දේශපාලනයේ ආර්ථිකයේ සුබ අසුබ


මේ දිනවල රටේ සමහර තැන්වල ප්‍රදර්ශනය වූ පෝස්ටරයකින් කියවුණේ ‘සුබ ආරංචියක්’ එන බවයි. සාමාන්‍යයෙන් ඉතිහාසයේ ‘සුබ ආරංචි’ කතාව තිබුණේ කතෝලික දේවධර්ම ඉගැන්වීම් තුළ දැක්වෙන සුබ ආරංචිය පිළිබඳ දේශනාව තුළය. එහෙත් මේ දිනවල පෝස්ටර් ගසා සමහරුන් විසින් ප්‍රසිද්ධ කරන්නට හදන්නේ එවැනි ආගමික සුබ ආරංචියක් නොව දේශපාලන සුබ ආරංචියක් පිළිබඳවය.

ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයට අනුව මේ කියන සුබ ආරංචිය වන්නේ ‘ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ එක් කොටසක් වන පැරිස් ක්ලබ් සංවිධානය යටතේ සිදුවූ ද්විපාර්ෂික ණය හිමියන් සමග ගිවිසුමක් අත්සන් කිරීමත්, චීනය සමග ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ ගිවිසුමක් අත්සන් කිරීමත්ය.’

ආණ්ඩුවේ පොහොට්ටු පාර්ශ්වයට අනුව මේ කියන සුබ ආරංචිය වන්නේ පොහොට්ටුවෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා යන්නය. ඒ අපේක්ෂකයා කවුරුන්දැයි මා දන්නේ නැත. එවැනි තීරණයක් ඒ අය රැගෙන තිබෙනවා දැයි මා දන්නේ ද නැත. මා ඒ ගැන දන්නා එකම දේ එවැනි තීරණයක් රටට සුබ ආරංචියක් නොවන බවය.

මෙවර කිවිදා දැක්මෙන් මා සාකච්ඡා කරන්නේ මේ මොහොතේ රට හමුවේ තිබෙන සුබ ආරංචි කීපයක් ගැන සහ අසුබ ආරංචි කීපයක් ගැනය. ඒ මගින් බලාපොරොත්තු වන්නෙ අසුබ ආරංචි පරාජය කර සුබ ආරංචි ජයග්‍රහණය කරවීමට උත්සාහ කිරීමය. රට හමුවේ මේ මොහොතේ තිබෙන බරපතළම අභියෝගය වන්නේ සමහර අසුබ ආරංචි පරාජයට පත් කිරීමය.

 

1. ජනාධිපති කියන සුබ ආරංචිය

ජනාධිපතිවරයා විසින් මේ සතියේ රට හමුවේ විශේෂ ප්‍රකාශයක් කළේය. ඔහු එහිදී කියා සිටියේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ එක් කොටසක් සාර්ථකව නිමා කළ බවයි. ඒ කියන්නේ ‘පැරිස් ක්ල්බ්’ යනුවෙන් හඳුන්වන ණය හිමියන්ගේ එකමුතුව සමග ද්විපාර්ෂික ණය ගෙවීම පිළිබඳව සිදුකළ සාකච්ඡාවක් සාර්ථකව නිමා කළ බවයි. ඒ අනුව 2024 ජූනි මාසය වන විට තිබූ විදේශ ණය ප්‍රමාණය වූ ඩොලර් බිලියන 36.6 මුදලින් ඩොලර් බිලියන 17 ක් පමණ වූ ණය ගෙවීම ප්‍රතිව්‍යූහගතකරණය කරගත් බවයි.

එයට අමතරව ජනාධිපතිවරයා කියන අනෙක් සුබ ආරංචිය වන්නේ පැරිස් ක්ල්බ් සාමුහිකයට සම්බන්ධ නැති චීනය සමග ඩොලර් බිලියන 4.2 ණය මුදල ආපසු ගෙවීම ප්‍රතිව්‍යූහගතකරණය කරගත් බවයි.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ සමහරුන් කියන්නේ ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ මේ කොටස නිමාකර ගැනීම නිසා රට ‘බකොළොත් භාවයෙන් මිදෙන’ බවයි. මෙහි දී කිවයුතු කරුණු කීපයක්ම තිබේ. එයින් එකක් වන්නේ රටේ ණය ප්‍රමාණයෙන් හරි අඩක්ම නියෝජනය වන්නේ ISB ණය හෙවත් ස්වෛරී බැඳුම්කර ණය වන අතර ඒ ණය සම්බන්ධව කිසිදු තීරණයක් තවමත් රැගෙන නොමැති බවයි. අනෙක් වැදගත් කාරණය වන්නේ ජනාධිපතිවරයා විසින් මේ කියන ණය ප්‍රතිව්‍යූහගතකරණය මගින් එකඟ වී ඇති කොන්දේසි රටට බරපතළ සහනයක් ලබා දෙන්නේ නැති බවයි. මෙම ගිවිසුම් ගතවීම හරහා ගෙවීමට ඇති ණය වාරිකවල දිනය පස්සට තල්ලු කරනවා හැර යහපත් ණය කපා හැරීමක් හෙවත් Hair cut එකක් ලබාගෙන නැත.

 

2. ආණ්ඩුව නොකියන අසුබ ආරංචි

මෙහි දී අවධානය යොමු කළ යුතු තවත් කාරණයක් වන්නේ ආණ්ඩුව නොකියන අසුබ ගණනාවක්ම මෙහි ඇතුළත්  බවයි. එයින් එකක් වන්නේ මේ ද්විපාර්ෂික ණය හිමියන් හැරුණු විට මෙරට විදේශ ණය වලින් 50% කට ආසන්න ප්‍රමාණයක් සමන්විත වන්නේ පෞද්ගලික / බහු පාක්ෂික ණය හිමියන් වන ස්වෛරී බැඳුම්කර අයිතිකරුවන් සමග බවයි. එම කණ්ඩායම සමග එකඟතාවක් ලබා ගන්නේ නැතිව ණය ශ්‍රේණිගත කරන ආයතන අපේ රට බංකොළොත් නැති (ණය ගෙවිය හැකි) රටක් ලෙසින් හඳුන්වා දෙන්නේ නැත.

ඒ නිසා පැරිස් ක්ලබ් සාමුහිකය සහ චීනය සමග අත්සන් කළ ගිවිසුම් සමගින් ‘කිරිබත් කනවාට වඩා වැඩි යමක්’ කරන්නට නම් ISB ණය හිමියන් සමග එකඟතාවකට යාම අනිවාර්යය.

මෙහිදී ආණ්ඩුව නොකියන තවත් අසුබ ආරංචියක් වන්නේ මෙම ආර්ථික අර්බුදය ගොඩ නැගුනේ කෙසේද ? කියන කාරණයයි. මෙම ආර්ථික අර්බුදය යනු 2020 – 22 පටන් ගත් එකක් නොවේ. එහි ඇත්ත තත්වය වසා කටයුතු කිරීම මෙහි ඇති බරපතළම අසුබදායක දෙයක් බව මගේ අදහසයි. විශේෂයෙන්ම ගෙවන්නට ඉතිරි වී තිබෙන (ප්‍රතිව්‍යූහගත කර ගන්නටත් තවම නොහැකි වී තිබෙන) ISB හෙවත් ස්වෛරී බැඳුම්කර ණය ඩොලර් බිලියන 17 ක් පමණ ණය රැගෙන තිබුණේ 2015 – 19 යහපාලන කාලයේ බව වසා දැමීම මෙහි ඇති තවත් අසුබ ආරංචියකි.

 

3. දේශපාලනයේ සුබ ආරංචි 

ණය ප්‍රතිව්‍යූහගතකරණයට අමතරව රටේ දේශපාලනයේ සුබ – අසුබ ආරංචි ගණනාවක්ම ඇති වෙමින් පවතී. ඒවා පිළිබඳවත් සටහනක් කිරීමත් වැදගත්ය.

දේශපාලනයේ තිබෙන එක් වැදගත් ආරංචියක් වන්නේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය මේ වසරේ ඔක්. 18 දිනට පෙර පැවැත්විය යුතු බවයි. ඒ අනුව එහි කටයුතු ලබන මාසයේ (ජූලි මාසයේ) 17 දිනයෙන් ආරම්භ වීමට නියමිතය. රටේ තිබෙන තත්වය අනුව එය යම් ආකාරයක සුබ ආරංචියක්ය. එසේ වන්නේ රටේ ජනතාවට තමන්ගේ අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ අවස්ථාවක් ලැබෙන නිසාය.

දේශපාලන ක්ෂේත්‍රයේ පෙන්නුම් කරන තවත් සුබ ආරංචියක් වන්නේ රටේ විදේශ මූල්‍ය ගලා ඒම (සංචාරක කර්මාන්තය, විදේශ ප්‍රේෂණ සහ අපනයන ආදායම්) ආණ්ඩුවේ විශේෂ ව්‍යාපෘතියකින් තොරවම හොඳ පැත්තට හැරී තිබීමය. ඒ සම්බන්ධව ධනාත්මකව සිතිය යුත්තේ රාජ්‍ය ප්‍රතිපත්තිකරණය තුළ බරපතළ නව තත්වයක් ඇති කිරීමකින් තොරවම විදේශ මූල්‍ය ගලා ඒම වර්ධනය වීම පැත්තෙන් බලන විටය.

රටේ දේශපාලන ක්ෂේත්‍රයේ පෙන්නුම් කෙරෙන තවත් යහපත් වර්ධනයක් වන්නේ ජනතාව තුළ දේශපාලන මැදිහත්වීම කෙරෙහි ඇති කැමැත්ත වර්ධනය වී ඇති ආකාරයයි. විශේෂයෙන්ම ආර්ථිකයේ ගැටලු පිළිබඳව සමාජයේ සිදුවන සමහර සාකච්ඡාවන්ට ජනතාවගේ පැත්තෙන් පෙන්නුම් කරන සාධනීය දායකත්වය මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

 

4. දේශපාලනයේ අසුබ ආරංචි

ඉහත සඳහන් කළ ආකාරයේ ධනාත්මක හා සුබ පැත්තක් රටේ දේශපාලනයේ මතුවී තිබෙනවා මෙන්ම සමහර ක්ෂේත්‍රවල බරපතළ අසුබදායක තත්වයක් ද මතු වී ඇත. එවැනි කරුණු කීපයක් පිළිබඳව ද සටහන් කිරීම වැදගත්ය.

එයින් එකක් වන්නේ රටේ සමහර ප්‍රශ්න හා ගැටලුවලට හේතුව ලෙසින් සරල හා ආද්‍රනග්‍රාහී මතවාද සමාජය තුළ පැළ කරන්නට සමහරුන් දරන උත්සාහයයි. එවැනි එක මතවාදයක් වන්නේ ‘රටට පාර්ලිමේන්තුවක් එපා’ වැනි ප්‍රකාශ හරහා ප්‍රශ්නයේ හේතුව වෙනත් පැත්තකට ගෙනයාමට උත්සාහ කිරීමය.

අපේ රටේ විධායක පාලනය 1978 සිට හසුරුවන්නේ පාර්ලිමේන්තුව මගින් නොව වෙනමම ඡන්ද පත්‍රිකාවකින් පත් කරන ජනාධිපතිවරයෙකු හරහාය. කැබිනට් මණ්ඩලයට සභිකයන් පත් වෙන්නේ පාර්ලිමේන්තුවෙන් වුවත් ඒ අය වග කියන්නේ ජනාධිපතිවරයාට මිස පාර්ලිමේන්තුවට නොවේ. අය – වැය අනුමත කරන්නේ පාර්ලිමේන්තුව වුවත් එය හදන්නේ සහ රාජ්‍ය මූල්‍ය පාලනය කරන්නේ විධායකය විසින්ය. ඒ නිසා රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය පාලනය යන දෙක 1978 සිට යම් කඩා වැටීමකට හසු වී තිබේ නම් එහි ප්‍රධාන වගකීම ඇත්තේ මූල්‍ය පාලනය සිදුකරන විධායක ජනාධිපතිවරුන් සහ ඒ අයගේ කැබිනට් මණ්ඩල විසින්ය. රටේ පාර්ලිමේන්තුවට යම් වගකීමක් ඇති බව සැබෑවක්ය. එහෙත් රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් සෘජු වගකීම දරන්නේ පාර්ලිමේන්තුව නොව විධායක ජනාධිපතිවරයා විසින්ය. මේ පිළිබඳව රටේ තිබෙන මතවාදය නිවැරැදි විය යුතු බව මගේ අදහසය.

තවත් පැත්තකින් රටේ ප්‍රධාන මාධ්‍ය සහ සමහර සමාජ මාධ්‍ය කටයුතු කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට පත් කරන ආකාරයෙන්ය. රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය කෙරෙහි වෛර බඳින ආකාරයට මාධ්‍ය භාවිත කිරීම වැරදිය.  එක් උදාහරණයක් ගන්න. සමහරුන් තර්ක කරන්නේ 2020 පාර්ලිමේන්තුවට පත්වූ 225 මන්ත්‍රීවරු රටේ ආර්ථිකය කඩා වැට්ටුවා වැනි හැඟීමකින්ය. තවත් සමහරුන් තර්ක කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන, ගෙවල්, විශාල වැටුප් ලැබෙනවා වැනි හැඟීමකින්ය. මේ එකක්වත් කරුණු සහගතව සත්‍ය දේවල් නොවේ.

සමහර විදේශවල සිටින ‘ඩෑස්ෆෝරාවරුන්’ රටේ දේශපාලනය කරන්නට ලන්ඩන්, පැරිස්, නිව්යෝර්ක් නගරවල සිට කරන කතා අසන විට මේ තත්වයේ ඇති බරපතළකම වඩාත් වැඩියෙන් පෙනී යන බව පැහැදිලිය. මා කියන්නේ මැදපෙරදිග හෝ කොරියාවේ රැකියාවලට ගොස් රටට ඩොලර් ටිකක් එවන සහෝදර සහෝදරියන් ගැන නොවේ. ඒ අය රටට සම්පතක්ය. ඒ අයට අපේ ගෞරවය හිමිවිය යුතුය. එහෙත් රටේ ජනතාවගේ බදු මුදලින් වෛද්‍යවරු බවට පත් වී ජනතාවට ‘කොකා පෙන්නා’ ඇමරිකාවට පැන්න අය නිව් යෝර්ක් සිට කතා කරන්නේ රට බේරා ගන්නටය. ඒ සමහරුන් රටේ ජනතාවගේ බදු මුදලට විද්ද අයගේ ගොඩේම ඉන්න අය බව සමහරුන්ට අමතකය. මෙවැනි කාරණා පෙන්නුම් කරන්නේ දේශපාලනයේ අසුබදායක පැත්තය.

රටේ ආර්ථිකයේ සහ දේශපාලනයේ සුබ ආරංචි සහ අසුබදායක ආරංචි තෝරා බේරා ගනිමින් තීරණ ගැනීමට බුද්ධිමත් විය යුතු බව මගේ මෙවර කිවිදා දැක්මය.

 

(*** මහාචාර්ය චරිත හේරත්)