවා. එතකොට ආණ්ඩුකාරතුමා විලියම් ගොපල්ලව මහතායි. එහෙම කරන්න පුළුවන් ද කියා මාත් එක්කම විලියම් ගොපල්ලව මහතා හමුවෙන්න ගියා. 


විශ්වවිද්‍යාල දේපළවලට හානි සිදුකර නැති නම් සාමදාන කරන්න තිබුණනේ. මම කොමිසම තහනම් කරන්නම්. හෙටම ගිහින් පංතිවලට සහභාගී වෙනවා, ප්‍රශ්න දාගන්නේ නැතිව උපාධිය ගන්නවා, කියා ගොපල්ලව මහතා කීවා. ඊට පහුවදා සිට නැවතත් විශ්වවිද්‍යාලයට ගොස් ඉගෙන ගත්තා.”

 


● ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ වන්නේ ඔබගේ නායකත්වයෙන් නේද?
“ඇත්තෙන්ම ඔව්. විශ්වවිද්‍යාලයේ ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය ව්‍යාපාරය පිහිටු වූයේ මමයි. එතකොට සාමාජික සංඛ්‍යාව අටදෙනයි සිටියේ. කොමියුනිස්ට් පක්ෂයෙන් අපට ඒ සඳහා ඉඩ ලබාදුන්නේ නැහැ. මේක ඇතුළේ එක්සත් ජාතික පක්ෂ සංවිධානයක් පිහිටුවා ගත්තොත් ගහල මරනවා කියා තර්ජන පවා තිබුණා. නුගේගොඩ ගුණවර්ධන සාප්පුවේ උඩ තට්ටුවේදී තමයි සංගමය පිහිටුවා ගත්තේ. එයට විශේෂ අමුත්තා වශයෙන් අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා පැමිණියා. ඒත් එක්කම ඡන්දය පැවතියා. ඩඞ්ලි සේනානායක මහතා බලයට ගෙන ඒම සඳහා ලංකාව පුරාම ගොස් වැඩ කළා. මාලේවන ස්වාමීන්වහන්සේ ප්‍රවාහන පහසුකම් ලබාදුන්නා. වවුනියාවට අපි ගියේ හෙලිකොප්ටර්වලින්. ඩඞ්ලි සේනානායක මහතා බලයට පත්වුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරනවාත් සමඟම මහනුවර සිල්වෙස්ටර් විදුහලට මට මාරුවීමක් ලැබුණා. එහෙත් පසුව මිනිපේ අහිංසක ළමයින් වෙනුවෙන් නැවතත් ගමට පැමිණියා. විදුහල්පති තනතුර දක්වා උසස්වීම් ලැබුණා. 1968 වසරේ දී සී. ඒ. එස්. විභාගයේ බුද්ධි පරීක්ෂණයෙන් ලකුණු 95 ක් ලබාගනිමින් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානයට පැමිණියා. එහෙත් සමත් කිරීමට රුපියල් පන්දහසක් ඉල්ලුවා. මම දුන්නේ නැහැ. අසමත්. දේශපාලනයට පිවිසෙන විට දෙවැනි ශ්‍රේණියේ අධ්‍යාපන අධ්‍යක්ෂ මට්ටමට උසස්ව සිටියා.”

 

1

 


● ඔබගේ විවාහය ගැනත් දැන ගැනීමට කැමතියි...
“විවාහයත් මම තනියම කර ගත්තේ. රුපියල් පනහයි වියදම් කළේ. ඇය ගොඩගම රාළහාමිගේ සුමිලාවතී මැණිකේ, මාවනැල්ලේ පදිංචිය. විද්‍යොදය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය කළා. එහිදී අඳුනා ගත්තා. මට ගැළපෙනවා. මව්පියන්ගේ ආශිර්වාදය ලැබුණා. විවාහය ලියාපදිංචි කළා. අපේ නිවෙසට එකතු කරගෙන ගියා. තාත්තා කිව්වා උත්සවයක් තියලා කැන්දන් ඒමට සිතාගෙන සිටියේ කියා. මම එය අනවශ්‍ය බව පැවසුවා. ගුරු වෘත්තියේ සිට අධ්‍යාපන අධ්‍යක්ෂිකාවක දක්වා ඇය ඉහළට ගියා. අපට දරුවන් තිදෙනෙක් සිටිනවා. ඔවුන් විවාහකයි. පසුගිය දෙසැම්බර් මාසයට විවාහ වී වසර පනහයි. ලොකු පුතා පීඑච්ඩී කාරයෙක්, දියණිය විශේෂඥ වෛද්‍යවරියක්, බාල පුතා උපදේශකවරයෙක් රට වටේ ඇවිදිනවා.”

 


● ඔබ දේශපාලනඥයෙක් විදිහට වාර්තා කිහිපයක්ම තබා ඇති බවට දැනගැනීමට ලැබෙනවා. 
“ඔව්. මිනිපේ ජනපදයෙන් ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රී වගේම, පාර්ලිමේන්තුවට ඇතුළු වූ හැටියේම ඇමැතිවරයෙක් වුණු මන්ත්‍රීත් මායි. ඩඞ්ලි සේනානායක මහතා මිනිපේ ආසනයේ සංවිධායක තනතුර භාර ගන්න කියා, මගෙන් ඉල්ලීමක් කළා. එතකොට විශ්වවිද්‍යාල අවසන් වසරේ අධ්‍යාපනය ලබමින් සිටියේ. විභාගය අවසන් වූ වහාම ඉදිරිපත් වෙන්නම්” කීවා. පසුව ජේ. ආර්. ජයවර්ධන මහතා බලයට පත්වුණා. අයදුම්පතක් ඉදිරිපත් කළත් එය ප්‍රතික්ෂේප වුණා. ඒ මහතා වෙනත් අයෙක් ඉදිරිපත් කළා. මම එතුමා සමග තර්ක කළා.  පසුව ඊ. ඇල්. සේනානායක මහතාගේ නායකත්වයෙන් ඒ සඳහා කොමිසමක් පත් කළා. අවසානයේ ඊට සුදුස්සා වූයේ මායි. මිනිපේ ආසන සංවිධායක තනතුර ලැබුණා. මිනිපේ තරුණයන් රැස්කළා. පා පැදි දෙසීයක් සමග මිනිපේ පුරා සැතපුම් පනස් දෙකක් පැදගොස් ඡන්දය ඉල්ලුවා. මට වාහනයක් තිබුණේ නැහැ. අවසාන මොහොතේ සහෝදරයෙක් මයිනර් කාර් එකක් ලබාදුන්නා. රුපියල් අනූ පන්දහසයි මැතිවරණයට වියදම් වුණේ. 1977 වසරේ ඡන්දයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළා. එම වසරේ ජූලි මස විසි දෙවන දින පාර්ලිමේන්තුවට ගියා. 1986 වෙනකොට අපොස (සා.පෙළ) විභාගය සහ ඉන් ඉහළ විභාගවලින් සමත් සියලුම දෙනාට රැකියා ලබාදුන්නා. දහස් ගණනක් සිටියා. වෙන කිසිදු මන්ත්‍රීවරයෙකුට මා කළ දේ කරන්න බැරි වුණා.”

 


● වත්මන් මැති ඇමැතිවරුන්ට ලැබෙන වරප්‍රසාද බොහෝමයි. ඔබගේ කාලයේදී ඒවා ලැබුණේ කෙසේද?
“එවකට මගේ වැටුප රුපියල් හයදහසයි. වාහනයක්වත් තිබුණේ නැහැ. මන්ත්‍රීවරයෙකුට, උපදිසාපතිවරයෙකුට වාහනයක් ලබාදිය යුතු බවට පාර්ලිමේන්තුවේදී යෝජනා කළේ මමයි. ජේ. ආර්. ජයවර්ධන මහතා සමග මේ සම්බන්ධයෙන් තර්ක කිරීමට පවා සිදුවුණා. එහිදී මම කීවා, බසයෙන් ඇවිත් පාර්ලිමේන්තුවට එන්න බැහැ. පහසුකම් නොමැතිව කොහොමද මහජනතාවට සේවය කරන්නේ. අල්ලස් ගත්තා කියා චෝදනා කරන්න එපා. මාව බේරාගන්න නම් නීත්‍යානුකූලව වාහනයක් ලබාදිය යුතු වෙනවා. ඊට පසුව සියලු දෙනාටම වාහන ලබා දුන්නා. මේ බව “හැන්සාඞ්” වාර්තාවේ සඳහන් කර තිබෙනවා. 


මන්ත්‍රීවරුන්ට, උපදිසාපතිවරුන්ට, වාහන ලබා ගැනීම, තරුණසේවා, කාන්තා, ස්වර්ණභූමි අමාත්‍යාංශ මගේ යෝජනායි. උසස් අධ්‍යාපන ඇමැති ජේ. ආර්. ජයවර්ධන මහතා. මම නියෝජ්‍ය ඇමැති. ජේ. ආර්. මහතා තෙවතාවක්ම අධ්‍යාපන ඇමැති වශයෙන් මට දිවුරුම් දෙන්න කීවා. වසර දොළහ හමාරක් හිටියා. ජේ. ආර්. මහත්මා එක දවසක් මගේ අමාත්‍යාංශයට ගොඩවෙලා නැහැ. ඒ තරම් මම හරියට වැඬේ කළා. කටුබැද්ද විශ්වවිද්‍යාලයේ අඩුපාඩු සාදා දීමට රුපියල් හැත්තෑ අට ලක්ෂයක්  වෙන් කළා. කැලණිය විශ්වවිද්‍යාලයේ තට්ටු පහක ගොඩනැගිල්ලක් හැදුවා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෝටි දහයක ගොඩනැගිල්ල නිමකර දුන්නා.  මම අමාත්‍යාංශය භාර ගන්නකොට තිබුණේ කාර්මික විද්‍යාල දාහතරයි. අස්වෙන කොට එය තිස් එක දක්වා වැඩි කළා. ලංකාවේම කාර්මික විදුහල් දාහතක් සහ උඩදුම්බර ආසනයේ පාසල් එකොළහක් අලුතින්ම හැදුවා.” 

 


● මිනිපේ ආසනය පසුව උඩදුම්බර බවට පත් කරන්නේ ඔබ නේද?
“මිනිපේ ජනපදයට අයිති වෙන්නේ කන්දෙන් පහළ කොටස පමණයි. ඡන්දදායකයින්ගෙන් සියයට පනහක් ඉන්නේ කන්ද උඩ. එම කොටස උඩදුම්බර කොටසට අයිතියි. පස්සේ මම උඩදුම්බර යනුවෙන් නම වෙනස් කළා. ඒ සඳහා ලියුම් හැත්තෑ දෙකක් ලියන්න සිදුවුණා. දැන් මිනිපේ නැහැ. ඒ සියල්ල උඩදුම්බරට අයිතියි.” 

 


● ඔබගේ නිවසට බෝම්බ ගැසුවා නේද?
“එතකොට මම ඇමැති. එවිට අපි පදිංචිව සිටියේ වටපුළුවේ නිවසේයි. එහි 1987 නොවැම්බර් 01 දින පාන්දර 3.19 ට කිලෝ විස්සක බෝම්බයක් පුපුරා ගියා. නිවෙස සම්පූර්ණයෙන්ම විනාශ වුණා. පවුලේ දහතුන් දෙනෙක් සිටියා. අපි කිසිවෙකුටවත් අනතුරක් සිදු වුණේ නැහැ. එය ආශ්චර්යයක් වගේ. බෝම්බ ගහන්නත් හේතුවක් තිබුණා. ජේ.වී.පී. කාරයන්ට ලංකාව පුරාම ගිහින් ප්‍රහාර එල්ල කළේ මමයි. විජේවීර පසුව අත්තනායක යන නමින් පෙනී සිටියේ ඒ නිසයි. ජේ.ආර්. ජයවර්ධන මහතා අපට ඕස්ටේ්‍රලියාවට ගොස් පදිංචි වන ලෙස කියා සිටියා. මව්පියන් දමා යන්න මම කැමැති වුණේ නැහැ. ලංකාවේ නතර වුණා.” 

 


● ලෝකයේ බොහෝ රටවලට බලපාන අයුරින් ඔබ රුසියාව සමග ගිවිසුමකට අත්සන් කළ බව කියනවා. ඒක පැහැදිලි කරන්න. 
“ඇත්තෙන්ම ඔව්. එය අත්සන් කිරීමට ගියේ ජනමත විචාරණය පැවැති කාලයේදීයි. මම අත්සන් කළ ගිවිසුම තමයි තවමත් ක්‍රියාත්මක වෙන්නේ. ලංකාවේ උපාධියයි, ඒ රටවල උපාධියයි සම මට්ටමේ පිහිටුවා අත්සන් කළ ගිවිසුම. ඊට ප්‍රථම රුසියාවට ගොස් ඉගෙන ගෙන පැමිණි සමහර දෙනෙක්  රටකජු, බුලත්විට වැනි වෙළෙදාම් කර තිබෙනවා. ගිවිසුම අත්සන් කළාට පසු ඔවුන්ට සුදුසු රැකියා ලැබුණා. පකිස්තානය පමණක් සම මට්ටමේ තිබ්බේ නැහැ. එයට හේතුව වූයේ ශාක්ෂරතාවය සියයට හතළිස් පහක ඉතාමත් අඩු මට්ටමක පැවතීමයි. රුසියාවේ එම්.එස්.සී. උපාධිය මෙහි බී.එස්.සී. මට්ටමේ පවතිනවා. 


ගිවිසුමේ පස්වෙනි ජේදයට අපි කොන්දේසියක් දමා තිබුණා, කුමන රටෙන් වෛද්‍ය උපාධියක් ලබාගත්තත්, අපේ වෛද්‍ය සභාවට යටත් විය යුතුයි යනුවෙන්. වෛද්‍යවරයෙක් වශයෙන් සමත්ව ලංකාවට පැමිණියත්, අපේ වෛද්‍ය සභාවෙන් පවත්වන විභාගයෙන් සමත් විය යුතුයි. ඔවුන් කියනවා ඔවුන්ගේ වෛද්‍ය සහතිකය කොයි රටකටවත් යට කරන්න බැහැ කියා. ඒ නිසා ඔවුන්ට අත්සන් කරන්න බැහැලු. දවස් දෙකක් ප්‍රමාද කළා. තුන්වෙනි දවසේ මම කීවා චීනය හැර අනෙක් සියලුම රටවලට නීති දමන්න අපිට අයිතියක් තිබෙනවා. තමුන්නාන්සේලා කොළ අතු ඇඳගෙන රෙදි පොටක් නැතිව මේ රටේ ජීවත් වෙනකොට මගේ රටේ වෛද්‍යවරු මොළයේ ශල්‍යකර්ම සිදු කළා. රජවරු නයාගේ බඬේ තිබූ ගෙඩියට බෙහෙත් දමා සනීප කර තිබෙනවා. ඒ ක්‍රි.ව. හාරසිය ගණන්වලදී. ඒ ගැන සඳහන් කර පුස්කොළ පොත්, නටබුන් පවා තිබෙනවා. එම නිසා මගේ වෛද්‍ය සභාවට පයින් ගසා මෙම ගිවිසුමට අත්සන් කරන්නේ නැහැ. හෙට මම යනවා කීවා. පසුව ඔවුන් මගේ කතාවට එකඟවෙලා ගිවිසුමට අත්සන් කළා. අදටත් ක්‍රියාත්මක වෙන්නේ එම ගිවිසුමයි.”

 


● වගා කරන්න ඉගෙන ගත්තේ කෙසේද? 
“වටපුළුවෙ නිවෙසට බෝම්බ ගැසීමෙන් පසු මීගම්මනට ගොස් නිවෙසක් සාදාගෙන පදිංචි වුණා. කෘෂිකර්ම නිලධාරියා දවසක් අපේ නිවෙසට ඇවිත්, පැළ තවානක් පටන් ගන්න මම උදව් කරන්නම් කීවා. ලියාපදිංචි කර දෙන්නම් කීවා. ඉන් පසු ඔහු පැමිණ මාධ්‍ය සකස් කරන හැටි, පැළ සිටුවන ආකාරය, සියලු දේ ගැන කියා දුන්නා. පසුව මීගම්මනෙන් පිළිමතලාවට පැමිණියා. මෙහෙට පැමිණි පසු පැළ තවාන පටන් ගත්තා. දැන් වසර එකොළහයි. විශ්‍රාම වැටුප ජීවත්වීමට මට ප්‍රමාණවත් වුණත් වගා කරන්නේ එකතැන සිටියාම ලෙඩ වෙනවා. මගේ සහායට මැණිකේ සිටිනවා. සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියි. සාදික්කා, ගම්මිරිස්, පුවක්, කරාබු වැනි බෝග නිෂ්පාදනය කරනවා. ඒවා රජය මිලදී ගන්නවා. අක්කර තුන් කාලක පමණ භූමියක වගාව පවතිනවා. වසරකට ලක්ෂ දෙක, තුනක පමණ ආදායමක් ලැබෙනවා. පැළ එනකොට සතුටක් දැනෙනවා.

m